ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම

ස්වෛරීත්වය විකිණීමට තිබේ!
April 27, 2017
ජාතික විමුක්ති උපායමාර්ගය යථාර්ථයක් ද?
April 27, 2017
Show all

ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම

ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පයක් වශයෙන් සමාජයේ දී පොදු හා සාධාරණ හැඩ රුවක් දක්වයි. එහෙත් එහි ප්‍රායෝගික භාවිතය පංතිමය පදනමක් සහිත ය. ප්‍රජාතන්ත්‍රවාදය නැමති සංකල්පයේ විකාශනය ඓතිහාසික ක්‍රියාවලියකි. මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය යන්න සංකල්පයක් වශයෙන් වඩාත් පුළුල් ව හා සංකීර්ණ ව විකාශනය වී ඇත. නමුත් ප්‍රායෝගික භාවිතයේ දී අපට දක්නට ලැබෙන්නේ එහි හැකිළී යාමය. මෙලෙසින් ප්‍රකාශයට පත් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය හුදු සංකල්පයක් වශයෙන් සහ එහි ප්‍රායෝගික භාවිතය ලෙසින් වන ප්‍රතිවිරෝධී ස්වභාවයයි. ජලය එය අඩංගු භාජනයේ හැඩ රුව ගන්නාක් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ද එය පවතින පංති සමාජයේ හැඩ රුව ගනී. එනිසා ධනපති සමාජයේ දී අපට හමු වන්නේ, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි. එනිසාම ධනපති ක‍්‍රමය තුළ අධිපති පංතිය වන ධනපතීහු ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමකරුවෝ ලෙසින් පෙනී සිටිති.
නිශ්චිත කාලයකට ධනපති පංතියේ නියෝජිතයා වශයෙන් රටක පෙනි සිටින්නේ, ධනපති ආණ්ඩුවයි. පංතියේ බලය මෙහෙය වන උපකරණය වන ධනපති රජය පවත්වා ගැනීමේ සහ හසුරුවා ගැනීමේ වගකීම පැවරෙන්නේ මෙම ධනපති ආණ්ඩුවට ය. රාජ්‍යයේ ස්වරූපය අති සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය යැයි පෙන්වීමට ධනපති පංතිය උත්සාහ කළ ද පංති සමාජයක් තුළ පාරිශුද්ධ දේවල් තිබිය නොහැක. තිබිය හැක්කේ පංතිමය දේවල් පමණක් ය. එනිසා ධනපති රාජ්‍යය ධනපති ක්‍රමයේ පැවැත්මේ උපකරණයයි. නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදය නම් සළුවෙන් වසන් කොට පවතින්නකි. සැබැවින් ම එම ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්නේ ද හසුරුවන්නේ ද ධනපති පංතිය විසින් ම ය. ජනතා විරෝධයන්, අප‍්‍රසාදයන්, අරගලයන් හේතුවෙන් ප්‍රෝඩාකාරී ලෙස නැතිනම් තමන්ගේ පරිත්‍යාගයන් ලෙස හුවා දක්වමින් සලාක ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදය දෙනු ලබන්නේ (කැමැත්තෙන් දෙනවා නොව දෙන්නට සිදුවේ.) ධනපති පංතියයි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටිද්දී නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියට සිදුව ඇත්තේ, අහිමි කළ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන අරගලයේ යෙදීමට ය. එහිදි ධනපති පාලකයෝ බාධා කිරීම්වල සිට පහර දීම්, ඝාතනයන් දක්වා මර්දනය දියත් කරති. ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන රටවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දිවි හිමියෙන් සටන් කිරීමට සිදුව ඇත්තේ මේ හේතුවෙනි.

සුළුතරය හා බහුතරය
ප්‍රජාතන්ත්‍රවාදයේ සරල නිර්වචනය බහුතරයේ කැමැත්ත යන්නයි. එනම් සුළුතරය බහුතරයට යටත් කිරීම (අවනත කර ගැනීම) යන්නයි. නමුත් ප්‍රායෝගික භාවිතයේ දී මේ බහුතරය යන්න අර්ථ දැක්වෙන්නේ අධිපති පංතියේ නිර්ණායකයෙන් අනුවයි. ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්වීම අදාළ පංති සමාජයේ හැඩයට අනුකූලව සිදුවේ. වහල් හිමි සමාජයේ බහුතරය යන්නට වහලා අයත් නැත. එනිසා එම සමාජයේ වහල්ලු අයත් නොවන බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක වේ. එහි තර්කානුකූල අවසානය වන්නේ එම බහුතරයේ කැමැත්ත වහලාට එරෙහිව ක්‍රියාත්මක වීමයි. එම සමාජ ආර්ථික ක්‍රමයේ ඇත්ත බහුතරය වහල් හිමියන් නොවූව ද වහල් හිමියාගේ කැමැත්තම ක්‍රියාත්මක වන්නේ එලෙසින් ය. ධනපති ක‍්‍රමය තුළ ද එය එසේම ය. ධනපති ක‍්‍රමය තුළ ද පාලක පංතියේ කැමැත්ත මූලික හා අනිවාර්ය වේ. මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජනතාවට තම කැමැත්ත ඒත්තු ගන්වා ජනතාව ලවා ම එය අනුමත කරවා ගන්නා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් උපකරණයක් ද පාලක පංතිය සතු ය. මෙහි ඇත්ත ක්‍රියාවලිය නම් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වීම නොව හැකිළී යාමය.
