පරිසර අර්බුදය; කුණු මල්ලේ සිට ඕසෝන් වියන දක්වා…

සමාජවාදයට දොරගුළු හරින ප්‍රාග්ධන දැවැන්තයෝ
February 18, 2019
e-Books Collection
February 20, 2019
Show all

පරිසර අර්බුදය; කුණු මල්ලේ සිට ඕසෝන් වියන දක්වා…

“පළාතම ගඳ ගස්සන කුණු ගොඩ ඇතිවූ සැටිත්, ඉන්පසු ටිකෙන් ටික එය කුණු කන්දක් වූ සැටිත්, උදේ දුවද්දී කාලයක් තිස්සේ මා නිරීක්‍ෂණය කළ දෙයකි. මැසි මදුරු වලා යට වල් බල්ලන් කුණු ගොඩවල් අවුස්සන දර්ශන කාටත් හුරු පුරුදුය. අයාලේ යන ළමා ළපටින්, නන්නත්තාර මිනිසුන් හා ගැහැණුන්ද, පසුගිය අවුරුදු කීපයේදී මේ වල් බල්ලන් සමඟ එක්වී කන්නට දෙයක්, අඳින්නට ඇඳුමක් හෝ විකුණාගත හැකි යමක් වේදැයි සොයමින් කුණු ගොඩවල් අවුස්සන්නටද පටන් ගෙන තිබේ. පැල්පත් වැයික්කියට පමණක් මුලින් සීමා වූ මේ දර්ශනය, පසුව නගර සීමාවද ආක්‍රමණය කොට අන්තිමේදී මුළු නුවරම ගිල ගත්තේය.”

පෙරුවියානු ලේඛක මාරියෝ වර්ගාස් යේසා සිය ‘ඇලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ කථාව’ නම් නවකතාවේ ලීමා නුවර කුණු කඳු ගොඩ ගැසීමේ ජුගුප්සාජනක දර්ශනය විස්තර කර තිබුණේ එසේය.

කුණු කසළ ගොඩ ගැසීමේ අර්බුදය අද ලොව පුරාම විශාල පරිසර ගැටලුවක් බවට පත්වී තිබේ. නාගරීකරණයත් නගරවල ජනගහන තදබදයත් ධනේශ්වර වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයත් පාරිභෝජනවාදී ජීවන රටාවත් සැලසුමක් නැතිකම හා සමාජ වගකීම් පිළිබඳ මිනිසුන්ගේ අවබෝධයේ දුර්වලකමත් ‘කුණු’ අර්බුදයක් බවට පත්වීමට හේතු වී තිබේ. දිරාපත් වන කුණු කසළ වෙනුවට දිරාපත් නොවන කුණු කසළ එකතුවීමත් සමඟ මෙය තවත් බරපතළ වී තිබේ. පාරවල් අයිනේ මහමග තැනින් තැන නිර්මාණය වන කුඩා කුණු කඳුවල සිට ප්‍රධාන නගර ආශි‍්‍රතව නිර්මාණය වන විශාල කුණු කඳු දක්වා මේ කුණු අර්බුදය පැතිර තිබේ. බොහෝ තන්හි මග දෙපස “කුණු දැමීම තහනම්” යනුවෙන් සඳහන්වූ නිල දැන්වීම් පුවරු මෙන්ම “කුණු දැම්මොත් ගුටි”, “කුණු දැමීම බල්ලන්ට පමණි” වැනි නිල නොවන දැන්වීම් පුවරු කොතෙක් තිබුණද ඒවාද යට කර ගෙන දිනපතා කුණු කඳු ගොඩ ගැසෙමින් පරිසරයට හානි කරමින් තිබේ. මේ නිසාම පරිසර ගැටලුව යනු කුණු පිළිබඳ ගැටලුවක් යැයි සිතෙන තරමටම  මෙය බරපතළ වීද එසේම සරලවීද තිබේ.

 

පරිසර අර්බුදය යනු කුමක්ද?

