දර්ශනයේ ශබ්ද කෝෂයෙන්…

ජාතිවාදය – විද්‍යාව වෙනුවට මිථ්‍යාව වැළඳ ගැනීම
March 10, 2017
මැකියාවෙලීගේ ”කුමාරයා”
March 10, 2017
Show all

දර්ශනයේ ශබ්ද කෝෂයෙන්…

උපයෝගීතාවාදය(Pragmatism)
නූතන ධනේශ්වර දර්ශනවාදය තුළ පුළුල් ලෙස පැතිරුණු විඥානවාදී නැමියාවක් ඇති මනෝමූල තත්ත්වයකි. දැනුමේ වටිනාකම තීරණය වන්නේ එහි ඇති ප‍්‍රායෝගික උපයෝගීභාවය මත බව මෙම මූලධර්මයේ හරයයි. ප‍්‍රායෝගික උපයෝගීතාවය යනු විෂයමූල ප‍්‍රත්‍යයේ ප‍්‍රායෝගිකත්වය නමැති මිම්ම තුළ පරීක්‍ෂා කිරීම නොව පුද්ගලයකුගේ මනෝමූල රුචිකත්වය මත හමු වන්නක් බව මෙයින් අදහස් වේ. මෙහි දී විෂයමූල යථාර්ථය හඳුනා ගනු ලබන්නේ අත්දැකීම් මත බවත්, ඥානය ආත්මීය හා ද්‍රව්‍යමය වශයෙන් බෙදෙන්නේ අත්දැකීම් තුළ පමණක් ම බවත් පැහැදිලි කරයි. මෙම පැහැදිලි කිරීම් තුළ ඇමෙරිකානු ධනේශ්වර බුද්ධිමතුන්ගේ දැඩි ප‍්‍රායෝගිකත්ව නැඹුරුව පරාවර්තනය වේ.

අඥෙයවාදය(Agnosticism)
විශ්වය හැදෑරීමේ හැකියාව පිළිබඳව සම්පූර්ණයෙන් ම හෝ අඩක් සැක පහළ කරන මතවාදයකි. බි‍්‍රතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ තෝමස් හක්ස්ලි විසින් මෙම යෙදුම මුලින් ම භාවිත කළ අතර, අඥෙයවාදයේ ඥාන විමන්සාවාදී මුල් හෙළිදරවු කරනු ලබන්නේ ලෙනින් විසිනි. අඥෙයවාදියා (නිස්තික දෘෂ්ටිකයා) ද්‍රව්‍ය එහි පෙනුමෙන් වෙන් කරන බවත්, ඔහු හැඟීමෙන් ඔබ්බට තව දුරටත් නොයන බවත් ලෙනින් ප‍්‍රකාශ කරයි. අඥෙයවාදය විසින් ඇති කර ගනු ලබන එකඟතාවයේ ස්වභාවය එහි ආධාරකරුවන් විඥානවාදය කරා ගෙන යයි. ගී‍්‍රක දර්ශනවාදයේ දී සංශයවාදය ලෙස ඉස්මතු වන අඥෙයවාදයට හියුම් සහ කාන්ට් ගේ දර්ශනවාදය තුළ සම්භාව්‍ය ස්වරූපයක් දෙනු ලැබ ඇත. නවීන ප‍්‍රත්‍යක්‍ෂවාදයේ පුරෝගාමීන් හා අනෙකුත් නූතන ධනේශ්වර දාර්ශනික ප‍්‍රවණතාවන් විසින් ලෝකය හා මිනිසා පිළිබඳව හැදෑරීමේ නොහැකියාව ඔප්පු කරන්නට උත්සාහයක් දරන ලදී. අඥෙයවාදය විද්‍යාවේ දියුණුව සීමා කිරීමටත්, ස්වභාවධර්මය හා සමාජයේ විෂයමූල රීතීන් පිළිබඳව තාර්කික සිතීම හා ඥාන විභාගය ප‍්‍රතික්‍ෂේප කිරීමටත් ඉදිරිපත් වේ. ප‍්‍රායෝගිකත්වය, විද්‍යාත්මක පරීක්‍ෂණ හා ද්‍රව්‍යමය නිෂ්පාදන අඥෙයවාදයේ ප‍්‍රතික්‍ෂේප කිරීම් අතර ප‍්‍රධාන වේ.

