ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අරගලය

painting 22
March 13, 2017
ස්වෛරීත්වය විකිණීමට තිබේ!
April 27, 2017
Show all

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අරගලය

ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පොදුවේ සලකනු ලබන්නේ ජනතාවට දේශපාලන බලය හිමි, බහුතරයේ කැමැත්තට අනුව කටයුතු සිදු කෙරෙන ක්‍රමයකට ය. එය බොහෝ විට ආඥාදායකත්වයට නැතහොත් ඒකාධිපතිත්වයට ප්‍රතිවිරුද්ධ භාවිතාව ලෙස ද ආඥාදායකත්වයේ අනෙකා ලෙස ද සලකනු ලැබේ.
එහෙත් ඇත්ත වශයෙන් ම ගත් කළ එය එසේ නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ, විශේෂයෙන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය ලෙස සලකන්නා වූ ග්‍රීසියේ වුවද එවැනි භාවිතයක් නො තිබුණි. උදාහරණයක් ලෙස ග්‍රීසියේ ඇතන්ස්වල සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක‍්‍රියාත්මකව වෙද්දී ස්ත්‍රීන්ට හෝ වහලුන්ට ඡන්ද බලය නො තිබුණි. එවිට එය බහුතරයේ පාලනයක් වූයේ නැත.
ප්‍රජාතන්ත්‍රවාදය පංති සංකල්පයක් ලෙස
ප්‍රජාතන්ත්‍රවාදය යනු පංති සංකල්පයකි. අපංතික හෝ සමාජයේ සියලු දෙනාට ම සාධාරණය ඉටු කරන ප්‍රජාතන්ත්‍රවාදයක් කිසි කාලයක පැවතියේ නැත. ඇති වන්නේ ද නැත. ප්‍රජාතන්ත්‍රවාදය එක්කෝ වහල් හිමි, වැඩ වසම්, ධනේශ්වර හෝ නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදයකි. අද අප අත්විඳිමින් සිටින්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයයි. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ පංති ස්වභාවය පිළිබඳ ලෙනින් මෙසේ පැවසීය.
”නවීන රාජ්‍යවල මූලික නීති ගනිමු. ඒවායේ පරිපාලනය,
රැස්වීමේ නිදහස, පුවත්පත් නිදහස, නැතහොත් නීතිය හමුවේ සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවය ගනිමු. එවිට ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ වංචාව ඔබට පියවරක් පියවරක් පාසා දැක ගත හැකි වනු ඇත. සෑම අවංක පංති විඥානය ඇති කම්කරුවෙකු ම ඒ ගැන මනාව දන්නේ ය. මහජන සාමය කඩ කළ විට එනම් පීඩිත පංතිය ඇත්තෙන්ම එහි වහල් තත්වය කඩ කර වහල් නොවන තත්වයකින් හැසිරෙන්නට උත්සාහ කරන විටෙක කම්කරුවන්ට විරුද්ධව යුද්ධ හමුදා යැවීමේ යුද්ධ නීතිය පැනවීමේ එවැනි වෙනත් පියවර ගැනීමේ හැකියාව ධනපති පංතියට සහතික කර දෙන ඉඩකඩ නැතහොත් විශේෂ ප්‍රතිපාදන නො සලසන ව්‍යවස්ථාවක් ඇති එකම රාජ්‍යයක් වත් නැත. රාජ්‍යයක් කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වුවත් මෙය වෙනස් නොවේ.”
ලෙනින් තෝරා ගත් කෘති – වෙළුම 9 පිටුව 25
එසේ වුවද නිර්ධන පංතියත් නිර්ධන පංති පක්‍ෂයත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියි. ඒ වෙනුවෙන් අරගල කරයි. ජනතා අරගලය ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලය සමඟ බද්ධ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය හා නිර්ධන පංතිය
සීමා කරන ලද තත්වයක් යටතේ වුවද සිවිල් හා දේශපාලන නිදහස ඇති කරනු ලැබූයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය විසිනි. සිවිල් නිදහස යනු පවුලේ කටයුතු ද පෞද්ගලික කටයුතු ද දේපළ සම්බන්ධයෙන් වූ කටයුතු ද පිළිබඳ නිදහසයි. දේශපාලන නිදහස යනු අවසර ලබාගැනීමේ අවශ්‍යතාවයකින් තොරව පාර්ලිමේන්තුව ආදී පාලන ආයතන සඳහා ජනතාවගේ නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේත් සියලු රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් විවිධ මාදිලියේ රැස්වීම් පැවැත්වීමේත් සංවිධානය වීමෙන් ඔවුන් කැමති පොත් හා පත්‍ර පළ කිරීමේත් අයිතිය ජනතාවට තිබීම ය.
