තාක්ෂණය හා සංස්කෘතිය

ලංකාවේ සමාජවාදයට මග
December 18, 2019
“සලුව” විසිකර “හෙලුව” වර්ණ ගැන්වීමේ සංස්කෘතික වෙළඳාම්
December 20, 2019
Show all

තාක්ෂණය හා සංස්කෘතිය

තාක්ෂණය හා සංස්කෘතිය

       සංස්කෘතිය යන්නෙන් මුල දී අදහස් වූයේ නැවුම් කැලෑවෙන් ද නැවුම් පොළොවෙන් ද වෙනස් වූ සීසා අස්සද්දන ලද කෙතක් බව පළමු කොටම සිහිපත් කර ගනිමු. සංස්කෘතිය ස්වභාව ධර්මය සමග සසඳා වෙනස දක්වන ලදී; එනම්, මිනිසාගේ ප්‍රයත්නයන් විසින් අත්පත් කර ගන්නා ලද දෙය ස්වභාව ධර්මය විසින් දෙන ලද දෙය සමඟ සසඳා වෙනස දක්වන ලදී. මේ ප්‍රතිවාදයේ වටිනාකම අද ද මූලික වශයෙන් පවතී.

       මිනිසාගේ සමස්ත ඉතිහාසය තුළදී ස්වභාව ධර්මය විසින් දෙන ලද දෙයට පටහැනිව මිනිසා විසින් නිර්මාණය කරන ලද, ගොඩ නගන ලද, උගන්නා ලද හා ජයග්‍රහණය කරන ලද සියල්ලම සංස්කෘතිය නම් වේ. එම ස්වභාව ධර්මයට සත්ව වර්ගයක් වශයෙන් මිනිසාගේම ස්වභාවික ඉතිහාසයද ඇතුළත් වන්නේය. සත්ව පරිණාමයේ නිෂ්පාදනයක් ලෙසින් මිනිසා පිළිබඳව හදාරන විද්‍යාව මානව විද්‍යාව නමි. එනමුත් දළ වශයෙන් සලකන කල ප්‍රාකෘතික සෙල්මුවා හා දැවමුවා උපකරණ ප්‍රථම වරට ග්‍රහණය කොට ගෙන සිය සිරුරේ ඉන්ද්‍රියයන් ඒවායින් සන්නද්ධ කර ගත් කල්හි මිනිසා සත්ව රාජධානියෙන් වෙන් වූයේය. මේ වෙන්වීම සිදුවූ මොහොතේ පටන්ම සංස්කෘතිය නිර්මාණය කිරීමත් එක්රැස් කිරීමත් ඇරඹීම යනු ස්වභාව ධර්මය සමග අරගලයේ යෙදීමේ හා එය යටත් කර ගැනීමේ නන් වැදෑරුම් දැනුම් වෙසෙස් හා කුසලතා නිර්මාණය කිරීමත් එක්රැස් කිරීමත් ඇරඹීමය.

     අතීත පරම්පරාවන් විසින් එක්රැස් කරන ලද සංස්කෘතිය ගැන කතා කිරීමේදී අප පළමු කොටත් ප්‍රමුඛ කොටත් සිතන්නේ උපකරණ, යන්ත්‍රසූත්‍ර, ගොඩනැගිලි හා ස්මාරක යනාදියේ ස්වරූප ගත් සංස්කෘතියේ භෞතික ජයග්‍රහණයන් ගැනය. මෙය සංස්කෘතිය ද? නිසැකයෙන්ම සංස්කෘතියයි; සංස්කෘතිය නිදන් කොට ඇත්තාවූ භෞතික ආකෘතිය හෙවත් භෞතික සංස්කෘතියයි. එය අපගේ ජීවිතවල ද, දෛනික ජීවන ක්‍රමයෙහි ද නිර්මාණ කාර්යයෙහි ද මූලික වටපිටාව ස්වභාව ධර්මය විසින් ප්‍රතිපාදිත පදනම මත නිර්මාණය කරයි. එනමුත් සංස්කෘතියේ ඉතාමත් අගනා කොටස නම් මිනිසාගේ විඥානයෙහිම නිදන්ව පවත්නා කොටසයි; එනම්, දෙන ලද සමස්ත භෞතික සංස්කෘතියෙන් වර්ධනය වී ඇත්තා වූත් මේ භෞතික සංස්කෘතියෙන් පෝෂණය ලබන අතරම එය වැඩි දියුණු කරන්නා වූත් අපගේ ඒ විධික්‍රම, පුරුදු, කුසලතා හා අත්කර ගත් හැකියා යන මේවායි. පැවැත්ම සඳහා, සිය ජීවන තත්වයන් වැඩි දියුණු කර ගැනීම සඳහා, ස්වකීය ශක්තීන් විපුලත්වයට පත්කර ගැනීම සඳහා ස්වභාව ධර්මයට එරෙහිව මිනිසා ගෙන ගිය අරගලයෙන් සංස්කෘතිය වැඩී ඇවිත් ඇතැයි යන්න දැන් තහවුරු විණැයි සලකමු.

     එහෙත් මේ පදනමින් ම පන්ති ද වැඩී ඇවිත් ඇත. ස්වභාව ධර්මයේ හතුරු බලවේගයන් සමග ගැටෙමින් ස්වභාව ධර්මයට අනුවර්තනය වීමේ ක්‍රියා සන්තතියේ දී මානව සමාජය සංකීර්ණ පන්ති සංවිධානයක් ලෙස හැඩ ගැසී ඇත. සමාජයේ පන්ති ව්‍යුහය විසින් මානව ඉතිහාසයේ අන්තර්ගතය හා ආකෘතිය, එනම්, එහි භෞතික සම්බන්ධතා හා එම සම්බන්ධතාවන්ගේ දෘෂ්ටිවාදාත්මක පිළිබිඹු තීරණාත්මක ලෙස නිර්ණය කොට ඇත. මෙහි අර්ථය නම් ඓතිහාසික සංස්කෘතිය පන්ති ස්වරූපයක් ගෙන ඇත යනුයි.

    වහලුන් හිමි සමාජය, ප්‍රවේණි දාසයන් අයිති වැඩවසම් සමාජය, ධනේශ්වර සමාජය යන මේ එක් එක් සමාජය තමාට අනුරූප වූ සංස්කෘතියක් උත්පාදනය කළේය. ඒ සංස්කෘතිය ඒ ඒ අවධීන්හිදී වෙනස්ව ද අනේකවිධ සංක්‍රමණික ස්වරූපයන්ගෙන් සමන්විත ද විය. සංස්කෘතිය සමාජයේ පන්ති සංවිධානයට සේවය කොට ඇත. සූරාකන්නන්ගේ සමාජය සූරා කන්නන්ගේ සංස්කෘතියක් උපදවා ඇත.

එහෙත් මෙහි අර්ථය අප සමස්ත අතීත සංස්කෘතියටම විරුද්ධය යන්නද?

     සැබැවින්ම මෙහි ගැඹුරු ප්‍රතිවිරෝධයක් පවතී. මිනිසාගේ ප්‍රයත්නයෙන් දිනා ගන්නා ලද, නිර්මාණය කරන ලද, ගොඩ නඟන ලද, එමෙන්ම මිනිසාගේ ශක්තිය වර්ධනය  කිරීම සඳහා හේතු වන සියල්ලම සංස්කෘතිය වේ. එහෙත් මෙය තනි මිනිසා සම්බන්ධ දෙයක් නොව සාමාජික මිනිසා සම්බන්ධ දෙයක් වන හෙයින්ද සැබෑ සාරය අතින් බලන කල සංස්කෘතිය නම් සාමාජික – ඓතිහාසික ප්‍රපංචයක් වන හෙයින් ද ඓතිහාසික සමාජය පන්ති සමාජයක් ලෙස පැවත ඇවිත් ඇති හෙයින් හා තව දුරටත් එසේම පවතින හෙයින්ද සංස්කෘතිය යනු පන්ති පීඩනයේ මූලික උපකරණය බව පෙනී යයි. මාක්ස් මෙසේ කීය. “යුගයක රජයන අදහස් වනාහි අවශ්‍යයෙන්ම එම යුගයේ පාලක පන්තියේ අදහස් වේ.” මේ කීම සමස්ත සංස්කෘතියටද අදාළ වේ. තතු එසේ වන නමුදු අපි කම්කරු පන්තියට මෙසේ කියමු. සමස්ත අතීත සංස්කෘතියෙහිම කෙළ පත් වන්න. එසේ නොකළ හොත් ඔබට සමාජවාදය ගොඩ නගන්ට බැරි වන්නේය.

මෙය තේරුම් ගත යත්තේ කෙසේ ද?

     බොහෝ පුද්ගලයෝ මේ ප්‍රතිවිරෝධයෙහි පැකිල වැටී ඇත්තාහ. නිරතුරුවම ඔවුහු එසේ පැකිල වැටෙති. පන්ති සමාජය යනු මූලික වශයෙන් නිෂ්පාදන සංවිධානය බව අමතක කරමින් ඔවුන් පන්ති සමාජය තේරුම් ගැනීමට නොගැඹුරු ලෙසත් අර්ධ විඥානවාදී ලෙසත් පිවිසීම එසේ පැකිල වැටීමට හේතුවයි. සෑම පන්ති සමාජයක් ම හැඩ ගස්වා ඇත්තේ ස්වභාව ධර්මය සමග අරගලයේ යෙදෙන නිශ්චිත විධි පදනම් කොටගෙනය. තවද මේ විධි තාක්ෂණයේ වර්ධනයට අනුඅකූලව වෙනස් වෙමින් ඇවිත් ඇත. පදනම්වලත් පදනම නම් කුමක්ද? සමාජයේ පන්ති සංවිධානයද? එසේ නැතහොත් එහි නිෂ්පාදන බලවේගද? පදනම්වලත් පදනම නම් නිසැකයෙන්ම නිෂ්පාදන බලවේගයි. එම බලවේගයන්ගේ එක්තරා මට්ටමකදී පන්තීන් හැඩ ගැසෙන්නේත් යළි හැඩ ගැසේන්නේත් නිශ්චිතම එම නිෂ්පාදන බලවේගයන් මතය. මානව වර්ගයාගේ සාක්ෂාත් කෙරුණු ආර්ථික කුසලතාවත් පැවැත්ම සහතික කර ගැනීමට ඇති ඓතිහාසික හැකියාවත් නිෂ්පාදන බලවේගයන් තුළ ප්‍රකාශිත වෙයි. මේ ගතික පදනම මත පන්තීහු නැග එති. ඒ පන්තීහු ස්වකීය අන්තර් සම්බන්ධතාවන් මගින් සංස්කෘතියේ ස්වරූපය නිර්ණය කරති.

     මෙහිදී අපි පළමු කොටස් ප්‍රමුඛ කොටත් තාක්ෂණය සම්බන්ධයෙන් අපගෙන්ම මෙසේ ඇසිය යුතු වෙමු. තාක්ෂණය පන්ති පීඩනයේ උපකරණයක් පමණක් ද? එවැනි ප්‍රශ්නයක් මතු කළ සැණින්ම ඊට මෙසේ පිළිතුරු ලැබේ. නැත. තාක්ෂණය වනාහි මනුෂ්‍ය සංහතියේ මූලික ජයග්‍රහණයකි. මෙතෙක් එය සූරා කෑමේ උපකරණයක් වශයෙන් ද භාවිත වී ඇතත් සූරා කනු ලබන්නන්ගේ විමුක්තිය සඳහා පවතින මූලික කොන්දේසියද එයම වන්නේය. යන්ත්‍රය තම ග්‍රහණයෙහි ලා වැටුප්-වහලාගේ ගෙළ මිරිකයි. එහෙත් ඔහුට විමුක්තිය ලැබිය හැක්කේත් එම යන්ත්‍රය මගින්මය. මුළු ප්‍රශ්නයේ ම මුල එතැනය.

     ඓතිහාසික වර්ධනයේ ගාමක බලවේගය නම් මිනිසා ස්වභාව ධර්මයාගේ ආධිපත්‍යයෙන් මුදාලන්නා වූ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයයි, යන්න අමතක නොකළහොත්, තමාගේම උන්නතිය සඳහාත් සහයෝගතා මූලධර්මය මත ජීවිතය යළි ගොඩ නැගීම සඳහාත් නිර්ධන පන්තිය තම ඓතිහාසික ගමන් මාර්ගයේදී මනුෂ්‍ය සංහතිය ගොඩ නඟා ගත් ඥාන සම්භාරයෙහි හා කුසලතා සමුදායෙහි කෙළපත් වීම අවශ්‍යය යන්න අපට පෙනී යනු ඇත.

      මෙවැනි ප්‍රශ්නයක් මා වෙත ලියා ඉදිරිපත් කොට ඇත. “සංස්කෘතිය තාක්ෂණය ඉදිරියට ගෙන යන්නේද? එසේ නැතහොත් තාක්ෂණය සංස්කෘතිය ඉදිරියට ගෙන යන්නේ ද?” ප්‍රශ්නය එසේ ඉදිරිපත් කිරීම වැරදිය. තාක්ෂණය සංස්කෘතියේ ජීවනාළිය වන හෙයිනි. තාක්ෂණයෙන් තොරව සංස්කෘතියක් නැත. තාක්ෂණයේ වර්ධනය සංස්කෘතිය ඉදිරියට ගෙන යයි. එහෙත් තාක්ෂණය පදනම් කොට ගෙන මතුවී ඇති විද්‍යාව හා සාමාන්‍ය සංස්කෘතිය තාක්ෂණයේ ඉදිරි වර්ධනය සඳහා ප්‍රබල ආධාරකයක් වෙයි. මෙහි අපෝහකාත්මක අන්තර් විනිවිදීමත් දක්නට ලැබේ.

      සහෝදරවරුනි, දුම්රිය වනාහි තාක්ෂණය තුළ ම ගැබ් වන ප්‍රතිවිරෝධය හකුළා දක්වන සරල මෙන්ම ප්‍රබල නිදර්ශනයකි. ඒ සඳහා ඊට වඩා හොඳ නිදර්ශනයක් සොයා ගත නො හැකිය. බටහිර යුරෝපීය මගී දුම්රිය දෙස බැලුවහොත් ඒවායේ විවිධ “පන්තිවල” මැදිරි ඇති බව ඔබට පෙනී යනු ඇත. මේ පන්ති අප හට ධනේශ්වර සමාජයේ පන්තීන් සිහි ගන්වයි. පළමු වන පන්තියේ මැදිරි වරප්‍රසාදිත, ඉහළ පැළැන්තියේ පිරිස් සඳහා ය. දෙවෙනි පන්තියේ මැදිරි මැද ධනපතීන් සඳහාය. තුන්වන පන්තියේ මැදිරි සුළු ධනේශ්වරයන් සඳහාය. සතර වන පන්තිය මුල් කාලෙය්දී මනාවූ හේතු සහිතව සතර වැනි බූදලය යනුවෙන් හඳුන්වන ලද නිර්ධන පන්තිය සඳහාය. හුදෙක් දුම්රිය යනු ම සියවසක් තුළදී මිහිතලය ඉමහත් විපර්යාසයකට භාජනය කළ මනුෂ්‍ය සංහතියේ දැවැන්ත සංස්කෘතික-තාක්ෂණික ජයග්‍රහණයකි. එහෙත් සමාජයේ පන්ති ව්‍යුහය ගමනාගමන මාර්ගයන්ගේ ව්‍යුහයටත් බල පායි. තවද අපගේ සෝවියට් දුම්රිය තවමත් සමානතාවෙන් ඉතා ඈත්ව පවතී. අතීතයෙන් උරුම කොට ගත් මැදිරි ඒවායේ පරිහරණය වීම පමණක් නොව නව ආර්ථික ප්‍රතිපත්තිය1 හුදෙක් සමානාත්මතාවට මඟ සකසනු විනා සමානාත්මතාව සම්පූර්ණ නො කිරීම ඊට හේතුවයි.

