නිෂ්පාදන සබඳතා

බොනපාට්වාදය
December 7, 2018
දේශපාලනයේ උපක්‍රම, උපාය මාර්ග හා මූලධර්ම
December 11, 2018
Show all

නිෂ්පාදන සබඳතා

ඩැනියෙල් ඩේපෝගේ නවකතාවේ එන හුදකලා දූපතක සමාජයේ ඈත් වී දිවි ගෙවූ රොබින්සන් කෲසෝ මෙන් මිනිස්සු තනිව ද්‍රව්‍යයම වටිනාකම් බිහි නොකරති. මිනිස්සු නිතරම කණ්ඩායම් වශයෙන්, සමූහ වශයෙන් දිවි ගෙවූහ. හුදකලා පුද්ගලයින් විසින් කරනු ලබන නිෂ්පාදනය විහිළුවකි. එය හරියටම එකට ජීවත් වෙන මිනිස්සුන් සමූහයකින් තොරව,  එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමකින් ද තොරව, භාෂාවක් පවතින්නේය අදහස් කරනවා වැනි ය.

– දේශපාලන ආර්ථික විද්‍යාව යනු කුමක් ද? (පිටුව 25)

නිෂ්පාදනය සමාජ ජීවිතයේ පදනමයි. මක් නිසා ද, නිෂ්පාදනය නොමැතිව මිනිස් සමාජයට පැවැත්මක් හෝ වර්ධනය වීමක් විය නොහැකි බැවිනි. මිනිස් එකතුව කණ්ඩායම් වශයෙන් ද්‍රව්‍යමය වටිනාකම් නිෂ්පාදනය කරති. එබැවින් එහි ඓතිහාසික අවධිය කුමක් වුවත් නිතරම සමාජමය වේ. අනෙක් අතට නිෂ්පාදනය යනු සොබා දහමේ පවතින දේ මිනිස් ජීවිතය සඳහා අවශ්‍ය යැපීම් මාධ්‍යයන් බවට පරිවර්තනය කිරිම සඳහා මිනිසා සහ සොබා දහම අතර සිදු වෙන ක්‍රියාවලියයි. එහෙත් ද්‍රව්‍යමය වටිනාකම් නිර්මාණය කිරීම, නොඑසේ නම් නිෂ්පාදනය මිනිසා සොබා දහම වෙත ක්‍රියා කිරීමෙන් පමණක් සම්පූර්ණ කළ හැකි ක්‍රියාදාමයක් නොවේ. නොවැලැක්විය හැකි ලෙසම එහි දී මිනිසා එකිකෙනා සමග නිශ්චිත සබඳතාවලට අවතීර්ණය වීමට සිදු වේ. ඒ අනුව නිෂ්පාදනය යනු යැපීම් මාධ්‍යයන් අරමුණු කරන මිනිස්සු එකිනෙකා සමග නිශ්චිත සබඳතාවලට අවතීර්ණ වෙමින් සොබා දහම මත බලපෑමේ ක්‍රියාදාමයයි.

සමාජ නිෂ්පාදනයේ පැති දෙක

එක් පැත්තක් නිෂ්පාදන ක්‍රියාදාමයේ දී සොබා දහම සහ මිනිසුන් අතර ඇතිවෙන සබඳතාවයයි. එම නිෂ්පාදන ක්‍රියාදාමයේදී  මිනිසුන් සහ මිනිසුන් අතර ඇති වෙන සබඳතාවය දෙවන පැත්තයි.  දේශපාලන ආර්ථික විද්‍යාව මෙහි පළමුවැන්න, එනම් නිෂ්පාදන ක්‍රියාදාමයේ දී සොබාදහමට මිනිසාගේ ඇති සබඳතාවය නිෂ්පාදන බලවේගයක් ලෙසින් හඳුනාගන්නා අතර එහි දී මිනිසුන් අතර ඇති වෙන සබඳතා නිෂ්පාදන සබඳතා නැතහොත් ආර්ථික සබඳතා යනුවෙන් හඳුනාගනී.
නිෂ්පාදන සබඳතා
          ඒ අනුව නිෂ්පාදන සබඳතා යනු සමාජ නිෂ්පාදන ක්‍රියාදාමයේ දී, එනම් ද්‍රව්‍යමය වටිනාකම් නිෂ්පාදනය කිරීමේ, බෙදාහැරීමේ හුවමාරුවේ හා පරිභෝජනයේ දී මිනිසුන් අතර පැන නගින ආර්ථික සබඳතා පද්ධතියයි. මෙලෙස මිනිසුන් අතර ඇතිවෙන නිෂ්පාදන සබඳතා පද්ධතියකින් තොරව කෙදිනක හෝ කොතැනක හෝ නිෂ්පාදනයක් සිදුවිය නොහැක. ඉතිහාසයේ ද සිදු වූයේ නැත. අනාගතයේ සිදුවිය හැකි නොවේ.

