මාක්ස්වාදී දර්ශනය හා සොබා දහම

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය
December 19, 2018
ව්‍යවස්ථාමය සදාචාරය.
December 19, 2018
Show all

මාක්ස්වාදී දර්ශනය හා සොබා දහම

       1844 දී පළ කෙරුණු මාක්ස්ගේ මුල් කාලීන රචනාවක් වූ “ආර්ථික හා දාර්ශනික අත්පිටපත්” – Economic and philosophical Manuscript) නැමැති ලියවිල්ලේ සොබාදහම හා මිනිස් අතර සම්බන්ධය විග්‍රහ කරන්නේ මෙසේය.

මිනිසාගේ ජීවය ඇත්තේ සොබා දහම තුළ ය. සොබා දහම යනු මිනිසාගේ ශරීරයයි. නොමැරී ජීවීතය රැක ගැනීමට නම් මිනිසා සොබාදහම සමග අඛණ්ඩ ගනුදෙනුවක් පවත්වා ගත යුතුය. මිනිසාගේ භෞතික හා අධ්‍යාත්මික ජීවිතය සොබා දහම සමග සම්බන්ධ යැයි යන්නෙන් අදහස් කරන්නේ සොබාදහම එය (සොබාදහමත් සමග) සමගම සම්බන්ධ වී ඇතැයි යන්නයි. මිනිසා සොබාදහමේ කොටසකි.

ධනපති නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දී නිෂ්පාදනයේ අරමුණ “ලාභය” මිස අනෙකක් නොවේ. මිනිසාගේ අවශ්‍යතා වෙත ප්‍රමුඛස්ථානය ලබා දී ප්‍රතිවිපාක හා පරිසරය ද්විතීයක හා තෘතීයක කරුණු බවට පත් වෙන බව ප්‍රාග්ධනය කෘතියේ සඳහන් කර ඇත්තේ මෙසේය.

මුල් යුගයේ දී නිෂ්පාදන මාදිලි වැය කළ ශ්‍රමයේ ප්‍රයෝජනවත් ඵලය ක්ෂණිකව අත්කර ගැනීම පමණක් ඉලක්ක කර ගත්තේ ය. පසු කලෙක දී ක්‍රමිකව සංවර්ධනය වූ නිෂ්පාදන මාදිලිවල දී ප්‍රතිවිපාක සම්පූර්ණයෙන් නොසලකා හැරිනි. එක අතකින් ඉතාම සමීපව පැවති  පරිසරයට මිනිසුන්ගේ දැනුම සීමා වූ අතර  පරිසරයට සිදුවන හානි පූර්ණය වීම සඳහා අතිරික්ත ඉඩම් පැවතිනි. වඩාත් දියුණු නිෂ්පාදන ස්වරූප (මාදිලි) ජනගහනය විවිධ පන්තිවලට විභේදනය වූ අතර එමගින් පාලක හා පීඩිත පන්ති අතර ප්‍රතිගතිතකාවක් (regressive) හට ගත්තේය. නිෂ්පාදනය ජනතාවගේ දල යැපීම් මාධ්‍ය පමණක් සැපයීමට සීමා නොවී පාලක පන්තියේ වුවමනාවන් (ලාභය) නිෂ්පාදනයේ නියාමක සාධකය බවට පත් විය.  වර්තමානයේ බටහිර යුරෝපයේ පවතින ධනවාදී නිෂ්පාදන මාදිලියෙන් මෙය ඉතාමත් පූර්ණ ලෙසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. නිෂ්පාදනය සහ හුවමාරුව පාලනය කරනු ලබන ධනපතියෝ ඔවුන්ගේ ක්‍රියාවේ ක්ෂණික වූත්, ප්‍රයෝජනවත් වූත් ඵලය පිළිබඳ සලකා බැලීමට පමණක් සමත් වී සිටියි.

     නිෂ්පාදන වර්ධනය, ආර්ථික වර්ධනය සිදු වන්නේ “ලාභයම” එකම අරමුණ කර ගත් ආර්ථික ක්‍රියාවලියකින් මිස වෙනත් බලපෑමකින් නොවන බවය මෙයින් පැහැදිලි වේ. ලාභය අරමුණු කර ගත් නිෂ්පාදනයේ අරමුණ මිනිසාට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීම නොවේ. එහි අරමුණ ලාභය උපරිමව ලබා ගැනීම සඳහා විකිණිය හැකි භාණ්ඩ හා සේවා හැකි තරම් නිපදවීමයි. සමාජවාදයේ දී  (කොමියුනිස්ට් ක්‍රමයේ දී) මෙම ලාභය අරමුණු කර ගත් නිෂ්පාදනය අහෝසි වේ. (මුල් යුගයේ දී දුර්මුඛ වේ) එබැවින් ඉහත විවේචනයේ පදනම ම කොමියුනිස්ට් නිෂ්පාදන රටාව තුල අහෝසි වී තිබෙන බව පැහැදිලිය.

