දැනුම විකිණිය හැකිද?

සාවද්‍ය පරාවර්තනයේ හේතු
February 24, 2020
චින්තනය වල්මත් වූ කල
February 24, 2020
Show all

දැනුම විකිණිය හැකිද?

දැනුම සමාජය හා චින්තනය

15

දැනුම යනු සමස්ත මානව ඉතිහාසය පුරාම මිනිසාගේ ක්‍රියාකාරීත්වය තුළ එකතු කර ගත් අත්දැකීම්වල සමස්තය බවත් අපගේ දැනුම තුළ සත්‍යය පිළිබිඹු වීමට නම්, ලෝකය තේරුම් ගැනීමේ නිවැරදි ආකාරයන් අනුගමනය කළ යුතු බවත් අපි කතා කළෙමු.

මානව වර්ගය සිය ඉතිහාසය පුරා වෙහෙස වී, මහා කැපකිරීම් කොට සොයා ගත්, උගෙන ගත් ඒකරාශී කරගත් මහා දැනුම් සම්භාරයක් සමාජයට දායාද කොට තිබේ. නූතන සමාජයේ ජීවත් වන මිනිසා එම දැනුම් සම්භාරය විධිමත් ආකාරයෙන් මෙන්ම අවිධිමත් ආකාරයෙන්ද පරපුරෙන් පරපුරට දායාද කරමින් නව දැනුම් එකතු කර ගනිමින් ඉදිරියට යයි. අතීත දැනුම අනාගත පරපුර වෙත ක්‍රමවත්ව, විධිමත්ව, විද්‍යාත්මකව ලබා දෙන ආකාරය අප හඳුන්වන්නේ අධ්‍යාපනය නමිනි. අධ්‍යාපනය මගින් අප සමාජයට ලබා දෙන්නේ සමස්ත ඉතිහාසයක අප දන්නා හා නොදන්නා ගැහැනුන් හා මිනිසුන් විසින් එක්රැස් කළ අත්දැකීම් හා දැනුමය. එය නැතිව සමාජයට ඉදිරියට යා නොහැක.

වෙළඳපොළට ගෙනා දැනුම

මේ වනවිට අපේ රට තුළ දැවැන්ත සංවාදයක් හා විශාල උද්ඝෝෂණ රැල්ලක් මතුව තිබෙන කරුණක් තිබේ. ඒ, පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව හා පොදුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවය. අධ්‍යාපනය පෞද්ගලීකරණය යනු නොමිලේ ලබා දෙන අධ්‍යාපනය මුදලට විකිණීමේ අවස්ථාවයි.

ධනවාදය තුළ ධනපතියාට, ධනපති ආණ්ඩුවලට සෑම දෙයක්ම වෙළඳ භාණ්ඩයකි. ධනවාදය පවතින්නේ ප්‍රාග්ධනය මූලික කරගෙනය. ප්‍රාග්ධනයේ පැවැත්ම සඳහා එය සෑම විටම අතිරික්ත වටිනාකම් එකතු කර ගනිමින් ප්‍රසාරණය විය යුතුය. එනම් ‘ලාභ’ ලැබිය යුතුය. ඒ අර්ථයෙන් ගත කළ ධනවාදය ලාභය මත පදනම් වූ සමාජයකි. ඒ නිසා එහි සෑම දෙයක්ම, මානව සබඳතා පවා විකිණීමට තබා තිබේ. ධනවාදය තුළ දැනුම වෙළඳ භාණ්ඩයක් වන්නේ ඒ නිසාය. ලංකාවේ වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනය විකුණන සයිටම් මුදලාලිගේ කඩයේ වෛද්‍යවරයෙක් වීමට දෙන දැනුමේ වටිනාකම රුපියල් ලක්ෂ 125ක් ලෙස මිල කර තිබුණි. මීට අමතරව නිතිපතා ටියුෂන් කඩවලද විවිධ මිල ගණන්වලට අධ්‍යාපනය විකිණේ. අධ්‍යාපනය ලබා දෙන තැනැත්තා ජීවත් විය යුතු නිසාත් ඔහු කරන සේවයට ගෙවීමක් කළ යුතුය. ඔහුගේ ශ්‍රමයට ගෙවිය යුතුය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් අතීත පරපුරක් විසින් නිපදවූ දැනුම තමන්ගේ දෙයක් සේ වෙළඳ පොළේ විකිණීමට ඔහුට අයිතියක් නැත. එනම් අධ්‍යාපනයට මිලක් නියම කළ නොහැක.