වැඩ වසම් ක්‍රමයෙන් ධනේශ්වර ක‍්‍රමය බිහි වන එහි උත්පාත අවධියේ දී නො වැළැක්විය හැකි ලෙසට ම ධනපති පංතියට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමටත් එය ස්ථාපිත කිරීමටත් සිදු විය. පසුකාලීන ව ධනේශ්වර ක‍්‍රමය උත්තරාරෝපණය කරද්දී වුවද ශ්‍රමය සූරාකෑම සඳහා අවශ්‍යතාක් දුරට හෝ ධනපති පංතියට සිවිල් හා දේශපාලන නිදහස ලබා දීමට, අවම වශයෙන් සිවිල් හා දේශපාලන නිදහස තිබිය යුතු යැයි පිළි ගැනීමට සිදු විය.
ධනේශ්වර ක්‍රමයට එරෙහිව සමාජවාදය සඳහා වන අරගලයේ දී නිර්ධන පංතියට භාවිතා කළ හැකි එක් වැදගත් අවියකි ප්‍රජාතන්ත්‍රවාදය. කෙතරම් කප්පාදු කරන ලැබුව ද සීමා කරනු ලැබුව ද නිර්ධන පංතියට ප්‍රජාතන්ත්‍රවාදය ආකාර කිහිපයකින් ම වැදගත් වේ.
සමාජවාදය උදෙසා සිය අරගලයේ දී නිර්ධන පංතික පක්‍ෂයට නිර්ධන පංති මතවාදය තහවුරු කිරීම සඳහා දැවැන්ත මතවාදී අරගලයක් කිරීමට සිදු වේ. නිර්ධන පංතියට ස්වකීය අභ්‍යාසයෙන් ම පමණක් ළඟා කර ගත හැක්කේ වෘත්තීය සමිති මතවාදය පමණි. එනම් තම හාම්පුත්තුන්ට එරෙහිව සටන් කිරීමෙන් වැඩි වැටුප් හා ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට හාම්පුතුන්ට බල කිරීම සඳහා තමන් වෘත්තීය සමිති තුළ එක්සත් විය යුතු බව අවබෝධ කර ගැනීම පමණි. එතැනින් නො නැවතී සූරාකෑම අහෝසි කිරීම සඳහා ධනපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවත් සමාජවාදය ගොඩනැගිය යුතු බවත් ඊට නායකත්වය දිය යුත්තේ නිර්ධන පංතිය බවත් නිර්ධන පංතියට ඒත්තු ගැන්විය යුතු ය. එය පහසු කටයුත්තක් නොවේ. නිර්ධන පංති මතවාදය තහවුරු කිරීමට සිදු වන්නේ මේ මොහොතේ අධිපති මතවාදය වූ ධනේශ්වර මතවාදයට එරෙහිව ය. නිර්ධන පංති මතවාදයට වඩා බොහෝ කලින් ආරම්භ වී තිබීමත් වඩා හොඳින් සංවර්ධනය වී තිබීමත් ධනේශ්වර මතවාදය පැතිරවීම සඳහා මෙතෙකැයි කිව නොහැකි තරම් විශාල මාධ්‍යයන් සමූහයක් එය සතුව තිබීමත් නිසා දේශපාලන පොර පිටියේ දී ධනේශ්වර මතවාදය අනභිභවනීය ස්ථානයක් හිමි කර ගෙන සිටී. එය පරාජය කරමින් නිර්ධන පංති මතවාදය තහවුරු කිරීම සඳහා දීර්ඝ කාලීන වූත් ක්‍රමානුකූල වූත් මතවාදී අරගලයක් කිරීමට නිර්ධන පංතියට සිදුවේ. ඒ සඳහා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති ඉතාම සීමිත ඉඩකඩ වුවද අත් නො හැර යොදා ගැනීමට නිර්ධන පංතියට සිදුවේ.
