මිත්‍යාව තවමත් පවතින්නේ ඇයි?

අසත්‍යයට එරෙහිව සත්‍යය සටන් වදියි!
February 20, 2020
වෙළඳ ව්‍යාපාරයක් වූ මිත්‍යාව
February 20, 2020
Show all

මිත්‍යාව තවමත් පවතින්නේ ඇයි?

දැනුම සමාජය හා චින්තනය

06

        මානව සමාජය තුළ දැනුම සංවර්ධනය වීමේදී සත්‍යය, මිත්‍යාවන් හා අසත්‍යය සමග සිදු කළ අරගලය දැවැන්ත එකක් විය. එහිදී සත්‍යය වෙනුවෙන් මහා කැපකිරීම් සිදු කිරීමට ඒ වෙනුවෙන් පෙනී සිටි අයට සිදු විය. එතරම් මහා කැපකිරීම් කරමින් විද්‍යාව සංවර්ධනය කරමින් සමාජය පෙරට ආවද තවමත් මානව සමාජයේ විශාල පරාසයක් තුළ අවිද්‍යාව හෙවත් මිත්‍යාව පවතී. විද්‍යාව සමග එකට පැවතීමට මිත්‍යාවට නොහැකි වුවද එය එලෙස පවතී. දැනුම තුළ වන එකී ප්‍රතිවිරෝධය නිවැරදිව තේරුම් ගැනීම අව්‍යශය.

        මේ වනවිට ධනවාදය තුළ මිනිසා විද්‍යාවේ දැවැන්ත සොයා ගැනීම් සිදු කර තිබේ. ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන විද්‍යාත්මක නියාම සොයාගත් ඔහු දැන් අධිවේගී රොකට්වලින්, අභ්‍යාවකාශ යානාවලින් අභ්‍යාවකාශයේ සැරි සරයි; සඳ මතට ගොඩ බසියි; අඟහරු වෙත මිනිසුන් රහිත යානා යවයි; විශ්වයේ ඇති තරු ගැන, තරු පොකුරු ගැන, මන්දාකිණි ගැන, විශ්වයේ බිහිවීම ගැන විද්‍යාත්ම උපකල්පන ගොඩනගා ඒවා පරීක්ෂණ නිරීක්ෂණ මගින් තහවුරු කොට නිගමනයන්ට පැමිණ විශ්වයේ බොහෝ රහස් හෙළිකර ගෙන සිටියි. එසේ තිබියදීම බොහෝ මිනිස්සු තවමත් ‘අපට ඉහළින් ඇති’ දෙව්ලොවක් ගැන, ස්වර්ගයක් ගැන විශ්වාස කරති. පොළොවට යටින් ඇති අපායක් ගැන විශ්වාස කරති. විශ්වය ගවේෂණය කරන විද්‍යාඥයින්ට ‘අපට ඉහළින් ඇති’ දිව්‍ය ලෝක හමුවී නැතත් මිනිස්සු තවමත් එය විශ්වාස කරති.

පාඩම් ඉගෙන නොගැනීම

       එසේම විශ්වය තුළ පවතින විවිධ තරංග වර්ග හඳුනාගත් මිනිසා එම තරංග මානව සමාජයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කර ගනියි; විවිධ කිරණ වර්ග හඳුනාගෙන ඒවායින් වැඩ ගනියි. එහෙත් ඒ අතරම මිනිස්සු තවමත් චිත්ත ශක්තිය ගැන, නොපෙනෙන අද්භූත බලවේග ගැන විශ්වාස කරති. රෝග සුව කිරීමේදී වෛද්‍ය විද්‍යාව ලබා ඇති ප්‍රගතියද විශ්මිතය. එහෙත් එලෙස තිබියදී බොහෝ ජනතාව තවමත් රෝග සුව කර ගැනීමට වෛද්‍යවරයා, වෛද්‍ය විද්‍යාව විශ්වාස කරනවා වෙනුවෙට මිත්‍යාවත් ආගමික ස්ථානත් විශ්වාස කරති; ඉන් හානිද කර ගනිති. මෑතකදී අනුරාධපුර ප්‍රදේශයේ රෝගී කාන්තාවකට මතුරන ලද දෙහි බෑයක් බලෙන් ගිල්ලවීමට ගොස් ඇය මිය ගිය ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණි. හොර කපුවා අත්අඩංගුවට ගෙන තිබේ. ඊට පෙරද රෝගී දරුවකුට එක්තරා ආගමික නිකායක මධ්‍යස්ථානයකදී ඖෂධ නොදී ජලය පමණක් පොවමින් සිටීම නිසා දරුවා මිය ගිය පුවතක් වාර්තා විය. එහෙත් ඉන් මිනිසුන් පාඩම් ඉගෙන ගන්නා බවක් නොපෙනේ. ගැටලුව වන්නේ සමහර වෛද්‍යවරු පවා රෝගීන් මෙවැනි මිත්‍යාවන් වෙත යොමු කරවීමය.

