පංතිය, පක්‍ෂය හා නායකත්වය

ජාතික විමුක්ති උපායමාර්ගය යථාර්ථයක් ද?
April 27, 2017
අලෙවි ප්‍රවර්ධනය වෙනුවෙන් මළ මිනිසුන් යළි මරා දැමීම
April 27, 2017
Show all

පංතිය, පක්‍ෂය හා නායකත්වය

ලෝක ධනවාදය මුහුණ දී සිටින වත්මන් ගැඹුරු ආර්ථික අවපාතය දෙස මාක්ස්වාදී දෘෂ්ටියකින් බලන ඕනෑම කෙනෙක් මෙම අර්බුදය සමාජ පරිවර්තනයකට මග විවර කරන විප්ලවීය තත්වයන් දක්වා ගමන් කරනු ඇති බව වටහා ගන්නවා නො අනුමානය. වත්මන් ලෝක ආර්ථික අර්බුදය තුළ සමාජ පරිවර්තන සඳහා ‘අවස්ථාවක්’ පවතී. එහෙත් සැබෑ මාක්ස්වාදීන්ට එමගින් සියල්ල ඉබේ සිදුවේ ය යන සුබවාදයකට වැටීමට ඉඩක් නැත. මන්ද එකී ‘අවස්ථාව’ තුළම අභියෝගයක් ද වන බැවිනි. අභියෝගය නම් ධනවාදයේ ලෝක පරිමාණ අර්බුදය විසින් ජනිත කර තිබෙන ‘අවස්ථාව’ පහසුවෙන් අත්පත් කර ගැනීමට තරම් ශක්තිමත් ස්ථානයක හා සූදානමක ලෝක වමේ ව්‍යාපාරය, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය නො තිබීම ය. එහෙත් මේ නිසා මාක්ස්වාදීන් අශුභවාදයකට වැටෙන්නේ ද නැත. ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ පවතින වත්මන් දුබලතා විසඳා ගැනීමේ බලපෑම ද ලෝක ධනවාදයේ අර්බුදයේ විෂය මූලික තත්වයන් විසින් ම සිදු කරන බව තේරුම් ගනිමින් ‘අවස්ථාව’ අත්පත් කර ගැනීම උදෙසා ‘අභියෝගයට’ මුහුණ දී එය ජය ගැනීමට සවිඥාණිකව ක්‍රියාත්මක වීම මාක්ස්වාදීන්ගේ කාර්යභාරය වේ.

මතවාදී හා සංවිධාන අරගලයක්
ලෝක ධනවාදයේ අර්බුදයත්, වමේ ව්‍යාපාරයන් මුහුණ දී සිටින අභියෝගයත් විසින් ලෝක වමේ ව්‍යාපාරය තුළ මතවාදීමය නිරවුල් කමක් හා සංවිධානමය නායකත්වයක් ඉල්ලා සිටී. මේ සඳහා මතවාදී නිරවුල් භාවය වඩාත් ප්‍රමුඛ වේ. ඊට හේතු වන්නේ එක් පැත්තකින් අධිරාජ්‍යවාදයේ හා ධනවාදයේ උවමනා වෙනුවෙන් මතවාද සකස් කරන්නන් සමාජවාදය අප‍්‍රායෝගික අසාර්ථක දෙයක් ලෙස පතුරවා තිබීමත් සුලු ධනේශ්වර පංතියේ උවමනා නියෝජනය කරන්නන් වමේ දේශපාලනය සංශෝධන වාදයට ගෙන යාම සඳහා විවිධ සාව න්‍යායික මත ඉදිරිපත් කරමින් තිබීමත් හා ඒ අතරම අතිවාමවාදීන් විසින් ද පොතේ ගුරු වාදී මනෝරාජික මත ඉදිරිපත් කරමින් අනියමින් ධනවාදයට සේවය කරමින් තිබීමත් ය. විශේෂයෙන්ම පන්ති සටන පිළිබඳව, පංතීන්, පිළිබඳව, පක්‍ෂය හා එහි කාර්‍යභාරය පිළිබඳව පංතියේ නායකත්වය හා පක්‍ෂයේ නායකත්වය පිළිබඳව නිර්මාක්ස්වාදී මත රැසක් පැතිරී තිබෙන තත්වයක් තුළ පංතිය පක්‍ෂය හා නායකත්වය පිළිබඳ මාක්ස්-ලෙනින්වාදී ස්ථාවරය නිරවුල් කර ගැනීම අතිශය වැදගත් වේ.