      දුම්රිය යුගයට පෙර ශිෂ්ටාචාරය, මුහුදු වෙරළවලින් ද මහ ගං ඉවුරුවලින්ද කොටු වී පැවතිණ. දුම්රිය මාර්ගයෝ සමස්ත මහාද්වීපයන් ම ධනේශ්වර සංස්කෘතියට විවෘත කර දුන්හ. අපගේ රුසියාවේ පිටිසරබද පසුගැමියාවට හා හුදකලා භාවයට මූලතම හේතුව නො වන්නේ නම් මූල හේතූන්ගෙන් එකක් වන්නේ දුම්රිය මාර්ගවල, ලෝමුවා මාර්ගවල හා අතුරු මාර්ගවල අඩුවයි. මේ අතින් අපගේ ගම්මාන වැඩි හරියක් පවතින්නේ ධනේශ්වර ක්‍රමය ඇති වීමට පෙර පැවති තත්වයන්හිය. අපගේ ලොකුම මිතුරා වන අතරම, අතිමහත් හතුරා ද වන මහත් භූමි අවකාශයන් අප විසින් ජයගත යුතුය2. සමාජවාදී ආර්ථිකය යනු සැලසුම්ගත ආර්ථිකයයි. සැලසුම් කිරීම සඳහා ප්‍රථම කොටත් සම්බන්ධන මාධ්‍ය අවශ්‍ය වේ. ඉතාමත් වැදගත් සම්බන්ධන මාධ්‍යය නම් මහා මාර්ග හා දුම්රිය මාර්ගයයි. සෑම නව දුම්රිය මාර්ගයක්ම සංස්කෘතියට මාර්ගයක් වන අතරම අප සිටින තත්වයන්හිදී සමාජවාදයටද මාර්ගයක් වෙයි. තවද සම්බන්ධන මාධ්‍යයන් පිළිබඳ තාක්ෂණයේත් රටේ සෞභාග්‍යයේත් වැඩි දියුණුව සමග අපගේ දුම්රියවල සාමාජික පෙනුමද වෙනස් වනු ඇත. “පන්තිවලට” බෙදීම අතරුදහන් වනු ඇත; සැම කෙනෙකුම “සුවපහසු” මැදිරිවල ගමන් කරනු ඇත… ඒ වෙනස සිදුවෙනු ඇත්තේ ඒ කාලය වන විට සෑම කෙනෙකුටම සුලභ වන්නා වූ අහස් යානාවල ගමන් කිරීමට වැඩි කැමැත්තක් නැතිව මිනිසුන් දුම්රියෙන්ම ගමන් කරත් නම් ය.

      අපි වෙනත් නිදසුනක් ගනිමු; එනම්, නැති භංග කිරීමේ  මාර්ගයන් වන යුද්ධෝපකරණ නිදසුනට ගනිමු. මේ ක්ෂේත්‍රයෙහි දී සමාජයේ පන්ති ස්වභාවය විශේෂයෙන්ම පැහැදිලි ද ජුගුප්සා ජනක ද ආකාරයෙන් ප්‍රකාශිත වේ. (පුපුරන හෝ විෂ සහිත) නාශක ද්‍රව්‍යයක් සොයා ගැනීම තනිකර ගත් විට අගනා විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණයක් නො වන්නේ නො වේ. විනාශකාරී කර්තව්‍යයන් සඳහා පමණක් නොව නිර්මාණාත්මක කර්තව්‍යයන් සඳහා ද පරිහරණය කෙරෙන පුපුරන හා විෂ සහිත ද්‍රව්‍යයෝ නව නිෂ්පාදනයේ හා සොයා ගැනීමේ ක්ෂේත්‍රයෙහි නව්‍ය හැකියාවන් විවෘත කරති.

      නිර්ධන පන්තියට බලය අත්කර ගත හැකි වන්නේ පන්ති රාජ්‍යය නමැති පැරණි යන්ත්‍රය, සුනු විසුනු කර දැමීමෙන් පමණකි. ඕනෑම කලෙක ඕනෑම කෙනෙකු කළ තරම් ම තීරණාත්මක අයුරින් අපි මේ කටයුත්ත ඉටු කර ඇත්තෙමු. එසේ නමුත් නව රාජ්‍ය යන්ත්‍රය ගොඩ නැඟීමේදී සැලකිය යුතු දුරකට පැරණි රාජ්‍යයේ අංගෝපාංග ප්‍රයෝජනයට ගන්ට සිදුවන බව අපට පෙනී ගොස් ඇත. රාජ්‍ය යන්ත්‍රය තවදුරටත් සමාජවාදී ලෙස යළි ඉදිකිරීම අපගේ සාමාන්‍ය දේශපාලන, ආර්ථික හා සංස්කෘතික කාර්යයන් සමග වෙන් නො කළ හැකි සේ බැඳී ඈත.

      අපි තාක්ෂණය සිඳ බිඳ සුනු විසුනු නො කළ යුත්තෙමු. ධනපති පන්තිය විසින් උපකරණවලින් සන්නද්ධ කරන  ලද කර්මාන්ත ශාලා, විප්ලව සමයේ පැවති තත්ත්වයෙන්ම නිර්ධන පන්තිය විසින් අත්පත් කොට ගෙන ඇත. පැරණි උපකරණ අද දක්වා මත් අපට සේවය කරයි. අප “උරුමය” ඉවත නො දමන බව මේ කරුණින් ඉතාම සිත් කා වදින ලෙසත් ඉඳුරාම මත් පෙනී යයි. කෙසේ නම් එය මීට වෙනස්  විය හැක්කේ ද? ප්‍රථම කොටත් ප්‍රමුඛ කොටත් විප්ලවයට උර දෙන ලද්දේ “උරුමය” අත්පත් කර ගනු  සඳහා ම නොවේද? තතු එසේ නමුදු අප අත්පත් කර ගත් ස්වරූපයෙන් නම් පැරණි තාක්ෂණය සමාජවාදයට අතිශයින්ම අයෝග්‍ය වේ. එය ධනේශ්වර ආර්ථිකයේ අරාජිකත්වය කැටිකර දැක්වූවකි. විවිධ ව්‍යවසායන් අතර තරගය, ලාභ පස්සේ දිවීම, ආර්ථිකයේ විවිධ අංශයන් අතර අසමාන වර්ධනය, ඇතැම් ක්ෂේත්‍රයන්හි පසුගැමියාව, කෘෂිකර්මය තන්හි තන්හි තනි වීම, මානුෂික බලශක්තීන් කොල්ල කෑම, යන මේ සියල්ල තාක්ෂණය තුළ දෘඨතර ලෙසින් ප්‍රකාශිත වෙයි. එහෙත් විප්ලවවාදී ප්‍රහාරයකින් පන්ති පීඩක යන්ත්‍රෝපකරණ වෙනස් කොට සුනු විසුණු කරලිය හැකි වුවත් ධනේශ්වර අරාජිකත්වය ඇති කරන යන්ත්‍රෝපකරණ යළි ඉදි කළ හැක්කේ අනුක්‍රමයෙන් පමණක්ය. පැරණි උපකරණ පදනම් කොට ගෙන ආර්ථිකය පුනරුත්ථාපනය කිරීමේ යුගය කෙළවර අප ළඟා වී ඇත්තේ මේ දැවැන්ත කර්තව්‍යයේ එළිපත්ත කරා පමණකි. කෙසේ හෝ අපි එම කර්තව්‍යය මුදුන්පත් කළ යුත්තෙමු.

අධ්‍යාත්මික සංස්කෘතියේ උරුමය

    අධ්‍යාත්මික සංස්කෘතියද භෞතික සංස්කෘතිය තරමට ම ප්‍රතිවිරෝධීය. අපි භෞතික සංස්කෘතියේ උපකරණ ගබඩාවලින් හා කෝෂ්ටාගාරවලින් දුනු හා ඊතල ද ගල් මෙවලම් හා ලෝහ යුගයේ මෙවලම් ද නොව අති නවීන තාක්ෂණයේ ඉතාමත්ම වැඩි දියුණු උපකරණ රැගෙන බෙදා හරිමු. අධ්‍යාත්මික සංස්කෘතියටත් ප්‍රවිෂ්ට විය යුත්තේ ඒ අයුරින්මය.

     පැරණි සමාජයේ සංස්කෘතියෙහි මුඛ්‍යාංගය වූයේ ආගමයි. මානුෂික ඥානයේත් මානුෂික එකමුතුවේත් රූපාකාරය වශයෙන් එහි අතිමහත් වැදගත්කමක් පැවතිණ. එහෙත් මේ රූපාකාරය තුළ සියල්ලටම මත් වඩා පිළිබිඹු වී පැවතුණේ සොබාදහම අබිමුවෙහි මිනිසාගේ දුබලකමත් සමාජය මධ්‍යයෙහි ඔහුගේ අසරණ භාවයත්ය. ආගම වෙනුවට ඉදිරිපත් කරනු ලබන සියලුම ආදේශකයන්ද සමග අපි ආගම අත්‍යන්තයෙන්ම ප්‍රතික්ෂේප කොට දමමු.

     දර්ශනවාදය සම්බන්ධයෙන් තත්වය මීට වෙනස්ය. පන්ති සමාජය විසින් නිර්මාණය කරන ලද දර්ශනවාදයෙන් අපි එහි අනර්ඝ අංග දෙකක් වන භෞතිකවාදය හා අපෝහකවාදය ගත යුතු වෙමු. මාක්ස්ගේ විධික්‍රමය පහළ වූයේත් ඔහුගේ පද්ධතිය මතු වී ආවේත් භෞතිකවාදයේ හා අපෝහකවාදයේ සමවාය සම්බන්ධයෙන්මය. මේ විධික්‍රමය ලෙනින්වාදයේ පදනම වශයෙන් පවතී.

      වචනයේ දෘඨතර අර්ථයෙන් ගත් විද්‍යාව දෙසට හැරුණ හොත් තම දීර්ඝ ජීවිත කාලය තුළදී මනුෂ්‍ය සංහතිය විසින් රැස් කරන ලද දැනුම් හා කුසලතා කෝෂ්ටාගාරයක් අප අබිමුවෙහි පවතින බව අපට පැහැදිලි වේ. යථාර්ථය ඥානනය කිරීම පරමාර්ථ කොට ගත් විද්‍යාවෙහි විවිධ ප්‍රවණතා විසින් කෙරුණු බොහෝ පන්තිමය දූෂණයන් ඇතැයි කිසිවෙකු පෙන්වා දෙන්ට පුළුවන. එය එසේ බව සැබවි. දුම්රිය පවා ඇතැමුන්ගේ වරප්‍රසාදිත තත්වය ද අන්‍යයන්ගේ දිළිඳුකම ද ප්‍රකාශ කරන්නේ නම් දුම්රිය මැදිරි තැනීමට ගන්නා ලෝහයන්ට හා දැවවලට වඩා බෙහෙවින් නම්‍ය වූ ද්‍රව්‍යයන් විෂය කොට ගන්නා විද්‍යාව සම්බන්ධයෙන් එම කරුණු වඩාත් යෙදේ. එහෙත් ස්වභාව ධර්මය පිළිබඳව ඥානය ලැබීමේ අවශ්‍යතාව විසින් විද්‍යාත්මක කටයුතු මූලික වශයෙන් පෝෂණය කොට ඇති බව අප සැලකිල්ලට ගත මනා වේ. පන්ති අවශ්‍යතා ස්වාභාවික විද්‍යාව තුළට පවා ව්‍යාජ ප්‍රවණතාවන් ඇතුළත් කොට ඇති අතර, තවමත් ඇතුළත් කරන්නේය. එහෙත් මේ විකෘතීකරණ ක්‍රියාදාමය ඇතැම් සීමාවලින් සීමිත වී ඇත. එසේ සීමිත වී ඇත්තේ ඒ සීමා  පැන ගියහොත් තාක්ෂණයේම ප්‍රගතිය ඇණ හිටින හෙයිනි. ස්වාභාවික විද්‍යාව යට සිට උඩට, එනම්, කරුණු රැස් කිරීමේ ක්ෂේත්‍රයේ සිට උච්චතම වූද අතිසංකීර්ණ වූද සාමාන්‍යකරණයන් තෙක් පරීක්ෂා කර බැලුව හොත් විද්‍යාත්මක පර්යේෂණය වඩාත් අනුභූතික වන තාක් දුරට එයින් විභාග කෙරෙන කරුණුවලට වඩාත් සමීප වන බවත් එයින් නිපැයෙන ප්‍රතිඵල වඩාත් නිසැක වන  බවත් පෙනී යනු ඇත. සාමාන්‍යකරණයේ ක්ෂේත්‍රය වඩාත් සමීප වෙමින් පන්ති ආවේශයේ බල පෑමට වඩාත් නතු වෙයි.