එහෙත් පරිසර විනාශය හෝ පරිසර අර්බුදය යනු හුදු කුණු කසළ පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ඊට වඩා පුළුල් හා ගැඹුරු ගැටලුවකි. එය අල්ලපු වත්තට හෝ පාර අයිනට කුණු දැමීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, කුණු ගොඩගැසීමේ සිට භූගත හා ගංගා ඇළ දොළ ජල සම්පත දූෂ්‍යවීම, වාතය දූෂ්‍යවීම හා  ඕසෝන් ස්ථරය සිදුරුවීම දක්වා පුළුල් පරාසයක් තුළ පැතිරුණු ගැටලුවක්ව තිබේ. රතුපස්වල ජල ප්‍රශ්නය එවැනි එක් උදාහරණයකි. එබැවින් පරිසර ප්‍රශ්නය යනු තමන්ගේ නිවස ඉදිරිපිට කුණු ගොඩ ගැසීම වැනි සරල ප්‍රශ්නයකට එහා ගිය සංකීර්ණ ගැටලුවක් ලෙස අවබෝධ කරගත යුතු වේ. අපි තනි තනි පුද්ගලයන් ලෙස සිතන විට අපේ ‘නිවහන’ අප ජීවත්වන නිවස හා ගෙවත්ත වුවද අප මානව වර්ගයා ලෙස සිතන විට අපේ එනම් මානව වර්ගයාගේ නිවහන වන්නේ පෘථිවියයි. තනි තනි පුද්ගලයාට තම පෞද්ගලික නිවහන ජීවත්වීමට තරම් සුදුසු නැතිනම් ඒ වෙනුවට වෙනත් නිවහනක් තමා කැමති තැනකින් තනා ගැනීමට හෝ සොයා ගැනීමට හැකි වුවත් මානව වර්ගයා ලෙස අපට පෘථිවිය හැර වෙනත් නිවහනක් (වෙනත් ජීවත්විය හැකි ග‍්‍රහලෝකයක්) ළඟ පාතක නැත. එබැවින් මේ පෘථිවිය තුළම අප සැවොම ජීවත්විය යුතු අතර අනාගතයේ උපදින පරම්පරා සඳහාද පෘථිවිය ජීවත්වීමට සුදුසු තත්වයෙන් ඉතිරි කළ යුතුය; ආරක්‍ෂාකර දිය යුතුය. පරිසර ගැටලුව දෙස මිනිසා බැලිය යුත්තේ එම දෘෂ්ටි කෝණයෙනි. ඒ අනුව කෙටියෙන් ගත්විට පරිසර ගැටලුව යනු අප ජීවත්වන පෘථිවිය මිනිස් වාසයට සුදුසු නොවන තැනක් බවට පත්වෙමින් තිබීමේ ගැටලුව වේ. ඒ අනුව පරිසරය රැකීම යනු අපේ පෘථිවිය මිනිස් වාසයට සුදුසු තැනක් ලෙස පවත්වාගෙන යාමය.

 

පරිසරය යනු කුමක්ද?

පරිසර අර්බුදය වටහා ගැනීමේදී පරිසරය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය වේ. අප ජීවත් වන වටපිටාව නැතිනම් අප අවට පවතින සියලූ දේ පරිසරය ලෙස සරලව තේරුම් ගත හැක. අප ජීවත්වන්නේ පෘථිවිය නම් ග‍්‍රහලෝකයේය. එය ශිලා ගෝලයකින්, ජල ගෝලයකින්, හා වායු ගෝලයකින් සමන්විතය. එහි විවිධ වෘක්‍ෂලතා හා සත්ව වර්ගද සිටී. මේ සියල්ල එකට ගත්විට එය පරිසරය නම් වේ. එහිදී මිනිසාද පරිසරයෙන් පරිබාහිරව සත්වයෙක් නොව පරිසරයට අයත් පරිසරයේම කොටසකි. පරිසරය යනු මේ සියලූ විවිධත්වයන්ගේ ඒකත්වය වේ. මේ නිසා පරිසරය යනු වඩා පුළුල් අර්ථයකින් ගත්විට ප්‍රකෘතිය හෙවත් සොබාදහම ලෙසද හඳුනා ගැනීම වරදක් නොවේ. මිනිසාගේ පැවැත්මට ශාඛ හා සත්ව ගහනයද මේ සියල්ලේ පැවැත්මට වායුව, ජලය හා භූමියද, හිරු එළියද, අන්ධකාරයද යන මේ සියල්ල අවශ්‍ය වේ. ඒවා විනාශ වන්නේ නම් හා ඒවා එකිනෙක අතර ඇති පැවැත්මේ සබඳතා බිඳවැටෙන්නේ නම්  එවිට පරිසරය මිනිසුන්ට සතුන්ට ගහකොළට පැවතිය නොහැකි තැනක් වේ. එය අර්බුදයකි. පරිසර ගැටලුව යනු පුළුල් අර්ථයෙන් එයයි.

