බොනපාට්වාදය

ෆැසිස්ට්වාදය….. තව දුරටත්
December 6, 2018
නිෂ්පාදන සබඳතා
December 7, 2018
Show all

බොනපාට්වාදය

ව්‍යවස්ථා සංශෝධනයක් අරභයා බොනපාට්වාදීන්ගේ ඇති වුවමනාව ලෙහෙසියෙන් විස්තර කළ හැකිය. බොනපාට්ට යළි මැතිවරණයකට ඉදිරිපත් වීම සහ ඔහුගේ අධිකාරිය දිග්ගැස්සීම තහනම් කරන 45 වැනි වගන්තිය අහෝසි කර ගැනීම ඔවුන්ට අන් හැම දේටම වඩා වැදගත් විය.

මාක්ස් එංගල්ස් තෝරාගත් කෘති 1 වෙළුම 207 පිටුව

      ප්‍රංශ ව්‍යවස්ථාවේ 45 වගන්තිය සංශෝධනය වූ ලෙසම තමන් වෙත සදාකාලයක් බලය රඳවා ගැනීමට 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත් බැවින්  සහ වර්තමානයේ දී ඒකාධිපතිවාදයක නව පරිච්ඡේදයක් පිළිබඳ බොහෝ දේශපාලන සංවාදයකන් සිදුවෙමින් පවතින බැවිනුත් එහි න්‍යායික සන්දර්භය පිළිබඳ විමසා බැලීම එම සංවාද තවදුරටත් අරුත්සරු කිරීමට හේතු වනු ඇත.

       1799 දී නැපෝලියන් බොනපාට් සහ 1849 දී ලුයී බොනපාට් විසින් නායකත්වය සපයන ලද කුප්‍රකට ඒකාධිපති පාලන සමයන් ද්විත්වය බොනපාට්වාදී නාමික උපත සඳහා පසුබිම සකසන ලදී. ලුවී බොනපාට් ගේ පාලන කාලය පිළිබඳ 1852 දී නිව්යෝර්ක් “Die Revolution”  නැමැති සඟරාවේ පළ කළ “ලුවී බොනපාට්ගේ බ්‍රෑමර දහ අට දා”  ලිපිය මගින් කාල් මාක්ස් බොනපාට්වාදය පිලිබඳ ගැඹුරු ඓතිහාසික විවරණයක් සිදු කළේය.

    බොනපාට්වාදය යනු කිසියම් පුද්ගලයකුගේ හුදකලා හිතුවක්කාරකමක් මත පදනම්ව නිර්මාණය වන්නක් නොව, එය ඓතිහාසික ප්‍රපංචයකි.  කිසියම් රටක බොනපාට්වාදය නැගී ඒමට එම රටේ පංතිමය බෙදීම සිදු වී ඇති ආකාරයත් විශේෂයෙන් බලපායි. සාපේක්ෂව විශාල සුළු ධනපති පන්තියක් සිටීම, විශේෂයෙන් පුළුල් සුළු ඉඩම් හිමි ගොවි පදනමක් තිබීම,  ඉතිහාසයේ බොහෝ අවස්ථාවල බොනපාට්වාදයේ  නැගීමට බලපා ඇත.

රුසියාවේ ‘බොනපාට්වාදය’ අහම්බයක් නොව විශාල සුළු ධනේශ්වරයක් සහ විප්ලවීය නිර්ධන පන්තියේත්, ධනේශ්වරයේත් අඛණ්ඩ වර්ධනයක් සහිත රටක පන්ති අරගලයේ පරිණාමයේදී උපත ලබන ස්වභාවික න නිර්මාණයකි

          ලෙනින් එකතු කළ කෘෂි 25 වෙනම 227 පිටුව

      ආක්‍රමණික යුද්ධ, සිවිල් යුද්ධ හෝ ආර්ථික අර්බුද විසින් රට තුළ බරපතළ අරාජිකත්වයක්  නිර්මාණය වී ධනපති පන්තියට රාජ්‍ය බලය පවත්වාගෙන යාමට නොහැකි තරමට අර්බුදය තීව්‍ර වී ඇති විට නිර්ධන පන්ති බලවේගයන් බලය අත්පත් කර ගැනීමට තරම් සවිමත් ලෙස සංවිධානය නොමැති විට බොනපාට්වාදය සඳහා සරු පස සැකසේ.