එසේම නිර්ධන පංතිය පක්‍ෂයක් ලෙස ස්වාධීනව සංවිධානය කිරීමේ කාර්යයේ දී ද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වේ. නිර්ධන පංතිය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුළට සංවිධානය කිරීමේ දී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය විසින් විවිධ සීමා කිරීම් මැද්දේ වුවද දෙනු ලබන නීත්‍යනුකූල ඉඩකඩ නිර්ධන පංතියට භාවිත කිරීමට සිදු වේ. රැස්වීම් පවත්වමින් ජනතාව අතරට යාමටත් මැතිවරණවලට ඉදිරිපත් වෙමින් සංවිධාන ගොඩනගමින් සමාජවාදය වෙනුවෙන් බලවේග සංවිධානය කිරීමටත් එකී ඉඩකඩ ප්‍රයෝජනයට ගත යුතු වේ.
ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය විසින් ප්‍රසිද්ධියේ පිළිගනු ලබන සහ ඇතැම් සීමාවන් තුළ භාවිත කිරීමට ඉඩ ලබා දී ඇති පෙත්සම් ඉදිරිපත් කිරීමේ, සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමේ, විරෝධතා දැක්වීමේ, වැඩවර්ජනය කිරීමේ නිදහස නිර්ධන පංතිය පංති සටන් ක්‍රියාවලිය හුරු කර ලීමටත් එකී ක්‍රියාවලිය තුළ විප්ලවවාදී පන්නරය ලබා දීමටත් යොදා ගැනීමට සිදුවේ. හුදු මතවාදී අරගලය තුළ පමණක් නො රැඳී නිර්ධන පංතියට පංති සටන් ක්‍රියාවලිය තුළ ඉගෙනීමටත් අත්දැකීම් ලැබීමටත් උපාය උපක්‍රම තේරීමටත් සමාජවාදී විප්ලවය සඳහා වන අරගලයේ නායකයන් බිහි කර ගැනීමටත් නායකත්වය තහවුරු කර ගැනීමටත් ඉඩකඩ ලැබෙනුයේ මෙකී සටන් ක්‍රියාමාර්ග තුළයි.
එතැනින් නො නැවතී නිර්ධන පංතිය සමාජ විප්ලවය සාක්ෂාත් කර ගැනීම සඳහා සියලූම ජනතාවගේ ස්ථරයන් ගෙන් සාතිශය බහුතරයක් තමන් වෙත දිනා ගත යුතු වේ. සමාජවාදී විප්ලවය වෙත තහවුරු කර ගත යුතු වේ. ඒ සඳහා සමාජයේ සියලු බලවේගයන් වෙත ළඟා වීමටත් ඔවුන් අතර තම මතවාදය පැතිරීමටත් ඔවුන් නිර්ධන පංතික මතවාදය වෙත දිනා ගැනීමටත් ඔවුන් සංවිධානය කිරීමටත් අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කර ගැනීමට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය විසින් ලබා දෙන අවස්ථා පාවිච්චි කර ගත යුතු වේ.

භාවිතාවේ දී වරද්දා ගැනීම
විප්ලවවාදී භාවිතය මෙතරම් සරල නැත. එය සංකීර්ණය. එහෙත් ගතිකය. ජීවමාන ය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අරගලය අප දයලෙක්තිකව තේරුම් නොගන්නේ නම් දේශපාලන භාවිතයේ දී අප එක් හෝ වෙනත් අන්තයකට තල්ලු වී යා හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලය ප්‍රතික්ෂේප කිරීම එහි එක් අන්තයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලය ප්‍රතික්ෂේප කිරීමයි.