      සමාජ විද්‍යාවන් හා “මානව ශාස්ත්‍ර” යැයි හැඳින්වෙන ශාස්ත්‍ර විශේෂයන් සම්බන්ධයෙන් තතු මීට වඩා සංකීර්ණ ද අසතුටුදායක ද වේ. සැබැවින් මේ ක්ෂේත්‍රයෙහි ද මූලික වන්නේ පවත්නා දේ දැන ගැනීමට කරන ප්‍රයත්නයයි. මේ ප්‍රයත්නයට පින් සිදුවන්ට සම්භාව්‍ය ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන්ගේ ගුරුකුලය අපට ලැබී ඇත. එහෙත් සමාජ විද්‍යාවන් තුළ ස්වාභාවික විද්‍යාව තුළ බල පවත්වන්නා වූ පන්ති අවශ්‍යතාව ධනේශ්වර සමාජයෙහි ආර්ථික චින්තනයේ වර්ධනය ඉක්මනින්ම ඇන හිටුවා ඇත. කෙසේ වුවත් මේ ක්ෂේත්‍රයෙහි දී කොමියුනිස්ට්වාදීහු වන අපි අන් කිසිම ක්ෂේත්‍රයක දීට වඩා මැනවින් සන්නද්ධ වූවෝ වෙමු. නිර්ධන පන්තියේ පන්ති අරගලය විසින් පුබුදුවන ලද සමාජවාදී න්‍යායවාදීහු ධනේශ්වර විද්‍යාව පාදක කොට ගන්නා අතරම එය විවේචනය කරමින් මාක්ස්ගේ හා එංගල්ස්ගේ ඉගැන්වීම් නමැති ස්වරූපයෙන් ඓතිහාසික භෞතිකවාදයේ ප්‍රබල විධික්‍රමය ද ප්‍රාග්ධනය තුළ මේ විධික්‍රමයේ අද්විතීය භාවිතය ද නිර්මාණය කළහ. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ක්ෂේත්‍රයේදී අප ධනේශ්වර අදහස්වල බලපෑමෙන් මිදී රක්ෂිත වී සිටින බවක් මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. නැත. අති ග්‍රාම්‍ය මහාචාර්යරූපී සමාජවාදී හා සුළු ධනේශ්වර නරෝද්නික්වාදී3 ප්‍රවණතාවෝ සංක්‍රමණ යුගයේ නොපීදුණු හා ප්‍රතිවිරෝධී සම්බන්ධතාවන් තමන්ට පෝෂ්‍ය ජනක සේ දකිමින් පියවරක් පියවරක් පාසා පැරණි ඥාන “කෝෂ්ටාගාරවලින්” එළියට පනිමින් අප අතර ප්‍රචලිත වෙති. එහෙත් ලෙනින්ගේ කෘතිවලින් ස්ඵුට වූ ද පොහොසත් වූ ද මාක්ස්වාදයේ අනිවාර්ය නිර්ණායක අපට මේ ක්ෂේත්‍රයෙහි ඇත. තවද එදිනෙදා අත්දැකීම් තුළ හිරවීම අඩුවත්ම කිසියම් නිශ්චිත තත්වයක වෙනස්වීම්වලට යටින් ඇති මූලික ප්‍රවණතාවන් වෙන්කොට හඳුනා ගනිමින් ලෝකයේ සමස්ත වර්ධනය පෘථුලතර ලෙස වැළඳ ගනිත්ම අපි ග්‍රාම්‍ය ආර්ථික විද්‍යාඥයන්ට හා සමාජ විද්‍යාඥයන්ට වඩාත් ජයග්‍රාහී වූ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරන්නෙමු.

      සාමාන්‍යයෙන් නීතිය, සදාචාරය හා දෘෂ්ටිවාදය සම්බන්ධ ප්‍රශ්නවලදී ධනේශ්වර විද්‍යාවේ තත්වය ආර්ථික විද්‍යාවේ ක්ෂේත්‍රයේ දීටත් වඩා ශෝචනීය වේ. මෙකී ක්ෂේත්‍රයන්හි සැබෑ නැණ මුතු ඇටයක් සොයා ගත හැක්කේ වෘත්තීය නිපදවන්නන් කඳු ගැසූ කසළ ගොඩවල් දුසිම් ගණන් කැණීමෙන් පසුව පමණකි.

       මාක්ස්වාදී ලෝක ඥානනයෙහි මූලික අවයව නම් අපෝහකවාදය හා භෞතිකවාදයයි. එහෙත් ඒවා සදාකල්හිම සූදානම් කොට ඇති, සියලු දොරවල් ඇරිය  හැකි ගුරු යතුරක් මෙන් ඕනෑම ඥාන ක්ෂේත්‍රයකට උපයෝග කළ හැකිය යන්න මෙයින් කිසිසේත්ම අදහස් නො වන්නේය. අපෝහකවාදය කරුණු මත පැටවිය නො හැකිය. එය කරුණුවලින්ම, ඒවායේ ස්වභාවයෙන් හා වර්ධනයෙන්ම උපුටා ගත යුතුය. ආර්ථික විද්‍යාවේ අපෝහකාත්මක විධික්‍රමය වටිනාකම සාමාජික ශ්‍රමය වශයෙන් පවතින්නේය යන සංකල්පය  කරා ඉදිරියට ගෙන යාමට මාක්ස්ට පුළුවන් වූයේ අතිවිශාල විෂය කරුණු සම්භාරයක් ඉතා මහන්සියෙන් අධ්‍යනය කිරීමෙන් පමණකි. මාක්ස්ගේ ඓතිහාසික කෘති ද නිමවන ලද්දේ මේ ආකාරයෙන්මය. එමතු නොව, ඔහුගේ පුවත්පත් ලිපි පවා තැනුණේ එලෙසින්මය. අපෝහක භෞතිකවාදය නව්‍ය ඥාන ක්ෂේත්‍රයන්ට උපයෝග කළ හැකි වන්නේ එම ක්ෂේත්‍රයන් ඇතුළතින් කෙළපත් වීමෙන් පමණකි. ධනේශ්වර විද්‍යාව ශෝධනය කිරීම සඳහා පළමු කොට ධනේශ්වර විද්‍යාවේ කෙළපත් වීමක් අවශ්‍ය වේ. ඉවක් බවක් නැති විවේචනයෙන් හෝ නග්න ආඥාවන්ගෙන් හෝ කිසිදු අර්ථ සිද්ධියක් නොවනු ඇත. මෙහි දී උගැන්ම හා භාවිතය විවේචනාත්මක පුනර්-නිර්මාණය සමග අත්වැල් බැඳ ගෙන ගමන් කරයි; විධික්‍රමය අප සතුව ඇත. එහෙත් පරම්පරා ගණනාවකට කරන්ට තරම් එමට වැඩ ඇත.

      විද්‍යා ක්ෂේත්‍රයෙහි මාක්ස්වාදී විවේචනය සුපරීක්ෂාකාරි විය යුතුවා පමණක් නොව සිහි නුවණින් සමන්විත ද විය යුතුය. එසේ නැතහොත් එය හුදු කයිවාරුවක් දක්වා, ෆැමුසොව්වාදය4 දක්වා පිරිහෙන්ට පුළුවන. පව්ලොව්ගේ ප්‍රතිකතාවාදය මුළුමනින්ම ගමන් ගන්නේ අපෝහක භෞතිකවාදයේ මග ඔස්සේය. එය කායික විද්‍යාව හා මනෝවිද්‍යා අතර කොටු පවුර තීරණාත්මක ලෙස බිඳ දමයි. සරලතම ප්‍රතීකය කායිකය. එහෙත් ප්‍රතීක පද්ධතියක් “විඥානය” ගෙන දෙයි. කායික (ප්‍රතීකයන්ගේ) ප්‍රමාණාත්මක ඒකරාශීවීම “නව මානසික” ගුණයක් ඇති කරයි. පව්ලොව්ගේ ගුරුකුලයේ විධික්‍රමය සම්පරීක්ෂණාත්මක වන අතර වෙහෙසකර ද වෙයි. සුනඛයන්ගේ කෙළවල සිට කාව්‍ය දක්වා පියවරෙන් පියවරට සාමාන්‍යකරණ ඇති කරගනු ලැබේ. කාව්‍යය කරා අප ගෙන එන මාර්ග තවමත් අනාවරණය කර නැත. මෙකී සාමාන්‍යකරණ ඇතිකර ගනු ලබන්නේ ද කාව්‍යයේ සාමාජික අන්තර්ගතය සම්බන්ධයෙන් නොව කාව්‍යය මනස තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ය.

     වියානා ජාතික මනෝ විශ්ලේෂක ෆ්‍රොයිඞ්ගේ ගුරුකුලය ගමන් ගන්නේ වෙනස් මගකය. අතිසංකීර්ණ හා අතිසූක්ෂම මානසික සන්තතීන්ගේ ගාමක බලවේගය වනාහි කායික අවශ්‍යතාවක් යයි එම ගුරුකුලය කල්තියාම සලකයි. මේ සාමාන්‍ය අර්ථයෙන් එම ගුරුකුලය භෞතිකවාදී වේ. එය අන්‍ය සාධක ඉක්මවා ලිංගික සාධකයට උවමනාවට වැඩි ස්ථානයක් නො දෙන්නේ ද යන ප්‍රශ්නය දැනට මත් භෞතිකවාදයේ අද්දර සීමාවන්හි විවාදයට භාජනය වී ඇත. එහෙයින් එය මෙහි ලා පසෙක තැබිය යුතු වේ. මනෝ විශ්ලේෂකයා සම්පරීක්ෂණාත්මක ලෙස පහළම ප්‍රපංචයන්ගේ සිට උච්චතම ප්‍රපංචයන් කරා ද සරල ප්‍රතීකයේ සිට සංකීර්ණ ප්‍රතීකය දක්වා ද ගමන් කරමින් විඥානය පිළිබඳ ගැටලුවලට නො පිවිසෙයි. ඒ වෙනුවට ඔහු උඩ සිට පහළට,  එනම්, ආගමික පුරාණොක්තියේ, උදාන කාව්‍යයේ හෝ සිහිනයේ සිට මනසේ කායික පදනම වෙත කෙළින්ම පනින පිම්මකින් මේ සියලු අතරමැදි අවස්ථාවන් එකවිට ග්‍රහණය කර ගැන්මට වෑයම් කරයි.

       මනස යනු ස්වාධීන දෙයක් යැයි ද “ආත්මය” යනු පතුල රහිත ළිඳක් යයිද විඥානවාදීහු අපට කියති. “ආත්මයෙහි” පතුළ නම් කායික ක්‍රියාකාරිත්වය යයි පව්ලොව් හා ෆ්‍රොයිඞ් යන දෙදෙනාම සිතති. එහෙත් පව්ලොව් කිමිදුම්කරුවෙකු මෙන් ළිං පතුළට බැස එතැන් සිට උඩට ළිඳ නිරීක්ෂණය කරයි. මේ අතර ළිඳට උඩින් සිට ගන්නා ෆ්‍රොයිඞ් එහි නිරන්තරයෙන් වෙනස් වන කැළඹුණු ජල කඳ සිය විනිවිද දක්නා බද්ධ දෘෂ්ටියෙන් විනිවිද දැකීමටත් පතුලේ තිබෙන දේවල හැඩය අනුමානයෙන් සිතා ගැනීමටත් තැත් කරයි. පව්ලොව්ගේ විධික්‍රමය සම්පරික්ෂණයයි. ෆ්‍රොයිඞ්ගේ විධික්‍රමය අනුමාන යයි; ඇතැම් විට විස්මය ජනක අනුමානයයි; මනෝ විශලේෂණය මාක්ස්වාදය සමග “නොගැලපේ” යැයි පැවසීමටත් ෆ්‍රොයිඞ්වාදයට පසුපස හැරවීමටත් දරන වෑයම අතිසරලය; නැතහොත් වඩාත් නිශ්චිත ලෙස කිවහොත්, අත්‍යන්තයෙන්ම අඥානය. එහෙත් අපි ෆ්‍රොයිඞ්වාදය පිළිගැනීමට කිසිසේත් බැඳී නොසිටිමු. එය වනාහි භෞතිකවාදී මනෝවිද්‍යාවේ මං ඔස්සේ ගමන් ගන්නා නිගමනයන් හා අනුමානයන් නිපදවීමට පුළුවන් වූත් නිසැකයෙන්ම නිපදවන්නා වූත් ක්‍රියාත්මක කළ යුතු උපන්‍යාසයකි. යථාකාලයේදී සම්පරීක්ෂණාත්මක ප්‍රතිපදාව මේ අනුමානයන් අත්හදා බලනු ඇත. එනමුත් සම්පරීක්ෂණාත්මක ප්‍රතිපදාව ඉතා හෙමින් පමණක් ළඟා වන්නා වූ නිගමනයන් කල්තියා බලාපොරොත්තු වීමට වෑයම් කරන ෆ්‍රොයිඞ්ගේ අනෙක්  ප්‍රතිපදාව විශ්වාසීයත්වයෙන් අඩු විය හැකි නමුදු තහනම් කිරීමට පදනමක් හෝ අයිතියක් අපට නැත.5

        කලාව වනාහි මිනිසා ලෝකය තුළ සිය දිගංශයන් පාදා ගන්නා මාර්ගයන්ගෙන් එකකි. මේ අර්ථයෙන් කලා උරුමය විද්‍යා හා තාක්ෂණ උරුමයෙන් වෙනස් නොවේ. කලා උරුමය විද්‍යා හා තාක්ෂණ උරුමයට වඩා  අඩු ප්‍රතිවිරෝධතාවයන්ගෙන් යුක්ත ද නොවේ. එහෙත් විද්‍යාවට වෙනස් ලෙසින් කලාව ලෝකය නියාම පද්ධතියක් සේ නොව සංකල්ප රූප ස්තම්බකයක් මෙන් ඥානනය කරන්නා වූ විධියක් ද ඒ අතරම ඇතැම් හැඟීම් හා මනෝගතීන් පුබුදුවන්නා වූ මාර්ගයක් ද වෙයි. අතීත ශත වර්ෂවල කලාව මිනිසා වඩා සංකීර්ණත්වයට හා සුනම්‍යත්වයට පත්කොට, ඔහුගේ මානසික තත්වය උසස් මට්ටමකට නංවා, ඔහු හාත්පසින්ම ආඪ්‍ය බවට පත් කොට ඇත. මේ ආඪ්‍යත්වය සංස්කෘතියේ මහඟු ජයග්‍රහණයකි. තතු එසේ හෙයින් අතීත කලාවෙහි පාරප්‍රාප්ත වීම වනාහි නව කලාව නිර්මාණය කිරීම සඳහා පමණක් නොව සමාජය ගොඩ නැඟීම සඳහා ද අවශ්‍ය පෙරකොන්දේසියක් වන්නේය. කුමක් හෙයින්ද යත්; කොමියුනිස්ට්වාදයට උසස් ලෙස වර්ධනය වූ මනස්වලින් යුතු මිනිසුන් අවශ්‍ය වන හෙයිනි. අතීත කලාවට ලෝකය පිළිබඳ කලාත්මක ඥානයකින් අප ආඪ්‍ය කළ හැකිද? එයට එසේ කළ හැකිය. මක්නිසාද යත්; එයට අපගේ හැඟීම් පෝෂණය කොට ශික්ෂිත කළ හැකි නිසාය. කිසිම පදනමකින් තොරව අතීත කලාව ප්‍රතික්ෂේප කළ හොත් ඒ සමගම අපි අධ්‍යාත්මික වශයෙන් වඩාත් දිළිඳු වන්නෙමු.

       කලාවේ අරමුණ ලෙස පවතින්නේ ඇතැම් මනෝගතීන් පුබුදු කිරීම පමණක්ය; යථාර්ථය ඥානනය කිරීම කිසිසේත්ම එහි අරමුණක් නොවන්නේය. යන අදහස ඉදිරිපත් කරන ප්‍රවණතාවක් මේ දිනවල තන්හි තන්හි දිස්වේ. මෙයින් උපුටා ගැනෙන නිගමනය නම් මෙයයි; වංශාධිපති පැළැන්තියේ හෝ ධනේශ්වර පන්තියේ කලාවට අප තුළ පැතිරවිය හැක්කේ කවර නම් මනෝභාවයක්ද?