     1851 වසර ප්‍රංශ ආර්ථිකය අධිනිෂ්පාදන අර්බුදයකට මුහුණ දුන් වසරකි. ඒ පිළිබඳ උදාහරණයක් ලෙස ලීවර්පූල්හි ඉතා විශාල වෙළඳ සමාගමක වාර්ෂික වාර්තාව වාර්තාවක් මාක්ස් උපුටා දැක්වීය.

ඉකුත් වසර තරම් තැබූ බලාපොරොත්තු කඩ කළ වෙනස් වසරක් නොවූ තරම් ය.  ඒකමතිකවම වගේ බලාපොරොත්තු වූ මහා සමෘද්ධිය වෙනුවට පසුගිය වසර 25 තුළ ඇති අතිශය අධෛර්‍යමත් වසරක් බවට එය පත් විය.

      එසේම ඒ වෙන විටත් “ජැකිරි” නමින් ගොවි කැරලි ඇති වෙමින් පැවතිනි.  ප්‍රංශ ධනේශ්වර සභාගයකට එරෙහිව ගොඩනැගූ කම්කරු සහ සුළු ධනේෂ්වර සභාගය වන  නව Montegne පක්ෂය ද එහි පන්තිමය අරමුණු බොඳ කරගෙන සිටියහ.

මෙහි සමගි සමාදානය 1849 පවත්වන ප්‍රියසම්භාෂණවලින් සටහන් කෙරිණි.  එක්සත් වැඩ පිළිවෙලක් කෙටුම්පත් කොට, එක්සත් මැතිවරණ කමිටු සදා  එක්සත් අපේක්ෂකයන් ඉදිරිපත් කෙරුණි. නිර්ධන පංතියේ සමාජීය ඉල්ලීම්වල තිබූ විප්ලවවාදී මුවහත්භාවය අහෝසි කළ අතර එයට ප්‍රජාතන්ත්‍රවාදී පැහැයක් ලබා දිනි.  සුළු ධනපති පන්තියේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම්වලින් හුදු දේශපාලනිකමය රූපිකය ඉවත් කරනු ලැබූ අතර එහි සමාජවාදීමය පැහැයක් ඇති විය.

          මාක්ස් එංගල්ස් තෝරාගත් 21 වෙළුම 168 පිටු

     එම සභාගයේ ප්‍රතිඵල තනි වාක්‍යකට ඌණනය කරමින් මාක්ස් පැවසුවේ ඔවුන් තමන් නියෝජනය කළ පන්තිවලට ප්‍රතිපක්ෂ වූ බව ය.  සියළු පන්ති කණ්ඩායම් මුහුණ දුන් අර්බුද අතර ලුයී බොපාට් මේ සියලු කණ්ඩායම් එකවර නියෝජනය කරන ස්වරූපයක් පෙන්වීය.  කිසිදු වග විභාගයකින් තොරව මෙසේ සියලු පන්ති කණ්ඩායම් වෙනුවෙන් එකිනෙකට ප්‍රතිවිරෝධී ප්‍රතිඥා දීම බොනපාට්වාදයේ ස්වාභාවයයි.

ලුයී බොනපාට් ධනපතියන්ගේ දේශපාලන ආධිපත්‍ය උදුරා ගත්තේ කම්කරුවන්ට විරුද්ධව ධනපතියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට අඟවමිනි. අනික් අතින් ඔහු  කම්කරුවන් ධනපතියන්ගෙන් ආරක්ෂා කරන බව ද ඉඟි පෑවේ ය.

          මාක්ස් එංගල්ස් තෝරාගත්තු 32 වෙළුම 103 පිටුව

      1849 දී ප්‍රංශයේ සිදු වූ දෙයම 1917 දී රුසියාවේ සිදුවිය. රුසියාවේ බොනපාට්වාදී නැගීමට අවශ්‍ය පසුබිම සැකසුණු ආකාරය විස්තර කළේ මෙසේය.