”ප්‍රජාතන්ත්‍රවාදයත්, අල්පතරය බහුතරයට යටත් කිරීමත් යන දෙක එකම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු අල්පතරය බහුතරයට යටත් කිරීම පිළිගන්නා රාජ්‍යයකි. නැතහොත් එක පංතියක් තවත් පංතියකට විරුද්ධව, ජනගහනයෙන් එක් කොටසක් එහි තවත් කොටසකට විරුද්ධව ක්‍රමානුකූල ලෙස බලහත්කාරය යෙදීමේ සංවිධානයකි.”
(ලෙනින් තෝරා ගත් කෘති වෙළුම 6 පිටුව 90)

ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීම
සැබවින්ම ධනපති පංතිය ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නියමුවන් වූ යුගයක් විය. වැඩ වසම් සමාජ ක‍්‍රමය පැවති මධ්‍යතන යුගය ලෙසින් හඳුන්වන අඳුරු යුගයේ වැඩ වසම් සම්ප්‍රදාය තුළ සමාජය ගිල්වා තිබුණි. එම පංති සමාජයේ ද සමාජ සංවර්ධනය බලහත්කාරයෙන් වළක්වාලීම උත්සාහ ගත් යුගයක් විය. නමුත් කිසිදු බලවේගයකට නවතාපිය නොහැකි නිෂ්පාදන බලවේගයන්ගේ අනවරත වර්ධනය හේතුවෙන් එම සමාජක්‍රමය බිඳවැටීමට හේතු විය. එනම් යල් පැන ගිය සමාජ සම්බන්ධතා බිඳවැටී නව සමාජ සම්බන්ධතා බිහි වීමේ අවශ්‍යතාවක් පැන නැඟුණි. යල් පැන ගිය වැඩ වසම් සමාජ සබඳතා නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට බාධා වන විට නව සබඳතා බිහි වීමේ විළිරුදාව වැඩ වසම් සමාජ ක‍්‍රමය තුළ මතු විය. මෙහි ප්‍රතිඵලය ධනේශ්වර විප්ලවයයි. ධනේශ්වර විප්ලවයේ දි එහි නියමුවන් වූයේ නැගි එමින් සිටි ධනපති පංතියයි. එහි දී ඔවුන්ගේ කාර්යභාරය ප්‍රගතිශීලී ය. විය යුතු පරිදි ම වැඩ වසම් ප‍්‍රභූවරු එයට ප්‍රතිවිරෝධය දැක්වූහ. ධනපතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමේ අවශ්‍යතාවය, පෙළඹුම ඇති කළ විෂය මූල යථාර්ථය එයයි. ප්‍රංශ විප්ලවය නිදර්ශනයට ගැනීමෙන් මෙය පැහැදිලි වේ. ප්‍රංශ විප්ලවයේ ආදර්ශ පාඨය වූයේ නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන්නයි. එය පීඩිත පංතීන් බලවේගයක් ලෙස එකට එකතු කළ හැකි සටන් පාඨයක් වුවද එහි අර්ථය ඊට එහා දිව යන්න කි.
ධනපති අර්ථ ක‍්‍රමය යනු ප‍්‍රාග්ධනය අරමුණු වූවකි. ධනපති ක්‍රමයේ සියල්ල ප‍්‍රාග්ධනය වෙනුවෙනි. ප‍්‍රාග්ධනය පුළුල් කිරීමට අතිරික්ත වටිනාකම් ඒකරාශි කළ යුතු ය. අතිරික්ත වටිනාකම් සූරාකෑම සඳහා නිදහස් ශ්‍රමය තිබිය යුතු ය. ඒ සඳහා අනිවාර්ය කොන්දේසිය වූයේ වැඩ වසම් ක්‍රමයේ ඉඩමට බැද දමා සිටි ශ්‍රමිකයින් ඉන් නිදහස් කර ගැනීම ය. එනම් ”නිදහස් මිනිසකු” බිහි කර ගැනීම ය. ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුළ ධනපතීන් ඉල්ලා සිටි නිදහස එයයි. තවද ප්‍රංශ විප්ලවයේ ආදර්ශ පාඨය තුළ වන සමානාත්මතාවය යන්න සැබැවින් ම ක්‍රියාත්මක වන්නේ නම් පංති අහෝසි වී යා යුතු ය. ධනපති පංතියේ අරමුණ එය නොවේ. සමාජය යැපුම් මාධ්‍ය නිෂ්පාදනයෙන් ඉවත්ව වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයට පරිවර්තනය වෙත්ම ධනපතියාට අවශ්‍ය වූයේ මිල දී ගැනීමේ සහ විකිණීමේ දී සමනාත්මතාවයයි. අලෙවි වීමේ හා අලෙවි කිරීමේ සමාන අයිතියයි. තමන් වෙළෙඳ භාණ්ඩ බවට පත්වීමේ සමානාත්මතාවයයි. වෙළඳ භාණ්ඩ නම් වූ මහා පොදු සාධකයේ සර්ව සමානත්වය තහවුරු කිරීමයි. ජාතික රාජ්‍ය ගොඩ නැගෙන විට (එය ද ධනපති ක‍්‍රමය බිහි වීමේ දී අත්‍යාවශ්‍ය වූ කොන්දේසියකි.) ඔවුන්ට ජාතිකවාදී සහෝදරත්වයක් අවශ්‍ය විය. මෙය සහෝදරත්වයේ පුළුල් අරුත නොවේ. ජාතික රාජ්‍යයක පැවැත්ම උදෙසා වන ජනතාවගේ ජාතිකවාදී සහෝදරත්වයයි. එනිසා ධනපති පංතිය ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදය එවන් අරමුණු සහ අරුත් සහිත ය. නෙදර්ලන්තය, එංගලන්තය, ඇමරිකාව වැනි අනෙකුත් ධනේශ්වර විප්ලව සිදු වූ රටවල ද ධනේශ්වර විප්ලවයේ සටන් පාඨ වෙනස්කම් සහිත ව වුවද ඒවායේ ද ධනේශ්වර පංතිය ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදය ඉහත ලෙස ම ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ බැසීම
