පෙනුමේ හා හරයේ වෙනස

ලෝකය විවිධත්වයේ ඒකත්වයක් ලෙස
February 20, 2020
නියමුවා – 2020 ජනවාරි
February 24, 2020
Show all

පෙනුමේ හා හරයේ වෙනස

දැනුම සමාජය හා චින්තනය

11

       අප අවට ලෝකයත් මානව සමාජයත් නිවැරදිව වටහා ගැනීමේදී ඒ වෙත ප්‍රවේශ විය යුතු ආකාරය පිළිබඳව අපි කථා කරමින් සිටිමු. එහිදී තවත් එක් ආකාරයක් වන්නේ අඩංගුව සහ ආකාරය ලෙස ලෝකය තේරුම් ගැනීමය. අඩංගුව හා ආකාරය යනු එක වස්තුවක එකිනෙකට අන්තර් සම්බන්ධිත පාර්ශ්ව දෙකකි. එහෙත් මේ දෙක අතර සම්බන්ධයක් මෙන්ම ප්‍රතිවිරෝධයක්ද තිබේ. ඕනෑම භෞතික වස්තුවක් මෙන්ම සමාජයද සකස්ව ඇති ආකාරයක් තිබේ. එසේම එහි අඩංගුවක්ද තිබේ. ඒ නිසා ලෝකය තේරුම් ගැනීමේදී ආකාරය අනුව පමණක් නොව එහි වන අඩංගුව අනුවද තේරුම් ගත යුතුවේ.

      උදාහරණයක් ලෙස සමාජය දෙස බලමු. වත්මන් ධනපති ක්‍රමයේ ආකාරය කුමක්ද? එය බොහෝ විට පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු නැමති ආකාරයෙනි. විටෙක සමූහාණ්ඩුවකි. තවත් විටෙක ජනරජයකි. ලංකාවේදී ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස පෙනී සිටී. එහෙත් ධනවාදයේ අඩංගුව කුමක්ද? සූරාකෑම, පංති පාලනය, පංති පීඩනය ආදිය වේ. ධනවාදයේ අඩංගුව තුළ ඇත්තේ, ධනේශ්වර පංතියේ ආඥාදායකත්වයයි. එනම් ධනේශ්වර ප්‍රාග්ධනය හා ධනේශ්වර රාජ්‍යයයි. එහෙත් එහි ආකාරය විවිධය. ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී වුවද අඩංගුවේ ඇත්තේ පංති පාලනයකි. එසේම සමහර විට ලෝකයේ සමාජ ක්‍රම හඳුනා ගැනීමේදීද මේ දැක්ම අපිට ප්‍රයෝජනවත්ය.

සමාජවාදයද? ධනවාදයද?

       ලොව රටවල් සමාජවාදීද ධනවාදීද යන්න වටහා ගැනීමේදී එය එම රටේ සමාජ ආකාරය දෙස බලා තීරණය කළ නොහැක. ඒ සඳහා එහි අඩංගුව වටහා ගත යුතු වේ. කිසියම් රටක් සමාජවාදීද නැද්ද යන්න තීරණය කිරීමේදී එම රටේ දේපළවල අයිතියත්, දේපළ ආකාරයත් ඊටත් වඩා එහි රාජ්‍ය බලය දරන්නේ කුමන පංතියද යන්නත් වැදගත් වේ. 1970 දශකයේදී ලංකාව හඳුන්වනු ලැබූයේ සමාජවාදී රාජ්‍යයක් ලෙසය. එසේම එම කාලයේ ලොව බොහෝ රටවල් පෙනුමෙන් එනම් ආකාරයෙන් සමාජවාදී මෙන් විය. එහෙත් එය එසේ නොවීය. ඒවයේ අඩංගුවේ තිබුණේ ධනේශ්වර දේපළ සබඳතාය. ධනේශ්වර රාජ්‍ය බලයය. එසේම දැන් සමහරු චීනය ධනවාදයට ගොස් ඇතැයි කියති. ඒ, චීනයේ දේපළවල ආකාරය තුළ සමාගම් පවතින නිසාය. තනි තනි ධනපතියන් සිටින නිසාය. එහෙත් චීනයේ අඩංගුව තුළ තවම ඇත්තේ වැඩි වශයෙන් පොදු දේපළය. එහි රාජ්‍ය බලය දරන්නේ, ධනපති පංතිය නොව කොමියුනිස්ට් පක්‍ෂයය. චීනයේ අඩුපාඩු හා දුර්වලතා ඇතත් එය සමාජවාදීය. එය තේරුම් ගත හැක්කේ ආකාරය අනුව පමණක් නොව අඩංගුව අනුවද යමක් වටහා ගන්නා විටය.