         මෙය මූලික වශයෙන්ම වැරදිය. ඥානනය මාර්ගයක් වශයෙන් ජනතාවන් සඳහාත් විශේෂයෙන්ම ඔවුන් සඳහා මත් කලාවෙහි පවත්නා වැදගත්කම එහි “මනෝභාවික” වැදගත්කමට වඩා කිසිසේත්ම අඩු නොවේ. පෞරාණික වීර කාව්‍ය, උපමා කතා, ගීත, පාරම්පරික සුභාෂිත, ගැමි රිද්ම යන මේවා සිත් කා වදින විශද ස්වරූපයෙන් ඥානය සපයයි. ඒවා අතීතයට ආලෝක ධාරා විහිදුවයි; අනුභූතීන් සාධාරණීකරණය කරයි; ඥාන මණ්ඩලයේ නිම් වළලු ප්‍රසාරණය කරයි. තවද බාහිර ලෝකය සමග අපගේ සබඳතාව පිහිටුවා ගත හැකි වන්නේ එකී කලා කෘතීන් සමග සම්බන්ධ වීමෙන් පමණක් හා එම සම්බන්ධ වීමට පින්සිදු වන්නටය. වීර කාව්‍යයට පමණක් නොව උදාන කාව්‍යයට ද පොදුවේ සමස්ත සාහිත්‍යයටම ද මේ කීම අදාළ වේ. එය චිත්‍ර කලාවටත් මූර්ති කලාවටත් අදාළ වේ. මෙහිලා එක්තරා ප්‍රමාණයකට එකම විකල්පය වන්නේ සංගීත යයි ! සංගීතය දනවන ප්‍රතික්‍රියා ප්‍රබල වූවත් ඒකාංශිකය ! සැබැවින්ම සංගීතයද ස්වභාව ධර්මය පිළිබඳ සුවිශේෂ ඥානයක් මත, එනම් එහි නාද හා රිද්මයන් මත රඳා පවතී. එනමුත් සංගීතයෙහි දී ඥානය කොතෙක් ගැඹුරින් සැඟවී තිබේද? ස්වභාව ධර්මයාගෙන් ලැබෙන ආවේශයේ ප්‍රතිඵල පුද්ගලයෙකුගේ ස්නායු අතරින් කෙතෙක් දුරට වර්තනය වී තිබේද? කියත හොත්, සංගීතය ස්වාධීන “ආවිෂ්කරණයක්” සේ ක්‍රියා කරයි. සියලුම කලා මාධ්‍යයන් “(හැඟීම්) පැතිරවීමේ” කලාවට මෙන්ම6 සංගීතයට සමීප කිරීමේ ප්‍රයත්නයන් නිතරම පාහේ දරා ඇති අතර එම ප්‍රයත්නයන්ගෙන් සැමවිටම සංකේතික  වූයේ රූපාකාරයන් රහිත හැඟීම් වෙනුවෙන් කලාව තුළ බුද්ධියේ ක්‍රියා කලාපයෙහි අගය අඩු කිරීමකි. මේ අර්ථයෙන් ගත් කල ඒ ප්‍රයත්න ප්‍රතිගාමී විය; දැනුදු ප්‍රතිගාවීම … සැබැවින්ම සියල්ලටමත් වඩා අධම වන්නේ  සිත් කා වදින ලෙස විශද ඥානය නො සපයන, කලාත්මක “(හැඟීම්) පැතිරවීමක්” සිදු නො කරන, ඒ වෙනුවට සීමාතික්‍රාන්ත ව්‍යාජයන් පතුරුවන “කලා” කෘතිය. අවාසනාවකට මෙන් කලා විදුහල්වල ශිෂ්‍යයන්ගේ පොත්වල නොව දහස් ගණන් පිටපත්වල…. එවැනි කෘති අප රටෙහි බෙහෙවින් මුද්‍රණය කරනු ලැබේ.

     සංස්කෘතිය වනාහි සාමාජික ප්‍රපංචයකි. මේ නිසාම මනුෂ්‍යයන් අතර සම්බන්ධතා පැවැත්වීමේ උපකරණය වශයෙන් භාෂාව සංස්කෘතියේ ඉතාමත් වැදගත් අවයවය වන්නේය. භාෂාව සියුම් ලෙස වර්ධනය කිරීම වූ කලී සංස්කෘතියේ සියලුම අංශවල, විශේෂයෙන්ම විද්‍යාවේ හා කලාවේ වර්ධනය සඳහා අවශ්‍ය වන ඉතාමත් වැදගත් පෙර කොන්දේසියයි. තාක්ෂණයේ පැරණි මිනුම් උපකරණවලින් සෑහීමට පත් නොවී මයික්‍රොමාන, වොල්ටමාන යනාදී නව උපකරණ නිපදවමින් අතිමහත් නිරවද්‍යතාව ලැබීමට වෑයම් කරමින් එය ලැබ ගන්නාක් මෙන්ම භාෂාවෙහි දී ද යෝග්‍ය වචන තෝරා ඒවා යෝග්‍ය අයුරින් සංයෝග කිරීමේ නිපුණත්වය සඳහා ස්ථිරසාර ලෙසද ක්‍රමික ලෙස ද වෙහෙස දැරීම, අතිමහත් නිශ්චිතත්වය, පැහැදිලි බව හා ප්‍රාණවත් බව සඳහා අවශ්‍ය වන්නේය. මේ කර්තව්‍යයට පදනම දැමීම යනු අකුරු කියන්ට බැරිකමටත් අකුරු කියවීමේ අඩ හැකියාවටත් අකුරු කියවීමේ නොහැකියාවට සමීප බවටත් විරුද්ධව සටන් කිරීම විය යුතුයි. එම කර්තව්‍යයේ දෙවැනි අදියරට නම් සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ පරතෙර දැකීමයි.

        සංස්කෘතිය පන්ති පීඩනයේ ප්‍රධාන උපකරණය වූ බව සැබවි. එහෙත් එයට සමාජවාදී විමුක්තියේ උපකරණය වීමටත් පුළුවන. සමාජවාදී විමුක්තියේ උපකරණය විය හැක්කේ එයට ම පමණි.

අප සංස්කෘතියේ ප්‍රතිවිරේධතා

නගරය සහ පිටිසර

       අපගේ තත්වයෙහි විශේෂත්වය නම් ධනවාදී බටහිරත්, විජිතවාදී ගොවි පෙරදිගත් එකතු වන සන්ධිස්ථානයෙහි වාසය කරන අප සමාජවාදී විප්ලවයක් පළමු වරට සිදුකළ වුන් වීමයි. අතිවිශාල පසුගැමියාවක් හා වනචාරිත්වයක් උරුම කොටගත් රටක නිර්ධන පන්ති ආඥාදායක පාලනය පළමු වරට පිහිටුවා ඇත. මෙහෙයින් අපගේ ජනතාව අතර සයිබීරියානු සංචාරක එf`ඞ්රෙක් මොස්කව් වාසී හෝ ලෙනින්ග්‍රෑඞ් වාසී කම්කරුවෙකුගෙන් ඉතිහාසයේ ශතවර්ෂ ගණන්වලින් වෙන් කරනු ලැබ ඇත. අපගේ සමාජ රූපයෝ සමාජවාදයට සංග්‍රාමික වෙති. එහෙයින්ම ඒවා ධනවාදී රූප සමග නො සැසඳිය හැකි තරම් උසස්ය. මේ අර්ථයෙන් අපි අපගේ රට ලෝකයේ ඉතාමත් දියුණු, එය යැයි නිවැරදිව සලකමු. එහෙත් දියුණු ධනවාදී රටවල් සමග සසඳා බලන කල්හි භෞතික සංස්කෘතියේද අනෙක් සෑම සංස්කෘති වර්ගවලද පදනමෙහි රඳා පවත්නා තාක්ෂණය අපේ රටෙහි අත්‍යන්තයෙන්ම පසුබටය. අපගේ වර්තමාන යථාර්ථයෙහි මූලික ප්‍රතිවිරෝධය මෙය වේ. මෙයින් මතු වන ඓතිහාසික කර්තව්‍යය නම් අපගේ තාක්ෂණය අපගේ උසස් සමාජ රූපවල මට්ටමට ඔසවාලීමයි. අපට මේ කර්තව්‍යය ඉටුකිරීමට නොහැකි වුවහොත් අපගේ සමාජ ක්‍රමය අනිවාර්යයෙන්ම අපගේ තාක්ෂණික පසුගැමියාවේ මට්ටම කරා පහළ බසිනු ඇත. තාක්ෂණික ප්‍රගතියෙහි අපට ඇති පූර්ණ වැදගත්කම වටහා ගනු පිණිස අප අපටම අවංකව මෙසේ කියා ගැනීම අවශ්‍ය වෙයි; අප අපගේ සමාජ ක්‍රමයෙහි සෝවියට් රූප ඒවාට උචිත නිෂ්පාදන තාක්ෂණයෙන් පිරවීමෙහි සමත් නොවුව හොත් සමාජවාදය කරා සංක්‍රමණය වීමේ හැකියාව තුරන් වී අපි ධනවාදය කරා යළි පෙරළී යන්නෙමු. කවරාකාර ධනවාදයක් කරා ද? අර්ධ ප්‍රවේණිදාස, අර්ධ විජිතවාදී ධනවාදය කරාය. අපට තාක්ෂණය සඳහා අරගලය යනු සමාජවාදය සඳහා අරගලයයි. අපගේ සංස්කෘතියේ සමස්ත අනාගතයම එම අරගලය සමග බැඳී පවතී.

       අපගේ සංස්කෘතික ප්‍රතිවිරෝධතාවන්ට අලුත් වූත් ප්‍රබල වූත් උදාහරණයක් මෙන්න; අපගේ ලෙනින්ග්‍රෑඞ් මහජන පුස්තකාලය පොත් සංඛ්‍යාව අතින් මුල් තැන උසුලන්නේය යන වාර්තාවක් ළඟදී පුවත්පත්වල පළ විය. දැනට එය සතුව පොත් 4,250,000ක් ඇත ! මෙයින් අප තුළ පළමු කොටම ඇතිවන හැඟීම නම් නිසි සෝවියට් ගර්වයයි; අපගේ පුස්තකාලය ලෝකයේ විශිෂ්ටතම පුස්තකාලයයි. මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අප ණයගැති කුමකටද? පුද්ගලික පුස්තකාලයන් අස්වාමික කිරීමටය. පුද්ගලික දේපළ ජනසතු කිරීම මගින් අපි සියලු දෙනාටම ළඟවිය හැකි වඩාත් පොහොසත් වූ සංස්කෘතික ආයතනයක් නිර්මාණය කොට ඇත්තෙමු. සෝවියට් ක්‍රමයේ ඇති ඉමහත් වාසි මේ සරල කරුණින් විවාද රහිතව පෙනී යයි. එහෙත් ඒ අතරම අපගේ රට තුළ අකුරු කියන්ට බැරි අයගේ සියයට ගණන අන්‍ය ඕනෑම යුරෝපීය රටකට වඩා වැඩිය. මෙයින් අපගේ සංස්කෘතික පසුගැමියාව ප්‍රකට වේ. පුස්තකාලය නම් ලෝකයේ ලොකුම පුස්තකාලයයි. එහෙත් තවමත් පොත් කියන්නේ ජනගහනයෙන් සුළුතරයක් පමණකි. සෑම අංශයකම පාහේ තතු මෙසේ වේ. ද්නියෙප්රොස්ට්‍රෝයි, වොල්ගා – ඩොන් ඇළ යනාදිය සඳහා දැවැන්ත වූ ද කිසිසේත්ම මනෝරාජික නොවූ ද යෝජනා ක්‍රමයන් සහිත ජනසතු කර්මාන්ත ඇත. එහෙත් ගොවියන් බිම සමතලා කරන්නේත් ගොයම් පාගන්නේත් දම්වැල්වලින් හා රෝල්වලිනි. අපගේ විවාහ නීති තුළ සමාජවාදී ජීව ගුණය කා වැදී ඇත. එහෙත් අපගේ පවුල් ජීවිතවල තවමත් පවත්නා කායික හිංසාව සුළුපටු නොවේ. මේ ප්‍රතිවිරෝධතා ද මීට සමාන අන්‍ය ප්‍රතිවිරෝධතා ද බටහිර හා පෙරදිග එකතු වන සන්ධි ස්ථානයෙහි පවත්නා අප සංස්කෘතියේ සමස්ත ව්‍යුහයෙහි ප්‍රතිඵලය. අපගේ පසුගැමියාවේ පදනම නම් පිටිසර ප්‍රදේශයන්හි ඉතාමත් පසුගැමි උපකරණ හා නිෂ්පාදන ක්‍රම ආධිපත්‍යය දරන අතර නගරයට වඩා පිටිසරට ද කර්මාන්තයට වඩා කෘෂිකර්මය ද ආධිපත්‍යය ඉසිලීමයි. ඓතිහාසික ප්‍රවේණිදාස ක්‍රමය පිළිබඳව කතා කිරීම්දී සියල්ලටමත් වඩා අපගේ සිත්හි පවත්නේ සමාජ තට්ටු සබඳතාය;7 ඉඩම් හිමියන්ට හා සාර්ගේ නිලධාරීන්ට ගොවීන්ගේ පැවති බැඳීමය. එනමුත් සහෝදරවරුනි, ප්‍රවේණිදාස ක්‍රමයට යටින් ඊට වඩා ගැඹුරු පදනමක් පවතී; එනම් පොළොවට මිනිසාගේ ඇති බැඳීමයි; ගොවියා ස්වභාව ධර්මයේ බලවේගයන් මත රැඳී සිටීමයි. ග්ලෙබ් උස්පෙන්ස්කිගේ8 කෘති ඔබ කියවා තිබේද? තරුණ පරපුර ඔහුගේ කෘති නොකියවතැයි මම කල්පනා කරමි. ඔහුගේ කෘති, යටත් පිරිසෙයින් ඔහුගේ හොඳම කෘති යළි පළ කළ යුතුය. ඒවා අතර ප්‍රශස්ත කෘති ඇත. උස්පෙන්ස්කි නරෝද්නිකයෙක් විය. එහෙත් පිටිසරබද ජීවිතයේ සදාචාර ධර්ම හා චර්යා විධි ගැන ලියූ ලේඛකයෙක් වූ උස්පෙන්ස්කි ප්‍රශස්ති කලාකරුවෙක් පමණක් නොව විශිෂ්ට යථාර්ථවාදියෙක් ද විය. ආර්ථික පදනමක් මත වර්ධනය වූත් එම පදනම විසින් ම සර්ව ප්‍රකාරයෙන් නිර්ණිත වූත් ගොවියාගේ ජීවන ක්‍රමයද එයින් හට ගත් ප්‍රපංචයක් වශයෙන් ඔහුගේ මානසික තත්වයද වටහා ගැනීමට උස්පෙන්ස්කිට පුළුවන් විය. පිටිසර බද ආර්ථික පදනම වනාහි සිය ශ්‍රම ක්‍රියාවලියෙහි දී පොළොවටත් සාමාන්‍ය වශයෙන් ස්වභාව ධර්මයාගේ බලවේගයන්ටත් ගොවියාගේ පවත්නා බැම්ම බව වටහා ගැනීමට ඔහුට පුළුවන් විය. ඔබ යටත් පිරිසෙයින් ඔහුගේ භූමියේ බලය යන කෘතියවත් නොවරදවාම කියවිය යුතුයි. උස්පෙනිස්කි තුළ කලාත්මක ප්‍රතිභානය මාක්ස්වාදී විධික්‍රමයෙහි තැන ගන්නා අතර එහි ප්‍රතිඵල වශයෙන් බොහෝ අංශවලින්  ඒ ප්‍රතිභානය මාක්ස්වාදී විධික්‍රමය සමග ස්පර්ධා කරයි. මේ හේතු කොට ගෙන කලාකරු උස්පෙන්ස්කි, නරෝද්නික් උස්පෙන්ස්කි සමග නිරන්තරයෙන්ම මාරක ගැටුමක නිරත වී සිටියේ ය. ගොවි ජීවිතය තුළ, විශේෂයෙන්ම පවුල් ජීවිතය තුළ රැඳි පවත්නා වූද බොහෝ විට නාගරික ජීවිතය කරාත් ගලා යන්නා වූද ප්‍රවේණිදාස ක්‍රමයේ බොහෝ නෂ්ටාවශේෂ වටහා ගැනීමට අවශ්‍ය නම් දැන් වුවත් අපි කලා කරුවාගෙන් උගත යුතු වෙමු. විවාහ නීති පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් දැනට කෙරී ගෙන යන සාකච්ඡාව තුළ නද දෙන  ඇතැම් ස්වර්වලට කන්දීම ම (මෙවැනි නෂ්ටාවශේෂ ඇති බව තේරුම් ගැනීමට ) ප්‍රමාණවත්ය.