සමාජමය දැනුම සමාජයේ පැවැත්ම සඳහා බෙදා හදා ගැනීම, එය පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම සමාජ කාර්යයක සිට වෙළඳාමක් දක්වා පටු වූ විට සිදු වන්නේ කුමක්ද? සියල්ල මුදලින් මැනීමට, සියල්ල ලාභය මත තීරණය කිරීමට පුරුදු කළ විට සිදු වන්නේ කුමක්ද? ඒ සමාජයක යහ පැවැත්මට අත්‍යාවශ්‍ය පොදු සාධක වන සාමූහිකත්වය, මනුෂ්‍යත්වය බිඳවැටී, නග්න ආත්මාර්ථකාමීත්වය මතු වීමත් ඒ තුළ මිනිසා නරුමයෙක් බවට පත්වීමත්ය. බටහිර චින්තකයෙක් හා දාර්ශනිකයෙක් වූ ඔස්කා වයිල්ඞ් වරක් නරුමයා කවුද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පවසා තිබුණේ “නරුමයා යනු හැම දේකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාය.” යනුවෙනි. ධනවාදය, විශේෂයෙන් නව ලිබරල්වාදී ධනවාදය දැන් බිහි කරමින් සිටින්නේද එවැනි මිනිසුන්ය.

දැනුම හා පේටන්ට්

ධනවාදය බිහි වීමෙන් පසු ලෝකයේ එක් එක් නිර්මාණ බිහි කළ හෝ සොයාගත් අයට එහි අයිතිය තමන් වෙත තබා ගැනීමට නෛතික ක්‍රමයක් බිහි කර දී තිබේ. ඒ ‘පේටන්ට්’ අයිතියයි. එහෙත් දැනුම කිසිවෙකුගේ නමට ‘පේටන්ට්’ බලපත්‍රයකින් පැවරිය නොහැකිය. මන්ද දැනුම යනු සමාජමය ප්‍රපංචයක් වන නිසාය. අපගේ දැනුම තුළ පවතින අත්දැකීම් හා පරිසරය පිළිබඳ අවබෝධය අපට ලබා දී ඇත්තේ විද්‍යාඥයින්, දාර්ශනිකයින්, අධ්‍යාපනඥයින් පමණක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන මූලික දැනුමේ සිට බොහෝ දේ අපට දැනුම ලෙස ලබා දී ඇත්තේ ඉතිහාසය පුරා ජීවත් වූ අප නාඳුනන මිනිසුන්ය.