අප්‍රේල් 20 – 21 දින වල මෙන්ම ජූලි 03 – 05 දින වන විට නිර්ධන සහ ධනපති අතර පන්ති අරගලය එහි උපරිමයට ළඟා වී තිබුණි.  රට සිවිල් යුද්ධයක මුව විට තෙක් ගමන් කර තිබුණි. මෙම සමාජ ඓතිහාසික සත්‍යය බොනපාට් වාදය සඳහා අවශ්‍ය පසුබිම සැකසීය.  ඒ හා සමගාමීව ධනපති පංතිය සෝවියට්වරුන්ට එරෙහිව වහසි බස් දොඩමින් නමුත් ඔවුන් විසුරුවා හැරීමට තරම් බලයක් නොමැතිව සිටියේ ය. එසේම ධනපති පන්තියට එරෙහිව තීරණාත්මක ලෙස ප්‍රතිවිරෝධය පෑමට තරම් බලයක් නොමැති නිර්දන පන්තිය ත්සෙරෙල්ලි කර්නිලෝව් සමාගමේ සහයෝගය ලබමින් සිටියේය.

ඉඩම් හිමියන් සහ ගොවීන් සිටියේ ද සිවිල් යුද්ධයක් අද්දර ය.  නිදහස සහ ඉඩම් ඉල්ලා අරගල කරමින් සිටි ගොවීන් ද ඇතුළු සියලු දෙනාගේ බලාපොරොත්තු දල්වා තැබිය හැක්කේ කිසිවක් අත් නොහැර සියලු පන්තීන්ට කිසිදු වග විභාගයකින් තොරව පොරොන්දු දෙන බොනපාට්වාදී ආණ්ඩුවකට පමණි.

          ලෙනින්, එකතු කළ කෘති 25 වෙළුම 223

        එසේ ප්‍රතිවිරුද්ධ පන්ති කණ්ඩායම් ද්විත්වයම තෘප්ත කිරීමට බොනපාට්වාදී පාලනය යොදා ගන්නා උපාය වන්නේ හැකිතාක් දුරට පන්ති සටන් පාඨ දිය කර හැර ජනප්‍රියවාදී සටන් පාඨයන් කරළියට ගෙන ඒමයි. ජාතිකවාදය, ජාතික ආර්ථිකය, දේශප්‍රේමය වැනි සටන් පාඨ බොනපාට්වාදීන්ගේ ප්‍රියතම සටන් පාඨ වන්නේ එබැවිනි. පන්තිය වෙනුවට ජනතාව ආදේශ කිරීමේ අරාජිකවාදීන්ගේ සුප්‍රකට සූත්‍රය උපයෝගී කරගන්නා බොනපාට්වාදය ජනතාවගේ පොදු සතුරෙකු නම් කර එම පොදු සතුරාට  එරෙහිව සටන් කිරීමට සියලු පන්ති කණ්ඩායම් ජනතාව නැමති කුලකය තුල සංවිධානය කිරීමට උත්සාහ කරයි.

     යම් නිශ්චිත සමාජ ක්‍රමයක් තුළ රාජ්‍ය බලය හොබවන්නේ එම මොහොතේ ආධිපත්‍ය දරන පන්තිය විසින් වුවද, බොනපාට්වාදීන් ගේ ස්වභාවය වන්නේ කුඩා කල්ලියක්, බොහෝ විට එය එක් පුද්ගලයකු වටා එක් වූ පවුලක් හෝ හමුදා කල්ලියක් රාජ්‍ය බලය හැසිරවීම ය.

බොනපාට්වාදීන්ගේ ප්‍රධාන ඓතිහාසික ලක්ෂණය ලෙස අප දකින්නේ ප්‍රතිවිරුද්ධ පන්ති බලවේගයන් ද්විත්වයේ  සහයෝගය අඩු හෝ වැඩි කළමනාකරණයකින් ලබා ගනිමින් කුඩා කල්ලියක් විසින් රාජ්‍ය බලය හැසිරවීම ය.