මේ අප අද ජීවත් වන්නේ අර්බුදයට ලක් වූ ධනපති සමාජයක ය. දැන් ධනපති පංතිය ප්‍රගතිශීලි නැත. දැන් ඔවුන් පෙනි සිටින්නේ යල පැන ගිය සමාජ සබඳතා බිඳවැටීමෙන් ආරක්ෂා කර ගැනීම හෙවත් පවතින ක‍්‍රමය රැක ගැනීම සඳහා ය. ධනපති පංති නායකත්වයෙන් යුත් නූතන ධනපති රාජ්‍යවල පවතින්නේ අත්තනෝමතිකත්වයයි. එය වසන් කිරිම සඳහා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය උපයෝගී කර ගනු ලබයි. පාලකයින් තම පාලන කාලයන් හිතුවක්කාරී ලෙස දීර්ඝ කර ගන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. නියෝජිත ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීම් තමන්ට සියලු වාසි සහගත තත්වයන් තුළ පවත් වන්නේ ද බදු බර ජනතාව මත පටවන්නේ ද රැකියා අහිමි කරන්නේ ද, රටේ සම්පත් කොල්ල කන්නේ ද, විකුණන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. කෙටියෙන් ම පවසන්නේ නම් ජනතාව පෙළන්නේ ද, මර්දනය කරන්නේ ද, ඝාතනය කරන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි; නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ය.
සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය පැන නගින්නේ, නව සමාජය උදෙසා සටන් කරන්නන්ට ය. එනම් මේ මොහොතේ නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියට ය. එහිදි ධනපති අත්තනෝමතිකත්වයට එරෙහිව අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනා ගත යුතු ය. (එහෙත් ඒවා නැවතත් ධනපති පංතිය උදුරා ගැනීමට කටයුතු කරනු ඇත.) එසේ වුවද පංති සටනේ දී ප්‍රජාතන්ත්‍රවාදී ප‍්‍රතිසංස්කරණයන් දිනා ගැනීම මගින් එය පංති සටනට රුකුලක් කර ගත යුතු ය. සමාජ සංවර්ධන ක්‍රියාවලියේ දී මේ ගෙවී යන්නේ සමාජවාදී විප්ලවයේ අවධියයි. මේ යුගයේ දී ධනපති පංතිය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ය. ඒ, මේ යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය යනු පීඩිත පංතියේ අරමුණු හා බැඳුනක් නිසාවෙන් ය. පංතියේ විමුක්තිය උදෙසා වන අරගලයට, පංතිය සවිඥාණික කිරීමේ කාර්යයට, පංතිය සංවිධානය කිරිමේ ඉඩ කඩ ලබාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය තිබීම වැදගත් ය.
ධනපති ක‍්‍රමය එහි යෞවනයේ දී ඉටු කළ ප්‍රගතිශීලි කාර්යභාරය එහි අර්බුදය උත්සන්න වූ ජර පත් මහලූ අවධියේ එලෙසින් ම ඉටු කරන්නේ නැත. පංති සමාජයේ අවසානය සනිටුවන් කරන මෙම සමාජවාදී විප්ලව අවධියේ ධනපති පංතියේ සමාජ සංවර්ධනයට අදාළ කාර්යභාරය නිම වී පවතී. දැන් ඔවුන් පෙනී සිටින්නේ ධනපති ක‍්‍රමය සදාකාලිකව රැක ගැනීම උදෙසා වන නිරර්ථක අරගලය වෙනුවෙන් ය. සමාජ සංවර්ධනයේ නියාමයන්ට අනුකූලව යල පැන ගිය සමාජ ක්‍රමයක් රඳවා තබා ගැනීමේ ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නැත. තාවකාලික පැලැස්තර, වේදනා නාශක, නිර්වින්දන භාවිතා කළ ද එයින් ධනේශ්වර අර්බුදය නම් රෝගයට විසඳුම් නැත. පවතින මෙම අර්බුදය විවිධ හැඩ රුවින් විවිධ ස්වරූපයෙන් ප්‍රකාශයට පත් වේ. එය සරල ප්‍රකාශ වීම්වල සිට සංකීර්ණ ප‍්‍රකාශනයන් දක්වා විහිද පවතී. ඊට අනුරූපී ලෙස පීඩිත පංතින් තුළ වන පීඩනයේ කෝපය ද ප්‍රකාශයට පත් වේ. සැබවින්ම ඒ කෝපය යනු පීඩනයෙන් මිදීමේ උවමනාවයි. ධනපතීහු එම මිදීම හෙවත් විමුක්තිය වෙනුවට ඒවා මර්දනය සඳහා ක‍්‍රමවේදයන් සොයති.