පංති හා පංති අරගල ගැන
ධනවාදය පරදා නව සමාජ පරිවර්තනයකට නායකත්වය දීමේ කාර්යයේ දී වමේ ව්‍යාපාරය තුළ පන්තිය පක්‍ෂය හා නායකත්වය යන ප්‍රපංචයන් පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී ‘පංතිය’ නැමති සංකල්පය පසුගිය කාලය පුරාම විවිධ විග්‍රහ කිරීම්වලට ලක් විය. අතීතයේ සිට විටින් විට මේ පිළිබඳ විවිධ වැරදි මත පැවතිය ද මෑත ඉතිහාසයේ ඒවා තීව්‍ර වූයේ, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් සමඟ ය. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් ඒ වන විට කරළියට පැමිණ තිබූ නව ලිබරල් ධනවාදයේ ව්‍යාප්තියත් විද්‍යාවේ තාක්‍ෂණයේ වර්ධනය හා පරිගණකය , තොරතුරු තාක්‍ෂණය විසින් ලෝකයට කළ බලපෑමත් නිසා නිර්මාණය වෙමින් තිබූ තත්වය මෙවැනි නිර්මාක්ස්වාදී විග‍්‍රහයන්ට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කළේය. මෙහි දී සමහර අයගේ මතය වුයේ, ලෝකයේ දැන් තවදුරටත් ‘පංති’ නො පවතින බවකි. සෝවියට් දේශය බිඳ වැටෙන විට ලංකාවේ සිටි සෝවියට් තානාපතිවරයා එක් රැයකින් රුසියානු තානාපතිවරයා බවට පත් විය. ඔහු ඒ දවස්වල ලංකාවේ පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබූ අතර එහි දී ප්‍රකාශ කර තිබුණේ ලෝකයේ තවදුරටත් පංති නො පවතින බවයි. ලෝකයේ වර්ධනය විසින් පංති අවසන් ව තිබෙනවා වැනි අදහසක් ඒ තුළ විය. ඒ අතර පශ්චාත් නූතනවාදී විග‍්‍රහයන්ට අනුව ධනවාදය තුළ සිදු වෙමින් තිබූ වෙනස්කම් මතුපිටින් විග්‍රහ කර ගත් සමහර අය පංති වෙනස්කම් තවදුරටත් සෙවීමට නොහැකි බවත් පංති ‘පාරපංතික’ වී ඇති බවත් ප්‍රකාශ කළෝ ය. ලෝකය තුළ පංති ප‍්‍රතිවිරෝධයන් අබිබවා වෙනත් ප‍්‍රතිවිරෝධයන් (ලිංගිකතත්වය, භාෂාව, දැනුම ආදිය) මතු වී ඇති බවත් සමහර අයගේ මතය විය. පශ්චාත් නූතනවාදීන් ලංකාවේ දී ඉදිරිපත් කළේ, රජයේ සේවය කරන සේවකයා ඒ අතරම කුඩා ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යන බවත්, ඔහු එක විට ශ්‍රමිකයෙක් මෙන් ම ප්‍රාග්ධන හිමියෙක් ද වී ඇති බවත් ඒ නිසා පංති වෙනස්කම් පැරණි ආකාරයෙන් නො පවතින බවත් සමාජ සංවර්ධනයේ ගතිකත්වය තීරණය කරනුයේ තවදුරටත් පංති අරගල විසින් නොව වෙනත් ප්‍රතිවිරෝධිතා විසින් බවත් ය.

පංතීන් විෂය මූලික ද? මනෝ මූලික ද?
මාක්ස්වාදයට අනුව පංතීන් යනු මනෝ මූලික සංකල්පයක් නොව විෂය මූලික ප්‍රපංචයකි. මානව සමාජය එහි සංවර්ධනයේ එක්තරා අවස්ථාවක දේපළ මත පංතීන්ට බෙදනු බවත් එතැන් සිට මානව ඉතිහාසය යනු පංතීන් අතර අරගලයේ ඉතිහාසයක් බවත් මාක්ස්වාදය ඉතා ම පැහැදිලිව ඔප්පු කර තිබේ. සිය ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේ දී මාක්ස් හා එංගල්ස් එම සත්‍යය ලේඛන ගත කළේ, ‘‘මෙතෙක් පැවතුණු සමාජයන්ගේ ඉතිහාසය වූ කලී පංති සටන්වල ඉතිහාසයයි’’ යනුවෙනි. මාක්ස් හා එංගල්ස් මෙහි දී මෙතෙක් පැවතුණු ඉතිහාසය ලෙස සැලකුවේ ලිඛිත ඉතිහාසයයි. ඉන් පසු ලෙනින්ගේ යුගයේ දී පංතීන් පිළිබඳ විවිධ වැරදි නිර්වචන ඉදිරිපත් වෙද්දී ලෙනින් පංතීන් යනු මොනවා දැයි නිරවුල් ව ම විග්‍රහ කළේය. ‘‘පංති වූ කලී, ඓතිහාසික වශයෙන් නිර්ණය වූ සමාජමය නිෂ්පාදන ක්‍රමයක් තුළ, තමන් දරන තැත විසින් ද, නිෂ්පාදන මාර්ග කෙරෙහි ඇති(බොහෝ විට නීතියෙන් නියම කර හා පැහැදිලි කර ඇති) සම්බන්ධතාව විසින් ද, සමාජ ශ්‍රම සංවිධානය තුළ ඔවුන් ඉටු කරන කාර්ය කොටස විසින් ද, ඒ අනුව ඔවුන් පරිහරණය කරන සමාජ වස්තුවෙහි හා ප්‍රමාණය එය ලබා ගන්නා ක‍්‍රමය විසින් ද අන්‍යෝන්‍ය වශයෙන් වෙන් වන විශාල ජන කණ්ඩායම වේ. පංති වූ කලී නිශ්චිත සමාජ ආර්ථික ක්‍රමයක් තුළ තම තමන් දරන විවිධ තැන් අනුව එක් කොටසකට තවත් පිරිසක ගේ ශ්‍රමය අත්පත් කර ගැනීමේ හැකියාව ඇති ජන කණ්ඩායම් වේ’’ (ලෙනින් තෝරා ගත් කෘති 9 වෙළුම – 219 පිටුව)
ලොව පළමු පංති සමාජය වන වහල් හිමි සමාජයේ සිට වත්මන් ධනවාදී සමාජය දක්වා සියලූම සමාජවල දේපළ මත බෙදනු පංතීන් පැවති අතර ධනවාදය තුළ දී පංති පාරපංතික වී හෝ අතුරුදහන් වී නැත. ඒ වෙනුවට පංති වඩාත් නිරාවරණය වී පංති වෙනස්කම් වඩාත් ගැඹුරු වී තිබේ. ධනවාදය තුළ ප්‍රධාන පංති ප‍්‍රතිවිරෝධයන් පවතින්නේ, ප්‍රාග්ධනයේ හිමිකාරිත්වය ඇති ධනපති පංතියත් ප්‍රාග්ධනයේ සූරාකෑමට ලක් වූ වැටුප් ශ්‍රමිකයින් ඇතුළු නිර්ධන පංතියත් අතර ය. මීට අමතරව මේ ප්‍රධාන පංති දෙක අතර සුළු ධනේශ්වර පංතියක් ද පවතින අතර එයට ස්තරවලට වෙන් කර සැලකිය හැක. මෙම පන්ති කණ්ඩායම් චීන මහා ප්‍රකාර මගින් එකක් අනෙකින් මුළුමනින් ම වෙන් කර නැත. කෙසේ වෙතත් ධනවාදයේ සංවර්ධනය තුළ පංතීන්ගේ බාහිර ස්වරූපයෙන් වෙනස් වී තිබුණ ද හරයෙන් පංති ප්‍රතිවිරෝධිතා පුළුල් වෙමින් තිබේ. ධනවාදයේ මුදුන් මල්කඩ වූ එක්සත් ජනපදයේ ආර්ථිකයේ අයිතිය හිමි 1%ට එරෙහිව ආර්ථිකයේ අයිතිය අහිමි 99%වෙනුවෙන් ‘සියයට අනූනමයේ සංවිධානය’ ගොඩනැගෙන විට පංති පරතරයේ ප්‍රමාණය තේරුම් ගත හැක.