      ලෝකය පුරාම කර්මාන්තයත් කෘෂිකර්මයත් අතර ද නගරයත් පිටිසරත් අතරද ප්‍රතිවිරෝධය ධනේශ්වර ක්‍රමය විසින් අත්‍යන්ත ආතතියක් කරා ගෙන යනු ලැබ ඇත. රුසියාව තුළ අපගේ ඓතිහාසික වර්ධනය ගාටන සුළු වූ හෙයින් මේ ප්‍රතිවිරෝධය අතිභයානක ස්වරූප ගෙන ඇත. අපගේ පිරිසරබද ප්‍රදේශ 17 වැනි සියවසේ පතුලේ හා ඊටත් වඩා ඈත කාලවලදී රැඳී පවත්නා අතර අපගේ කර්මාන්ත බටහිර යුරෝපීය හා ඇමරිකානු ආදර්ශයන් අනුකරණය කිරීමට තැත් කරන්ට පටන් ගෙන තිබුණි. ඇමරිකාව තුළ නව ධනේශ්වර ක්‍රමයට කෘෂිකර්මය කර්මාන්තයේ මට්ටමට නැංවීමට නොහැකි බව පැහැදිලිව ඔප්පු වී ඇත. මේ කර්තව්‍යය ඉටුකිරීම මුළුමනින්ම සමාජවාදයේ වගකීම බවට පත්වී ඇත. පිටිසර පෙදෙස් නගරය අබිබවා දැවැන්ත ලෙස ප්‍රමුඛත්වය දරන අපගේ තත්වයන් තුළ කෘෂිකර්මය කාර්මීකරණය කිරීම වනාහි සමාජවාදය ඉදි කිරීමෙහි ඉතාමත් වැදගත් අංශය වන්නේය.

       කෘෂිකර්මය, කාර්මීකරණය කිරීම යනුවෙන් අප අදහස් කරන්නේ ක්‍රියා සන්තතීන් දෙකකි. අවසානයේ දී ඒ දෙක එකට සංකලය වීමෙන් පමණක් නගරයත් පිටිසරත් අතර සීමාව සදහටම මකා දැමිය හැකි වන්නේය. අපට එතරම්ම වැදගත් වූ මේ ප්‍රශ්නය ගැන මඳක් දුරට සිතා බලමු. කෘෂිකර්මය කාර්මීකරණය කිරීම එක් අතකින් සමන්විත වන්නේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ප්‍රාරම්භක වශයෙන් සැකසීමේ කාර්යාංශ රාශියක් ග්‍රාමීය ගෘහ ආර්ථිකයෙන් වෙන් කරලීමෙනි. පොදුවේ සෑම කර්මාන්තයක්ම පිටිසරින් මතුවී ආවේය. එසේ මතුවී ආවේ හස්ත කර්මාන්තයෙන් හා ගැමි ශිල්පීන්ගේ වැඩ තුළින්, කොටුවී පැවති ගෘහ ආර්ථික ක්‍රමයෙන් ඒ ඒ විශේෂ අංග වෙන් කිරීම තුළින්, විශේෂ ඥානය ලැබීම තුළින්, යෝග්‍ය ආධුනිකත්වය ද තාක්ෂණය ද නිර්මාණය කිරීම තුළින් හා පසු කාලයේදී යාන්ත්‍රික නිෂ්පාදනය ද තුළින්ය.

       අපගේ සෝවියට් කාර්මීකරණය සැලකිය යුතු ප්‍රමාණයකට මේ මාවත දිගේ, එනම් කෘෂිකර්මයත් කර්මාන්තයත් අතර රඳා පවත්නා සමස්ත නිෂ්පාදන ක්‍රියා මාලාව පිළිබඳව විශේෂ ඥානය ලැබීමේ මාවත දිගේ ගමන් කළ යුතුය. මෙහිලා අපට අසංඛ්‍ය වූ හැකියාවන් විවෘතව පවත්නා බව එක්සත් ජනපදයේ උදාහරණයෙන් පෙනී යයි.

       එහෙත් ප්‍රශ්නය එයින් නිමා නොවේ. කෘෂිකර්මයත් කර්මාන්තයත් අතර ප්‍රතිවිරෝධය ජය ගැනීම සඳහා වගා කළ හැකි බිම්වල හා ගැමි පෙදෙසේවල ගොවිතැන ද උයන් වතු තැනීම ද කාර්මීකරණය කිරීම මුලින්ම අවශ්‍ය වේ. මෙහි තේරුම වන්නේ මේ නිෂ්පාදන අංශයන් ද විද්‍යාත්මක තාක්ෂණය මත පිහිටුවිය යුතුය යන්නයි. එනම්, මහා පරිමාණයෙන් හා නිරවද්‍ය සංකලනයෙන් යුතුව යන්ත්‍ර භාවිතය, ට්‍රැක්ටර් භාවිතය, විදුලිබල සම්පාදනය, වගාවන් නිසි ලෙස මාරු කිරීම, විධික්‍රම හා ප්‍රතිඵල විද්‍යාගාරවල පරීක්ෂා කාරීම, ඉතාමත් වාසිදායක ලෙස ශ්‍රම බලය පරිහරණය කිරීම ආදියෙන් සමස්ත නිෂ්පාදන ක්‍රියාමාලාව ම නිරවද්‍ය ලෙස සංවිධානය කිරීම යනාදියයි. අතිමහත් ලෙස සංවිධානය කරන ලද වගාව පවා ඉංජිනේරු විද්‍යාවෙන් සත්තකින්ම වෙනස් වේ. එහෙත් එම කරුණු සම්බන්ධයෙන් ගත් විට කර්මාන්ත ඇතුළතම, විවිධ අංශයන්හි ප්‍රබල වෙනස්කම් පවතී. අද දින කෘෂිකර්මය සමස්ත කර්මාන්තයට ප්‍රතිවිරුද්ධව පිහිටුවීමට අපට අයිතියක් ඇත්නම් ඒ පහත දැක්වෙන හේතුව නිසාය; නිෂ්පාදකයා ස්වාභාවික තත්වයන් මත වහල් ලෙස රඳා පවතී. ගොවීන්ට පවත්නේ අත්‍යයන්තයෙන්ම අශිෂ්ට වූ ජීවන ක්‍රමයකි. මේ තතු මධ්‍යයෙහි කෘෂිකර්මය ප්‍රාථමික විධික්‍රමයන් පරිහරණය කරමින් විසිර ගිය ඒකකයන්හි කරගෙන යනු ලැබේ. සාමාජීය කිරීම පමණක් එනම් බටර් සෑදීම, කේජු සෑදීම, පිෂ්ට හා උක් පැණි නිෂ්පාදනය, යන මේවා බඳු අධ්‍යතන කෘෂිකර්මයෙහි විශේෂ අංග කර්මාන්ත ශාලාවලට මාරු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කෘෂිකර්මය සාමාජීය කිරීම අවශ්‍ය වේ. එනම්, කෘෂිකර්මය තන්හි තන්හි පොදි ගැසී තිබීමෙන් ගළවා ගැනීමත් පොළොව කෙටීම වෙනුවට විද්‍යාත්මක ලෙස සංවිධානය කෙරුණු තිරිඟු හා රයි “ෆැක්ටරි”, ගව හා බැටළු “ෆැක්ටරි” යනාදිය පිහිටුවීමත් අවශ්‍ය වේ. මෙය කළ හැකි බව දැනට ලැබී තිබෙන ධනවාදී අත්දැකීමෙන් අර්ධ වශයෙන් පෙනී යයි; කිකිළියන් පවා සැලසුම්ගත කොට හා ප්‍රමිතිගත කොට උන් ලවා ඇණවුම්වලට අනුව ප්‍රමාණයෙන් වර්ණයෙන් සම වූ බිත්තර දැවැන්ත සංඛ්‍යාවෙන් දම්මවන ඩෙන්මාර්කයේ කෘෂිකාර්මික අත්දැකීමෙන් විශේෂයෙන්ම පෙනී යයි.

       කෘෂිකර්මය කාර්මීකරණය කිරීම වෙනුවෙන් අදහස් කෙරෙන්නේ නගරයත් පිටිසරත් අතර අද පවත්නා මූලික ප්‍රතිවිරෝධයත් එම මූලික ප්‍රතිවිරෝධය නිසාම ගොවියාත් කම්කරුවාත් අතර පවත්නා මූලික ප්‍රතිවිරෝධයත් ඉවත් කරලීමයි. රටේ ආර්ථිකය තුළ ඉටුකරන ක්‍රියාකලාපය ජීවන තත්වයන් හා සංස්කෘතික මට්ටම් යන මේවා අතින් ගොවියාත් කම්කරුවාත් අතර පරතරය අතුරුදහන් වනවාත් සමගම ගොවියෝත් කම්කරුවෝත් ඒ අතුරුදහන් වීමට අනුපාතිකව එකට සමීප විය යුත්තාහුය. යාන්ත්‍රීකෘත වගාව සැලසුම්ගත ආර්ථිකය තුළ සමාන කොටසක් භජනය කරන්නා වූද, නගරය විසින් ඉඩකඩ හරිත වර්ණ වෘක්ෂලතා යනාදී පිටිසරබද වාසි සහගත තත්වයන් තමා තුළට ගැබ් කොට ගත්තාවූද ඒ අතර ම සෙල් අතුළ මාවත්, විදුලි ආලෝකය, ජල නළ සේවාව හා කාණු යනාදී නගරයේ වාසි සහගත තත්වයන් විසින් පිටිසරබද පෙදෙස් ආඪ්‍ය බවට පත් කෙරුණා වූ ද, වෙනත් ලෙසකින් කියත හොත්, නගරයත් පිටිසරත් අතර ප්‍රතිවාදය අතුරුදන්ව ගියා වූද, ගොවියාත්, කම්කරුවාත් තනි නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ සමාන වටිනාකමින් හා සමාන අයිතිවාසිකම්වලින් යුත් සහකරුවන් බවට පරිවර්තනය කෙරුණා වූද සමාජයක් වූ කලී සැබවින්ම සමාජවාදී සමාජයක් වන්නේය.

       මේ සමාජවාදී සමාජයට මාවත දීර්ඝ ද දුෂ්කර ද වේ. මේ මාවත දිගේ වැටෙන ඉතාමත් වැදගත් සන්ධි ස්ථාන සලකුණු නම් දැවැන්ත විදුලිබල මධ්‍යස්ථානයි. ඒවා පිරිසරබදට ආලෝකයත් පරිවර්තනකාරී බලශක්තියත් ගෙන එන්නේය. පොළොවේ බලශක්තියට එරෙහිව විදුලි බලශක්තිය !

       පසුගිය දාක අපි ශැතුරා විදුලි බලාගාරය විවෘත කළෙමු. වගුරු බිමක් මත තැනූ එය අපගේ හොඳම ඉදිකිරීම්වලින් එකකි. මොස්කව් සිට ශැතුරාවට ඇත්තේ කිලෝමීටර් 100ක තරම් දුරක් පමණි. එය දෙතැන සිට අතට අත දී ගත හැකි තරම් ස්වල්ප දුරකැයි කියන්ට පුළුවන. එහෙත් තත්වයන් අතින් මහත් වෙනසකි ! මොස්කම් නුවර යනු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මධ්‍යස්ථානයයි. එතැන සිට කිලෝමීටර් තිහහතළිහක් ගිය කල්හි හිමෙන් වැසුණු ෆර් ගස්වලින්ද, මිදී ගිය ගොහොරු බිම්වලින්ද කුරිරු වගවලසුන්ගෙන් ද ගහන වූ පිටිසරබද වනාන්තරත් හිම යට කිරා වැටෙන, දැවමුවා පැල්පත් සහිත අන්ධකාර කුඩා ගම්මානත් හමුවේ. ඇතැම් විටෙක ඔබට රිය මැදිරි කවුළුවෙන් වෘකයන්ගේ අඩි පාරවල් ද දැක ගත හැකිවේ. වර්ෂ කීපයකට පෙර ඉදිකිරීම් කටයුතු අරඹන කාලයේ අද ශැතුරා බලාගාරය නැගී සිටින තැන ගෝන්නු තිප්පොළවල් සාදාගෙන සිටියාහුය. අද දින වෝල්ට් 115,000ක විදුලි බලය දරන කම්බි හිසින් ගත් දැකුම්කලු ලෝමුවා කණු පෙළක් විසින් මොස්කව් හා ශැතුරා අතර දුර ප්‍රමාණය මකා හැර ඇත. ලබන වසන්ත සමයේදී නරි දෙනුන් හා වෘක ධේනුන් මේ ලෝමුවා කණු පාමුල පැටවුන් ගසනු ඇත. අපගේ සමස්ත සංස්කෘතියේම සැටි මෙසේය. එක් අතකින් තාක්ෂණයේත් සාමාන්‍යකරණ චින්තනයේත් ඉහළම ජයග්‍රහණයන්ගෙන් ද අනෙක් අතින් ටයිගාවල9 ආදී කල්පිත තත්වයන්ගේ අත්‍යන්ත ප්‍රතිවිරෝධතාවන්ගෙන් ද අප සංස්කෘතිය සැදුම් ලැබ ඇත.

