ප්‍රකෘතිය වටහා ගැනීමේ මාවත්

දැනුම තුළ අසත්‍යය සමාජයට හානි කරන හැටි
February 20, 2020
ලෝකය විවිධත්වයේ ඒකත්වයක් ලෙස
February 20, 2020
Show all

ප්‍රකෘතිය වටහා ගැනීමේ මාවත්

දැනුම සමාජය හා චින්තනය

09

      මිනිසාගේ දැනුම තුළ විද්‍යාව වෙනුවට මිත්‍යාවත් සත්‍යය වෙනුවට අසත්‍යයත් පැවතීමේ හේතු මීට පෙර අපි සාකච්ඡා කළෙමු. ඒවා යළි පෙළගස්වන්නේ නම් අතීත සම්ප්‍රදායන් හා මිත්‍යාවන් මිනිසුන්ගේ චින්තනය තුළ පරපුරෙන් පරපුරට පැවත ඒම, ධනවාදී අධ්‍යාපනය ලෝක ජනගහනයෙන් විශාල පංගුවක්  අධ්‍යාපනයෙන් පිටමං කර අවිද්‍යා අන්ධකාරයේ ගිල්වා තැබීම, ලාභ වෙනුවෙන් ප්‍රාග්ධන හිමියන් අසත්‍යයන් හා මිත්‍යාවන් නැවත නැවත තහවුරු කිරීම, ලාභ ප්‍රයෝජන, වරප්‍රසාද වෙනුවෙන් ආගමික සංස්ථාවන් මිත්‍යා මත තුළම ජනතාව තබා ගැනීමට උත්සාහ කිරීම, පංති වුවමනාවන් සඳහා ධනේශ්වර රාජ්‍යය දැනුවත්වම මිත්‍යාවන් පවත්වාගෙන යාම මිත්‍යාව පැවතීමේ හේතු අතර ප්‍රධාන වේ.

         මෙහිදී ධනේශ්වර පංතිය ප්‍රතිවිරෝධයක සිටී. සිය නිෂ්පාදනයන්  සඳහා වැඩි වැඩියෙන් සූරාකෑම හා ලාභ ලැබීම සඳහා, ලෝකයේ රටවල් යටත්කර ගැනීම සඳහා, අවිවල ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඔවුනට විද්‍යාව හා තාක්‍ෂණය අවශ්‍යය. ඒ අරමුණින්  ඔවුහු විද්‍යාව හා තාක්‍ෂණය දියුණු කරති. ඒ අතරම ජනතාව තම පාලනය තුළ ප්‍රාග්ධනයේ වහලුන් ලෙස තබා ගැනීම සඳහා ඔවුනට මිත්‍යාවන්ද අවශ්‍ය වේ.  එබැවින් ධනේශ්වර පංතිය එක විටම විද්‍යාව මෙන්ම මිත්‍යාවද නිෂ්පාදනය කරමින් පවත්වාගෙන යයි.

සත්‍යය හා සමාජවාදය

        මේ අනුව මානව චින්තනය අවිද්‍යාවෙන් මුදවා ගත හැක්කේ, ධනවාදයත් ධනේශ්වර පංති වුවමනාවත් පැරදවූ සමාජයකදීය. එනම් සමාජවාදී සමාජයකදීය. මිත්‍යාව සමාජවාදය ගොඩනැගීමට බාධා කරන්නක් වන නිසා සමාජවාදය නිතරම සිටින්නේ අවිද්‍යාවට එරෙහිව විද්‍යාව පැත්තේය. අසත්‍යයට එරෙහිව සත්‍යයේ පැත්තේය. මාක්ස්වාදයේ කතුවරු සමාජවාදය නම් කළේද ‘විද්‍යාත්මක සමාජවාදය’ ලෙසය.