පීඩනය ප්‍රකාශ වීමේ ආකාර කීපයක් පවතී. ධනේශ්වර ක්‍රමයේ පීඩනය පරාවර්තනය වන එක් ආකාරයක් වන්නේ අවිනිශ්චිතතාවයි. ජීවිතයේ සියල්ල ඉටු නොවන අරමුණු බවට පත්වීමෙන් අවිනිශ්චිතතාව පැන නගී. එවන් විටක දී මිනිසෙකුගේ එදිනෙදා අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම වුවද ජය ගත නොහැකි ඉලක්කයන් බවට පත් වේ. ශ්‍රම සූරාකෑම හරහා ධනපති ප‍්‍රාග්ධනය පුළුල් වනවාක් මෙන් ම ඊට ප්‍රතිලෝමව (අනෙක් අතට) පීඩිත පංතීන් දරිද්‍රතාවේ පතුලට කඩා වැටේ. තමන් සතු එකම දෙය වන ශ්‍රම ශක්තිය අහිමි කරන ලදුව බලාපොරොත්තු කඩවීමේ, ජීවිතය බිඳ වැටීමේ තත්වයට පත් වේ. පළමු පැයේ දීම පීඩිතයා අර්බුදයේ මූලයන් හෝ පාලකයින් සමඟ ගනුදෙනු බේරා ගැනීමට තරම් සවිඥානක නැත. එම නිසාම නො පෙනෙන බලවේග හා මානසික ව ගැටෙමින් පිහිට යදින ආදි මානවයකුගේ තත්වයට පත් වේ. තමාගේ නො ලැබීම, කරුමය ආදිය පිළිබඳව මැසිවිලි නගමින් ලත වෙමින් සිටී.
අවසානයේ සියලු පෞද්ගලික උත්සාහයන් ව්‍යර්ථ වූ පසු ධනපති අර්බුදය නමැති මහා ප්‍රවාහය තුළ ජීවිතය ඉබේ ඇදී යාමට ඉඩ දී බලා සිටින්නන් බවට පත් වේ. එයින් පිටවීමට ගන්නා සෑම උත්සාහයක් ම තමන් තව තවත් අමාරුවට ඇද හෙළන්නක් බව සිතයි. එහෙත් ධනේශ්වර ගුරුත්වාකර්ෂණ බලය තුළට ජීවිතය ඇදී යාමට ඉඩ දී සිටිය ද ඉන් රැකවලක් නැත. ආර්ථික අර්බුදයේ සෑම කම්පනයකින් ම, තිගැස්මකින් ම, පුද්ගලයා පීඩාවට පත් වේ. එමෙන්ම සමාජ විෂමතාවයන්ගෙන් පහර කනු ලබයි. සමාජ අපරාධවල ගොදුරු බවට පත් වෙයි. අර්බුදය නාසයට ම ගලා ඇතැයි සිතන මොහොතේ පීඩිත ජනතාව ක‍්‍රමය තුළින් එන පීඩනය ප්‍රකාශ කිරීමට පෙලඹේ.

අරගලයේ පාසල
ඒවා හුදු හැඟීම්වලින් ඇරඹී සවිඥානක වාචික ප්‍රකාශ වීම් අයුරින් වර්ධනය වේ. එලෙස පවතින ජීවිතය විවේචනය කිරිම යනු පවතින සමාජ ආර්ථික ක‍්‍රමය විවේචනය කිරීමකි. තවද පවතින ජීවිතය වෙනස් කළ යුතු යැයි සිතීම පවතින සමාජ ක‍්‍රමය වෙනස් විය යුතු යැයි සිතීමකි. අවිඥානකත්වයේ සිට සවිඥාණකත්වය දක්වා වර්ධනය වී මෙසේ මතවාදීමය වශයෙන් ක්‍රමයට එන ප්‍රහාර වැළැක්වීම සඳහා ධනපති පංතිය සතු උපක්‍රම හා උපකරණ පවතී. ධනපති රජය එම මතවාදයන් අදහස් උදහස් යටපත් කරනු ලබන පරදාලන භාවිතයෙන් සොයා ගනි. ඒවා ක්‍රියාවට නගන මාධ්‍යයන් සොයා ගනී. එලෙස මතවාදී අරගලයෙන් පංති සටනේ පළමු ආකාරය සකස් වේ. ධනපති මතවාදය මෙම සමාජ ක‍්‍රමය තුළ අධිපති මතවාදය ලෙසින් තම ක්‍රමයේ සියලු ආයතනයන් (පාසල වැනි සෘජුව ම අධ්‍යාපනය දෙන ආයතන, යුක්තිය පසිඳලන්නට යැයි ගොඩ නංවා ඇති ආයතන, ආගමික හා ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ ආයතන, පවුල නමැති ජීවිතයේ පළමු පාසල පවා) උපයෝගී කොට ගෙන එය තහවුරු කරයි. ධනපති ක‍්‍රමය සදාකාලික යැයි ද එයට අනුගත වනවා හැර එය ඉක්මවා යා නොහැකි බව ද පුරුද්දක් ලෙසින් ම ජීවිතයට ඇතුල් කරයි. ඒ මගින් ධනපති සදාචාරය වන පටු ආත්මාර්ථයත් එකෙකු අනෙකා ඩැහැ ගැනීමත් ජීවිතය යැයි සිතන්නට හුරු කරවයි. ඒ සඳහා නවීන විද්‍යාව ද නවීන උපකරණ ද යොදවා ගනී. කට කතාව, ජනවහර, පුවත්පත, විද්‍යුත් සන්නිවේදනය යන සියල්ල මාධ්‍ය කොට ගෙන සරල වාක්‍ය,ශාස්ත්‍රීය ලේඛන, සෞන්දර්යාත්මක වාක්‍ය, සාහිත්‍ය නිර්මාණයන් සියල්ල උපයෝගී කර ගනියි. මෙලෙස අධිපතිත්වය තහවුරු කර ගන්නේ සුළුතරයේ මතවාදයයි. ඒ අනුව තම පංතියේ නොවන බහුතරයේ මතය යටපත් කිරීම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි.