      ඕනෑම දෙයක ප්‍රධාන වන්නේ අඩංගුවය. ආකාරය වෙනස් කිරීමෙන් කිසියම් දෙයක අඩංගුව වෙනස් කළ නොහැක. එහෙත් අඩංගුව වෙනස්කල විට ආකාරය වෙනස් වේ. මන්ද අදාල වස්තුව හෝ ප්‍රපංචය තම  අඩංගුවට අනුව ආකාරය සකස්කර ගන්නා නිසාය. විද්‍යාවේ උදාහරණයන්ගෙන් මෙය තේරරම්ගත හැක. ඔක්සිජන් වායුවකි.  ඕසෝන්ද වායුවකි. ඒ අනුව මේ වර්ග දෙකම එකම ආකාරයෙන් හෙවත් වායුමය ආකාරය ගනී. එහෙත් ඒවායේ අඩංගුව වෙනස්ය. ඔක්සිජන් වායුව යනු ඔක්සිජන් පරමාණු 2ක එකතුවක් වන අතර ඕසෝන්  යනු ඔක්සිජන් පරමාණු 3ක එකතුවකි.  ඕසෝන්  වායුවේ අඩංගුවේ ඇති ඔක්සිජන් පරමාණු එකක් ඉවත් කළහොත් එය එම වායුව නව අඩංගුවට අනුව ඔක්සිජන් බවට පත්වේ. මෙය අනෙක් අතටද සිදුවිය හැක.

හරය හා පෙනුම

       ප්‍රකෘතිය තේරුම් ගැනීමේ තවත් ආකාරයක් වන්නේ, හරය හා පෙනුම ලෙස එය තේරුම් ගැනීමය. මෙය අප කලින් කථා කළ අඩංගුව හා ආකාරයට සමාන වුවත් ඊට සර්වසම නොවේ. එහෙත්  අප ඉහත සඳහන් කළ උදාහරණය හරය හා පෙනුම සඳහාත් ගැලපේ.

       ඕනෑම වස්තුවකට, ක්‍රියාවලියකට, සිදුවීමකට පෙනුමක් තිබේ. අප පංචේන්ද්‍රියයන් මගින් වහාම හඳුනා ගන්නේ එම පෙනුමයි. එසේම ඊට හරයක්ද තිබේ. එය අපට වහාම හඳුනාගත නොහැක. ඒ හරය පෙනුම තුළ සැඟව පවතින නිසාත් බොහෝ විට හරය පෙනුමට වඩා ප්‍රතිවිරෝධීව තිබෙන නිසාත්ය. තාර්කික අධ්‍යයනයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසාය. ‘හරය හා පෙනුම සමපාත වන්නේ නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත’ යනුවෙන් වරක් එංගල්ස් පැවසූවේ මෙම ස්වභාවය ගැනය. ලෝකය තේරුම් ගැනීමේදී හැම විටකම පෙනුම සත්‍යය නොවේ.  සත්‍යය ඇත්තේ හරය තුළය. එබැවින් පෙනුම සත්‍ය ලෙස සිතා මුලා නොවී හරය වටහා ගත යුතුය.