          සමාජවාදය යනු මානව අවශ්‍යතා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා අවශ්‍ය තරම් නිෂ්පාදනය කිරීමත් එකී නිෂ්පාදනයේ ප්‍රතිලාභ සමස්ත සමාජයටම සාධාරණ ලෙස බෙදී යාමත් අරමුණු කරගත් සමාජයකි. මානව අවශ්‍යතා අඩු නැතිව සැපිරිය හැකි නිෂ්පාදනයක් සඳහා සොබාදහම ජයග්‍රහණය කළ යුතුය. සොබාදහම මානව අවශ්‍යතා සඳහා යොදා ගැනීමේදී සොබාදහම ආරක්‍ෂා කරමින් එය කළ යුතුය. ඒ සඳහා සොබා දහමේ රහස් හෙවත් ප්‍රකෘතියේ සංවර්ධනයේ නියාම හඳුගත යුතුය. සොබාදහමත් මානව සමාජයත් ඒ තුළ වන සියලු මතවාදයනුත් එකට ගත්විට එය හඳුන්වන්නේ ප්‍රකෘතිය නමිනි. මානව සංහතියේ ප්‍රගමනය සඳහා, සමාජ සංවර්ධනය සඳහා මිනිසා ප්‍රකෘතිය සමඟ කරන ගනුදෙනුව වඩා නිවැරදි  හා ප්‍රතිඵලදායක එකක් වීමට නම් ප්‍රකෘතිය නිවැරදිව වටහා ගත යුතුය.

විද්‍යාව කළ මෙහෙය

           ලෝකය තුළ විද්‍යාව විසින් සිදුකර ඇත්තේ කුමක්ද?  ප්‍රකෘතියේ එක් එක් ක්‍ෂේත්‍රවල රහස් හෙවත් ඒ ඒ ක්‍ෂේත්‍රවල චලනයේ යාන්ත්‍රණය හා නියාම හෙළිකර ගැනීමය. සොබාදහම ජය ගැනීමට හැකිවුයේ ඒ නිසාය. භෞතික විද්‍යාව විසින් භෞතික වස්තූන්ගේ චලනය හැසිරීම හා එහි පොදු නියාම සොයාගත් අතර රසායන විද්‍යාව, ජීව විද්‍යාව ආදිය එම ක්‍ෂේත්‍රවල රහස් අනාවරණ කරන ලදී. සමාජ විද්‍යාවන් විසින් සමාජ සංවර්ධනයේ නියාම හෙළිකරන ලදී. ඒවා සොයා ගැනීමෙන් තොරව එම ක්‍ෂේත්‍රවල ගැටලු විසඳීමට මිනිසාට හැකි වන්නේ නැත. දැනුම යනු එයයි. උදාහරණයක් ලෙස නූතන මිනිසා ගුවන් ගමන් යයි. ඒ සඳහා වූ ගුවන් යානය නිපදවීමට ඔහුට හැකිවූයේ භෞතික වස්තූන් අතර පවත්නා ගුරුත්ව බලය සොයාගැනීමත් පෘතුවියේ ගුරුත්වාකර්ෂණය හෙළිකර ගැනීමත් යාන්ත්‍රික චලිතයේ එක් නියාමයක් වන සෑම ක්‍රියාවකටම ඊට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තිබේය යන්න සොයා ගැනීමත් නිසාය. භෞතික විද්‍යාවේ මෙම නියාම අයිසෙක් නිව්ටන් විසින් ඉදිරිපත් කළ අතර පසුව මෙය තවත් දියුණුකර අයින්ස්ටයින් විසින් ක්වොන්ටම් භෞතික විද්‍යාව සොයා ගන්නා ලදී. ඒවා යනු අපේ චින්තනය තුළ ප්‍රකෘතිය හා එහි නියාම නිවැරදිව පිළිබිඹු වීම විය. විද්‍යාව මෙම ක්‍රියාවලියේ ගමන් කරන්නේ සාපේක්‍ෂ සත්‍යයන් හෙළිකර ගනිමිනි. එම සාපේක්‍ෂ සත්‍යයන් නිරපේක්‍ෂ සත්‍යයන් බවට පත් වන්නේ දර්ශනයේදීය.