විතණ්ඩවාදය(Sophism)
සත්‍ය සේ පෙනෙන එහෙත්, ව්‍යාජ වූ තර්කයන් ගෙන එමින්, වාද කිරීම හා හේතු දැක්වීමයි. සන්දර්භයෙන් පිටත සිදු වන සිදු වීම් සලකා බැලීමේ දීත්, එක් සිදුවීම් මාලාවක සිට තවත් එවැනි ම සිදුවීම් වැලකට නැතහොත්, එක් ඓතිහාසික වකවානුවක සිට තවත් එක් සිදුවීම්වලට විශේෂ වූ නී්තිරීති භාවිත කරන්නට යෙදුණු අවස්ථාවල දී විතණ්ඩවාදය භාවිත කරනු දැකිය හැකි ය. විතණ්ඩාවදීන් ආගම ප‍්‍රතික්‍ෂේප කරමින්, ස්වාභාවික සංසිද්ධීන්ට තාර්කික පැහැදිලි කිරීමක් ද කරනු ලැබිණ. ඔවුන්ට ස්වභාවධර්මය පිළිබඳ භෞතිකමය අවබෝධයක් තිබූ අතර, ඔවුන්ගේ අවධානය මුළුමනින් ම යොමු වී තිබුණේ බුද්ධිමය ගැටලූ පිළිබඳව ය. විද්‍යාවේ දී හා දේ්ශපාලනයේ දී විතණ්ඩවාදය ප‍්‍රතිගාමී වූ කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.

දයලෙක්තික භෞතිකවාදය ((Dialectical Materialism)
මාක්ස්වාදී දර්ශනයේ මූලික හරය විද්‍යාත්මකව විග‍්‍රහ කරන මතවාදයකි. මාක්ස් හා එංගල්ස් විසින් විිකාශනය කරන ලදුව ලෙනින් හා අනෙකුත් මාක්ස්වාදීන් විසින් – දයලෙක්තික භෞතිකවාදීන් විසින් – දයලෙක්තික භෞතිකවාදය තව දුරටත් සංවර්ධනය කරන ලදී. එහි බිහි වීම මානව චින්තනයේ ඉතිහාසය තුළ මෙන්ම දර්ශනයේ ඉතිහාසය තුළ ද සිදු වූ විප්ලවයකි. විද්‍යාව හා ඓතිහාසික භාවිතාව තුළ මානව වර්ගයාගේ දාර්ශනික චින්තනයේ සංවර්ධනයට භෞතිකවාදයේ ජයග‍්‍රහණය අනිවාර්ය ලෙස ම දායක විය. මාක්ස් හා එංගල්ස් විසින් හුදෙක් පැරැණි භෞතිකවාදීන්ගේ සහ විඥානවාදීන්ගේ න්‍යායික ඉගැන්වීම් පමණක් ඉදිරියට ගෙන ආවේ නැත. ඔවුන් මෙම දෙවර්ගය සංකලනය නොකළ අතර, ස්වභාව විද්‍යාවේ නවතම සොයා ගැනීම් සහ මානවයාගේ ඓතිහාසික අත්දැකීම් අනුව යමින්, භෞතිකවාදය විද්‍යාත්මක හා ස්ථාවර වන්නේ ය. එය තාර්කික (දයලෙක්තික) නම් පමණක් බවත්, එසේම දයලෙක්තිකය නියම ආකාර වන්නේ එය භෞතිකවාදී නම් පමණක් ම බවත් ඔප්පු කළහ. සමාජ සංවර්ධනය සහ එහි මූලධර්ම සඳහා විද්‍යාත්මක දර්ශනයක අත්‍යවශ්‍ය බව දයලෙක්තික භෞතිකවාදයේ හරයයි.

ඓකතිහාසික භෞතිකවාදය(Historical Materialism)
මාක්ස් ලෙනින්වාදී දර්ශනයේ ඉතා වැදගත් අංගයකි. සමාජ සංවර්ධනයේ පොදු නියාමයන් සහ ජනතාවගේ ඓතිහාසික කි‍්‍රයාකාරීත්වය තුළ ඒවායේ අත්දැකීම්වල ස්වභාවයන් පිළිබඳව උගන්වන විද්‍යාවයි. ඓතිහාසික භෞතිකවාදය යනු සමාජය පිළිබඳ වූ පරීක්‍ෂණවල හා සියලූ සමාජ විද්‍යාවන්ගේ න්‍යායාත්මක හා ක‍්‍රමවේදාත්මක මූලයන්ගේ අඩංගුවයි.