නිෂ්පාදන සබඳතා වාස්තවිකයි
         නිෂ්පාදන ක්‍රියාදාමයේ දී මිනිසුන් අතර ඇති වෙන ආර්ථික සබඳතා (නිෂ්පාදන සබඳතා) සෑම විටෙකම එකී මිනිස්සුන්ගේ කැමැත්තෙන් පරිබාහිර හා ඔවුන්ගේ වඥානයෙන් ස්වාධීන, වාස්තවික ස්වභාවයක් උසුලයි. එනම් නිෂ්පාදන සබඳතා යනු මිනිසුන්ගේ අධ්‍යාත්මය තුල පැන නැගි හුදු මනෝමූලික ප්‍රකාශනයක් නොවේ. එය සෑම විටෙකම තීරණය කරනුයේ නිශ්චිත සමාජ ඓතිහාසික මොහොතක නියමිත නිෂ්පාදන මාධ්‍යයන්ගේ (ශ්‍රමය+මාධ්‍ය+ශ්‍රම විෂය) දේපල අයිතියෙහි ස්වරූපය විසිනි. මෙය යම් පමණකට විස්තර කොට දක්වන්නේ නම්, ප්‍රාථමික – සාමුහික සමාජ-ආර්ථික රටාව තුල මිනිසෙකු විසින් මිනිසෙකු සූරා කෑම පිණිස වූ ආර්ථික සබඳතා නොවීය. මිනිසුන් යටත් භාවයට පත් කරන, පීඩිතභාවයේ ගිල්වා තබන, වහල් භාවය තුල ගැට ගසා තබන සබඳතා නොවීය. මක්නිසා ද යත්, එකි සමාජමය අධවිය තුළ නිෂ්පාදන මාධ්‍යයන්ගේ දේපල අයිතිය පෞද්ගලික දේපල අයිතියක් ලෙස නොපැවතුණු බැවිණි. එම යුගයේ ශ්‍රම මාධ්‍ය වූ සරළ ශ්‍රම උපකරණ පොදුවේ සමාජය සතු විය. නිශ්චිතව කියන්නේ නම් වංශයේ පොදු අයිතිය තුළ විය. අනෙක් අතට එකල ශ්‍රම විශය ලෙස සැලකූ එකම සාධකය වූ සොබා දහම බෙදා වෙන් කොට වැට කොටු ගසා හිමි කර ගත් අයිතිකරුවන් ද සිටියේ නැත. එලෙස නිෂ්පාදන මාධ්‍යයන්ගේ දේපල අයිතිය සමාජමය වූ සමාජ-ඓතිහාසික මොහොතක නිෂ්පාදන සබඳතා මිනිස්නු අතර සහයෝගය අන්‍යෝන්‍ය ආධාරය ප්‍රකට කරන සාමුහිකත්වය මත පදනම් වූ සබඳතා බවට පත් වේ.