      එක් ඉතාලි කියමනක මෙසේ තිබේ. “රෝගියා මිය ගියහොත් වෛද්‍යවරු ඔහු මරා දැමුවෝය. රෝගියා සුව වුවහොත් දේව දූතයෝ ඔහු බේරා ගත්තෝය”. යනුවෙනි. ඉන් කියැවෙන්නේද මිනිසුන් මිත්‍යාවට යට වූ විට සිතන ආකාරය ගැනය. සමාජය තුළ, මානව දැනුම තුළ පවතින මෙම ප්‍රතිවිරෝධය මෙලෙස පවතින්නේ ඇයි? සමාජ විඥානය තුළත් පුද්ගල විඥානය තුළත් තවමත් මිත්‍යාව පවතින්නේ ඇයි? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතුය. ඇත්ත විශ්වාස කිරීමට මැලිවන මිනිසා මිත්‍යාව ප්‍රශ්න නොකරම පිළිගන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. සමහර අයට මිනිසා සඳ තරණය කිරීම බොරුවකි. එහෙත් දෙව් ලොවක් තිබීම සත්‍යයකි.

මිත්‍යාවන් පැවැත්මේ කොන්දේසි

         අප ජීවත් වන මෙම 21වැනි සියවසේදී විද්‍යාවේ ජයග්‍රහණ මෙතරම් තිබියදීත් මිත්‍යාව සහ අසත්‍යය පවතින්නේ අහම්බයක් ලෙස නොවේ. ඒවායේ පැවැත්මේ කොන්දේසි හෙවත් හේතු පවතින්නේද මේ සමාජය තුළමය. මෙම සමාජ ක්‍රමය තුළය. දැනුම තුළ මිත්‍යාවට එරෙහිව සත්‍යය වෙනුවෙන් සටන් කර අය සියල්ලට පෙර එම සත්‍යය අවබෝධ කර ගත යුතුය.

     වර්තමාන සමාජය තුළ මිත්‍යාවන්ගේ පැවැත්මට උපකාරී වන හේතු රැසක් පවතින අතර ඉන් ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. ඒවා නම්,

  1. නූගත්කම හා ගතානුගතික බව නිසා
  2. ආර්ථිකමය හා ලාභ ඉපැයීමේ අවශ්‍යතා නිසා
  3. සමහර සමාජ සංස්ථාවන්ගේ ආයතනයන්ගේ පැවැත්ම උදෙසා
  4. දේශපාලනමය හා පංතිමය අවශ්‍යතා උදෙසා යන හේතූන්ය.

මෙම හේතු වෙන වෙනමත් එක්වත් සමාජය තුළ මිත්‍යාවන් හා බොරු ප්‍රතිනිර්මාණය කිරීමත් පවත්වාගෙන යෑමත් සිදුකරන බව හොඳින් නිරීක්ෂණය කරන විට පැහැදිලි වේ.

      වත්මන් සමාජය තුළ, දැනුම තුළ, මිත්‍යාව හා බොරුව පැවතීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ, මිනිසුන්ගේ නූගත්කම, ගතානුගතික බව හා ඒ මත නිර්මාණය වන බිය හා සැකයයි. මෙම තත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ මිනිසුන් නොව පවතින ධනවාදී සමාජයයි. මේ වනවිට ලෝක ජනගහනය බිලියන 7ක් හෙවත් කෝටි 700ක් ඉක්මවා තිබේ. එහෙත් අප 21 වැනි සියවසට පා තබන විටත් ලෝක ජනගහනයෙන් 1/7ක් හෙවත් බිලියන එකක් පාසල් අධ්‍යාපනය නොලැබූවන් බව වාර්තාවලින් පෙන්වා දේ. ලෝක ජනගහනයෙන් බිලියන එකක් නූගත්කමේ ගිල්වා අධ්‍යාපනයෙන් පිටමං කර ඇති සමාජයක, ඉතිරි බිලියන හයෙනුත් විශාල ප්‍රමාණයක් අතරමඟදී පාසල් අධ්‍යාපනය අවසන් කර ජීවන අරගලයට බසින සමාජයක, විද්‍යාවේ දැනුම ඉතාම සීමිත පිරිසකට පමණක් සීමා කොට ඇති ලෝකයක, අධ්‍යාපනයේදී විද්‍යාව සමග මිත්‍යාවන්ද ආගමික සංකල්පද උගන්වන ලෝකයක පුදුම විය යුත්තේ මිත්‍යාව නොපවතින්නේ නම්ය.

     ලොව මිත්‍යා විශ්වාස වැඩිපුරම පවතින්නේ, ලෝකයේ පසුගාමී සංවර්ධනයක් සහිත රටවල හා විවිධ ජන කණ්ඩායම් තුළය. ලොව මෙවැනි බොහෝ රටවල විවිධ ජන සමාජයන් හා කණ්ඩායම් වෙත විද්‍යාවේ දැනුම, අධ්‍යාපනය ගලා නොයන විට ඔවුන්ගේ චින්තනයේ පරාවර්තනය වන්නේ මොනවාද? ඒ, ලෝකය පිළිබඳ නව දැනුම නොව පරපුරෙන් පරපුරට පැවත ආ මිත්‍යාවන්ය. මිනිසුන්ගේ ගතානුගතික බවද මෙයට එක්වූ විට මිනිසා මිත්‍යාවන් තුළ ගිලී යෑම අරුමයක් නොවේ.