ධනපති ක්‍රමයේ පීඩනයට එරෙහිව මතු වන මතවාදී අරගලය ස්වයං සිද්ධ අරගලයන් දක්වා වර්ධනය වේ. වර්තමාන ලංකාවේ ජනතාව දෙස බැලුව ද එය එසේම ය. බලය තියෙන උදවියට ම, බලය නැවතත් දිනා ගනිවී යැයි සිතන උදවියට ම, මැතිවරණවල දි කතිරය ගසා ප‍්‍රතිඵල ඉලක්කම් ලෙස දිනූ පැත්තේ සිට හුරේ දමා තමන් පීඩාවට පත්කරන පිරිසටම තවදුරටත් තමන් පෙළීම සඳහා නියෝජනයක් ලබාදෙමින් ජනතාව මැතිවරණ මුලාවට අසු වෙයි. මැතිවරණවල දී හැසිරීම අතිශය පෞද්ගලික හා රහසිගත කටයුත්තක් බවට පත් කිරීම ධනපති මැතිවරණ විජ්ජාවේ උපායයි. රටක ජනතාවගේ හෙට දවස නොව ඡන්දදායකයාගේ අද දවස මත අද ලාභය මත මැතිවරණයේ දී ජනතා හැසිරිම තීරණය වේ. ප්‍රතිඵලය නිකුත් වීමටත් පෙර ම ඔවුහු නැවත මහ මග ය. සටන් බිම්වල ය. උපතේ සිට විපත දක්වා වූ සියලු කාරණා සඳහා ජනතාව ස්වයං සිද්ධ ව අරගලකාරීව මහ මගට බසිති. මාතෘ සායනයේ සිට සොහොන් බිම දක්වා දේශපාලකයින්ගේ මැදිහත් වීම් ය. වංචාව ය. සොරකම ය. ජනතාවට ඒවා ලබාගැනීමට ඇති අයිතිය උදුරා ගැනීම් ය. නැතිනම් මූලික අවශ්‍යතා ලබාගැනීම් අවහිර කිරීම් හෝ වසා දැමීම් ය. විරෝධය දැක්වීම් ද විවිධාකාරය. මහමග වැතිර ගැනීම්, මාර්ග අවුරා දැමීම්, ගස් උඩ උපවාස, වතුර ටැංකි මත උපවාස, පෙළපාලි, ගල් මුල් ප්‍රහාර සිට තව බොහෝ ස්වරූපයෙන් ඒවා සිදුවේ. ස්වයං සිද්ධ අරගලයන්ට ඇත්තේ කෙටි කාලීන හා සරල ඉලක්කයන් ය. එම අරගලයන් හුදු වේදනාව, වෛරය පිට කිරීම් පමණි. සවිඥානක නැත. නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියේ දේශපාලන ව්‍යාපාර ඒ හා සම්බන්ධිත වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම්, තරුණ සංගමි, කාන්තා සංගම්, ගොවි සංගම්, විවිධ සමාජ ජන කණ්ඩායම් නියෝජනය කරනු ලබන, විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරන සංවිධානාත්මක අරගල සවිඥානක අරමුණු සහිත ය. සැබැවින් ම පළමුව ඒවා ආර්ථික අරගලයන් ය. දෙවනුව පංති අරමුණු සහිත දේශපාලන අරගලයන් බවට වර්ධනය වේ. මූලික ව අයිතිත් දිනා ගැනිම්වල සිට පංති බලවේග ලෙසින් සංවිධානය වීමේ ඉලක්ක සහිත වත් පංති සටන් උර ගල මත පන්නරය ලැබීම සඳහාත් අවසානයේ නිර්ධන පංතියේ විමුක්තිය උදෙසා වන දැවැන්ත අරගලයේ පෙරහුරු ලෙසත් මේවා ඉතා සංවිධිත ව හා සවිඥානක සිදුවේ. ආර්ථික අරගලයන්ගේ ස්වරූපයෙන් ඇරඹෙන මෙම අරගලයන් දේශපාලන අරගලයන් දක්වා පරිණත වේ. ඒ නිර්ධන පංති පක්ෂයේ නායකත්වය හා මඟ පෙන්වීම සහිත ව ය.