          ලෙනින්, එකතු කළ කෘති 25 වෙළුම 227 පිටුව

        එම නිසා ඇතැම් විට බොනපාට්වාදී ආණ්ඩුව ධනේශ්වර අරමුණු සමඟ ප්‍රතිවිරෝධී වන අවස්ථා ඇත. ඇතැම් විට ඒවා එම නිශ්චිත මොහොත තුළ ප්‍රගතිශීලී ලෙස පෙනී යාමට ඉඩ ඇත. එහෙත් දිගු කාලීන අරුතින් බොනපාට්වාදය සේවය කරන්නේ ධනවාදයේ චිර පැවැත්ම උදෙසා ය. වරක් ජුලියස් සීසර් සිය සෙනෙට් මණ්ඩලයට එරෙහි වෙමින් රෝම පුරවැසියන්ගේ පැත්ත ගත්තේ ය. එහෙත් එම සිදුවීම රෝම අධිරාජ්‍යයේ හෝ වහල් ක්‍රමයේ වෙනස්වීමේ ඇරඹුමක් නොවීය.

       බොනපාට්වාදී පාලනයක් උපතින්ම රැගෙන එන්නේ කෙටි ආයු කාලයකි. ඒ එහි පන්තිමය  සංයුතියෙන් ඇති අසමතුලිත ස්වභාවය විසින් ඇති කරන්නකි. බොනපාට්වාදය නාමිකව හෝ ජනතාව නියෝජනය කිරීමට උත්සාහ කළ ද ඇත්තටම සිටින්නේ පන්තිවලට බෙදුනු ජනතාවකි.  ඒ නිසා එළඹෙන සෑම ප්‍රතිවිරෝධී කරුණකදීම බොනපාට්වාදී පාලනය එක් පන්තියක් දෙසට චනලය වේ. පැත්ත ගනී.   එම චලනයන්හි දී  බහුතර වාර ගණනක් නිර්ධන පන්තියත්, ගොවි ජනතාවත් ඈත් කරගන්නා බොනපාට්වාදී පාලනය සාපේක්ෂව අඩු වාර ගණනකින් වුවද සිය පවුලේ හා කල්ලියේ අරමුණු  සාධනයෙහි ලා ප්‍රමුඛත්වය දෙන බැවින් ධනපති පන්තියෙන් ද ඈත් වෙයි.  එබැවින් අඩුව සපුරා ගැනීමේ අටියෙන් සෑම විටම බොනපාට්වාදීන් තමා වටා සමාජමය කුණුකන්දල් එකතුකර ගනී.

       ධනපති පන්තියෙන් විනාශයට ඇද වැටුණු නීච සහාසිකයින් ද,   හිටපු සෙබළුන්ද, සිරගෙදරින් නිදහස් වූවන් ද, කැලෑ පත්තර ලියන්නන් ද, පිරිහුණු පූජකයින් ද  එක් කර සාදාගත් බොනපාට්වාදීන්ගේ ‘දෙසැම්බර් 10’ සමාජය වැනි ව්‍යූහයන් යොදාගනිමින් ද, කෙරෙන්ස්කි මෙන් යුද අධිකරණයන් යොදා ගනිමින් ද බලහත්කාරය, මර්ධනය මෙන්ම වරදාන වරප්‍රසාද ලබා දෙමින් බොනපාට්වාදය සිය පාලනය පවත්වාගෙන යයි.  බොනපාට්වාදී පාලන වෙත ඉතිහාසය විසින් ලබා දී තිබෙන කෙටි ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ක්‍රමානුකූලව අඥාදායකත්වයේ මගට ගමන් කරන අතර පන්ති බලවේගයන්ගේ වර්ධනය විසින් තීරණය කරන නිශ්චිත මොහොතින් පසු එළඹෙන සමාජමය රල නැගීම් දාමයකින් පසු සිය අනිවාර්යය අවසානය සටහන් කර ගනී.
ප්‍රංශයේ දී එය විප්ලවීය රල නැගීම් පෙළකට  පසු ධනේෂ්වර සමූහාණ්ඩුවක් බවට පත් වූ අතර රුසියාවේ දී එය සමාජවාදී රාජ්‍යයක් බවට පත් විය. එම දිශානතිය තීරණය වෙන්නේ නිර්ධන පන්තියේ ශක්තිය සහ සංවිධාන හැකියාව මතයි.