ධනපති පංතිය ප්‍රගතිශීලී කර්තව්‍යයන් ඉටු කළ යුගයේ දී එනම්, ධනපති ක්‍රමයේ උත්පාත අවධියේ දී පවා නිරපේක්ෂ ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී නොසිටියේය. 1649දී එංගලන්තයේත් 1793දී ප්‍රංශයේත් රාජාණ්ඩුවාදීන් නැවත බලය අත්පත් කර ගැනීම සඳහා ගත් උත්සාහයේ දී රාජාණ්ඩුවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට ඔවුන් පැකිලූනේ නැත. එසේ නම් ධනපති ක‍්‍රමය සිය ප්‍රගතිශීලී කර්තව්‍යයන් අවසන් කර දමා ඉතිහාසයේ ප්‍රතිගාමී භූමිකාව රඟ දක්වන මොහොතේ විශේෂයෙන් ධනපති ක‍්‍රමය පෙරළා දමා නිර්ධන පංතික පාලනයක් පිහිටුවීම වෙනුවෙන් කරන ජනතා අරගලයේ දී ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු විය හැකි ද?
අනෙත් අතට ජනතා අරගලය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයේ දී ඒ තුළ ඇති දයලෙක්තිකය වටහා නො ගන්නා අයෙකු එක් වරම, සත්‍ය කරුණු මත පදනම්ව වැරදි නිගමනවලට එළඹිය හැකිය. විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදීන්, සමහර අරාජිකවාදීන්, ජනතාව පංති බලවේගයක් ලෙස සංවිධානය කිරීමේ සූදානමක් හා අත්දැකීමක් නොමැති පොතේගුරුවාදී වාමාංශිකයන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය, ධනේශ්වර මැතිවරණ ගැන ”රැඩිකල්” ප්‍රකාශ ලෙස පෙනෙන නමුත් ඉතාමත් වැරදි නිගමන සහ අදහස් ගණනාවක් ඉදිරිපත් කරයි. එනම්, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයම යනු බොරුවකි. එය විසින් නීතිය ඉදිරියේ සමානාත්මතාවත් භාෂණයේ, ප්‍රකාශනය හා සංවිධානය වීමේ නිදහසවත් සැබෑ අර්ථයෙන් ලබා නො දෙයි. නාමික සර්ව ජන ඡන්ද බලය තිබුණ ද මැතිවරණ පැවැත්වුව ද ඒවායින් නිවැරදි ජනමතය ප්‍රකාශයට පත්වීමට ඉඩක් නොවේ. අවසානයේ ජය ලබන්නේ ධනපති පාලකයින් ය. ධනේශ්වර මැතිවරණ යනු ධනපති ක‍්‍රමය පවත්වා ගෙන යාමේ, ධනපති පාලනය දික් ගැස්සීමේ තවත් එක් ක්‍රමයක් පමණි.
එබැවින් කළ යුත්තේ, ධනපති පාලකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීම නොවේ. ඉන් සිදු වන්නේ, ධනපති පංතියේ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙනු ඇතැයි විශ්වාස කිරීමට ජනතාව පෙළඹවීම ය. මැතිවරණවලට ඉදිරිපත් වීමෙන් සිදු වන්නේ මැතිවරණ සාධාරණ යැයි ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීම ය යන්න එක් මතයකි.
අනෙක් කරුණ වන්නේ ජනතා අරගලයට වැඩි වාසිදායක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වන තරමට ය. එවිට පවත්නා පාලනය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටෙන අතර ඒ තරමට ම ජනතාව ජනතා අරගලය වෙත කැඳවිය හැකි වේ, යනුවෙනි. මෙම වැරදි, පැරණි අදහස් නැවත නැවත පුනරුච්චාරණය කරන නූතන ”වම්මුන්” ඉඳහිට අද ද දක්නට ලැබේ.
ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වූ අරගලය ප්‍රතික්ෂේප කිරීමත්, දිනා ගනු ලබන්නා වූ ඉතාම සීමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩ වුවද ජනතා අරගලය වෙනුවෙන් යොදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලය ජනතා අරගලය සමග ඒකාබද්ධ කළ යුතු බව නො පිළිගැනීමත්, ඒ මගින් ඒකාධිපතිත්වයට ප්‍රාර්ථනා කිරීමත්, සමාජවාදී විප්ලවයේ අර්ථයෙන් ගත් කළ මුග්ධ කමකි. ලෙනින් ඒ පිළිබඳව මෙසේ පවසා ඇත.
‘‘නිර්ධන පංතිය සත්තකින්ම වෙනස් අරමුණු ඉටු කර ගනු සඳහා ධනේශ්වර පංතිය විසින් ම පාවිච්චි කරන එම ආයුධ අරගලයේ දී භාවිත කළ යුතු ය, යන්න ප්‍රතික්ෂේප කිරීමට ඔබට නුපුළුවන. එයට අභියෝග කිරීමට ඔබට අවශ්‍ය වේ නම් ලෝකයේ සියලූම විප්ලවීය සිදුවීම්වල අත්දැකීම් ඔබ විසින් පිස දා හැරිය යුතු ය.’’
(ලෙනින් – පාර්ලිමේන්තු වාදය ගැන කථාව, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවැනි සැසි වාරයේ දී – 1920 අගෝස්තු 02)

උපුටා ගැනීම – අප මරා දැමුව ද අප නැගූ හ`ඩ සදා නොමියෙනු ඇත – රෝහණ විජේවීර

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අපගේ ප්‍රවේශය සකස් විය යුත්තේ ඒ අනුව ය. ධනපති පංතිය විසින් සීමා කරනු ලදුව කප්පාදු කරනු ලදුව හෝ ලබා දෙනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙවලම්, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ද සමාජවාදී විප්ලවය වෙනුවෙන් භාවිතා නොකිරීම මුග්ධ ක්‍රියාවකි.
ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ලෙස ධනපති පාලකයන්ට බල කළ යුතු ය. එවිට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට ධනේශ්වර ක්‍රමයට ඇති නොහැකියාව ජනතාවට ඒත්තු යනවා මිස ධනපති පංතිය කෙරෙහි විශ්වාසය තහවුරු වීමක් සිදු වන්නේ නැත. ඒ අතරම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට නම් සමාජවාදය ගොඩනැගිය යුතු බව ජනතාවට තහවුරු කළ යුතු ය. දිනා ගනු ලබන සුළු හෝ ජයග්‍රහණයක් ධනපති සූරාකෑම වැඩි වැඩියෙන් හෙළිදරව් කිරීමත් ජනතාව හා පංතිය දැනුවත් කිරීමටත් සංවිධානය කිරීමටත් යොදා ගත යුතු වන්නේ ය. අනෙක් අතට ඉතා කුඩා හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් අහිමි කිරීමට උත්සාහ කරන්නේ නම් හෝ අහිමි කරනු ලබන්නේ නම් ඊට එරෙහිව වඩාත් වැඩි විරෝධයක් දැක්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් පංතියත් ජනතාවත් සටන් ක්‍රියා මාර්ගවලට කැඳවීමත් කළ යුතු වේ. එසේ නො කොට ඒකාධිපතිත්වයට ප්‍රාර්ථනා කිරීම සමාව නො දිය හැකි වරදකි.
එසේම ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය උදෙසා වූ අරගලයට වාසිදායක ලෙස යොදා ගැනීමට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වන අපගේ විවේචනය බාධාවක් කර ගත යුතු නැත. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොරුව නිර්දය ලෙසින් අප හෙළිදරව් කළ යුතු අතරම ඉතා කුඩා හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් වුව අත් නො හැර සමාජවාදය සඳහා වූ අරගලයේ මෙවලමක් ලෙස භාවිත කළ යුතු වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ සරණ යාම
ජනතා අරගලය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයේ දී අයෙක් යොමු විය හැකි අනෙක් අන්තය වන්නේ, ජනතා අරගලය හුදු ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලය දක්වා පටු කිරීම ය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත හැකි ඉහළම නිදහස ලෙස සලකමින් අරගලය ඊට සීමා කිරීම ය. එය භාවිතයේ දී විප්ලවය අත්හැර දැමීමකි.