 පන්ති සමාජය තුල

එහෙත් පන්ති සමාජය තුල මෙය වෙනස් වේ. එහිදී නිෂ්පාදන මාධ්‍යයන්ගේ දේපල අයිතියෙහි පෞද්ගලික ස්වාරූපය හේතුවෙන් නිෂ්පාදන සබඳතා මිනිසෙකු විසින් මිනිසෙකු සූරා කෑම උදෙසා වූ සබඳතා බවට, එක් පන්තියක සුඛ විහරණය වෙනුවෙන් තවත් පන්තියක් වහල් භාවයට පත් කරන යටත්භාවයට පත් කරන පීඩිතභාවය තුළ ගිල්වා තබන සබඳතා බවට පත් වේ.
මේ අනුව පැහැදිලි වෙන්නේ, නිෂ්පාදන සබඳතා යනු කිසියම් සමාජයක මිනිසුන්ගේ හුදු මනෝමූලික ප්‍රකාශයක් නොවන බවයි. එය සෑම විටකම මිනිසුන්ගේ කැමැත්තට පරිභාහිරව, ඔවුන්ගේ විඥානයෙන් ස්වාධීනව පවතින නිෂ්පාදන මාධ්‍යයන්ගේ දේපල අයිතියේ ස්වරූපය විසින් නිර්ණය කරන බවයි. එහෙත් මෙහි දී වුව, අයෙකුට අවශ්‍ය නම් වෙනත් පැත්තකින් තර්කයක් මතු කළ හැකිය. එනම්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ දේපල අයිතියේ ස්වරූපයම පවා ඒ ඒ නිශ්චිත ඓතිහාසික මොහොතේ මිනිසුන්ගේ අධ්‍යාත්මය තුල පැන නැගි හුදු කැමැත්තේ ප්‍රකාශනයක් විය නොහැකි ද යන්නයි. එහෙත් සත්‍යය එය නොවේ. මක්නිසාද යත්, මෙතෙක් ඉතිහාසය තුල බිහි වූ කුමන හෝ දේපල ආකාරයක් යනු කිසියම් මිනිසෙක්, මිනිසුන් කණ්ඩායමක් හෝ පන්තියක් විසින් පූර්වයෙන් තම පරිකල්පනය තුළ මනෝමූලිකව සැලසුම් කර පසුව යථාර්ථය තුල දැනුවත්ව ගොඩ නැගූ දේපල ආකාරයක් නොවන බැවිනි. ඊට පටහැනිව සෑම විටෙකම සිදු වූයේ නිෂ්පාදනයේ පොදු වාස්තවික සංවර්ධනය ඒ ඒ නිශ්චිත සමාජ තෙිහාසික මොහොතට ( නියමිත සමාජ-ආර්ථික රටාවකට) අදාල දේපල ආකෘතියක් නිර්මාණය වීමත්, ඒ මත පදනම් වූ නිෂ්පාදන සබඳතා රාමුවකට අනුගත වෙමින් මිනිසා සමාජ නිෂ්පාදනයට එක් හෝ තවත් ආකාරයකින් (දේපල හිමියෙක් හෝ ශ්‍රමිකයෙකු ලෙසින්) අවතීර්ණ වීමත් ය.
සමාජවාදයෙන් පසු

එහෙත් මෙහිදී ද අමතර ගැටළුවක් පැන නගී. සමාජවාදයෙන් පසු කොමියුනිස්ට් අවධියේ දී ගොඩනැගෙන දේපල ස්වරූපය (කොමියුනිස්ට්වාදී පොදු දේපල) යනු නිර්ධන විප්ලවවාදී ව්‍යාපාරය තුල පූර්වකල්පනය කර සමාජවාදී විප්ලවය හරහා දැනුවත්ව ගොඩ නගන දේපල ආකාරයක් නොවේ ද යන්නයි. එහි අර්ධ සත්‍යයක් ඇත. එහෙත් ගැටළුව ගැඹුරින් විමසන විට එහිදී ද පවතින වාස්තවික ස්වරූපය අපට හඳුනාගත හැකිය. එනම් එක අතකට සංකල්පයක් ලෙස ගත් කළ විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය යනු කිසිවෙකුගේ හෝ මාක්ස්ගේ මනෝමූලික හිතලුවක් නොවේ. එය ධනවාදයේ විෂය මූල සංවර්ධනය විසින් නොඑසේනම් ධනවාදයේ සමනය කළ නොහැකි ප්‍රතිවිරෝධයේ කූටප්‍රාප්තිය විසින් බිහි කළ තර්කානුකූල මානව පරිකල්පනයයි. අනෙක් අතට කොමියුනිස්ට්වාදී පොදු දේපල සබඳතාවය යනු ඉතිහාසය තුළ සමාජ නිෂ්පාදනයේ අඛණ්ඩ වාස්තවික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සබඳතා එකිනෙක අනුරූපවීමේ ප්‍රකාශිත ස්වරූපයයි. දේහපාලන ආර්ථික විද්‍යාව තුළ නිෂ්පාදන බලවේග සහ නිෂ්පදන සබඳතා අතර අනුරූපිතා නියාමයෙන් පැහැදිලි කරනුයේ මෙම තත්වයයි.
සමාජ සංවර්ධනයට සාපේක්ෂව ඉතිහාසය තුල පන්ති සමාජය බිහිවීම අහම්බයක් ලෙසින් හඳුනාගන්නේ ද එබැවිනි. කෙදිනක හෝ සිදුවිය යුතු අනිවාර්ය වන්නේ කොමියුනිස්ට්වාදී දේපල සබඳතාවය විසින් මෙතෙක් ඉතිහාසයේ පැවති සමාජයන් තුල ක්‍රියාත්මක වූ නිෂ්පාදන බලවේග හා සබඳතා අතර පැවති සතුරු ප්‍රතිරෝධය අහෝසි කොට ඒවා අතර අනුරූපිතාවය ප්‍රකාශයට පත්වීමයි. ධනවාදය තුල නිර්ධන පන්ති ව්‍යාපාරය විසින් සිදු කරනුයේ එකී වාස්තවික යතාර්ථයට දැනුවත්ව මැදිහත්වීමයි.
මෙමගින් යලි යලි තහවුරු වන්නේ නිෂ්පාදන (ආර්ථික) සබඳතා යනු මිනිස්නුගේ කැමැත්තට පරිබාහිරව හා ඔවුන්ගේ විඥානයෙන් ස්වාධීන වූ ප්‍රපංචයක් බවයි.