පරිසරය පිළිබඳව ප‍්‍රැන්ක්ලින් ඩී. රූස්ට්වෙල්ට් වරක් මෙසේ ප්‍රකාශ කර තිබුණි.

“තමන්ගේ පස විනාශ කරනා ජාතියක් තමාවම විනාශ කර ගන්නේය. වනාන්තර අපේ භූමියේ පෙනහලූය. ඒවා වාතය පිරිසිදුකර අපේ ජනතාවට නැවුම් ශක්තියක් ලබා දෙයි.”

රූස්ට්වෙල්ට් එසේ කීවද ඔහුද නායකත්වය දුන් ධනවාදය මේ වනවිටත් විශාල වශයෙන් පස විනාශකර තිබේ. ඒ විවිධ රසායනික ද්‍රව්‍ය යෙදීම, යුද්ධවල දී බෝම්බ හෙළීම, රසායනික අවි භාවිතා කිරීම, හා භූගත සම්පත් වෙනුවෙන් භූමියේ ස්වභාවික පිහිටීම හානිකර ලෙස විනාශ කිරීම මගින්ය. එසේම භූමියේ පෙනහලූ ලෙස ඔහුම සඳහන් කළ වනාන්තර වේගයෙන් විනාශ කරමින් සිටින්නේද ධනවාදයම ය. මේ වන විට මිනිසාද ඇතුළු සියලූ ජීවීන්ගේ (ශාක, සත්ව) පැවැත්මට අත්‍යාවශ්‍ය ජල සම්පත මහා පරිමාණයෙන් විනාශ වී තිබෙන අතර පානීය ජල ප්‍රශ්නය ඉතාමත් බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙන්නේ අනාගතයේදී පෙට්‍රෝලියම්වලටත් වඩා ජලය මිල අධික වීමේ අනතුර ද සහිතව ය. එසේම වායු ගෝලයද දූෂණය වී ඇති අතර ලොව සමහර ජනාකීර්ණ හා කාර්මික නගරවල මේ තත්වය ඉතාම බරපතළ ය.

 

පරිසරය වෙනස් වන ප්‍රපංචයක් ලෙස

පරිසරය කිසිදු වෙනස්වීමකින් තොරව හැම විටම ස්ථිරව හා ඝනීභූතව පැවතිය යුතු යයි හෝ එසේ පැවතියේ යයි වැරදි ලෙස වටහාගත යුතු නැත. විශ්වයේ පවත්නා සියලූම ප්‍රපංචයන් මෙන් පරිසරයද නිතිපතා වෙනස් වේ. එයද පරිණාමය වේ. එකී පරිණාමය හෙවත් වෙනස් වීම් මිනිසා බිහිවීමට පෙර සිදුවූයේ ස්වභාවික හේතු මතය. අද පවා එලෙස ස්වභාව ධර්මයේ රීතීන්ට අනුව පරිසරයේ වෙනස්කම් සිදුවේ. සූර්යයා ප්‍රමුඛ අපගේ සෞරග‍්‍රහ මණ්ඩලය බිහිවීම හා එහි එක් ග‍්‍රහලෝකයක් වූ පෘථිවිය මත ජීවය බිහිවීමේ ක්‍රියාවලිය වසර කෝටි ගණනක් තුළ සිදුවූ භෞතික හා රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. අපේ පෘථිවියේ ජීවය බිහිවී එහි පරිණාමයේ එක් අවස්ථාවක මිනිසා බිහිවීම දක්වා වූ ක්‍රියාවලිය විසින් පෙන්වා දෙන්නේ පරිසරය ක්‍රමික ලෙසත් ක්‍ෂණික පිමි ලෙසත් වෙනස්වී ඇති බවය. ඒ නිසා පරිසරයේ සිදුවන ස්වභාවික වෙනස්වීම් පරිසර දූෂණ ලෙස නොසැලකේ. මේ පිළිබඳ  ඕනෑතරම් විද්‍යාත්මක උදාහරණ තිබේ. ඉන් එක් උදාහරණයක් මෙසේය. ඉතාම ඈත අතීතයේ මිහිමත ජීවය බිහිවන විට එලෙස බිහිවූයේ ශාඛ වර්ග බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. ඒ වනවිට අවට පරිසරය හෙවත් වායු ගෝලයේ වැඩියෙන්ම තිබූ වායුව වූයේ කාබන් ඩයොක්සයිඞ්ය. එය ශාක ජීවවල පැවැත්මට උචිත වායුව විය. එහෙත් ශාඛ සිය පරිවෘත්තීය ක්‍රියාවලිය තුළ පරිසරයේ තිබූ කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කරගනිමින් පරිසරයට ඔක්සිජන් මුදාහල අතර කලක් යනවිට වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩිවිය. මෙයද පරිසරයේ වෙනස් වීමකි. එහෙත් එය ජීවයේ පැවැත්මට අහිතකර එකක් නොව හිතකර එකක් විය. එය සිදුවූයේ ද කිසිවකුගේ සවිඥානික ක්‍රියාවලියක් නිසා නොව ස්වභාවික ක්‍රියාවලියක් නිසාය. පසුව සත්ව ජීවීන් බිහිවීමේදී වායුගෝලය තුළ ඔක්සිජන් බහුලවී තිබීම අත්‍යාවශ්‍යද විය.