           භෞතික විද්‍යාවේත් රසායන විද්‍යාවේත් තාරකා විද්‍යාවේත් ක්‍රියාකාරිත්වය විසින් මේ වනවිට අප වෙසෙන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ අපේ සූර්යයා පිළිබඳ විශ්වය පිළිබඳ, විශ්වයේ බිහිවීම, තරුවල පිහිටීම හා ඒවා අතර දුර පිළිබඳ බොහෝ රහස් අනාවරණය කරගනු ලැබ තිබේ. එසේ තිබියදී මිනිස්සු මෙම දැනුම කිසිවක් නොතිබූ මීට වසර 3,000කට පමණ පෙර පෘථිවිය පැතලි වස්තුවක් සේ සලකා බිහිකළ ජ්‍යොතිෂයේ තවමත් එල්බ සිටිති. ජ්‍යොතිෂයේ මිත්‍යාව වෙනුවට තාරකා විද්‍යාව ජනතාව අතරට ගෙනයාමට නම් දැන් අවිද්‍යාවෙන් මුදල් ඉපයීම නතර කරන ග්‍රහලෝකවල බලපෑමට බියෙන් නොසිටින නව සමාජයක් නිර්මාණය විය යුතුය. සමාජවාදය අවශ්‍ය වන්නේ එයටය.  අවිද්‍යාව රජකරන, ජනතාව මිත්‍යාවේ හිරකර තබන ධනවාදී සමාජය වෙනස් කොට ජනතාව විද්‍යාව හා සත්‍යය වෙත රැගෙන යන නව සමාජයක් ගොඩනගා ගැනීමට නම් මානව සමාජයේ සංවර්ධනයේ නියාම හඳුනා ගත යුතුය.

එම කාර්යයේදී අපට විශ්වාසය තැබිය හැකි වන්නේ මාක්ස්වාදී චින්තනයටය. මාක්ස්වාදී දාර්ශනික මගපෙන්වීම් කෙරෙහිය.

ලෝකය තේරුම් ගැනීමේ පොදු ආකාර

          භෞතික වස්තූන්ගේ සංවර්ධනයට, ඒවායේ චලිතට වඩා මානව සමාජයේ සංවර්ධනය හා එහි චලිතය වඩාත් සංකීර්ණය. මිනිස් සමාජයක් යනු මිනිසුන් රැසක විවිධත්වයේ හා ඒකත්වයේ සංයුක්ත ක්‍රියාකාරිත්වයක ඵලයක් නිසා මානව සමාජයේ සංවර්ධනයේ නියාමයන් හඳුනා ගැනීම වඩාත් අසීරුය. එය විද්‍යාවන්ට වඩා සංකීර්ණය. භෞතික වස්තූන්ගේ චලිතයේ නියාම සොයා ගැනීමට භෞතික විද්‍යාව සමත් වුවත් එවැනි විද්‍යාවකින් සමාජ සංවර්ධනයේ නියාම හෙළිකළ නොහැක. ඊට විද්‍යාත්මක සත්‍යයන් මත පදනම් වූ දාර්ශනික පද්ධතියක් අවශ්‍ය වන්නේ ඒ නිසාය.

        මෙහිදී මෙතෙක් බිහිකරන ලද, හෙළිකරගන්නා ලද නිවැරදිම දාර්ශනික පද්ධතිය වන්නේ මාක්ස්වාදයයි. එය මනෝමූලික නිගමන මත බිහිවූවක් නොව විෂයමූලික සත්‍යයන් මත බිහිකරන ලද්දකි. සියලු විද්‍යාවන්ගෙන් පෝෂණය වී ඇති එය භාවිතයෙන්ද සත්‍ය බව ඔප්පු කරන ලද්දකි. මාක්ස්වාදී දර්ශනයේ මූලික සිද්ධාන්ත වන්නේ මොනවාද? ඒවා කෙටියෙන් ගතහොත් ලෝකය ද්‍රව්‍යමය එකක් බව පිළිගැනීම, ද්‍රව්‍ය චලිතයේ පවතින බව  හෙවත් ද්‍රව්‍ය වෙනස් වෙමින් පරිණාමයක පවතින බව පිළිගැනීම හා එමගින් මැවුම්වාදය ප්‍රතික්‍ෂේප කිරීම, ද්‍රව්‍යයේ චලිතය සිදුවන්නේ කාලයේ සහ අවකාශයේ බව හෙළිකිරීම හා ද්‍රව්‍ය චලිතයට හේතුවන ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හෙවත් දයලෙක්තිකය හෙළිකිරීම වේ. ඒ අනුව මාක්ස්වාදයේ දර්ශනය දයලෙක්තික භෞතිකවාදී දර්ශනයක් වේ.