         ශැතුරාව තණ බිමක් අරා සිටින කලෙක සෙයින් වගුරු බිමක් අරා වාසය කරයි. ඉතා සුළු ඉඩ ප්‍රමාණයක් අරා සිටින යන්ත්‍ර සූත්‍රයෝ යුග ගණන් තිස්සේ පැවත එන මඩ වගුරු කා දමමින්ද, ඒ මඩවගුරු අදෘශ්‍යමාන බලශක්තිය බවට පරිවර්තනය කරමින් ද, ඒ බලශක්තිය සැහැල්ලු කම්බි දිගේ මේ යන්ත්‍රසූත්‍ර තනා ඉදිකළ  කර්මාන්තයන් කරාම හරවා එවති. මේ සරල කරුණ අබියස බොළඳ ආගමික පරිකල්පනයන් විසින් නිර්මිත සියලු අරුම පුදුමයෝ ද කිවිවරුන්ගේ නිර්මාණාත්මක මනඃකල්පිතයෝ ද නිෂ්ප්‍රභ වී යති. ශැතුරාව වනාහි සුන්දර වස්තුවකි. ප්‍රතිභා සම්පන්න වූ ද කැපවූද ඉදිකරුවෝ ඒ සුන්දර වස්තුව නිර්මාණය කළාහුය. එහි සුන්දරත්වය වූ කලී ආරෝපිතයක් නොව, සරුව පිත්තල ආයිත්තමක් නොව තාක්ෂණයේ නෛසර්ගික ලක්ෂණයන්ගෙන් හා අවශ්‍යතාවන්ගෙන් ඉස්මතුවී එන්නකි. තාක්ෂණයේ එකම උත්තරීතර නිර්ණායකය නම් අරමුණට යෝග්‍යත්වයයි. ප්‍රායෝගික යෝග්‍යත්වය උරගා බලනු ලැබෙන්නේ පිරිමැසීම විසිනි. මේ යෝග්‍යත්වය අවට හා සමස්තය, මාර්ගය හා පරමාර්ථය අතර අතිපරිපූර්ණ අනුරූපතාව පූර්වාපේක්ෂා කරයි. ආර්ථික හා තාක්ෂණික නිර්ණායකයෝ සෞන්දර්ය නිර්ණායකයන් සමග පරිපූර්ණවම සමපාත වෙති. ශැතුරාවේ බලශක්ති කිලෝ වොට් පැයක් සමාන තත්වයන්හි පිහිටා ඇති අනෙකුත් බලාගාරවල කිලෝ වොට් පැයකට වඩා ලාභ හෙයින් ශැතුරුව සුන්දර වස්තුවකැයි කිව හැකිය. එම කීම විරුද්ධාභාශයක් නොවෙන්නේ මැයි. ශැතුරාව වගුරු බිමක් අරා නැගී සිටී. සෝවියට් සංගමය තුළ වගුරු බිම් බොහෝ ඇත. එහි බලාගාර අඩුය; වගුරු බිම් බහුලය. තවද ගාමක බලවේග බවට පරිවර්තනය කළ යුතු තවත් බොහෝ ඉන්ධන වර්ග අපට ඇත. දකුණු දෙසෙහි නීපර් ගංඟා තොමෝ තම ජල ප්‍රවාහ වේගයේ ප්‍රධාන කොටස නිකරුණේ නාස්ති කර දමමින්ද, යුග ගණන් පැරණි ඇළවල් දිගේ ගමන් කරමින්ද අප විසින් වේල්ලක් මඟින් ඇගේ ජල ප්‍රවාහය රඳවා නගරවලට, කම්හල්වලට හා කෙත්වතුවලට ආලෝකය ගාමක ශක්තිය හා වස්තුව සපයා දීමට බල කරනු ලැබීමත් පතා ඉතා පොහොසත් කාර්මික ප්‍රදේශයක් මැදින් ගලා බස්නීය. අපි ඇයට බල කරමු.

         අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ජනගහනයෙන් එක් පුද්ගලයෙකුට වර්ෂයකට බලශක්ති කිලෝ වොට් පැය 500ක් නිපදවන අතර මෙහි අප නිපදවන්නේ එක් පුද්ගලයෙකුට වර්ෂයකට කිලෝ වෝල්ට් පැය 20ක් පමණ එනම්, ඇමෙරිකාවේ නිපදවන ප්‍රමාණයෙන් විසි පහෙන් එකක් පමණකි. අප රටේ යාන්ත්‍රික ගාමක බලශක්තිය ඇමරිකාව හා සසඳන විට සාමාන්‍ය වශයෙන් පුද්ගලයෙකුට පනහෙන් එකක් පමණක් වේ. සමාජවාදය නම් වන්නේ ඇමරිකානු තාක්ෂණය නමැති ලාඩම ලා ගත් සෝවියට් ක්‍රමයයි. අපගේ සමාජ ක්‍රමය වෙනස් වුද, අතිශයින් යෝග්‍යතර වූ ද අයුරකින් ඇමරිකානු තාක්ෂණය උපයෝග කරන විධියක් ඉදිරිපත් කරයි. (එසේ උපයෝග කළ කල්හි) ඇමරිකානු තාක්ෂණය අපගේ සමාජ ක්‍රමය පසුගැමියාවේ ද ප්‍රාකෘතිකත්වයේ ද වනචාරිත්වයේද උරුමයෙන් මුදා පරිවර්තනයට භාජන කිරීම තම කාර්ය භාරය බවට පත්කර ගන්නේය. ඇමරිකානු තාක්ෂණය සමග සෝවියට් ක්‍රමය සංකලනය වීමෙන් නව තාක්ෂණයක් හා නව සංස්කෘතියක් උපත ලබන්නේය. ඒ වූ කලී ප්‍රියතම පුතුන් හෝ හදා ගත් පුතුන් නැති සියලුම දෙනා සඳහා වු තාක්ෂණයක් හා සංස්කෘතියක් වන්නේය.

සමාජවාදී ආර්ථිකයේ “වාහක” මුලධර්මය

         සමාජවාදී ආර්ථිකයේ මූලධර්මය නම් ඒකමිතියයි; එනම්, අභ්‍යන්තර එකමුතුව මත පිහිටි අඛණ්ඩත්වයයි. වාහකය යනු කුමක්ද ද? වාහකය යනු කම්කරුවාගේ ක්‍රියා මාලාවට අවශ්‍ය වන්නා වූ හැම දෙයක්ම ඔහු වෙත ගෙන එන්නා වූ හෝ ඔහු කෙරෙන් ගෙන යන්නා නූ අනන්ත වූ ජංගම පටියකි. අභ්‍යන්තර ප්‍රවාහන මාර්ගයක් වශයෙන් ෆ්‍රෝඞ් වාහකයන්ගේ සංයෝගයක් පරිහරණය කරන ආකාරය දැන් ඉතා ප්‍රකටය. සම්ප්‍රෙක්ෂණය හා සැපයුම එහෙත් වාහකය යනු ඊට වඩා වැදගත් දෙයකි. අනන්ත වූ පටියේ චලනයට ස්වකීය චලනයන් අනුකූල කිරීමට කම්කරුවා මෙහෙයවන හෙයින් එය නිෂ්පාදන ක්‍රියා සන්තතියම හසුරුවන විධික්‍රමයකි. තීව්‍රතර ලෙසත් පරිසමාප්ත ලෙසත් කම්කරුවා සූරා කෑම සඳහා ධනේශ්වර ක්‍රමය මේ පහසුකම පරිහරණය කරයි. එහෙත් වාහකයෙක් ගනු ලබන මේ ප්‍රයෝජනය හුදු වාහකය සමග නොව ධනේශ්වර ක්‍රමය සමග බැඳී පවතින්නකි. ශ්‍රමය හැසිරවීමේ විධික්‍රමයන්ගේ වර්ධනය කවර දිසාවකට ගමන් ගනී ද? කෑලි වැඩවල දිසාවටද? නැහොත් වාහක විධික්‍රමයේ දිසාවට ද ? සියලුම කරුණු වාහකය දෙසට තුඩුදී සිටී. වැඩ මත පුද්ගලික පාලනය යෙදීමේ අන් සෑම ආකාරයක් මෙන්ම කෑලි වැඩ ද ධනේශ්වර ක්‍රමයේ වර්ධනයේ මුල් යුගවල අංග ලක්ෂණයක්  වෙයි. මේ ප්‍රතිපදාව විවිධ කම්කරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධනය කිරීම නොව තනි තනි කම්කරුවා මත කායික වශයෙන් උපරිම බර පැටවීම සහතික කරයි. මේ කටයුතු දෙකම වාහකය මගින් ඉබේම ඉටු වේ. සමාජවාදී ආර්ථික සංවර්ධනය, විවිධ කම්කරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධනය කරන අතරම තනි තනි කම්කරුවා විසින් දැරිය යුතු කායික බර තාක්ෂණික බලයේ දියුණුවට අනුපාතිකව අඩු කිරීමට වෑයම් කළ යුතුයි. ධනේශ්වර වාහයකයෙක් වෙනස් වූ සමාජවාදී වාහකයේ වැදගත්කම නම් මේ වන්නේය. වඩාත් නිවැරදි ලෙස කිවහොත්, මෙහි සම්පූර්ණ ගැටලුව වන්නේ පටියේ චලනය දෙන ලද වැඩ පැය ගණනකට අනුකූලව හැසිරවීමයි. අනික් අතට කිවහොත් පටියේ දෙන ලද වේගයට අනුකූලව වැඩ කාලය හැසිරවීමයි.

        ධනේශ්වර ක්‍රමය යටතේ අභ්‍යන්තර ප්‍රවාහන විධියක් වශයෙන් වාහකය පරිහරණය කෙරෙන්නේ පුද්ගලික ව්‍යවසායික සීමාවන් ඇතුළතය. එහෙත් ස්වායක්තව ගත් විට වාහක මූලධර්මය අතිශයින්ම පළල්ය. සෑම තනි ව්‍යවසායක්ම අමු ද්‍රව්‍ය ද ඉන්ධන ද උපකාරක ද්‍රව්‍යද ඌනපූරක ශ්‍රම බලයද බැහැරින් ලබාගනී. තනි තනි ව්‍යවසායන් අතර සබඳතා කෙතරම් විශාල විය හැකි වුවද ඒවා හසුරුවනු ලබන්නේ බොහෝ විට නිසැකයෙන්ම විවිධාකාර දීර්ඝ කාලීන ගිවිසුම් මගින් සීමා බැඳුණු වෙළඳ පොළේ නියමයන් විසිනි. වෙන් වෙන්ව ගත් සෑම කර්මාන්ත ශාලාවක්ම ද ඊටත් වඩා සමස්ත සමාජයමද අමු ද්‍රව්‍ය නැති නාස්ති වී යන අයුරු ගබඩාවල ගොඩ නොගැසී, නිෂ්පාදනය ඇන හිටීමට හේතු නොවී යථාකාලයේදී සපයනු ලැබීම ගැන උනන්දු වේ. වෙනත් ලෙසකින් කියතහොත් මේ අමු ද්‍රව්‍ය වාහක මූලධර්මය පාදක කොට ගෙන නිෂ්පාදනයේ රිද්මය සමග පූර්ණ අනුකූලතාවෙන් යුක්ත, සපයනු ලැබීම ගැන උනන්දු වේ. මේ සඳහා අවශ්‍ය වන අනන්ත වූ ජංගම පටියක ආකාරය ගත් වාහකයක් පරිකල්පනය කිරීමට උවමනාවක් නැත. වාහකයෝ ආකාර විශේෂ අනන්ත ලෙස විවිධ විය හැකිය. යම් කිසි දුම්රියක් බඩු තොග මාරු කිරීම කලින් කලට බඩු බර ගොඩ ගැසීම යන මේවායින් තොරව, කොටින්ම ධනේශ්වර අරාජිකත්වයේ අංගයන්ගෙන් තොරව, සැලැස්මකට අනුව සමාජවාදය යටතේ දුම්රිය ක්‍රියාත්මකවනු ඇත්තේ එලෙසින්මය. ක්‍රිාත්මක වන්නේ නම් එය අමු ද්‍රව්‍ය, ඉන්ධන, උපකරණ හා සේවකයන් යථාකාලයෙහි කර්මාන්ත ශාලාවලට සැපයීම සහතික කරන්නා වූ දැවැන්ත වාහකයක් බඳු වන්නේය. දුම් නැව්, ලොරි යනාදිය සම්බන්ධයෙන් ද මෙය යෙදේ මැයි. සැලසුම්ගත සමස්ත ආර්ථිකයේ දෘෂ්ටිකෝණයෙන් බලන කල්හි නිෂ්පාදන ක්‍රමය තුළ නා නා ප්‍රකාර හුවමාරු මාර්ග ප්‍රවාහන අංග බවට පත් වෙයි. තෙල් නළ මාර්ගයක් යනු ද්‍රව සඳහා වන කල්හි තෙල් ගුදම්වල අවශ්‍යතාව අඩු වන්නේය. අක්‍රිය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වන තෙල් ප්‍රමාණයද අඩු වන්නේය.

        වාහක ක්‍රමය ව්‍යවසායන් එකිනෙකට ඉතා සමීපව පිහිටා තිබීම කිසිසේත්ම පූරවාපේක්ෂා කරන්නේ නැත. ඊට පටහැනිව, ව්‍යාකූල ලෙස හා අක්‍රමවත් ලෙස නොව ඒ ඒ කර්මාන්ත ශාලාව පිහිටුවීමට ඉතාමත් වාසි සහගත ස්ථානය කුමක්ද යන්න ඉතා සියුම් ලෙස සැලකිල්ලට ගනිමින් තැන් තැන්වල කම්හල් පිහිටි වීමට වර්තමාන තාක්ෂණය නිසා හැකි වී තිබේ. ගාමක ශක්තිය වශයෙන් විදුලි බලය පරිහරණය කිරීම මගින් කාර්මික ව්‍යවසායන් පළල් ලෙස විසුරවාලීමේ හැකියාව ඉමහත් මට්ටමකින් සහතික කරනු ලැබේ. මේ විසුරුවාලීමෙන් තොරව නගරයට පිටිසර තුළත් පිටිසරට නගරය තුළත් අතුරුදන්වී යාමට නුපුළුවන. ලෝමුවා කම්බිය වනාහි ගාමක බලය ඉතාමත් සුළු ඒකකයක් කරා බෙදා හැරීමේ හැකියාව ඇති කරන්නා වූ ද ස්විච්චියක් එබීමෙන් පමණක් එම බලය ක්‍රියාවෙහි යොදවන්නා වූ ද, නවත්වන්නා වූ ද අතිපරිසමාප්ත බල වාහකය යි. බල “වාහකය” පුද්ගලික දේපොළ විසින් අටවන ලද බෙදුම් සමග තීව්‍රතම අයුරින් ගැටෙන්නේ එය සතු වූ මෙකී අංග ලක්ෂණයන් මගින්මය. තාක්ෂණයේ ඉතාමත් “සමාජවාදී” අංගය නම් වර්තමාන වර්ධන මට්ටමේ පවත්නා විදුලි බලයයි. කුමක් හෙයින්ද යත්, ඉතාමත් දියුණු අංශය එය හෙයිනි. එහි කවර නම් පුදුමයක් ද?