ලෝකයේ අද පවතින දේශගුණික තත්වයන්ද සදාකාලිකව පැවති ඒවා නොවේ. ඒවා විවධ ස්වභාවික හේතු නිසා විටින් විට වෙනස්වී ඇත. විද්‍යාඥයින්ට අනුව අතීතයේ කලෙක අප්‍රිකා මහාද්වීපය අද මෙන් වියලි කාලගුණයක් සහිත පෙදෙසක් ලෙස නොව තෙත් වනාන්තර පිහිටි කලාපයක් ලෙස තිබී පසුව වෙනස්වී ඇත. මේ හැම වෙනසක්ම මිහිමත ජීවයේ පැවැත්මට බරපතළ අභියෝගයක් වූයේ නැත. (විවිධ පරිසර වෙනස්වීම් හා කාලගුණ වෙනස්වීම්  නිසා සමහර ජීවීන්ගේ විනාශ වීම් හා ඊට ඔරොත්තු ජීවීන් බිහිවීම ද සිදුව තිබෙන බව අමතක කළ යුතු නැත.) කෙසේ වෙතත් මිනිසා බිහිවූ පසු මිනිසා මුළු මහත් සොබාදහමට යටත්ව ජීවත් වනවා වෙනුවට සවිඥානිකව සොබාදහම (පරිසරය) වෙනස් කිරීමට පටන් ගත්තේය. වර්තමානය වනවිට මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවිය මිනිසාට, ජීවයට පැවතිය නොහැකි තැනක් බවට පත් වෙමින් තිබීම පරිසර විනාශය ලෙස පිළිගත යුතුය.

 

පරිසරය හා නිෂ්පාදනය

ලොව සමහර පරිසරවේදීන් මිනිසාගෙන් වියුක්තව, පරිසරය ගැන පමණක් අවධානය යොමුකර පරිසරය ආරක්‍ෂා කිරීමට විවිධ යෝජනා කරනු පෙනේ. ඔවුන්ගේ පරිසර රැකීම මිනිස් අවශ්‍යතා නොසලකා කරන්නක් බව පෙනේ. ඊට අනුව පරිසරයට අතවත් තැබීමට මිනිසාට අයිතියක් නැත. මෙය නිවැරදි නැත. මිනිසාට අයිතියක් නැත්තේ පරිසරය සිය පැවැත්ම සඳහා සංවර්ධනාත්මකව යොදාගැනීමට නොව තම පැවැත්ම වෙනුවෙන් එය අනාගත පරපුරට නොතබා විනාශ කිරීමට ය. මේ පිළිබඳව එක් පරිසර හිතකාමියෙක් මෙසේ පවසා තිබේ. “බොහෝ දෙනක් මිය ගියාවූද, කීප දෙනෙක් ජීවත්වන්නා වූද, ගිනිය නොහැකි තරම් ප්‍රමාණයක් ඉපදීමට සිටින්නාවූ ද දැවැන්ත පවුලකට භූමිය අයත් යැයි මම අවබෝධ කරගෙන සිටිමි”. එම ප්‍රකාශයට අනුව මානව වර්ගයා දැවැන්ත පවුලකි. ඉන් බොහෝ දෙනෙක් මිය ගොස්ය. ඊට සාපේක්‍ෂව ජීවත්වන පිරිස සුළු පිරිසකි. එසේම අනාගතයේ ඉපදීමට සිටින ප්‍රමාණය ගිනිය නොහකි තරම් විශාලය. භූමිය හෙවත් පරිසරය මේ හැමටම අයත්ය. අනාගතයේ ඉපදීමට සිටින ගිණිය නොහැකි තරම් මිනිස්සුන්ට ද අයිති මෙම භූමිය (පරිසරය) මේ මොහොතේ ජීවත්වන ‘සුළු පිරිස’ විසින් අනාගතයට ඉතිරි නොකර සිය වුවමනා වෙනුවෙන් විනාශ කිරීම වැරදිය. එහෙත් එය විනාශ නොකර මානව අවශ්‍යතා සඳහා පරිහරණය කිරීම වැරදි නැත. පරිසරයේ පැවැත්ම ගැන නොසලකා මිනිස් අවශ්‍යතා ගැන පමණක් සිතන පරිභෝජනවාදීන් මෙන්ම මිනිස් අවශ්‍යතා ගැන නොසිතා පරිසරයේ පැවැත්ම ගැන පමණක් සිතන පරිසරවාදීන් යැයි කියාගන්නා අයද එකසේ ප්‍රතිගාමීය.

