පොයර්බාහ් ගැන තිසීස (ප්‍රවාද) – Theses on Feuerbach

පංතිය යනු….
November 15, 2018
ප්‍රාග්ධනය යනු
November 19, 2018
Show all

පොයර්බාහ් ගැන තිසීස (ප්‍රවාද) – Theses on Feuerbach

1

     පොයර්බාහ්ගේ (Ludwig Feuerbach) භෞතිකවාදය ඇතුළුව, මෙතෙක් පවතින භෞතිකවාදයේ මූලික අඩුපාඩුව නම්, දේ, සත්භාවය, ඉන්ද්‍රිය ගෝචරතාවය ලබා ගන්නේ වස්තුවෙන් නැතිනම් උපනිද්ධ්‍යානයෙන් මිස, මිනිස් ඉන්ද්‍රීය ගෝචර ක්‍රියාකාරීත්වයෙන්, ව්‍යවහාරයෙන් සහ මනෝමූළ වශයෙන් නොවීම ය. ඒ නිසා, භෞතිකවාදයට ප්‍රතිපක්ෂව ක්‍රියාකාරී පැත්ත විඥානවාදය විසින් වර්ධනය කෙරෙන තත්වයක් ඇති විය. එහෙත් එය වියුක්ත ලෙස පමණකි. මන්දයත්, සත්තකින්ම විඥානවාදය සැබෑ, ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරීත්වය නියම ලෙස නොදන්නා බැවිනි. වින්තන විෂයන්ගෙන් ඉන්ද්‍රිය ගෝචර විෂයන් වෙන් කර ගැනීමට පොයර්බාහ්ට උවමනා වී ඇ.ත. එහෙත් ඔහු මිනිස් ක්‍රියාකාරීත්වය විෂයබද්ධ ක්‍රියාකාරීත්වය ලෙස නොගනී. එහෙයින් “ක්‍රිස්තුලබ්ධියේ හරය” නැමැති කෘතියෙහි න්‍යායික ආකල්ප පමණක් නියම මිනිස් ආකල්පයක් ලෙස ඔහු ගණන් ගන්නා අතර ව්‍යවාහාරය ඔහු බලන්නේ එහි නීච හා ජාවාරම් පැත්තෙන් පමණකි. ඒ නිසා ඔහු ‘විප්ලවීය වූද’ ව්‍යවහාරික විවේචක වූද ක්‍රියාකාරීත්වයේ වැදගත්කම වටහා නොගනී.

2

       වාස්තවික සත්‍ය මිනිස් චින්තනයට ආරෝපණය කළ හැකිද යන ප්‍රශ්නය හුදු න්‍යායික ප්‍රශ්නයක් නොව, ව්‍යවහාරික ප්‍රශ්නයකි. ව්‍යවහාරයේ දී මිනිසා ඔහුගේ චින්තනයේ සත්‍යතාවය එනම් එහි ක්‍රියාශීලීභාවය, බලය හා ලෞකිකත්වය ඔප්පු කළ යුතුය. ව්‍යවහාරයෙන් බැහැර වූ චින්තනයේ ඇති සත්‍යතාවය සහ අසත්‍යතාවය පිළිබඳ විවාදය හුදු පණ්ඩිත විචාරත්වයක් පමණකි.

3

මිනිසුන් වූ කලී තත්වයන්ගේ සහ ශික්ෂණයේ නිෂ්පාදනයකැයි භෞතිකවාදී උගැන්වීම කියන අතර ඒ හේතුව නිසා වෙනස් වූ මිනිසුන් වෙනස් වූ තත්වයන්ගේ සහ ශික්ෂණයේ නිෂ්පාදිතයෙකැයි කියයි. එහෙත් තත්වය වෙනස් කරනු ලබන්නේ මිනිසුන් විසින් බවද ශික්ෂකයා ශික්ෂණය ලබා සිටිය යුතු බව ද එම උගැනීම අමතක කරයි. මේ නිසා මෙම උගැන්වීම සමාජය කොටස් දෙකකට නොවැළැක්විය හැකි සේ බෙදා එක් කොටසක් සමාජයට ඉහලින් (නිදසුනක් වශයෙන් රෝබට් ඕවන්ගේ මෙන්) තබයි.

තත්වයන්ගේ වෙනස්වීමේ සහ මිනිස් ක්‍රියාකාරීත්වයේ සම්පාතනය තේරුම් ගත හැක්කේත්, යුක්ති සහගත ලෙස වටහා ගත හැක්කේත් විප්ලවීය ව්‍යාපාරයකින් පමණකි.