        මෙකී දෘෂ්ටිකෝණයෙන්, ජලය ඇද ගැනීමත් පිට කිරීමත් සඳහා වූ දැවැන්ත ඉඩම් සංවර්ධන ක්‍රමයන්ගෙන් කෘෂිකාර්මික ජල වාහක සෑදේ. රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හා විදුලිබල සම්පාදනය යන මේවා වගාව ස්වභාව ධර්මයේ බලවේගයන්ගේ දුර්විපාකයන්ගෙන් මුදවා ඒ වගාවට උච්චතම මට්ටමේ සැලසුම්ගත විධිමත් භාවය වඩාත් පරිපූර්ණව ගෙන දෙත්ම, වත්මන් කෘෂිකර්මය, යටි පසෙහි (අශුද්ධ ලෝහ හා ගල් අඟුරු හෑරීම) හා පසෙහි (සී සෑම හා වැපිරීම) සිට පටන් ගැනෙන සමස්ත නිෂ්පාදනය හසුරුවන්නා වූත් සම්බන්ධනය කරන්නා වූත් සමාජවාදී වාහක ක්‍රමය තුළට වඩාත් පරිපූර්ණව ඇතුළත් වීමද සිදු වන්නේය.

         වාහකය පිළිබඳ ස්වකීය අත්දැකීම මත සාමාජික දර්ශනවාද විශේෂයෙක් ඉදිකිරීමට ෆෝඞ් ප්‍රයත්න දරයි. නිෂ්පාදන කළමනාකරණ ක්ෂේත්‍රයෙහි මහා පරිමාණ අත්දැකීම් හා මුදල් සම්භාරයක් සහිත හුදෙක් සුළු ධනේශ්වරයෙකු වශයෙන් සිටින අතරම කොා්ටිපතියෙකු බවට පත්වී ඇති ආත්ම තෘප්තියෙන් උදාසීන වූ දර්ශනවාදියෙකුගේ අතිශය පටුකම සමග අත්‍යන්ත කුතුහල ජනක ලෙස සංකලනය වීමක්  ඔහුගේ මේ ප්‍රයත්නය තුළ අපට දක්නට ලැබේ. ෆෝඞ් මෙසේ කියයි. “ඔබට ඔබ සඳහා ධනයත් ඔබේ සහ පුරවැසියන් සඳහා සුඛීභාවයත් උවමනා නම්, මා වාගේ වැඩ කරන්න” තම හැසිරීම අන්‍යයන්ට විධානයක් වන අයුරින් සියලු දෙනාම ක්‍රියාකළ යුතු යැයි කාන්ට් ඉල්ලා සිටියේය. ෆෝඞ් දාර්ශනික අර්ථයෙන් කාන්ට් වාදියෙකි.  එහෙත් භාවිතයේදී ෆෝඞ්ගේ 200,000ක් කම්කරුවන්ට “විධානය ” වන්නේ ඔහුගේ හැසිරීම නොව ඔහුගේ ස්වයිංක්‍රීය වාහකය කම්කරුවන් ඉක්මවා ඉදිරියට ඉගිලී යෑමය. එය ඔවුන්ගේ ජීවිතවල රිද්මයක් දෑත්වල, දෙපාවල හා චින්තනවල චලනයක් නිර්ණය කරයි. “ඔබේ සහ පුරවාසීන්ගේ සුඛීභාවය” සඳහා ෆෝඞ්වාදය ෆෝඞ්ගෙන් වෙන් කොට ගෙන සමාජ සන්තක කිරීමත් ශෝධනය කිරීමත් අවශ්‍ය වේ. සමාජවාදය කරන කටයුත්ත නම් මෙයයි.

        “වාහකය විසින් ශ්‍රමය අපුද්ගල භාවයට ද අනාධ්‍යාත්මික භාවයටද පත් කරන ලද කල්හි ඒකාකාරී වේ. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද?” මා වෙත ලියා එවා ඇති එක් ප්‍රශ්නයකි ඒ. මෙය බරපතළ නීතියක් නොවේ. ඔබ මේ ප්‍රශ්නය ගැන මුල සිට අග දක්වා ගැඹුරින් සිතා සාකච්ඡා කරන්නේ නම් එය ශ්‍රම විභජනයටත් පොදු වශයෙන් යන්ත්‍ර සූත්‍රවලටත් එරෙහිව එල්ල වූවක් බව පෙනී යනු ඇත. මේ නම්  ප්‍රතිගාමී මාවතකි. සමාජවාදයත් යන්ත්‍ර විරෝධයත් සදා කල්හි එකිනෙකට පටහැනි වූවාක් මෙන්ම මතුවටත් එසේම වන්නේය. මූලික වූත් මුඛ්‍ය වූත් ඉතා වැදගත් වූත් කර්තව්‍යය නම් දරිද්‍රතාව දූරිභූත කිරීමයි. මානුෂික ශ්‍රමය සහතික වශයෙන්ම හැකි තරම් උපරිම බඩු ප්‍රමාණය නිපදවීම අවශ්‍යය. ධාන්‍ය, සපත්තු ඇඳුම්, පුවත්පත් යනාදී අවශ්‍යය. ධාන්‍ය, සපත්තු, ඇඳුම්, පුවත්පත් යනාදී අවශ්‍ය වන සෑම දෙයක්ම ඇති තරම් නැති වනු ඇතැයි කිසිවෙකුට බියක් නූපදින ආකාරයේ ප්‍රමාණයන්ගෙන් සුලභ කිරීම අවශ්‍යය. දරිද්‍රතාවත් එය සමගම තණ්හාවත් දූරීභූත කළ යුතුමය. සෞභාග්‍යය හා විවේකය වන මේවා සමගම සියල්ලන් සඳහා ජීවත්වීමේ ආනන්දය දිනා ගත යුතුමය. යාන්ත්‍රීකරණයෙන් හා ස්වයංක්‍රීය භාවයට පත් කිරීමෙන් තොරව ශ්‍රමයේ ඉහළ නිෂ්පාදන ශක්‍යතාවත් මුදුන්පත් රක ගත නොහැකිය. යාන්ත්‍රීකරණයේත් ස්වයං ක්‍රියාකරණයේත් පරිසමාප්ත ප්‍රකාශනය නම් වාහකයයි. ශ්‍රමයේ ඒකාකාරී බවට වන්දි වශයෙන් ශ්‍රමයේ කාලය කෙටිවීමත් ලෙහෙසිය වැඩිවීමත් ලැබෙන්නේය. පුද්ගලික නිර්මාණශීලී භාවය අපේක්ෂා කරන්නා වූ කර්මාන්ත අංශ සමාජය තුළ සදාකල්හිම පවතිනු ඇත්තේය. නිෂ්පාදනයෙහි එබඳු කුසලතාවන් සහිත පුද්ලයන් එම අංශ කරා ගමන් ගන්නවා ඇත. යටත් පිරිසෙයින් තාක්ෂණයෙහි නව්‍යතර රසායනික හා බලශක්තිමය විප්ලවයක් දැනට අප දන්නා යාන්ත්‍රීකරණය ඉවතට අතු ගා විසි කරන තෙක් දැනට අප සැලකිලිමත් වන්නේ ඉතාමත් වැදගත් අංශයන්ගෙන් සමන්විත වු මූලික නිෂ්පාදන ආකාරය කෙරෙහිය. එවැනි විප්ලවයක් ගැන කරදර විය යුත්තේ (අප නොව) අනාගතයයි. අශුද්ධ ලෝහවලින් වේගයෙන් ඉදිරියට තල්ලු කරනු ලබන්නා වූ බෝට්ටුවක ගමන් කිරීමේ දී මහත් පුද්ගලික නිර්මාණශීලීත්වයක් අවශ්‍ය වෙයි. දුම් බෝට්ටුවක යන ගමන වඩාත්        “ඒකාකාරී” වුවත් වඩා සුවපහසු ද සැක රහිත ද වේ. එමතු නොව පදින ඔරුවකින් කිසිසේත්ම මුහුද තරණය කළ නොහැකිය. තවද අප මානුෂික අවශ්‍යතාවන් නමැති මුහුද තරණය කොට එතෙර විය යුතුමය.

         කායික අවශ්‍යතාවන් අධ්‍යාත්මික අවශ්‍යතාවන්ට වඩා අත්‍යන්තයෙන්ම සීමිත බව සියල්ලෝම දනිති. කායික අවශ්‍යතාවන් අධිකතර ලෙස තෘප්තිමත් කිරීම නිසා නො පමාවම ඇති වීමක් හට ගනී. එහෙත් ආධ්‍යාත්මක අවශ්‍යතාවන්ට නම් සීමා නැත්තේමය. තතු එසේ නමුදු අධ්‍යාත්මික අවශ්‍යතාවන් විජෘම්භමාන වීම සඳහා කායික අවශ්‍යතාවන් පරිපූර්ණ තෘප්තියට පත් කිරීම අවශ්‍යය. ජනතාවන්ගේ ආධ්‍යාත්මික මට්ටම නැංවීමේ අරගලය විරක්ෂා භාවය ද නන්නත්තාරේ යන අසරණයන්ගේ, දඩාවතේ යන්නන්ගේ හා දරිද්‍රතාවේ ගැටලු ද තුරන් කොට දමන තෙක් කල් දමන්ට අපට කිසිසේත්ම බැරිය. අප එය කල් දමන්නේද නැත. කළ හැකි සෑම දෙයක්ම කළ යුතුමය. එනමුත් ජනතාවන් සඳහා සෞභාග්‍යයත්, සුලභත්වයත්, විවේකයත් සහතික ලෙස සම්පාදනය කරන්ට පෙර සැබවින්ම නව සංස්කෘතියක් අපට නිර්මාණය කළ හැකියයි පරිකල්පනය කිරීම වැදගැම්මකට නැති තුච්ඡ දවල් සිහිනයකි. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ දෛනික ජීවිතයෙහි වැටෙන පිළිබිඹුව මගින් අප අපගේ ප්‍රගතිය උරගා බැලිය යුතුම වන අතර අපි එසේ කරන්නෙමු.

සංස්කෘතික විප්ලවය

       නව සංස්කෘතියක් නිර්මාණය කිරීම වනාහි අපගේ ආර්ථික කටයුතුවලිනුත් සමස්ත සාමාජික හා සංස්කෘතික ඉදිකිරීමෙනුත් වෙන් කොටගෙන සිදු කළ යුතු ස්වාධීන කර්තව්‍යයන් නොවන බව දැන් සියලු දෙනාටම පැහැදිලි වී ඇතැයි සිතමි . වෙළඳාම් “නිර්ධන පන්ති සංස්කෘතියේ”ක්ෂේත්‍රයට අයත් වන්නේ ද? වියුක්ති දෘෂ්ටි කෝණයේ සිට, එසේ අයත් වන්නේ නැතැයි මේ ප්‍රශ්නයට උත්තර දීමට කෙනෙකුට සිදු වේ. එහෙත් වියුක්ත දෘෂ්ටිකෝණයෙහි වටිනාකමක් නැත. සංක්‍රාමික යුගයෙහි දී, විශේෂයෙන්ම දැනට අප සිටින සංක්‍රාමික යුගයේ මූලික අවධියෙහි දී නිෂ්පාදනයන් වෙළඳ භාණ්ඩ නමැති සාමාජික රූපාකාරය අත්කර ගන්නා අතර අනාගතයේ දිගු කලක් යන තුරු ද එසේ අත්කර ගනු ඇත. වෙළඳ භාණ්ඩ සමග නිසි ලෙස ගනුදෙනු කිරිමට අප දත යුතුය; එනම්, ඒවා මිලදී ගැනීමටත් විකිණීමටත් දත යුතුය. එම දැනුමෙන් තොරව නම්, මූලික අවධියේ සිට ඊළඟ අවධිය කරා අප ඉදිරියට ගමන් නොකරන බව නියතය. වෙළඳාම ඉගෙන ගන්නැයි අපට කියා සිටි ලෙනින් බටහිර යුරෝපීය සංස්කෘතියෙන් සැපයෙන නිදසුන්වලින් ඉගෙන ගැනීමට අපට නිර්දශ කළේය. දැනට මත් අපට තියුණු ලෙස වැටහී යන පරිදි, වාණිජ සංස්කෘතිය සංක්‍රාමික යුගයේ සංස්කෘතියෙහි ඉතාමත් වැදගත් අංගයයි. කම්කරු රාජ්‍යයේ හා සමුපකාරවල වාණිජ සංස්කෘතිය      “නිර්ධන පන්ති සංස්කෘතිය” යනුවෙන් හැඳින්විය යුතු දැයි මම නොදිනිමි. එහෙත් එය සමාජවාදී සංස්කෘතිය කරා තබන පියවරක් බවට නම් විවාදයක් නැත.

        සංස්කෘතික විප්ලවය ගැන කතා කළ අවස්ථාවේදී ලෙනින් එහි මූලික අන්තර්ගතය ලෙස දැක්කේ ජනතාවන්ගේ සංස්කෘතික මට්ටම් නංවාලීමයි. මෙට්රික් ක්‍රමය ධනවාදයේ නිෂ්පාදනයකි. එහෙත් මේ සරල මාන ක්‍රමය ගොවීන් දස කෝටියකට ඉගැන්වීමේ තේරුම් වන්නේ දැවැන්ත විප්ලවවාදී සංස්කෘතික කර්තව්‍යයක් ඉටු කිරීමයි. ට්‍රැක්ටර්වල සහ විදුලි බලයේ උපකාරයෙන්, විනා අපට සංස්කෘතික විප්ලවය සාක්ෂාත් කර ගත නොහැකි බව නිසැකය. සංස්කෘතියේ පදනමෙහි තාක්ෂණය පිහිටා ඇත. තාක්ෂණයේ විප්ලවයත් සංස්කෘතික විප්ලවයේ තීරණාත්මක උපකරණයක් විය යුතුය.

       නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය ධනේශ්වර රාජ්‍යයේ ද ධනේශ්වර දේපළවලද සමාජ රාමුවල ගැටී ඒවා තෙරපෙන බව ධනේශ්වර ක්‍රමය සම්බන්ධයෙන් අපි කියමු. නිර්ධන පන්ති විප්ලවය සිදු කිරීමෙන් පසු අපි මෙසේ කියමු. සමාජ රූපවල වර්ධනය නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයෙහි, එනම් තාක්ෂණයේ වර්ධනයෙහි ගැටී එය තෙරපමින් සිටී. අපට සංස්කෘතික විප්ලවය මුදුන්පත් කිරීමට හැකි වන්නේ එක්තරා දැවැන්ත පුරුකක් ග්‍රහණය කර ගැනීමෙනි. ඒ පුරුක නම් කිසිසේත්ම සාහිත්‍යය හෝ දර්ශනවාදිය නොව කාර්මීකරණය ම යි. දර්ශනවාදයට හා කාව්‍යයට සතුරු හෝ නිගරු ආකල්පයක් ලෙසින් මාගේ මේ වචන ඔබ වටහා නොගනිතැයි මම බලාපොරොත්තු වෙමි. සාමාන්‍යකරණයන්හි නිරත වන චින්තනයෙන් හා කලාවෙන් තොරව මිනිස් ජීවිතය ශූන්‍ය ද දිළිඳු ද වන්නේය. එහෙත් වත්මන්හි කෝටි ගණන් ජනතාවන්ගේ ජීවිතය දැවැන්ත ප්‍රමාණයකට එසේ ශූන්‍යව හා දිළිඳුව පවතී. සංස්කෘතික විප්ලවය නම් විය යුත්තේ හුදෙක් සංස්කෘතියේ නීරස වූ අන්තිම තොංගල කරා නොව සංස්කෘතිය කරාම සැබැවින්ම ළඟාවීමේ හැකියාව ඔවුන්ට විවර කොට දීම ම ය. එහෙත් අතිදැවැන්ත වූ ද්‍රව්‍යමය පෙරකොන්දේසි නිර්මාණය නො කර මෙය කළ නොහැකි වන්නේය. සංස්කෘතික විප්ලවය තුළ වීර කාව්‍යයක් දසවැනි ගණයේ සාධකයක් පමණක් වන අතර, දැනට ස්වයංක්‍රීයව බෝතල් නිපදවන යන්ත්‍රයක් ප්‍රථම ගණයේ සාධකයක් වන්නේ මේ හේතුවෙනි.