පංති සමාජයේ වර්ධනයේ දයලෙක්තිකය
පංති සමාජයේ වර්ධනයේ ගතිකත්වය තීරණය කරන්නේ ද පංති ප්‍රතිවිරෝධය විසිනි. එය නිශ්චිත නිෂ්පාදන මාදිලියක දී (වහල්, වැඩ වසම්, ආසියාතික ධනේශ්වර) නිෂ්පාදන බලවේගයන්ගේ හා නිෂ්පාදන සම්බන්ධතා අතර ගැටුමක් ලෙස පවතී. මෙම ගැටුමේ අවසානයේ නිෂ්පාදන බලවේගයන්ට බාධා කරමින් පවතින නිෂ්පාදන සබඳතා නිෂ්පාදන බලවේගයන් විසින් බිඳ දමන අතර නව සබඳතා ගොඩ නගා ගනී. සමාජ විප්ලවයක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ මෙයයි. සමාජ විප්ලවයක් යනු එක්තරා පංතියක් අතින් තවත් පංතියකට රාජ්‍ය බලය මාරු වීම වේ. මේ අනුව සමාජ සංවර්ධනයේ දී පංති සමාජය තුළ සංවර්ධනයේ දයලෙක්තිකය වන්නේ පංති අරගලයයි.

පංතිය හා පක්‍ෂය
සමාජ ක්‍රමයක් ලෙස ධනවාදය කරළියට ඒමට පෙර දේශපාලන පක්‍ෂ නමැති සංවිධානයක් ලොව නොවීය. දේශපාලන පක්‍ෂ බිහි වූයේ, ධනවාදය බිහි වීමෙන් පසු අලුත බලයට පත් ධනපති පංතිය වෙත රාජ්‍ය බලය තබා ගැනීම සඳහා ය. පූර්ව ධනේශ්වර සමාජවල පැවති පරපුරෙන් පරපුරට රජකම් ලැබීමේ ක‍්‍රමය වෙනුවට ධනවාදය තුළ ඡන්ද බලය, මහජන නියෝජිත ආයතන, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආදී දේ බිහි වූ අතර එහි දී ධනපති පංතිය තම රාජ්‍ය බලය සඳහා දේශපාලන පක්‍ෂ තුළ සංවිධානය විය. ධනේශ්වර පංතිය තමන් අත රාජ්‍ය බලය තබා ගැනීම සඳහා පිහිටුවා ගත් දේශපාලන පක්‍ෂ නැමති සංවිධාන ආකෘතිය නිර්ධන පංතිය ද තම පංති අරමුණු සඳහා යොදා ගනු ලැබීය. මෙහි එක් විශේෂයක් ද තිබේ. පූර්ව ධනේශ්වර සමාජ ක‍්‍රමවලදී සූරාකෑමට ලක් වූ පීඩිත පංතීන් පීඩකයන්ට එරෙහිව නැගී සිටිය ද, අරගලවල ද ඔවුන් බලයට පත්වීම සඳහා සවිඥ්ඥානිකව අරගල කළේ නැත. ඒ වන විට පැවති සංවර්ධනයේ මට්ටමට අනුව එවැන්නකට ඉඩක් නොවීය. එහෙත් ධනවාදය විසින් බිහි කළ නිර්ධන පංතිය බලය ගැනීමට තරම් හැකියාව ඇති දියුණු පංතියක් වූ අතර ධනවාදය පරදා සමාජවාදය මගින් පංති රහිත සමාජයක් බිහි කිරීමේ අරමුණ සහිත ව නිර්ධන පංතිය දේශපාලන පක්‍ෂයක් ලෙස සංවිධානය වීම අවශ්‍ය විය. මේ සඳහා න්‍යායික හා සංවිධාන මග පෙන්වීම මාක්ස්වාදය විසින් කරන ලදී.
මේ අනුව ධනවාදය තුළ දේශපාලන පක්‍ෂ යනු කිසියම් පංතියක පංති උවමනාව නියෝජනය කරන පංතිමය සංවිධානය වේ. මෙහි දී නිර්ධන පංති පක්‍ෂය විශේෂයක් ගනී. ඒ ඔවුන්ට පැවරී තිබෙන්නේ, පවතින සමාජ ක‍්‍රමය ආරක්‍ෂා කර ගනිමින් එය පවත්වා ගෙන යාම වෙනුවට පවතින සමාජය වෙනස් කොට නව සමාජයක් බිහි කිරීමත් ඒ සඳහා ධනපති රාජ්‍ය බලය වෙනුවට නිර්ධන පංති රාජ්‍ය බලයක් පිහිටුවීමත් ය. එනම් සමාජවාදී සමාජ විප්ලවයට නායකත්වය දීම ය. මෙම කාර්යයේ ඇති විශේෂත්වය හා එහි භාර¥ර ස්වභාවය නිසාම නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක් තුළ විශේෂ ගුණයන් රැසක් හා එහි සංවිධාන ව්‍යූහයේ හා සංවිධාන ප්‍රතිඵලවල විශේෂ ලක්‍ෂණ ද අවශ්‍ය විය.

ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවය
නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක සංවිධාන මූලධර්මය ඉතා ම පැහැදිලිව අනුගත කරනු ලැබූයේ ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් බොල්ෂෙවික් පක්‍ෂයේ නිර්මාතෘ ලෙනින් ය. ලෙනින්වාදයට අනුව නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක සංවිධානමය මූලධර්මය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවයයි. එහෙත් බොහෝ සුළු ධනේශ්වර දේශපාලන ව්‍යාපාර විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදී සංවිධාන මෙම මූලධර්මය අභියෝගයට ලක් කරමින් මධ්‍යගත භාවයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් පෙනී සිටී. ට්‍රොට්ස්කිවාදය පක්‍ෂ තුළ කල්ලි කණ්ඩායම් හැදීමට කටයුතු කරන අතර ට්‍රොට්ස්කිවාදීන්, නිදහස්වාදී, පොතේගුරුවාදී, මනෝරාජික පිරිසක් ලෙස නිර්ධන පංති ව්‍යාපාරය දුබල කිරීමට දායක වෙති. ලෙනින්වාදී සංවිධාන මූලධර්මයට පටහැණි තවත් ප‍්‍රවණතාවයක්ද විය. එය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කර මධ්‍යගත භාවය පමණක් සලකන ස්ටාලින්වාදයයි. ලෙනින්වාදය මේ අන්ත දෙකටම එරෙහිව නිර්ධන පංති පක්‍ෂයක සැබෑ සංවිධාන මූලධර්මය වෙනුවෙන් පෙනී සිටියි.

න්‍යාය හා භාවිතාව
නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක් යනු නිර්ධන පංතියට නායකත්වය දෙන සංවිධානය වේ. නිර්ධන පංතියේ සවිඥාණික කොටස්වල එකතුව වේ. එසේම නිර්ධන පංතියේ පංති සටන තුළ මෙහෙයවමින් නිර්ධන පංති රාජ්‍ය බලය දිනා ගැනීමටත් එය උපයෝගී කර ගෙන නව සමාජයක් ගොඩනැගීමටත් නායකත්වය දෙන හා මග පෙන්වන සංවිධානය වේ. මේ නිසාම නිර්ධන පංති පක්‍ෂයක් ඉතා ම දියුණු න්‍යායික පදනමකින් මග පෙන්වීම ලැබිය යුතු ය. න්‍යායික නිරවුල් කම මෙහි ඉතා ම වැදගත් වේ. මේ ගැන ලෙනින් මෙසේ පවසයි.
‘‘විප්ලවීය න්‍යාය නොමැතිව විප්ලවීය ව්‍යාපාරයක් තිබිය නොහැකිය. ඉතාමත් පටු ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය මෝහනයක් සමඟ අතිනත් ගෙන අවස්ථා වාදයේ හැඩකාර දේශනා පැවැත්වීම කෙරෙන මෙවැනි කාලයක මේ අදහස කොතරම් අවධාරණය කළත් වැඩි නැත’’.
(පළමුවැනි වෙළුම 136 පිටුව)’’
මේ ගැන ලෙනින් යළිත් මෙසේ සඳහන් කරයි. ‘‘අපට මෙහි දී සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ, පෙරමුණු සටන් කරු කාර්යභාරය ඉටු කිරීමට හැක්කේ ඉතාමත් දියුණු න්‍යායකින් මග පෙන්වනු ලබන පක්‍ෂයට පමණක් ය යන්න පමණකි’’
(පළමුවැනි වෙළුම 137 පිටුව)’’
නිර්ධන පංති පක්‍ෂයක දී න්‍යාය පමණක් නොව න්‍යාය නිවැරදි භාවිතයේ යෙදවීම ද වැදගත් ය. වමේ ව්‍යාපාර තුළ බොහෝ විට මතු වන ගැටලුවල මුල් පවතින්නේ න්‍යාය තුළ මෙන් ම න්‍යාය භාවිතයට නැගීම පිළිබඳව ය. න්‍යාය කොතරම් දියුණු වුවත් එය භාවිතයට නොනගන්නේ නම් හෝ භාවිතයට නැගීමට අසමත් වන්නේ නම් එය පක්‍ෂයක ගමන් මගට අහිතකර ලෙස බලපාන්නේ ය. න්‍යාය භාවිතයට නැගීම ගැන ලෙනින් සඳහන් කර ඇත්තේ මෙසේ ය.
‘‘නිවැරදි විප්ලවවාදී න්‍යායක් තිබීම එම කොන්දේසි නිර්මාණය වීමට පහසුවක් වන නමුත් න්‍යාය ඇදහිල්ලක් නොවන්නේ ය. න්‍යාය එහි අවසාන හැඩ හුරුව ලබන්නේ සැබැවින් ම පොදු ජන සහ සැබැවින් ම විප්ලවවාදී ව්‍යාපාරයක ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය හා සමඟ සමීප සම්බන්ධයක් ඇතිව පමණකි.’’