4

ආගමික ආත්ම අන්සතුකරණය, ලෝකය ආගමික, කල්පිත සහ සැබෑ ලෝකයක් ලෙස ද්විගුණ කිරීම නැමැති සත්‍යයෙන් පොයර්බාහ් පටන් ගනී. ආගමික ලෝකය එහි ලෞකික පදනම දක්වා දිය කර හැරීමෙහි ඔහු යෙදී සිටී. මෙම කාර්යය සපුරාලීමෙන් ඉක්බිතිව ප්‍රධාන දේ තවමත් ඉටු කර නැති බව ඔහු නොදකී. ලෞකික පදනම තමාගෙන් මුක්ත වී ස්වාධීන රාජ්‍යයක් සේ ස්වර්ගයේ එය විසින්ම ස්ථාපිතවීම විස්තර කළ හැක්කේ ලෞකික පදනමේ ස්වයංභේදය සහ ස්වයං ප්‍රතිවිරුද්ධතාවය මගින් පමණකි. එනිසා පසු කී දෙය ප්‍රථමයෙන් සිය ප්‍රතිවිරුද්ධතාවයෙහි අවබෝධ කර ගත යුතුය. ඉන් ඉක්බිති විප්ලවීය ව්‍යවහාරය තුළින් එම ප්‍රතිවිරෝධතාවය ඉවත් කරලිය යුතුය. ඒ අනුව නිදසුනක් වශයෙන් ශුද්ධ වූ පවුලේ රහස ලෞකික පවුලෙන් හෙළිකර ගත් විට ලෞකික පවුල න්‍යායික විවේචනයට සහ විප්ලවීය ව්‍යවහාරයට භාජනය කළ යුතුය.

5

වියුක්ති චින්තනයෙන් සෑහීමට පත් නොවන පොයර්බාහ් ඉන්ද්‍රීය බද්ධ උපනිද්ධ්‍යානයට ආයාචනය කරයි. එහෙත් ඔහු ඉන්ද්‍රීය බද්ධතාවය ව්‍යවහාරික මිනිස් ඉන්ද්‍රීය බද්ධ ක්‍රියාකාරීත්වය ලෙස තේරුම් නොගනී.

6

       ආගමික හරය මානුෂික හරය දක්වා පොයර්බාහ් විසඳාලයි. එහෙත් මානුෂික හරය එක් එක් පුද්ගලයෙකුට ආවේණික වියුක්තියක් නොවේ. එහි සද්භාවය අනුව එය සාමාජයික සබඳතාවයන්ගේ සමස්ථය වන්නේය.

       මේ වාස්තවික හරය අරබයා විවේචනයක් ඉදිරිපත් නොකරන පොයාර්බාහ්ට පහත සඳහන් දේ පිලිගැනීමට සිදුවී ඇත.

  1. ඓතිහාසික ක්‍රියාදාමයෙන් වෙන් කර ගෙන ආගමික හැඟීම් ඒකක ලෙස ගණන් ගැනීම සහ වියුක්තක – හුදකලා- මිනිස් පුද්ගලයෙකු පූර්ව කාල්පනික කිරීම.
  2. එබැවින් ඔහු ඉදිරිපත් කරන මිනිස් හරය ගණන් ගත හැක්කේ “ජාන ප්‍රවේණි” හැටියටත්, බොහෝ පුද්ගලයන් ස්වාභාවික ලෙස එක්සත් කර ලන හුදු අභ්‍යන්තරික, ගොළු පොදුතාවක් හැටියටත් පමණකි.

7

ඒ නිසා ආගමික හැඟීම සමාජයික නිෂ්පාදනයක් බවත්, තමා විසින් විශ්ලේෂණයට භාජනය කරනු ලබන පුද්ගලයා වාස්තවික ලෙස සමාජයේ නියමිත රූපකායට අයත් බවත් පොයර්බාහ් නොදකී.

8

සමාජයික ජීවිතය මූලික වශයෙන් ව්‍යවහාරික ය. න්‍යාය ගුඨවාදයට යොමුකරන සියළු අභිරහස් සිය යුක්ති යුක්ත පිළියම මිනිස් ව්‍යවහාරය තුළත්, මෙම ව්‍යවහාරයේ අවබෝධය තුළත් සොයා ගනී.

9

උපනිද්ධ්‍යානික භෞතිකවාදට, එනම් ඉන්ද්‍රීය බද්ධතාවය ව්‍යවහාරික ක්‍රියාකරීත්වයක් ලෙස වටහා නොගන්නා භෞතිකවාදයට ලැබිය හැකි උසස්තම ජයග්‍රහනය නම් “ප්‍රජා සමාජයේ” තනි පුද්ගලයන්ගේ උපනිද්ධ්‍යානය පමණකි.

10

පැරණි භෞතිකවාදයේ ස්ථාවරය වූ කලී “ප්‍රජා සමාජය” වන්නේ ය; නව භෞතිකවාදයේ ස්ථාවරය වූ කලී මිනිස් සමාජය හෙවත් සමාජික මිනිස් සංහතිය වන්නේ ය. .

11

දාර්ශනිකයෝ ලෝකය විවිධාකාර ලෙස විවරණය කළහ; එහෙත්, කෙසේ වුවද ප්‍රධාන කරුණ නම් ලෝකය වෙනස් කිරීමය.

කාල් මාක්ස් – 1845