මිහිමත ජීවත්වන සතුන්ගෙන් නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් තම අවශ්‍යතා ඉටුකරගන්නා එකම සත්වයා මිනිසා පමණි. අනෙක් සතුන් සොබාදහමෙන් ලැබෙනදේ එලෙසම යොදාගනිමින් ජීවත් වෙද්දී මිනිසා පමණක් සොබාදහම (පරිසරය) සිය වුවමනා වෙනුවෙන් යොදා ගන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් මගිනි. නිෂ්පාදනයෙන් තොරව  මිනිසාට පැවැත්මක් නැති අතර පරිසරය (සොබාදහම) සමගවන අන්තර් ක්‍රියාකාරිත්වයක් නොමැතිව නිෂ්පාදනයක්ද නැත. එබැවින් නිෂ්පාදනයට වැට බඳින පරිසර හිතකාමිත්වය අවසානයේ ප්‍රතිගාමී වේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී මිනිසා හා පරිසරය අතර තිබෙන්නේ දයලෙක්තික සම්බන්දයකි. මිනිසා හා පරිසරය එකිනෙක මත රඳාපවතින අතර එකිනෙකා හා අන්තර් සම්බන්ධිතය. එසේම එම පාර්ශව දෙක අතර අන්තර් ක්‍රියාකාරිත්වයක්ද තිබේ. ඒ අනුව නිෂ්පාදනයේදී මිනිසා හා සොබාදහම අතර ගැටුමක් හෙවත් ප්‍රතිවිරෝධයක් පවත්නා අතර එය සතුරු නොවන ප්‍රතිවිරෝධයක් හෙවත් සතුරු නොවන ගැටුමක් විය යුතුය. පරිසරයද සංවර්ධනය කරමින් එය අනාගතයටද ඉතිරි කරමින් හා ආරක්‍ෂා කරමින් වර්තමාන මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකි වන්නේ එවිටය. එහෙත් ඒ වෙනුවට මෙම ගැටුම සතුරු එකක් වූ විට, මිනිසා අතින් පරිසරය විනාශවන අතර එහිම ප්‍රතිඵල ලෙස පරිසරයේ ප්‍රතික්‍රියා මගින් මිනිසා විනාශ වේ. අප ධනවාදය තුළ දකින අර්බුදය මෙයයි.

 