     මිනිසුන් මිත්‍යා විශ්වාසවලට යොමු වීමේ අතීත හේතු පැවතුණේ ඔහු සොබාදහම වටහා ගැනීමට අපොහොසත් වීමත් ඊට බිය වීමත් නිසාය. ඈත අතීතයේ මිනිස්සු ගස්, ගල්, ඉර, හඳ, ගින්දර ආදියට දේවත්වය ආරෝපණය කොට වඳිනු ලැබුවේ සොබාදහම තේරුම් නොගැනීම හා එහි දේවල්වලට බිය වූ නිසාය. සමාජය තුළ වර්තමානයේද මිත්‍ය විශ්වාස පිටුපස වැඩිපුරම දුවන්නේ කවුද? ඒ, බියට පත් මිනිසුන් හා දුකට පත් මිනිසුන්ය.

     මෙය න්‍යායිකව තේරුම් කරන්නේ නම් මිනිසාගේ ‘බිය’ ඇති වන්නේ, සොබාදහමේ නියාම තේරුම් නොගැනීම නිසාය. මිනිසාගේ ‘කරදර’ හා ‘දුක’ පවතින්නේ පංති සමාජය තුළ පවතින සූරාකෑම, පංති පරතරය, අසාධාරණය, අයුක්තිය, මර්දනය ලෙඩ රෝග හා අපරාධ නිසාය. එය එලෙස වටහා ගත්විට මෙම ඛේදවාචකයේ වගකීමෙන් ධනවාදයට මිදීමට නොහැක. එහෙත් ඒ වෙනුවට දුක් කරදරවල වගකීම පෙර කරුමයට හෝ, ග්‍රහලෝකවලට පැවරූ විට ධනවාදය එහි වගකීමෙන් නිදහස් වේ. සිදුවී ඇත්තේ එයයි. එසේම ප්‍රකෘතිය තේරුම් ගැනීමට මිනිසා අසමත් වීම නිසා, එය ඔහුට තේරුම්කර නොදීම නිසා මිනිසා විශ්වීයත්වය හා විශේෂිතය වටහා නොගනී. ඔහුට සමහර විශේෂිතයන් පොදු විශ්වීය දේවල් ලෙස පෙනේ. මැලිබන් මුදලාලි පොහොසත් වූ ආකාරය විශේෂයක් ලෙස නොසලකා එය පොදු දෙයක් ලෙස සලකන්නේ ඒ අනුවය. මිනිසා අනිවාර්ය හා අහම්බය තේරුම් නොගත් විට සිදු වන්නේ කුමක්ද? අහම්බ සිදුවීම්වලට මිත්‍යාව ආරෝපණය කිරීමයි. හූනන් ඇඬීම, බල්ලන් කන්පට ගැසීම අසුබ යැයි මතයක් හැදෙන්නේ ඒ අනුවය. පලාපල කීම, සාස්ත්‍ර කීම පිළිගැනෙන්නේද අහඹු ලෙස අනාවැකි සත්‍ය වීම පදනම් කර ගෙනය. ජෝතිෂ්‍ය අනාවැකි 100ක් බොරු වී අහම්බයෙන් එකක් ඇත්ත වූ විට මිනිස්සු එම එක් අහම්බය මත සිය විශ්වාසය ගොඩනගා ගනිති. හරය හා පෙනුම තේරුම් නොගැනීම නිසාද හේතුව හා ඵලය තේරුම් නොගැනීම නිසාද මිනිසා මිත්‍යාවන්ට වැටුණු බව පැහැදිලිය. පෘථිවි කේන්ද්‍රවාදය නිර්මාණය වූයේ හරය හා පෙනුම තේරුම් නොගත් නිසාය. එනම් හරයෙන් නොව පෙනුමෙන් සූර්යයා පෘථිවිය වටා ගමන් කරනා සේ පෙනුන නිසාය. තමන්ගේ දුප්පත්කමට, කරදරවලට, ස්වභාවික විපත්වලට හේතුව පෙර කළ කර්මය හෝ ග්‍රහ බලපෑම් යැයි සිතන්නේද හේතුව හා ඵලය වටහා නොගන්නා නිසාය. පරිසර විනාශයන්ට මෙන්ම මිනිසාගේ දුප්පත්කමට හේතුව ධනපති ක්‍රමය පරිසරය විනාශ කිරීමත් සමාජ ධනය කිහිප දෙනෙකු අත ගොඩගසා ගැනීමත් බව ඔවුහු නොසිතති.

     මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මිත්‍යාවන් තහවුරු වීමට නූගත්කම හා ගතානුගතික බව විශාල සාධකයක් වන බවය.

Next – වෙළඳ ව්‍යාපාරයක් වූ මිත්‍යාව