           මාක්ස් සංක්‍රමණිකයෙකු ලෙසින් වැඩි කලක් පදිංචිව සිටි ලන්ඩන් නගරය මුහුණ දුන් පාරිසරික ගැටළු පිළිබඳව ඔහුගේ සටහන්වලින් ද මාක්ස්වාදය පරිසරය දූෂණය හා සොබා දහම පිලිබඳව දකින ලද ආකාරය හොඳින් පැහැදිලි වේ.
19 වන සියවසේ පස නිසරුවීම නිසා ඇති වූ ගැටළුවලට විසඳුමක් ලෙසින් බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ආනයනය කළ  සත්ව ඇට කටු විශාල ප්‍රමාණයක් සහ දකුණු ඇමරිකාවෙන් ආනයනය කළ කුරුලු බෙටි පොහොර පසට මිශ්‍ර කරන ලදී. පසුව රසායනික පොහොර ද පසට මිශ්‍ර කරන ලදී. මේ ක්‍රියාවලිය අවසානයේ අලුත් ගැටළු රාශියක් හට ගත් අතර භූගත ජලය දූෂණය වී විස විය.

මාක්ස් ඒ පිළිබඳව ප්‍රාග්ධනය කෘතියේ සඳහන් කළේ මෙසේය.

ධනේෂ්වර කෘෂිකර්මය එක අතකින් ශ්‍රමයත් අනෙක් පසින් පසෙහි ගුණාත්මක බවත් සොරකම් කිරීමෙහි යෙදී සිටියි.  වැඩි ලාභයක් ලබා ගැනීම සඳහා ධනේෂ්වර කෘෂිකර්මාන්තය විසින් යොදා ගන්නා උපක්‍රමවල ප්‍රතිවිපාක ලෙසින්  දීර්ඝකාලීනව භූමිය නිසරු කර දමයි.

ධනේෂ්වර නිෂ්පාදනය, තාක්ෂණය දියුණු කරන අතර එය තවත් ක්‍රියාවලීන් ගණනාවක් සමග ඒකාබද්ධ කර එය සමස්ථ සමාජය හා බද්ධ වූ එකක් බවට පත් කරයි. එසේ වුව ද, එය සිදු කළත් එයට එය කළ හැක්කේ ඔවුන්ගේම මූලික ම උල්පත් දෙක වන ශ්‍රමය හා පස (භූමිය) යන දෙකම දුර්වල කිරීමෙන්, ශක්ති හීන කිරීමෙන් පමණි.

         පොදු දේපල අයිතිය මත පදනම් වූ සමාජයක් බිහි විය යුතු බව මාක්ස්වාදය පවසන්නේ  එවැනි සමජයක දී මිනිස් ආකල්ප, සිතුම් පැතුම් පමණක් නොව නිෂ්පාදනයේ දෘෂ්ඨිය පවා සමාජ ක්‍රමයට අනුව සැකසෙන බැවිනි.

දිග්විජය කළ තැනැත්තෙක් විදේශීය ජනතාවක් පාලනය කරන ආකාරයෙන් මිනිසා විසින් සොබා දහම පාලනය නොකරන බවත්, සොබාදහමේ කොටසක් ලෙසින් මිනිසා සොබාදහම තුලම ජීවත් වෙන බවත්, මිනිසාට සොබා දහමින් පරිබාහිරව ජීවත්විය නොහැකි බවත් සොබාදහමේ නියමයන් අවබෝධ කර ගැනීමෙන් නිවැරදි ලෙස අදාළ කර ගැනීමට සමත්වීමෙන් මිනිසා අන් සත්වයන්ට වඩා වැඩි වාසිදායක තත්වයක් හිමිකර ගෙන සොබාදහම වෙත ආධිපත්‍යයක් පතුරවන බවත් මිනිසා තබන සෑම පියවරකදීම මතක් කර ගත යුතුව තිබේ.

සොබාදහමේ දයලෙක්තිකය

          කොමියුනිස්ට් ක්‍රමය යනු මිනිසාගේ හා සොබා දහමේ පූර්ණ ඒකාත්මිකවීමයි. එනම් සොබාදහම තේරුම් ගෙන එය වෙනස් කරන ආකාරයයි.