පැතලි ලෝකය හා ලෝක ගෝලය

        පෘතුවිය මත අතීතයේ ජීවත් වූ මිනිසා විශ්වාස කරනු ලැබුයේ ලෝකය පැතලි වස්තුවක් බවය. ඒ මිනිසාගේ දෑස් පෙනුමේ සීමාව අනුව පෙනුමින් ලෝකය පැතලි ලෙස පෙනුන නිසාය. එහෙත් පසු කලෙක විද්‍යාවේ දියුණුව නිසා පෘථිවිය ගෝලාකාර බව සොයාගන්නා ලදී. එසේම ආදි කාලීන මිනිසා සිතුවේ සූර්යයා පෘථිවිය වටා ගමන් කරන බවකි. ඒ ‘පෙනුමට’ අනුව එසේ පෙනෙන නිසාය. සූර්ය කේන්ද්‍රවාදය පවා නිර්මාණය වූයේ මේ අනුවය. එහෙත් හරය අනුව ගත්කල සත්‍යය වන්නේ, පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමය. එපමණක් නොවේ අහසේ ඇති තරු දෙස බැලූවිට අපට පෙනෙන්නේ, ඒවා එකිනෙකට ළංව පිහිටා ඇති ලෙසය. විවිධ තරු රටා ‘රාශි’ ලෙස මිනිසා විසින් නම් කළේද මෙම ‘පෙනුම’ සත්‍ය සේ සලකාය. එහෙත් හරය ඊට වෙනස්ය. එකිනෙකට සමීප ලෙස අපට පෙනෙන තරු සැබෑ ලෙස පවතින්නේ ආලා්ක වර්ෂ දහස් ගණන් එකිනෙකට දුරස්ථවය. හරය හා පෙනුම වැදගත් වන්නේ මේ නිසාය. සමාජයක් වටහා ගැනීමේදී ආණ්ඩුවක් තේරුම් ගැනීමේදී පමණක් නොව තනි තනි මිනිසුන් වටහා ගැනීමේදීද පෙනුමෙන් අවසන් නිගමනයකට නොපැමිණ හරය අවබෝධකර ගැනීම අත්‍යාවශ්‍යය. අපට අධ්‍යයනය අවශ්‍ය වන්නේ ඒ සඳහාය. අපේ රටවල සුදුවතින් සැරසී සිටින අතේ පිරිත් නූල් බැඳ සිටින නිතර පන්සල් යන බොහෝ දේශපාලනඥයින් පෙනුමෙන් සිල්වත් ගුණවත් සේ පෙනුණද හරයෙන් ගත්කල අපරාධකරුවන්, සමාජ විරෝධී වැඩකරන්නන් බව පැහැදිලි වේ. පෙනුමින් අහිසංක ලෙස පෙනෙන, පෙනුමින් හොඳ ලෙස පෙනෙන හැම දෙනාම එසේ නොවන බවත් හරයෙන් ගත්කල එවැනි සමහර අය නපුරු දුෂ්ට මිනිසුන් බවත් අපි අත්දැකීමෙන් දකිමු. ඒ අප දැක ඇත්තේ මෙම සත්‍යයි. ඒ නිසා ලෝකයත් සමාජයත් මිනිසාත් නිවැරදිව වටහා ගැනීමේදී පෙනුම හරහා නොව හරයට අනුව තේරුම් ගැනීම අවශ්‍ය වේ. ජනතාව මෙම දැක්මට අනුව කටයුතු කරන්නේ නම් ධනපති කපටි පාලකයන්ට යළිත් නොරැවටෙනු ඇත.