දොරටු 6ක්

         මාක්ස්වාදී දර්ශනය ප්‍රකෘතිය තේරුම් ගැනීමේදී හා වටහා ගැනීමේදී එක් මාර්ගයක් නොව මාර්ග 06ක් හෙවත් ආකාර 06ක් ඉදිරිපත්කර තිබේ. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී ප්‍රකෘතියේ පවතින භෞතික වස්තූන්, සමාජමය වස්තූන්, විවිධ සිදුවීම්, ක්‍රියාකාරකම් තේරුම් ගැනීමේදී මිනිසුන් ඒවා වෙත පිවිසෙන්නේ තමන්ට හුරු එහෙත් අවිද්‍යාත්මක ක්‍රමවලටය. මිනිස්සු බොහෝ විට යමක් සිදුවූ විට එහි සැබෑ හේතුව වහාම හෙළිකර ගැනීමට අසමත් වෙති. තමන්ට විපතක් කරදරයක් වූ විට එය වෙනත් බලවේගයක බලපෑමෙන් සිදුවූවක් ලෙස හෝ ‘වෙලාව’, ‘කරුමය’ ආදී ලෙස සිතති. මිනිසුන් බොහෝ දේවල් මතුපිටින් පමණක් දකින අතර ඒවායේ හරය නොදකිති. ඒ නිසාම සැම වස්තුවකම හැම සිදුවීමකම පෙනුම එහි හරය ලෙස සිතා වැරදි නිගමනවලට එළඹෙති. අතීතයේ මිනිසුන් පෘථිවිය වටා සූර්යයා ගමන් කරනවා යයි සිතුවේ මෙම පෙනුම හා හරය පටලවා ගැනීම නිසාය. මේ පිළිබඳව වරක් එංගල්ස් පවසා තිබුණේ “හරය හා පෙනුම සමපාත වන්නේ නම් විද්‍යාවත් අවශ්‍ය නොවනු ඇත” කියාය.

        ප්‍රකෘතිය වටහා ගැනීමේදී සිදුවන මෙම වැරැද්ද නිවැරදි කර ප්‍රකෘතිය නිවැරදිව වටහා ගැනීමට නම් ඒ වෙත එක් ප්‍රවේශ මාර්ගයක් නොව, එක් කවුළුවකින් නොව ප්‍රවේශමාර්ග කිහිපයකින් කවුළු කිහිපයකින් ඒ වෙත ප්‍රවේශ විය යුතුය. ඒ දෙස බැලිය යුතුය. පංචේන්ද්‍රියයන් විසින් අපට ලබාදෙන ජීවමාන සංජානනයෙන් සෑහීමකට පත් නොවී තාර්කික ඥානය මගින්ද විමසා බැලිය යුතුය. පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ අවශ්‍ය වන්නේ ඒ සඳහාය. සංස්ලේෂණ-විශ්ලේෂණ අවශ්‍ය වන්නේද ඒ සඳහාය. නිවැරදි නිගමන වෙත ආ හැක්කේ ඒ මගිනි.

       මේ අනුව ප්‍රකෘතිය තේරුම් ගැනීම සඳහා අපගේ දැනුම තුළ, අපගේ චින්තනය තුළ සත්‍යය පිළිබිඹු වීම සඳහා අවශ්‍ය වන මාක්ස්වාදය විසින් ඉදිරිපත් කර ඇති පොදු ආකාර 06ක් තිබේ. එම ආකාර 06 පිළිබඳව මීළඟට විමසා බලමු.

Next – ලෝකය විවිධත්වයේ ඒකත්වයක් ලෙස