සහල් ආහාරයට ගත හැකි බව මුල්වරට සොයා ගත්තේ කවුද? එවැන්නෙක් ගැන අපි නොදනිමු. එහෙත් සොබාදහම තුළ කැලෑවල තිබූ විවිධ ධාන්‍ය වර්ග අතරින් අප කෑමට ගන්නා සහල් ඇතුළු ධාන්‍ය වර්ග කෑමට ගත හැකිය යන දැනුම සමාජයට ලබා දී ඇත්තේ, ආදි කාලයේ ජීවත් වූ මිනිසුන්ය. ඔවුන් ඒ සඳහා බොහෝ වෙහෙස වන්නට ඇත. ආහාරයට ගත නොහැකි දේ ආහාර ලෙස ගෙන මිය යන්නටද ඇත. විවිධ පැලෑටි වැඩෙන පරිසරයක් තුළ විෂ සහිත පැලෑටිවලින් විෂ නොවන පැලෑටි අපට හඳුන්වා දී තිබෙන්නේ, කෘෂි විද්‍යාඥයින් නොවේ. කිසිදු විද්‍යාවක් නොදැන සිටි ආදි කාලීන මිනිසාය. දැන් අපි විද්‍යාත්මකව සංවර්ධනය කර ගෙන තිබෙන්නේ එම මිනිසුන්ගේ දැනුමය. එබැවින් ආහාර පිළිබඳ අපේ දැනුමේ ආරම්භක හිමිකරුවන් ලංකාවේ නම් මෙයට අවුරුදු 12,000 කටත් පෙර ජීවත් වූ මිනිසුන්ය. ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා විසින් කරන ලද පර්යේෂණයකදී මෙයට වසර 12,000කට පමණ පෙර හෝර්ටන් තැන්නේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික දඩයක්කරුවන් එම ප්‍රදේශවල ධාන්‍ය වගා කළ බවට සොයා ගෙන තිබේ යැයි පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කර තිබේ. මිනිසාගේ දැනුමේ ඉතිහාසය ඒ තරම්ම පැරණිය. එම පැරණි ඓතිහාසික දැනුම සංවර්ධනය වීමෙන් බිහි වූ වත්මන් දැනුම ධනවාදයේ ප්‍රාග්ධන හිමියන් කිහිපදෙනෙක් විසින් යළි ජනතාවටම වැඩි මිලට විකිණීම හා ඉන් ලාභ ලැබීම මානව වර්ගයාට කරන නිගරුවකි.

සමාජමය විය යුතු දැනුම

මානව දැනුම සමාජයමය ප්‍රපංචයකි. ඒ නිසාම එහි අයිතිය පෞද්ගලික නොවිය යුතුය. එය සමාජයමය විය යුතුය. අතීත දැනුම ඇසුරින් නව දැනුම සොයන පර්යේෂකයන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ඔවුන් නඩත්තු කිරීම සමාජයේ වගකීමක් විය යුතුය. එසේම එම දැනුම අනාගත පරපුරට බෙදා දෙන ගුරුවරුන්ට, ආචාර්යවරුන්ට ඒ සඳහා පහසුකම් ලබා දීමත් ඔවුන් නඩත්තු කිරීමත් සමාජ වගකීමක් විය යුතුය. එවිට අධ්‍යාපනය විකිණිය යුතු නොවන්නා සේම එහි නියැලෙන්නාට ජීවත් වීම සඳහා අධ්‍යාපනය විකිණීමට අවශ්‍ය වන්නේ නැත. මේ සඳහා ආණ්ඩුවක් මැදිහත් විය යුතුය. සමාජය උපයන සමාජමය ධනයෙන් ප්‍රමාණවත් කොටසක් සමාජයට දැනුම දීම සඳහා අධ්‍යාපනයට වෙන් විය යුතුය. පර්යේෂණවලට අවශ්‍ය පහසුකම් සැපයීමටත් පර්යේෂකයන්ට හා ගුරුවරුන්ට වැටුප් ලබා දීමටත් යෙදවිය යුත්තේ ඒ ධනයයි. එවිට ගැටලුව විසඳේ. එහෙත් ලාභය පදනම් කරගත් තනි තනි මිනිසාට හුදෙකලාව ජීවත් වීමට බල කළ, සියල්ල විකිණීම ප්‍රතිපත්තිය කරගත් ධනවාදය තුළ මෙය ඉටු නොවනු ඇත. සමාජමය දැනුම කිසිදු වෙනසකින් තොරව සාධාරණව සමාජය වෙතම ලැබීමට නම් එය ප්‍රතිපත්තිය කර ගත් එවැනි නව සමාජයක් බිහි විම අත්‍යවශ්‍ය වන්නේය.

Next – චින්තනය වල්මත් වූ කල