හේතුව හා ඵලය

       ලෝකය තේරුම් ගැනීමේ තවත් වැදගත් ආකාරයක් වන්නේ, හේතුව හා ඵලය නිවැරදිව අවබෝධ කර ගැනීමය. ලොව පවතින සැම දෙයකටම, සිදුවන හැම සිදුවීමකටම එය එසේ වීමට පාදක වූ හේතුවක් හෝ හේතු සමුදායක් තිබේ. හේතුවකින් තොරව කිසිදු ඵලයක් බිහි නොවන අතර සෑම ඵලයකටම හේතුවක් හෝ හේතු කිහිපයක් තිබේ. මෙම හේතු නිවැරදිව වටහා ගැනීම වැදගත්වන අතර එසේ නොවූ විට අප වැරදි නිගමනවලට ගොස් රැවටීමට ලක්වේ.

      ඕනෑම ඵලයක හේතුව හෝ හේතු පවතින්නේ ඵලයට පෙරාතුවය. එහෙත් අනෙක් අතට ඵලයට පෙරාතුව පවතින හැම දේම එහි හේතුව නොවේ. එබැවින් හේතුව සොයාගත හැක්කේ අධ්‍යයනයකින් පසුව පමණි. අපට මෙය වැදගත් වන්නේ ඇයි? අප අවට සිදුවන හා පවතින හැම දේම හොඳ දේවල් නොවේ. නරක දේද සිදුවේ. නරක ඵලයක් වැළැක්වීමටත් හොඳ දේවල් ලබාගැනීමටත් අපට පහසුවන්නේ, ඊට අදාළ සැබෑ හේතු වටහා ගැනීම මගිනි. ඕනෑම ඵලයක සැබෑ හේතුව වටහා නොගත්විට අපගේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ නිවැරදි දැක්මක් අවබෝධයක් තුළ නොව වැරදි දැක්මක් තුළය. එවිට අපට ලැබෙන ප්‍රතිඵලයද අපට අවශ්‍ය ප්‍රතිඵලය නොවේ. උදාහරණ කිහිපයකින් මෙය තේරුම්ගත හැකිය.

අහසින් ගිය ඉබ්බා

      අහසින් ගිය ඉබ්බාගේ කතාව ළමා කාලයේ අප අසා ඇති ප්‍රසිද්ධ කතාවකි. එම කතාවට අනුව අපට උගන්වන්නේ ඉබ්බා වැටීමේ ‘හේතුව’ ‘කට’ බවය. එහෙත් මෙය සත්‍ය නොවේ. ඉබ්බා වැටීමේ සැබෑ හේතුව කට නොව ගුරුත්වාකර්ෂණයය. කට ඇරීම වැටීමට පෙර සිදුවූ ආසන්න සිදුවීම මිස හේතුව නොවේ. ඒ නිසා යමක හේතුව ලෙස ඒ සමඟ සිදුවූ ආසන්න සිදුවීම ගැනීම නිවැරදි නොවේ. ලෝකයේ අතීතයේ ලෝක යුද්ධ දෙකක් සිදුවිය. ධනවාදී උගැන්වීම් ලෝක යුද්ධවලට හේතු ලෙස කියා සිටියේ සරල සිදුවීම්ය. 1වැනි ලෝක යුද්ධයට හේතුව ලෙස කියා සිටියේ ඔස්ටි්‍රයාවේ ෆර්ඩිනැන්ඞ් කුමරා සර්බියානු ජාතිවාදියෙකු විසින් ඝාතනය කිරීම බවය.  එය එසේනම් ලෝක යුද්ධ ඇතිවීම වැළැක්වීම ලෙහෙසිය. කුමාරවරු ඝාතනය නොකර සිටි විට යුද්ධ ඇති නොවේ. එහෙත් එසේ නොවී දෙවන ලෝක යුද්ධයද ඇතිවිය. ඒ ඇයි? ලෝක යුද්ධවල සැබෑ හේතුව අධිරාජ්‍යවාදීන් අතර තරගය වේ. එම තරගය පවතින තාක්කල් ඕනෑම ආසන්න සිදුවීමක් මත යුද්ධ ඇතිවිය හැකිය. ලෝක යුද්ධ අවසන් කිරීමට නම් අධිරාජ්‍යවාදය පැරදවිය යුතුය.