මෙකී අන්තයට වැටෙන්නෝ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ‘පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය’ ලෙස අර්ථ දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදය යනු පංති සංකල්පයක් ය යන්න අමතක කර දමති. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවයෙන් ම කප්පාදු කළ, සීමා කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයකි.
”මධ්‍යතන වාදය සමග සංසන්දනය කරන කළ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයෙන් මහා ඓතිහාසික ඉදිරි ගමනක් සලකුණු වන නමුත් එය කවදත් සීමා කළ, කප්පාදු කළ ව්‍යාජ හා වංචනික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද ධනපතියන්ට පාරාදීසයක් හා සූරා කනු ලබන්නන්ට දුප්පතුන්ට උගුලක් හා රැවටිල්ලක් ද වූයේ ය. ධනපති ක‍්‍රමය යටතේ එය එසේම පැවතීම නො වැළැක්විය හැකිය.” – (ලෙනින් තෝරා ගත් කෘති – වෙළුම 9 පිටුව 23)

මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලයේ සටන් පාඨය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සීමාවන් ගෙන් ඔබ්බට යා යුතු ය. සමාජයේ සාතිශය බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය වන්නේ, නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදය බවත් ඒ සඳහා සමාජවාදය දිනා ගත යුතු බවත් ඒත්තු ගන්වමින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලයේ සීමාවන් ඒ දක්වා පුළුල් කිරීමට සමත් විය යුතු ය.
ධනේශ්වර ක‍්‍රමය යල පැන ගොස් ඇති එහි අවපාත අවධියේ දී ධනපති පංතියට කිසිදු සමාජ ප්‍රශ්නයකට විසඳුම් සැපයිය නොහැකිව අර්බුදයට යයි. සමාජ ප්‍රශ්න උග්‍ර වෙද්දී අනිවාරණීය ලෙස පැන නගින ජනතා අරගලයට මුහුණ දීමට නම් ධනපති පංතියට ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන්නේ ය. ඔවුන්ට තවදුරටත්, අඩු වශයෙන් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් හෝ පෙනී සිටීමට නොහැකි වන්නේ ය. එබැවින් මේ යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨය වෙනුවෙන් සැබෑ ලෙස ම පෙනී සිටිය හැකි වන්නේ නිර්ධන පංතියට පමණි. ඉන් අදහස් වෙන්නේ, ධනපති පංතිය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨය වුවමනාවෙන්ම අත්හරින බව නොවේ. කිසිදු පැකිළීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨය නිර්ධන පංතියට භාවිත කිරීමට ඉඩ හරින බව නොවේ. ඊට ප‍්‍රතිපක්‍ෂව ධනපති පංතිය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨය නිර්ධන පංතිය රිසි සේ භාවිත කිරීමට ඉඩ නො දෙයි. එය තම පංතිය අතින් ගිලිහී යාමට නොදී රැක ගැනීමට ඔවුහු හැකි සෑම දෙයක් ම සිදු කරති. එහෙත් ධනපති පංතියට මේ යුගයේ දී සැබෑ ලෙස ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වේ. ඒ වෙනුවෙන් ඔවුන්ට යා හැක්කේ ඉතාම කෙටි දුරක් පමණි.
එබැවින්, නිර්ධන පංතිය සවිඥානිකව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨය වෙනුවෙන් පුළුල් අර්ථයෙන් පෙනී සිටිය යුතු වේ. ඒ තාක් දුරට ධනපති පංතිය වෙතින් එම සටන් පාඨය තමන් වෙත දිනා ගත හැකි වේ.
ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලය මේ යුගයේ ජනතා අරගලයේ එක් ශාඛාවකි. අනු ඛණ්ඩයකි. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලය නිර්ධන පංතියේ නායකත්වයෙන් සිදු විය යුතු අතර සමාජවාදය උදෙසා වන පොදු ජනතා අරගලයේ එක් අවියෝජනීය කොටසක් බවට ද පත් කර ගත යුතු වන්නේ ය.
වෛද්‍ය එච්. පී. ධම්මික