සියළු සමාජ – මානව සබඳතාවල තීරකයා ලෙස…
          මිනිස්සු සොබා දහම සමග සබඳතාවලට අවතීර්ණය වීමේදී ද, සමාජ නිෂ්පාදනයට දායක වීමේදී ද, සමාජයේ සෙසු සාමජිකයින් සමග සබඳතා පැවැත්වීමේ දී ද, එය සිදුවන්නේ ඓතිහාසික වශයෙන් නිර්ණය වූ නිශ්චිත නිෂ්පාදන (ආර්ථික) සබඳතාවල රාමුවක් තුල හිඳිමිනි. එක් එක් සමාජ සංවර්ධන අවධිය තුළ මිනිසා සොබා දහම සමග කරන ගනුදෙනුව සමීපව විමසා බලද්දී ඒ තුළ ඉතා බරපතල මෙන්ම සියුම් වෙනස්කම් හඳුනාගත හැක. උදාහරණයක් ලෙස පන්ති රහිත ප්‍රාථමික සාමහික සමාජයේ සාමාජිකයින් හට (වංශයේ සියළු සාමාජිකයින් හට) පොදුවේ අයත් වූ අතර සමානාත්මක පදනම මත බෙදා හැරේ. පන්ති සමාජය තුල නිෂ්පාදිතය පෞද්ගලික දේපල හිමියාට අයත් වන අතර බෙදාහැරීම ඔහුට වාසි සහගත ලෙසින් සිදු වේ. මෙම වෙනස සිදු වෙන්නේ එකී සමාජ අවධීන් දෙක අතර පවතින දේපල අයිතියෙහි ස්වරූපය අනුව ය. දේපල අයිතියෙහි ස්වරූපය ( විශේෂයෙන් නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතියෙහි ස්වරූපය) යනු නිෂ්පාදන සබඳතා ක්‍රමයේ තීරණාත්මක කාර්යභාරය ඉටු කරන මූලක සාධකයයි. අනෙක් අතට පන්ති සමාජ ක්‍රමයන්ගේ අවසන් අදියර වූ ධනවාදය තුළ සියළු මානව සබඳතා නිර්දය ලෙසින් වාණිජකරණය වේ. පූර්ව ධනපති පන්ති සමාජයක් තුල එලෙස දක්නට නොලැබේ. එය එසේ සිදු වන්නේ පොදු වශයෙන් ගත් කළ පන්ති සමාජයක් තුල පවතිනුයේ පෞද්ගලික දේපල සබඳතාවයක් වුවද ධනවාදය තුල පවතින පෞද්ගලික දේපල ස්වරූපය වූ ප්‍රාග්ධනයේ අනන්‍යතාවය (විශේෂත්වය) සමාජ ජීවිතයේ මානව සබඳතා මත ප්‍රකාශයට පත්වීමක් ලෙසයි.
සියල්ල කැටි කළ විට පෙනී යන්නේ නිෂ්පාදන  සබඳතා හෙවත් ආර්ථික සබඳතා සමාජ සබඳතා පද්ධතිය තුළ සියළු අත සැරිසරමින්, තීරක කාර්යභාරය ඉටු කරමින්, ඒවායේ පදනම හා මූලය ලෙස ක්‍රියාකරන බවයි. මිනිසුන් ඇසුරේ පවතින සියළුම දේශපාලන නෛතික සදාචාරාත්මක සබඳතා අවසාන වශයෙන් පවතින නිෂ්පාදන සබඳතා මත තීරණය වෙන බවයි.
මේ අනුව නිෂ්පදාන සබඳතා යනු, දේශපාලන ආර්ථික විද්‍යා විෂයෙහි අතිශය වැදගත් වූ මූලික සංකල්පයකි.

විමර්ශන.