ලාභ ලැබීමේ තෘෂ්ණාව හා පරිසරය

මානව වංශ කථාවේ ඉතිහාසය දෙස බලනවිට මානව නිෂ්පාදනය ආරම්භයේ සිටම පරිසරයට හානිකර වී නැත. ආදිකාලීන යුගවල මිනිසා නිෂ්පාදනය කළේ පරිභෝජනය සඳහාය. එහිදී ඔහු හැම විටම සිය නිෂ්පාදනයට අවශ්‍යවන පරිසරය රැකීමටද බැඳී සිටියේය. ඒ වෙනුවෙන් විවිධ රීති හා සම්ප්‍රදායන් අනුගමනය කළේය. අතීතයේ දඩයමින් ජීවත් වූ මිනිසා වනාන්තරවලට හානි කළේ නැත. ඒ සතුන්ගේ පැවැත්මට වනාන්තර අවශ්‍යවූ නිසාය. එසේම කුඩා පැටවුන් හෝ පැටවුන් ලැබීමට සිටින ගැහැණු සතුන් මැරුවේ නැත. නිවාස තනාගැනීමට, ගෘහ භාණ්ඩවලට, දැව අවශ්‍යවූ විටද වනයට හානි නොකර තම අවශ්‍යතාවය  සඳහා වූ ගසක් තෝරා කපා ගැනීමට හේ පරෙස්සම් විය. කුඩා පැළවලට හානි නොකිරීමටද ප්‍රවේශම් විය. තමන් ජලය ලබාගන්නා දිය පහරවල හෝ දිය කඩිති අපවිත‍්‍ර නොකිරීමට ආදී කාලීන මිනිසා කටයුතු කළේය. මෙවැනි උදාහරණ බොහෝ තිබේ. එහෙත් ඉන් කියවෙන්නේ පරිසරයට කිසිදු බලපෑමක් නොවූ බව නොව හානිකර බලපෑම් සිදු නොවූ බවය.

මේ තත්වය වෙනස් වූයේ කෙසේද? මෙය හානිදායක ලෙස වෙනස් වූයේ ධනවාදයේ පැමිණීමත් සමඟය. එනම් පරිභෝජන භාණ්ඩ වෙනුවට ලාභ ලැබීමේ අරමුණින්  මහා පරිමාණයෙන් වෙළඳ භාණ්ඩ නිපදවීම ආරම්භ කිරීමත් සමඟය. ධනේශ්වර වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයේදී  මිනිසා හා පරිසරය  අතර තිබූ මිතුරු සබඳතාවය බිඳ වැටිණි. අනාගතයට  අයිති සම්පත් ද  වර්තමානයේදී පරිහරණය කරමින් තම ජීවිත කාලය තුළ උපරිම ලෙස ලාභ ලැබීමට ධනවාදී නිෂ්පාදනය කටයුතු කිරීමත් සමඟ පරිසර විනාශයේ ඛේදවාචකය ආරම්භ විය.  අප තවමත් අත්විඳිමින් සිටින්නේ එයය. ධනවාදය විසින් නිර්මාණය කරන ලද ‘මිනිසා’  දැනුවත්ව හෝ නොදැනුවත්ව ආත්මාර්ථකාමී ලෙස කරන සමහර ක්‍රියාවල හානිකර ප්‍රතිඵල ලැබෙන්නේ ඔහුට නොවේ. ඒවා දැකීමට තරම් කාලයක් ඔහු ජීවත් නොවේ. සමහර මිනිස් ක්‍රියාකාරකම්වල හානිකර ප්‍රතිඵල ලැබෙනුයේ අවුරුදු සිය දහස් ගණනකට පසුව විය හැක. ප්‍රමාණාත්මකව සිදුවන වෙනස්වීම් ගුණාත්මක පරිවර්තන ලෙස මෙම හානි සිදුවේ. භූගත ජලය හා ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය මතුපිට ජල සම්පත විනාශවීම හා විෂවීම, හුස්ම ගැනීමට නොහැකි මට්ටමට වාතය දූෂ්‍යවීම,  ඕසෝන් වියන දුර්වලවීම මෙවැනි උදාහරණයන්ය.

මේ නිසා පරිසරය යනු තමන්ගේ ගෙවත්ත හෝ ඒ අවට ලෙසත් පරිසර විනාශය යනු පාරට කුණු දැමීම ලෙසත් සරලව වටහා ගන්නවා වෙනුවට එය එහි පුළුල් අරුතින්ම  වටහා ගැනීමට අවශ්‍යය. පරිසරය යනු අප ජීවත්වන පෘථිවියේ ඇති සියලූ දේය. පරිසරය විනාශවීම යනු අපේ පෘථිවිය අනාගතයේ ජීවයේ පැවැත්මට හානිකර තැනක් බවට පත්වීමය. භූමිය, ජලය, වායුව දූෂණය වීමය. ගහ කොළ සතා සීපාවා විනාශ වීමය. ඒ සියල්ල විනාශ වූ තැනක මිනිසාගේද පැවැත්මක් නැත. සත්‍යය එයයි. එබැවින් පරිසරය ආරක්ෂා කිරීමට අප පරෙස්සම් විය යුත්තේ මෙම පුළුල් අර්ථයට අනුවය.

 

විමර්ශන