       හේතුව හා ඵලය වටහා ගැනීම අපේ ජීවිතයටද වැදගත්ය. පවුල් තුළ ගැටුම්වලදී, සමාජය තුළ අපරාධවලදී, ඊට බලපෑ සැබෑ හේතු තේරුම් නොගතහොත් මිනිසුන් රැවටීමට ලක්වනු ඇත. පවුල් තුළ ගැටුම් යනු පුද්ගල වැරදි පමණක් හේතුකොටගෙන සිදුවන දේ ලෙස අපට පෙනුණද සැබෑ හේතුව ඇත්තේ ධනවාදයේ ඇති ප්‍රතිවිරෝධය තුළය. ධනවාදය තුළ වන ප්‍රතිවිරෝධය හා පීඩාව පවුල තුළද පවතින අතර එය වර්ධනය වී පුපුරා යාම ගැටුමක් ලෙස ප්‍රකාශයට පත්වේ.  මිනිසාගේ දුප්පත්කමට හේතුව, ලෙඩදුක්වලට හේතුව සෙවීමේදීද මිනිසුන් විශාල ලෙස වැරදි නිගමනවලට පැමිණේ. දුප්පත්කමට, ප්‍රශ්නවලට, ලෙඩදුක්වලට හේතුව පෙරකළ පාපකර්ම ලෙස, ග්‍රහපලපෑම් ලෙස, අනුන් කළ කොඩිවින ලෙස, නැතිනම් පුද්ගලයින්ගේ දුර්වලතා ලෙස දැක  ඊට පිළියම් සොයා යන අය ඒ තුළම විනාශයට පත්වේ. වත්මන් සමාජය තුළ අපේ දුප්පත්කමට හේතුව ධනවාදී සූරාකෑම හා පෞද්ගලිකව දේපළ ගොඩගැසීම වේ. ලෙඩදුක් කරදර එන්නේද  ඒ හරහාය.  එය වටහා නොගත්විට සිදුවන්නේ වංචාකාරයන්ට රැවටීම පමණි.

      අපේ රටේ නිතර ජාතිවාදී ගැටුම් ඇතිවේ. ඊට හේතුවක්ද ඉදිරිපත් වේ. බොහෝ විට එම ‘හේතුව’  මුස්ලිම් ජාතිකයන් ‘සිංහල’ ජාතිකයන්ට පහර දීම, වාහනයක හැප්පීම, ඝාතනය කිරීම විය හැක.  එවිට ජාතිවාදී ගිණි අවිලී යයි. කඩ සාප්පු ගිණි තැබේ. එහෙත් මෙම ජාතිවාදී ගැටුම් නැමති ඵලයේ සැබෑ හේතුව පහර දීමක්  හෝ ‘ඝාතනයන්’ නොවේ. මිනිසුන් නිතර එකිනෙකාට පහර දෙති. ඝාතනය කරති. වාහනවල හැප්පෙති. එහෙත් එසේ වන්නේ එකම ජාතියේ අය අතර නම් ජාතිවාදී ගැටුම් නැත. එබැවින් ජාතිවාදී ගැටුම් ඇතිවීමේ සැබෑ හේතුව ජනතාව තුළ ප්‍රතිගාමී බලවේග විසින් ජාතිවාදය පැතිරවීමත් සමාජය තුළ පවත්නා පොදු පීඩනයත්ය. ආසන්න සිදුවීම් මගින් කෙරෙන්නේ  මෙම පීඩනය හා ජාතිවාදී වෛරයන්  පුපුරා යාමට අවස්ථාව සලසා දීමය.

      මේ නිසා ඕනෑම ඵලයකට බලපෑ සැබෑ හේතුව සොයා ගැනිීම ලෝකය නිවැරදිව තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය වේ.

Next : –  අනිවාර්යය හා අහම්බය