(ලෙනින් තෝරා ගත් කෘති 10 වෙළුම 135 පිටුව)’’
දියුණු හා නිවැරදි න්‍යායික මග පෙන්වීමකින් තොරව කටයුතු කරන්නේ නම් දේශපාලන ව්‍යාපාරයක් ප‍්‍රායෝගිකවාදය ඇද වැටෙන අතර න්‍යාය භාවිතයට නගනවා වෙනුවට න්‍යායික සූත්‍ර කතා කරමින් පමණක් සිටින්නේ නම් නිර්ධන පංති පක්‍ෂයක් පොතේගුරුවාදයට ඇද වැටේ. මේ අන්ත දෙකම නිර්ධන පංති ව්‍යාපාරයට හානිකර ය. බොහෝ විට න්‍යායික වාග් පාඨ දොඩවමින් ඒවා භාවිතයට නැගීම පසෙක ලා කටපාඩම් කර ගත් සූත්‍ර පුනරුච්චාරණය කරමින් සිටින පොතේගුරුවාදීන් වමේ ව්‍යාපාරය තුළ බොහෝ විට දැකිය හැකිය. ඔවුහු භාවිතයෙන් එක්කෝ කිසිවක් නො කරති; නැතිනම් විප්ලවවාදී වාග් පාඨ දොඩවමින් ඊට මුළුමනින් ම පටහැණි දේවල් භාවිතයේ දී සිදු කරති. කෙසේ වෙතත් න්‍යාය භාවිතයට නගනවා වෙනුවට විප්ලවවාදී වාග් පාඨ දොඩවමින් සිටීම ලෙනින් හඳුන්වා තිබෙන්නේ, කුෂ්ට රෝගයක් ලෙස ය.
‘‘කුෂ්ටය වේදනා සහගත රෝගයකි. විප්ලවවාදී වාග් පාඨ දෙඩවීම නැමති කුෂ්ට රෝගයට මිනිසුන් ගොදුරු වූ විට එම රෝගය දෙස බැලීමෙන් පවා ඉවසිය නොහැකි වේදනාවක් හට ගනී.’’
(ලෙනින් විප්ලවවාදී වාග් පාඨ 35 පිටුව)’’

පක්‍ෂය හා බහුජන ව්‍යාපාරය
සමාජවාදී විප්ලවය පිළිබඳ ප්‍රශ්නයේ දී නිර්ධන පංතික පක්‍ෂය යනු පංතියේ පෙරමුණු බල ඇණිය වේ; පංතියේ සවිඥාණික හා සටන්කාමී කොටස්වල එකතුව වේ. සමාජවාදී විප්ලවයේ දී පංතියට නායකත්වය දීම සඳහා දියුණු න්‍යායකින් මග පෙන්වනු ලබන විනයක් සහිත ශක්තිමත් සංවිධානයක් ලෙස පක්‍ෂය තීරණාත්මක වේ. එහෙත් පක්‍ෂයට පමණක් සමාජ විප්ලවයේ කාර්යභාරය තනිව ඉටු කළ නොහැක. ඒ සඳහා පංතියේ (පොදු ජනතාවගේ) සහභාගිත්වය ද අත්‍යාවශ්‍ය වේ. ලොව සමහර දේශපාලන ව්‍යාපාර විශේෂයෙන් (ට්‍රොට්ස්කිවාදීන්) පක්‍ෂයක අවශ්‍යතාවය පිළිගන්නා අතරම බහුජන ව්‍යාපාරයක උවමනාව අවතක්සේරු කරයි. එය ද බරපතළ ගැටලුවකි. මේ ගැටලුව පිළිබඳව වරක් ලෙනින් මෙසේ පවසා තිබේ.
‘‘නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණිය දෘෂ්ඨිමය වශයෙන් අප පැත්තට දිනා ගෙන තිබේ. ප්‍රධාන කටයුත්ත එයයි. මෙය ඉටු නො කර ජයග්‍රහණය දෙසට ප්‍රථම පියවර වත් තැබිය හැකි නොවේ. නමුත් ජයග්‍රහණය කරා තව යා යුතු දුර බොහෝ ය. පෙරමුණු බල ඇණියක් පමණක් ඇතිව දිනුම ලැබිය නොහැකිය. මුළු පංතිය, පුළුල් ජනතාව, එක්කෝ එක එල්ලේ ම පෙරමුණු බළඇණියට ආධාර කරන, නැතහොත් යටත් පිරිසෙයින් එය කෙරෙහි අනුකූලතා පූර්ව මධ්‍යස්ථ භාවයක් වත් දක්වන සහ සතුරාට ආධාර නො දෙන ස්ථාවරයක් ගන්නා තැනට ඒමට පෙර පෙරමුණු බල ඇණිය පමණක් තීරණාත්මක සංග්‍රාමයට ඇද දැමීම හුදෙක් මෝඩකමක් පමණක් නොව අපරාධයක් ද වන්නේ ය. මුළු පංතියම වැඩ කරන පුළුල් ජනතාව, ප්‍රාග්ධනයෙන් පීඩනයට පත් පිරිස් එවැනි ස්ථාවරයක් ගන්නා තැනට ගෙන එනු පිණිස ප්‍රචාරය සහ උද්ඝෝෂණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එය සිදුවීම සඳහා පොදු ජනතාවට ඔවුන්ගේ ම දේශපාලන අත්දැකීම් තිබිය යුතු ය. මහා විප්ලවවල මූලික නීතිය එයයි.’’
(ලෙනින් තෝරා ගත් කෘති 10 වෙළුම, 214 පිටුව)
නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක් තම පක්‍ෂයට පමණක් නොව පොදු ජනතාවට ද නායකත්වය දීමේ හැකියාව අත්පත් කර ගත යුතු ය. එසේ නොවන්නේ නම් සමාජ පරිවර්තන කාර්යයක් කිරීමට එයට හැකි වන්නේ නැත. පොදු ජනතාවට නායකත්වය දීමේ අවශ්‍යතාවය ලෙනින් අවධාරණය කර තිබුණේ මෙසේ ය.
‘‘ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයේ පංති විඤ්ඤාණය ඇති පෙරමුණු බල ඇණියෙහි, නැතහොත් කොමියුනිස්ට් පක්‍ෂවල, කණ්ඩායම්වල හා උපනතිවල හදිසි අරමුණ විය යුත්තේ, පුළුල් පොදු ජනතාව ඔවුන්ගේ නව ස්ථාවරයට පමුණු වනු පිණිස (තවත් ඔවුහු බොහෝ කොට ම උදාසීන අක්‍රිය, නිදි ගත සහ සිරිතට බැඳුණු පිරිසක් වෙති.) ඔවුන්ට නායකත්වය දීමේ හැකියාව ලැබීම ය. නැතහොත් වෙනත් ආකාරයකින් කියතොත් නව ස්ථාවරය කරා ඉදිරියට යාමේ දී හා පරිවර්තනය වීමේ දී තමන්ගේ ම පක්‍ෂයට පමණක් නොව මෙම පොදු ජනතාවන්ට ද නායකත්වය දීමේ හැකියාව ලැබීම ය.”