බැටළු හම්, වෘක දත්
‘ප්‍රජාතන්ත්‍රවාදය’ තම පාලන ආකාරය ලෙසින් හඳුන්වන ධනපති පංතිය තම සැබෑ ස්වරූපය පෙන්වන්නේ ජනතා විරෝධයන් හමුවේ දී ය. පවතින්නේ යැයි පවසන අති පිරිසිදු සුජාත පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය වේ නම් ජනතාවගේ හැඟීම්, විරෝධයන් බවට පත් වන සරල මොහොතේ සිටම ඒවාට පාලකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විසඳුම් දෙනු ඇති. අර්බුදයකට ගිය සමාජ ක්‍රමයක එම සමාජ ආර්ථික ක‍්‍රමයම එහි රෝගය වී ඇති අවස්ථාවක තමන් විසින් ම තමන් අවසන් කර ගැනීම සඳහා විෂය මූල තත්වයන් සකස් කර ගන්නා සමාජයක තම ක‍්‍රමය අවසන් කරන්නවුන් එය වළ දමනු ලබන්නන් තමන් විසින් ම නිර්මාණය කොට ගන්නා සමාජ ක්‍රමයක ඉරණම එහි අවසානය මිස එයට වෙනත් විසඳුම් නැත. පිළියම් නැත. තිබුණ ද තාවකාලික ය. එසේම එවන් පිළියම් ද යළි ප‍්‍රශ්නයකටම හේතුවේ. එවන් තත්වයට පත් වූ සමාජයක් අර්බුදය වරදාන වරප‍්‍රසාදයන්ගෙන් තාවකාලිකව සමනය කර ගත්ත ද ඔවුන්ට තිබෙන එකම අවසාන විසඳුම මර්දනයයි. වරදාන හා වරප්‍රසාද ඔස්සේ තාවකාලිකව නිහඬ කර ගන්නා පුද්ගලයා ඊළඟ වටයේ දී එයින් රැවටිය නොහැකි ලෙසින් ම අර්බුදයේ ගිලේ. නැතිනම් වරදාන වරප්‍රසාද ලබන්නා දේශපාලන බලයේ පිහිටෙන් නිති විරෝධී ව තම ප්‍රශ්න විසඳා ගැනීමට යාම ම නැවත සමාජයේ නව අර්බුදයන් නිර්මාණය කරයි. රාජ්‍ය ගැත්තන් සහ දේශපාලකයින්ගේ ගැත්තන්ගේ ක්‍රියාවන් මේ සඳහා නිදර්ශන වේ. වරප්‍රසාද වරදානයන් මගින් යම් ජන කණ්ඩායමක් හෝ සංවිධානයක් රවටාලිය නොහැකි මොහොතේ සිට, අරගල පැන නගින මොහොතේ සිට ධනපති ක්‍රමයේ එකම සහ අවසාන පිළිතුර මර්දනයි.
පළමුව අරගලයන්ට නායකත්වය දෙන නායකයින් බිළි බා ගැනීම් හෝ නිහඬ කිරීම හෝ අවසානයේ දී මර්දනය කිරීම (අතපය කඩා දැමීමේ සිට ඝාතනය දක්වා ඕනෑම දෙයක් මගින්) සිදු කරයි. එයින් අරගල නවතින්නේ නැත. නව නායකයින් බිහි වේ. පාවා දෙන්නන් ඉවතට විසි වී අව්‍යාජ නායකත්වයන් බිහි වේ. සටන් දිග් ගැස්වීමට හැරීම්, කුරුවල් වීමට හැරීම්, දරා ගැනීමේ සීමාවන් දියාරු කිරීම්, ජනතාවගෙන් ම විරෝධයන් ඇති කිරීම්, අරගලය හුදකලා කිරීම්, නීත්‍යනුකූල හෝ නොවන ලෙසින් මර්දනය ගෙන ඒම ආදී උපක්‍රම භාවිත කරයි. ඒ සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සිදු කරන බව පාලකයා පැවසුව ද අවසාන උත්තරයක් ලෙස පාලකයාට ඇත්තේ මරා ගෙන මැරෙන උත්තරයකි. එය මර්දනයයි.
ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් බලයට පැමිණිය ද අර්බුදයන්ට පිළියම් නැති වන විට පාලකයාගේ පෞද්ගලික ස්වභාවය කුමක් වුවද ඔහු ක්‍රමයෙන් ළඟා වන්නේ ජනතාව පෙළන ජනතාව මර්දනය කරන දිශාවට ය. ආගම වැනි සමාජ සංවිධනයන් ,මාධ්‍ය වැනි මිනිස් සන්නිවේදන ජයග්‍රහණයන්, ධනපති පංතිය විසින් ම තම කැමැත්ත බහුතරයේ කැමැත්ත ලෙස හුවා දක්වමින් සම්මත කර ගත් නීති අණ පනත් ඒ සඳහා යොදා ගැනේ. ඉවසීමෙන් සැනසීම ලැබෙන තෙක් ඉවසීම, කටකතා පැතිරීමෙන් ජනතාව මුලා නොකිරීම (සැබවින්ම කටකතා පතුරු වන්නේ ධනපති පංතියම ය.), අරගල පැන නැගීමෙන් මහජන සාමය බිඳ වැටීමට ඉඩ ඇති බැවින් යටත් වී සිටීම වැනි වැදි බණ දේශනා කරමින් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය නමැති ප්‍රෝඩාව දියත් වේ. මේවා පීඩිත ජනතාව ධනපතියාට හීලෑ කර ගන්නා උපායන් ය. මහජන සාමයට බාධා වන්නේ යැයි පවසමින් ප්‍රශ්න වෙනුවෙන් හ`ඩ නගන ජනතාව (ඔවුන් උපයන දෙයින් බදු ලෙස ගෙන වැටුප් ගෙවන) තමන්ගේ ම දූ දරුවන්, නෑසියන්, තම පංතියට අයත් වූ වන් වන පොලිසි, හමුදාවන් යොදවා මර්දනය කරවයි. මර්දනය ද එකම පිළියම නොවේ. උගුරට හොරා බෙහෙත් කෑමකි. සමාජ ක‍්‍රමය වෙනසක් ඉල්ලා සිටින විට දිරා ගිය තාප්පයකින් දැවැන්ත ජල පහරක් වළක්වන්නා සේ මර්දනයෙන් කිසිවක් කළ නොහැක. එවිට හදිසි මැතිවරණයන් මගින් විරෝධයන් කෙරෙහි අවධානය වෙනස් කරයි. ජේ. ආර්. වෙනුවට ප්‍රේමදාස, චන්ද්‍රිකා වෙනුවට මහින්ද ආදී ආදේශයක් පැමිණේ. නො වැළැක්විය හැකි ලෙසින් ම පංති සටන ඇවිළෙන අවස්ථාවල දී තම පංතියේ කෙනෙකුට (දේශපාලන විරුද්ධවාදියකු වුවද) බලය හුවමාරු කරයි. ඉන් නො නැවතී ව්‍යවස්ථා සංශෝධනයන් මගින් නිති සම්මතයන්ගේ සිට හමුදා කුමන්ත්‍රණ දක්වා ද උපක්‍රම වෙනස් කරයි. ඒ සියල්ලේ ඒකායන අරමුණ මර්දනයම ය. මේ සඳහා දේශීය හා විදේශීය උදාහරණ බොහෝ ය.