(ලෙනින් තෝරා ගත් කෘති 10 වෙළුම 214 පිටුව)’’
බහු ජනතාව සමඟ වැඩ කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් අවධාරණය කළ ලෙනින් එවැනි පක්‍ෂයක් අනිවාර්යයෙන් ජය ගන්නා බව ද මෙසේ පැවසීය.
‘‘ජනතාව සමඟ සම්බන්ධකම් ඇතිව සසංගත ලෙස වැඩ කිරීම සඳහා තහවුරු වීමෙහි සමත් වන පක්‍ෂයක්, දියුණු පංතියේ පෙරමුණු බල ඇණිය සංවිධානය කිරීමට සමත් වන එම පංතියේ පක්‍ෂයක්, නිර්ධන පංති ජීවයේ සෑම ලක්‍ෂණයක් ම කෙරෙහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් බලපාන ආකාරයට ස්වකීය බලවේගයන් මෙහෙයවන පක්‍ෂයක් ජය ගනු ඇත. කුමක් සිදු වුවත් එවැනි පක්‍ෂයක් ජය ගනු ඇත.’’
(ලෙනින් තෝරා ගත් කෘති 3 වෙළුම 170 පිටුව)’’
නිර්ධන පංති ව්‍යාපාරයක් යනු කුමන්ත්‍රණකාරී කල්ලියක් නොවේ. එය බහු ජනතාව (පංතිය) පිළිබඳව විශ්වාස කරන ඔවුන් සමඟ වැඩ කරන හා ඔවුන් සමාජ විප්ලවය කරා මෙහෙයවීමේ සමත් සංවිධානයක් විය යුතු ය. එසේ නොවුන විට එය කුමන්ත්‍රණකාරී කුඩා කල්ලියකට වැටීමේ අනතුර තිබේ. ජනතාව ගැන විශ්වාසය නැති, ජනතාව සමඟ ඉවසීමෙන් යුතු ව දිගු කලක් තිස්සේ වැඩ කිරීමට සූදානම් නැති හා හැකියාව නැති සමහර අය බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය අවතක්සේරු කොට කුඩා කල්ලි බවට පත් වෙති. ඔවුන් ගැන ලෙනින් මෙසේ පවසා තිබුණි.
‘‘පංති විඤ්ඤාණය ඇති කම්කරුවන් බලයක් බවට පත්වීමට නම් ඔවුන්ගේ පැත්තට බහුතරය දිනා ගත යුතු ය. ජනතාවට විරුද්ධව හිංසනය නො යොදනු ලබන තාක් කල් බලය ලබාගැනීමට වෙනත් මාර්ගයක් නොමැත. අපි බ්ලැංකිවාදීන් නො වෙමු. සුළු පිරිසක් විසින් බලය අල්ලා ගැනීමක් වෙනුවෙන් අපි පෙනී නො සිටිමු. අපි මාක්ස්වාදීන් වෙමු.”
(5 වන වෙළුම 32 වන පිටුව)’’

පක්‍ෂය හා නායකත්වය
සමාජ විප්ලවයක දී රීතියක් ලෙස නිර්ධන පංතියට නායකත්වය දෙන්නේ, නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂය විසිනි. එනම් පංතියට නායකත්වය දෙන්නේ පක්‍ෂය විසිනි. එසේම පක්‍ෂයට ද නායකත්වයක් තිබිය යුතුයි. පක්‍ෂයට නායකත්වය දෙන අය නායකයින් ලෙස හඳුන්වති. තනි හුදකලා නායකයින්ගේ වීර ක්‍රියා මගින් ජනතාව විපතින් මුදා ගන්නා ආකාරයේ නායකයින් මාක්ස්වාදය විසින් පිළිගන්නේ නැත. එහෙත් එය ඉතිහාසය තුළ මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළ නායකයින්ගේ කාර්යභාරය මුළුමනින් ම ඉවත ලන්නේ ද නැත. ඉතිහාසය ගොඩ නගනු ලබන්නේ, පොදු ජනතාවගේ ක්‍රියාකාරීත්වය මගින් ය යන්න පිළිගන්නා මාක්ස්වාදය එහි දී පොදු ජනතාවට නායකත්වය දීමේ නායකයින්ගේ කාර්යභාරය පිළිගනී. පොදු ජනතාවගෙන් තොර හුදකලා නායකයින් මෙන් ම නායකත්වයෙන් තොර පොදු ජන ක්‍රියාකාරීත්වය යන අන්ත දෙකම මාක්ස්වාදය බැහැර කරන අතර අරගලයේ දයලෙක්තිකය ලෙස පොදු ජනතාව හා නායකයින් අතර අන්තර් සම්බන්ධය පිළිගනී.
ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ මේ සම්බන්ධයෙන් ද වැරදි මත තිබේ. සමහරු නායකයින් ගැන පමණක් විශ්වාස කරන අතර සමහරු නායකයින්ගේ කාර්යභාරය ප්‍රතික්ෂේප කරති. නායකයින්ගේ කාර්යභාරය පිළිබඳ සැක පහළ කරති. සමහරු පොදු ජන ව්‍යාපාර තුළින් පැන නගින ඒ තුළින් අත්හදා බලන නායකත්වයන් වෙනුවට සර්වතෝභද්‍ර සර්ව නිර්දෝෂී සාන්තුවරයින් වැනි නායකයින් ඉල්ලා සිටිති. නායකයින්ගේ අඩුපාඩු ගැන සිතා විශ්වාස භංගත්වයට පවා පත් වෙති. එසේම නිර්ධන පංති රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය ද ඊට අනුව පටලවා ගනිති. පංතියේ ආඥාදායකත්වය ලෙස හැඳින්වූවද සැබැවින් ම පවතින්නේ පංතියේ ආඥාදායකත්වය නොව පක්‍ෂයේ හා නායකයින්ගේ ආඥාදායකත්වයක් යයි තර්ක කරමින් නිර්ධන පංති රාජ්‍ය බලයට අභියෝග කරති. මේ පිළිබඳව පැහැදිලි කළ ලෙනින් මෙසේ පැවසීය.
‘‘පක්‍ෂයේ ආඥාදායකත්වය, නැතහොත් පංතියේ ආඥාදායකත්වය; නායකයින්ගේ ආඥාදායකත්වය, (පක්‍ෂය) යනුවෙන් හුදෙක් ප්‍රශ්න ඉදිරිපත් කළ පමණින්ම ඔප්පු වන්නේ, එසේ කරන තැනැත්තා විශ්වාස කළ නොහැකි තරමට හා සුව කළ නොහැකි තරමට මොළය අවුල් කර ගෙන තිබෙන බව ය. සම්පූර්ණයෙන්ම අසාමාන්‍ය යමක් නිර්මාණය කිරීමට මෙම පුද්ගලයන්ට උවමනා වී තිබේ. තමන් දක්ෂයින් බව පෙන්වීමට ඔවුන් දරන උත්සාහය නිසා ඔවුහු විහිළු තත්වයට පත් වෙති. පොදු ජනතාව පංති සමඟ විසංසන්දනය කළ හැක්කේ සමාජමය නිෂ්පාදන ක‍්‍රමය තුළ දරන තත්වයන් ගැන නොතකා පොදු වශයෙන් ගත් අති බහුතර ජනකාය ද සමාජමය නිෂ්පාදන ක‍්‍රමය තුළ නිශ්චිත තත්වයන් දරන පිරිස් ද විසංසන්දනය කිරීමෙන් පමණක් බවත් සාමාන්‍ය වශයෙන් සහ බොහෝ තන්හි යටත් පිරිසෙයින් වර්තමාන ශිෂ්ටාචාර රටවල හෝ පංතිවලට නායකත්වය දෙනු ලබන්නේ දේශපාලන පක්‍ෂ විසින් බවත් සාමාන්‍ය නීතියක් වශයෙන් දේශපාලන පක්‍ෂ මෙහෙයවනු ලබන්නේ වැඩිම අධිකාරයක් බලපෑමක් හා අත්දැකීමක් ඇති ඉතාමත් වගකිවයුතු තනතුරුවලට තෝරා පත් කරනු ලැබූ සහ නායකයන් යනුවෙන් හැඳින්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත තරමක් දුරට ස්ථාවර කණ්ඩායම් විසින් බවත් කවුරුත් දනිති.’’
(ලෙනින් තෝරා ගත් කෘති 10 වන වෙළුම 154 පිටුව)’’
ධනපති ක‍්‍රමය තුළ එය පෙරළා දැමීමේ අරමුණින් නිර්ධන පංති පක්‍ෂයක් ගොඩනැගීම හා එය පවත්වා ගෙන යමින් සමාජ පරිවර්තනයක් සඳහා පංතියට නායකත්වය දීම සරල සුළු පටු කාර්යයක් නොවේ. මෙහි දී නිර්ධන පංති පක්‍ෂයක් පවත්වා ගෙන යාමට සිදු වන්නේ මහා බාධක රැසක් සමඟ ය. එක් අතකින් නිර්ධන පංති පක්‍ෂය විනාශ කිරීම හා දුර්වල කිරීමට ධනපති පංතිය විසින් කරන විවිධ කුමන්ත්‍රණ ද, අනෙක් අතින් ධනපති පංති උවමනාවන් නිර්ධන පංති ව්‍යාපාරය තුළට ගෙන එන සුළු ධනේශ්වර අවස්ථා වාදය ද ඊට අමතරව ධනපති ක‍්‍රමය තුළ ඉපද හැදී වැඩීම නිසා නිර්ධන පංතියේ පුද්ගලයන් ධනවාදයෙන් රැගෙන එන විවිධ ගති සිරිත් හා සම්ප‍්‍රදායන්ද විප්ලවවාදී ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමේ දී විශාල බාධා බවට පත් වෙති. මෙම බාධා හා දුෂ්කරතාවලට මුහුණ දෙමින්, ඒවා වටහා ගනිමින් හා ඒවායේ දුර්ගුණයන් හා දුර්මතයන් පැරද වීමට අරගල කරමින් දිගු කාලීන ව්‍යායාමයක යෙදීමට තරම් ඉවසීම ද, දැනුම ද නැති ‘දඩිබිඩි විප්ලවවාදීහු’ මෙකී දුෂ්කරතාවයන් දැක කලබල වී වැරදි විග‍්‍රහයන්ට හා වැරදි නිගමනවලට එළඹ නිර්ධන පංති ව්‍යාපාර ‘පිරිසිදු කර ගැනීමේ’ නාමකරණයෙන් ඒවාට හානි කරති. ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ පසුගිය දිනවල නිර්මාණය වූ කල්ලිවාදයන් තුළ ද මෙය දැකිය හැකි විය.
මෙකී අති වාමාංශික ස්වරූපයේ ප්‍රවණතා බොහෝ විට සිය මතවාදී දුප්පත්කම හා භින්න පෞරුෂය නිසා නිර්ධන පංති ව්‍යාපාරයක බහුජන කටයුතු මෙන් ම බහුජන ක්ෂේත්‍රයේ නායකයන් ද ප්‍රතික්ෂේප කරන තත්වයට වැටෙති. එමගින් නිර්ධන පංති ව්‍යාපාරය බහු ජනතාවගෙන් වියෝ කරන ලද කුඩා කුමන්ත්‍රණකාරී කල්ලි බවට පත් කිරීමට කටයුතු කරමින් අනියමින් ධනපති පංතියට උදව් කරති. පෙනුමෙන් අති උදාර කාර්යයක් වෙනුවෙන් පෙනී සිටින බව පළ කළ ද හරයෙන් තකතීරුකම්වලට වැටෙති. වරක් රුසියානු කියමනක් උපුටා දැක්වූ ලෙනින් මෙවැනි කටයුතු ගැන සඳහන් කළේ ‘‘ අති උදාරත්වයේ සිට තකතීරුකම දක්වා ඇත්තේ එක් පියවරක දුර පමණි’’ යනුවෙනි. නායකයින්ගේ දුර්වලතා පිළිබඳව නිර්මාක්ස්වාදී ලෙස විග්‍රහ කළ ජර්මනියේ ‘වාමවාදීන්ට’ ඒ පිළිබඳව ලෙනින් පිළිතුරු දෙන ලදී. ලෙනින් ඔවුන්ට පැවසූවේ ‘‘ජර්මන් ‘වාමවාදීහු ඔවුන්ගේ පක්‍ෂයේ සිටින නරක ‘නායකයන්’ ගැන මැසිවිලි කියති. බලාපොරොත්තු සුන් වූ තත්වයට පත් වෙති. එපමණක් නොව ‘නායකයන්’ ‘ප‍්‍රතිෂේධ’ කිරීමේ තත්වයට පවා වැටෙති. නමුත් නායකයන් බොහෝ විට සඟවා තැබීමට සිදු වන තත්වයන් යටතේ හොඳ, විශ්වාසදායක, උරගා බලන ලද හා අධිකාරයක් ඇති ‘නායකයන්’ හැදීම දුෂ්කර කාර්යයකි. නීත්‍යනුකූල හා නීති විරෝධී වැඩ ඒකාබද්ධ කිරීමක් නොමැතිව වෙනත් මාර්ග තුළින් මෙන් ම පාර්ලිමේන්තුව තුළින් ද නායකයන් පරීක්‍ෂාවට භාජනය කිරීමෙන් තොරව මෙම දුෂ්කරතාවයන් සාර්ථක ලෙසින් ජය ගත හැකි නොවේ. ’යනුවෙනි.
නිර්ධන පංති විප්ලවකාරී ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමේ දී නායකත්වයේ අවශ්‍යතාවය විග්‍රහ කරමින් එක් අවස්ථාවක ලෙනින් පැවසූවේ,
‘‘(1)අවිච්චේදව පවත්වා ගෙන යනු ලබන නායකයින්ගේ සංවිධානයක් නොමැතිව කිසිම විප්ලවවාදී ව්‍යාපාරයකට පැවතිය නොහැකි බවත් (2)ව්‍යාපාරය පදනම වන හා අරගලයට සාංසිද්ධික වශයෙන් ඇදී එන පොදු ජනකාය පුළුල් වූ තරමට (විවිධ වර්ගයේ කෛරාටිකයන්ට වඩාත් නො දියුණු පොදු ජන කොටස් නොමග යැවීම ඉතා පහසු වන නිසා) එවැනි සංවිධානයක අවශ්‍යතාවය වඩාත් හදිසි වන බවත් (3) එවැනි සංවිධානයක් ප්‍රධාන වශයෙන් සමන්විත විය යුත්තේ වෘත්තියක් වශයෙන් විප්ලවවාදී කටයුතුවල යෙදී සිටින අයගෙන් වන බවත්…….’’ යනුවෙනි.
(පළමු වෙළුම 247 පිටුව)’’
මේ අනුව සමාජවාදී සමාජ විප්ලවයේ දී පංතිය, පක්‍ෂය හා නායකත්වය යන ප්‍රපංච තුන එකිනෙකට අන්තර් සම්බන්ධිත එකිනෙකින් මුළුමනින් ම වියුක්ත ව නො පවතින හා එකකින් අනෙක පෝෂණය වෙමින් පවතින ප්‍රපංචයන් තුනක් වේ. පංතියේත් පක්‍ෂයේත් නායකත්වයේත් පොදු ස්වභාවය මෙන් ම එක් එක් ප්‍රපංචයේ විශේෂතාවයන් ද වටහා ගැනීමෙන් තොරව සමාජවාදී විප්ලවය සඳහා දායක වීම තබා එය වටහා ගැනීමට වත් නොහැකි වේ. සමාජවාදී සමාජ විප්ලවයක දී පංතිය පක්‍ෂය හා නායකත්වය එකම අරමුණක් වූ සමාජවාදී සමාජය නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක වුවද එය ප්‍රපංච තුනට පැවරෙන කාර්යයන් වෙනස් වන අතර ඒවා හුවමාරු කර ගැනීමට ද නොහැක. පංතිය වෙනුවට පක්‍ෂය ආදේශ කිරීමට හෝ පක්‍ෂය වෙනුවට නායකයින් ආදේශ කිරීමට නොහැකිවාක් මෙන් ම පක්‍ෂයේ නායකත්වයෙන් තොරව පංතියටත් නායකයන්ගේ මග පෙන්වීමෙන් තොරව පක්‍ෂයටත් තම කාර්යය ඉටු කිරීමට ද නොහැක. ඒ අනුව පංතිය, පක්‍ෂය හා නායකත්වය ඒකත්වයක මෙන් ම වෙන් වෙන් ව ද වටහා ගැනීමත් ඒවායේ ස්වභාවය ඒවාට පැවරෙන කාර්යය හා ඒවායේ වගකීම නිවැරදිව වටහා ගැනීමත් සමාජ විප්ලවය සඳහා අත්‍යාවශ්‍ය වේ.

වෛද්‍ය එච්. පී. ධම්මික