මාකෝස් හා මිතුරෝ
ඉන් වැදගත් පැහැදිලි නිදර්ශනයක් වන්නේ පිලිපීනයේ මාර්කෝස් ය. ඔහු පිලිපීනයේ 1965 සිට 1986 දක්වා ජනාධිපතිවරයා ය, ජනාධිපති වීමට පෙර සිටම දෙවන ලෝක යුද සමයේ ජපන් විරෝධි ගරිල්ලා ක්‍රියාකාරීත්වය නිසා රටේ ජනාදරයට පත් වූ පුද්ගලයෙකි; පිට පිට දෙවතාවක් පිලිපීනයේ ජනාධිපති ධුරයට පත් වූ පළමුවැන්නා ය. 1965 පළමු වරට ජනාධිපති වූවායින් පසුව කි.මි. 16,000ක මහා මාර්ග සෑදීමට ද මීටර් 30,000 ක ප‍්‍රමාණයක් ස්ථීර පාලම් ගොඩනැගීමට ද කිලෝ වොට් මිලියන දශ ලක්ෂයක විදුලිය උත්පාදනය කිරීමට ද සැලසුම් කළේය. කඩිනම් සංවර්ධනයකට උනන්දුව දැක්වීය. නමුත් ඔහු තම පාලන කාලය තුල නාස්තියට දූෂණයට පාර කැපීය. දෙවන වර ජනාධිපතිවරණයේ දී ඇමරිකන් ඩොලර් මිලියන 56ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා යෙදවීය. සැබැවින් ම ඔහු ඇමරිකන් ගැති ක්‍රියා පිළිවෙළකට පිලිපීනය යටත් කළේය. ජනතාවගේ දේපළවලින් අධික සැප සම්පත් සහිත ව ජීවත් වන්නට විය. ජනාධිපති ධුරයට දෙවරකට වැඩියෙන් ඉදිරිපත් විය හැකි සේ 1972 සැප්තැම්බර් 22 ව්‍යවස්ථා සංශෝධනයක් කළේය. (රාජපක්ෂ ආණ්ඩුවේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිහි කර ගන්න.) ඒ කෙරෙහි පැන නැගුණු විරෝධය මර්දනය කරන්නට පෙළඹුණි. ඔහුගේ පැවැත්ම සඳහා සහ ජනතා මර්දනය පිණිස ඇමරිකාව මූල්‍ය හා හමුදා ආධාර පවා දෙනු ලැබීය. නමුත් 1986 පැන නැගි මහා ජනතා විරෝධය හමුවේ ඔහුට තම උපන් බිමෙන් පලා යන්නට සිදු විය. ජනතාව ඔහුගේ මාලිගය වටලා ඔහු පළා ගිය පසු එම ගොඩනැගිල්ලේ බිත්තිවලට මූත‍්‍රා කරන්නට තරම් පෙලඹුණේ ඔවුන්ගේ වෛරයේ, කෝපයේ තරම පෙන්වමිනි.
දේශීය වශයෙන් සලකා බැලූවද 1977 ජයවර්ධන ආණ්ඩුව හයෙන් පහක ජන කැමැත්තක් සහිත ව බලයට පත් විය. 1978 ව්‍යවස්ථා සංශෝධනය මගින් අසීමිත බලතල සහිත ව විධායක ජනාධිපති ධුරය ඇති කළේය. එයට විවිධ සංශෝධන එක් කරමින් සමානුපාතික ඡන්ද ක‍්‍රමය ආදී අංග ඈඳන ලදී. එහි අවසන් අරමුණ වූයේ සදාකාලිකව බලයේ සිටීමයි. එයට අභියෝග එන විට අවසන් ප්‍රතිඵලය මර්දනය පමණ ය. අවසානයේ එය ප්‍රගතිශීලී පුද්ගලයන් දඩයමේ සිට වෘත්තීය සමිති, ශිෂ්‍ය සමිති හා පක්ෂ තහනම් කිරීමි මගින් මහා ඝාතන සංස්කෘතියක් බවට පත් කළේය. අවසන තම පැවැත්ම උදෙසා ම විරෝධය දැක්වූ ජනතාව මරා දමමින් ඉන්දු ලංකා ගිවිසුම ද අත්සන් කළේය. ජේ. ආර්. යුගය අවසන් වීම ලෙස නොව එහි දිගුවක් ලෙස පැමිණි ප්‍රේමදාස යුගය ද ජේ. ආර්. සමය පරදවන්නට විය. එ.ජා.ප. 17 අවුරුදු සාපය අවසන් කරමි යැයි පවසමින් පැමිණි පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ද ජනතාව පෙළමින් මර්දනයෙන් පාලනය ගෙන ගියේ ය. නූතන විහාර මහා දේවිය ලෙස ජනතාව විසින් ඔසවා තැබුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක පසුව හැතිරියක සේ සලකන්නට ජනතාව පෙළඹුණි. එම පාලනයේ ම දිගුවක් වන වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගමන් මග ද, ක්‍රියා පිළිවෙත ද, ප‍්‍රතිපත්තිය ද, උද්දච්චකම ද පෙර ඒවාට වෙනස් නැත. ඇමතිවරු අගමැතිවරු ගමේ සිට දුම්රියෙන් කොළඹ ගිය බව අසන්නට ලැබෙන මහජන නියෝජිතයින් සිටි බව කියවෙන එකමත් එක කාලයක දී පවා පාලකයෝ ජනතාව පෙළුෑහ; මැරකම්වල යෙදුණ හ; ජනතාව මර්දනය කළහ. පොලිසියේ හමුදාවේ සන්නද්ධ ශක්තිය, පොලිස් පොල්ලේ දිග පළල, ගිනි අවිවල ස්වයංක්‍රීය බවේ අඩු වැඩි කම් තිබෙන්නට ඇත. ආපසු හැරී බලද්දී එක් ආණ්ඩුවක් මර්දනීය ක්‍රියාමාර්ග අතින් අනෙකට දෙවෙනි නැත. එය එසේ වුවද සියල්ලන් ම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිකරුවන් සහ මුර දේවතාවුන් ය.
පාලකයින් තම ක‍්‍රමය පවත්වා ගැනීමේ ඒකායන මාර්ගය මර්දනය කොට ගන්නා විට ජනතාවට අනිවාර්යයෙන් ම ඉතිරි වන්නේ, මහජන බලයෙන් ඔවුන් පලවා හැරීම ය. විවිධ ව්‍යවස්ථාමය විජ්ජා මගින් ජනතාවගෙන් ඩැහැ ගත් ජන බලය ජනතාවට ම එරෙහිව යොදවන විට එය නැවත ජනතාව අතට ගැනීම සර්ව සාධාරණය. ඒ හේතුවෙන් ලෝකයේ ජනතා නැගිටීම් ඉතිහාසයක් ඇත. මෑතක දි මැද පෙර දිග හරහා හඹා ගෙන ගියේ එවැන්නකි. ටියුනීසියාවෙන් ඇරඹි මෙම ජනතා නැගී සිටීම් රැල්ල අවසානයේ පාලකයින් පළවා හැරිය ද එය පංතියේ විමුක්තිය උදෙසා මෙහෙය වන්නට පංතියේ නියමු පක්ෂයක් නොමැති වීමෙන් යළි අධිරාජ්‍යවාදීන්ගේ බළල් අත්වලින් මෙහෙය වෙන්නට පටන් ගෙන තිබේ. පිලිපීනයේ මාකෝස්ට රටින් පිටත මිය යන්න සිදු වුයේ මේ නිසා ය. නමුත් ධනපති පංතියේ නියෝජිතවරියක් වන අකිනෝ බලයට පැමිණෙන්නේ ද පංතියේ නියමු කාර්ය භාරය ඉටු කරන පක්ෂයක් නොවූ නිසා වෙනි. ලෝක ඉතිහාසයේ ජනතා නැගිටීම් බොහෝමයක් ජනතා ජයග‍්‍රහණයන්ගෙන් කෙළවර විය. ඒවා නිර්ධන පංති පක්ෂයේ නායකත්වයෙන් සමාජවාදී විප්ලවය දක්වා ම ඉදිරිගාමී විය.
මේ සියල්ලෙන් පෙනි යන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය පංති සමාජයේ නිපයුමක් බවයි. පංති සමාජයේ අධිපති පංතිය එය උපයෝගී කර ගනී. මෙතෙක් සිදු වූයේ සුළුතරය විසින් බහුතරය පාලනය සඳහා මෙය යොදා ගැනීම ය. ඉතිහාසයේ පළමු වතාවට පංති සමාජයේ අවසානයේ දී ඇත්ත බහුතරය වන නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතිය අතට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගනියි. එවිට එය වචනයේ අරුතින් ම ප්‍රජාතන්ත්‍රවාදය වේ. එහෙත් එය නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදයයි. නමුත් පංති රහිත කොමියුනිස්ට් සමාජයේ දී ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ අවශ්‍යතාවය ඉවත් වේ. පුරුද්ද විසින් ජනතාව සාමූහික පැවැත්ම රකියි. කෙසේ වුවද සෑම මිනිසෙක් ම සමාන අයිතීන් හා සමාන අවස්ථා භුක්ති විඳින කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් නිම වන දිනය දක්වා නිර්ධන පංති පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලීමට එරෙහිව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරයි.
‘අපි’ ධනපති පංතියට මෙසේ කීවෙමු: සූරා කන්නන් හා වංචනිකයින් වන නුඹලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන්නහුය. නමුත් ඒ අතරම, පීඩිත ජනතාව දේශපාලනයට සහභාගි වීමෙන් වැළැක්වීම පිණිස බාධක දහස් ගණන් ඉදිකරන්නහුය. අපි නුඹලා කියන දේ එසේ ගනිමින්, මෙම ජනතාවගේ යහපත පිණිස නුඹලා බලයෙන් පහ කර දැමීමේ අරමුණ ඇතිව මෙම ජනතාව විප්ලවයට සූදානම් කරනු සඳහා නුඹලාගේ ප‍්‍රජාතන්ත‍්‍රය පුළුල් කරන ලෙස බල කරමු.’
(ලෙනින් තෝරා ගත් කෘති වෙළුම 9 පිටුව 67)
ධනුෂ්ක හර්ෂණ වික‍්‍රමරත්න