       දර්ශනවාදීන් ලෝකය ඇති තරම් විවරණය කොට ඇතැයි ද කළ යුතු වන්නේ එය උඩුයටිකුරු කොට පෙරළීම යයිද මාක්ස් වරක් පැවසීය. ඔහුගේ ඒ වචන තුළ දර්ශනවාදයට නිගරුවක් ගැබ් නොවීය. මාක්ස්ම ද විශිෂ්ටතම දර්ශනවාදීන්ගෙන් කෙනෙක් විය. පොදු වශයෙන් භෞතික වූ ද ආධ්‍යාත්මික වූද සමස්ත සංස්කෘතියේ මෙන්ම දර්ශනවාදයේද ඉදිරි වර්ධනය සඳහා සාමාජික සබඳතාවන්ගේ විප්ලවයක් අවශ්‍ය බව පවණක් මේ වචනවලින් අදහස් වන්නේය. තවද ඒ හේතුවෙන්ම මාක්ස් දර්ශනවාදයට එරෙහිව නොව දර්ශනවාදය වෙනුවෙන් දර්ශනවාදයේ සිට නිර්ධන පන්ති විප්ලවයට ආයාචනා කර සිටියේය. මේ අර්ථයෙන්ම දැන් අපට මෙසේ කිව හැකිය. කවීන් විප්ලවයේත් නිර්ධන පන්තියේත් ගුණ ගයන විට කදිමය. එහෙත් ප්‍රබල ටර්බන් යන්ත්‍රයක් ඊට වඩා සුන්දර ලෙස එම ගායනයම කරයි. කුඩා ජන කණ්ඩායම් සතුව පැවති මධ්‍යම ගණයේ ගත අපට සුලභය. එහෙත් අපට ටර්බයින් යන්ත්‍ර ඇත්තේ අතිශයින් ම ස්වල්පයකි. මධ්‍යම ගණයේ කවි ටර්බයින් යන්ත්‍රයන්ගේ පහළ වීමට අවහිර කරන බවක් මෙයින් ඇඟවීමට මම අපේක්ෂා නොකරමි. නැත, කිසිසේත්ම එසේ කියන්ට බැරිය. ජන මතයට නිවැරදි නැඹුරුවක් දීම, එනම් ප්‍රපංචයන් අතර සැබෑ සබඳතාවන් වටහා ගැනීම දේවල් සිදු වන්නේ කෙසේද, මක්නිසා දැයි තේරුම් ගැනීම අත්‍යන්තයෙන්ම අවශ්‍යය. සංස්කෘතික විප්ලවය නොගැඹුරු විඥානවාදී අයුරකින් හෝ කුඩා අධ්‍යයන කණ්ඩායම් සඳහා වූ දෙයක් ලෙසින් හෝ නොවටහා ගත යුතුය. සංස්කෘතික විප්ලවය යනු ජීවන තත්ත්වයන්, මහා ජාතියක හෙවත් ජාතීන්ගේ මහා පවුලක වැඩ කිරිමේ විධික්‍රමයන් හා ffදිනක සිරිත් විරිත් වෙනස් කිරීම වන්නේය. ඉතිහාසයේ ප්‍රථම වරට ගොවියාට සිය පිට කොන්ද කෙළින් කර ගැනීමට ඉඩ සලසන්නා වූ දැවැන්ත ට්‍රැක්ටර් ක්‍රමයක් පමණක්, පරණ පන්නයට පිඹ වීදුරු තනන්නාගේ පෙණහලු නිදහස් කරන්නා වූ සිය ගණන් බෝතල් නිපදවන බෝතල් නිෂ්පාදක යන්ත්‍රයක් පමණක් ලක්ෂ ගණන් අශ්වබල දරන ටර්බයින් යන්ත්‍රයක් පමණක්, සියල්ලන්ටම සුලභ වූ ගුවන් යානාවක්-ඒකීභූත වූ මේ සියල්ල පමණක් සුළුතරයක් සඳහා නොව සියල්ලන්ම සඳහා සංස්කෘතික විප්ලවය සහතික කරන්නේය. සංස්කෘතික විප්ලවය යන නම දැරීමට සුදුසු වන්නේ එවැනි සංස්කෘතික විප්ලවයක් පමණි. නව්‍ය දර්ශනවාදයත්, නව්‍ය කලාවක් පිපී දිලෙනු ඇත්තේ එම පදනම මත පමණකි.

      මාක්ස් මෙසේ කීය. “යුගයක රජයන අදහස් නම් අවශ්‍යයෙන්ම එම යුගයේ පාලක පන්තියේ අදහස්ය.” නිර්ධන පන්තිය සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. එනමුත් එසේ සත්‍ය වන්නේ අන්‍ය පන්තීන් සම්බන්ධයෙන් එයින් අදහස් වන අර්ථයට වඩා හාත්පසින්ම වෙනස් අර්ථයකිනි. බලය අල්ලා ගැනීමෙන් පසු ධනපති පන්තිය එම බලය දිගටම පවත්වා ගැනීමට ප්‍රයත්න දැරීය. එම පන්තියේ සමස්ත සංස්කෘතියම මේ අරමුණට අනුකූල කරන ලදී. බලය ගැනීමෙන් අනතුරුව නිර්ධන පන්තිය අවිවාදයෙන්ම පන්ති විරහිත සමාජවාදී සමාජය ළඟාකර ගැනීම් වස් සිය පාලන කාලය හැකිතාක් දුරට කෙටි කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතුමය. ඒ ගැන කවර විවාදයක් ද?

පාදක සටහන්:

  1. සිවිල් යුද්ධ කාලයේ පැවති ‘රණ කොමියුනිස්ට්වාදය’ අවසානයේදී 1921 වර්ෂයෙහි සෝවියට් රුසියාවේ ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය
  2. ට්‍රොට්ස්කි මෙහිදී සඳහන් කරන්නේ අධිරාජ්‍යවාදීන් විප්ලවයට විරුද්ධව දියත් කළ යුද්ධ ප්‍රහාරවලදී පෙනී ගිය අයුරු රුසියාවේ අතිමත් දුර ප්‍රමාණයෙහි සහ පැර ගිය අවකාශයෙහි වටිනාකම ගැනය.
  3. 19වැනි සියවසේ අග භාගයේදී රුසියානු විප්ලවාදී ව්‍යාපාරයේ නායකත්වයෙන් තුරන් කරලීමට මාක්ස්වාදීන්ට සිදුවූ විද්‍යා විරෝධී වූද ගැමි ජනතාව පරමාදර්ශයක් කරා නැංවීමට යොමුවූද ‘ජනතාවාදී’ ගුරුකුලය
  4. ග්‍රිබ්‍රෝයෙදොව්ගේ ‘නැණවත් වීමේ මෝඩකම’ (1824) යන නාටකයේ එන ෆැමුසොව් නම් චරිතය ඇසුරින් තනාගත් යෙදුමකි. මෙහිදී ට්‍රොට්ස්කි පහර දෙන්නේ විද්‍යාත්මක ප්‍රතිෂ්ඨා මත නොව පක්ෂ නායකත්වයට අප්‍රිය අමනාප හෙයින් ෆ්‍රොයිඞ්ගේ හා ඔහුගේ අනුගාමිකයින්ගේ කෘති උචිතානුචිත විවේක බුද්ධියෙන් තොරව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින්ටය.
  5. කාමරාග අභිලාෂයන් පිනවීමක් ලෙස හෝ ‘දඟකාරකමක්’ ලෙස ව්‍යාජ ප්‍රොයිඩිවාදය වගාකිරීමත් මේ ප්‍රශ්නයත් අතර කිසිම සම්බන්ධයක් නැත. විද්‍යාව සමග කිසිම සම්බන්ධයක් නැති එවැනි රැවටිල්ලකින් හුදෙක් ජරාජීර්ණ මනෝගතීහු ප්‍රකාශ වෙති. ගුරුත්ව කේන්ද්‍රය බාහිකයොහි සිට සුෂුම්නාව දක්වා මාරු කෙරෙයි… (ට්‍රොට්ස්කි සටහන)
  6. මෙහිදී ට්‍රොට්ස්කි දෝෂාරෝපණය කරන්නේ කලාව සම්බන්ධ තෝල්ස්තෝයිගේ අදහස්වලට හා ඓතිහාසික භෞතිකවාදය යන කෘතියෙහිලා බුඛාරින් ඒවා යළි පණගැන්වීමය.
  7. විවිධ නීත්‍යානුකූල තත්වයන්ගෙන් සහ අයිතිවාසිකම්වලින් සමන්විත වූ සමාජ කන්ඩායම් අතර සම්බන්ධතාය
  8. 1870 ගණන්වල හා 1880 ගණන්වල රුසියානු ලේඛකයෙකි.
  9. උතුරු රුසියාවේ තුන්ද්‍රා හා ස්ටෙප්ස් ප්‍රදේශ අතර පිහිටි ඝන වනාන්තර, (පරිවර්තක සටහන)

          සංස්කෘතිය යන්නෙන් මුල දී අදහස් වූයේ නැවුම් කැලෑවෙන් ද නැවුම් පොළොවෙන් ද වෙනස් වූ සීසා අස්සද්දන ලද කෙතක් බව පළමු කොටම සිහිපත් කර ගනිමු. සංස්කෘතිය ස්වභාව ධර්මය සමග සසඳා වෙනස දක්වන ලදී; එනම්, මිනිසාගේ ප්‍රයත්නයන් විසින් අත්පත් කර ගන්නා ලද දෙය ස්වභාව ධර්මය විසින් දෙන ලද දෙය සමඟ සසඳා වෙනස දක්වන ලදී. මේ ප්‍රතිවාදයේ වටිනාකම අද ද මූලික වශයෙන් පවතී.

         මිනිසාගේ සමස්ත ඉතිහාසය තුළදී ස්වභාව ධර්මය විසින් දෙන ලද දෙයට පටහැනිව මිනිසා විසින් නිර්මාණය කරන ලද, ගොඩ නගන ලද, උගන්නා ලද හා ජයග්‍රහණය කරන ලද සියල්ලම සංස්කෘතිය නම් වේ. එම ස්වභාව ධර්මයට සත්ව වර්ගයක් වශයෙන් මිනිසාගේම ස්වභාවික ඉතිහාසයද ඇතුළත් වන්නේය. සත්ව පරිණාමයේ නිෂ්පාදනයක් ලෙසින් මිනිසා පිළිබඳව හදාරන විද්‍යාව මානව විද්‍යාව නමි. එනමුත් දළ වශයෙන් සලකන කල ප්‍රාකෘතික සෙල්මුවා හා දැවමුවා උපකරණ ප්‍රථම වරට ග්‍රහණය කොට ගෙන සිය සිරුරේ ඉන්ද්‍රියයන් ඒවායින් සන්නද්ධ කර ගත් කල්හි මිනිසා සත්ව රාජධානියෙන් වෙන් වූයේය. මේ වෙන්වීම සිදුවූ මොහොතේ පටන්ම සංස්කෘතිය නිර්මාණය කිරීමත් එක්රැස් කිරීමත් ඇරඹීම යනු ස්වභාව ධර්මය සමග අරගලයේ යෙදීමේ හා එය යටත් කර ගැනීමේ නන් වැදෑරුම් දැනුම් වෙසෙස් හා කුසලතා නිර්මාණය කිරීමත් එක්රැස් කිරීමත් ඇරඹීමය.

       අතීත පරම්පරාවන් විසින් එක්රැස් කරන ලද සංස්කෘතිය ගැන කතා කිරීමේදී අප පළමු කොටත් ප්‍රමුඛ කොටත් සිතන්නේ උපකරණ, යන්ත්‍රසූත්‍ර, ගොඩනැගිලි හා ස්මාරක යනාදියේ ස්වරූප ගත් සංස්කෘතියේ භෞතික ජයග්‍රහණයන් ගැනය. මෙය සංස්කෘතිය ද? නිසැකයෙන්ම සංස්කෘතියයි; සංස්කෘතිය නිදන් කොට ඇත්තාවූ භෞතික ආකෘතිය හෙවත් භෞතික සංස්කෘතියයි. එය අපගේ ජීවිතවල ද, දෛනික ජීවන ක්‍රමයෙහි ද නිර්මාණ කාර්යයෙහි ද මූලික වටපිටාව ස්වභාව ධර්මය විසින් ප්‍රතිපාදිත පදනම මත නිර්මාණය කරයි. එනමුත් සංස්කෘතියේ ඉතාමත් අගනා කොටස නම් මිනිසාගේ විඥානයෙහිම නිදන්ව පවත්නා කොටසයි; එනම්, දෙන ලද සමස්ත භෞතික සංස්කෘතියෙන් වර්ධනය වී ඇත්තා වූත් මේ භෞතික සංස්කෘතියෙන් පෝෂණය ලබන අතරම එය වැඩි දියුණු කරන්නා වූත් අපගේ ඒ විධික්‍රම, පුරුදු, කුසලතා හා අත්කර ගත් හැකියා යන මේවායි. පැවැත්ම සඳහා, සිය ජීවන තත්වයන් වැඩි දියුණු කර ගැනීම සඳහා, ස්වකීය ශක්තීන් විපුලත්වයට පත්කර ගැනීම සඳහා ස්වභාව ධර්මයට එරෙහිව මිනිසා ගෙන ගිය අරගලයෙන් සංස්කෘතිය වැඩී ඇවිත් ඇතැයි යන්න දැන් තහවුරු විණැයි සලකමු.

         එහෙත් මේ පදනමින් ම පන්ති ද වැඩී ඇවිත් ඇත. ස්වභාව ධර්මයේ හතුරු බලවේගයන් සමග ගැටෙමින් ස්වභාව ධර්මයට අනුවර්තනය වීමේ ක්‍රියා සන්තතියේ දී මානව සමාජය සංකීර්ණ පන්ති සංවිධානයක් ලෙස හැඩ ගැසී ඇත. සමාජයේ පන්ති ව්‍යුහය විසින් මානව ඉතිහාසයේ අන්තර්ගතය හා ආකෘතිය, එනම්, එහි භෞතික සම්බන්ධතා හා එම සම්බන්ධතාවන්ගේ දෘෂ්ටිවාදාත්මක පිළිබිඹු තීරණාත්මක ලෙස නිර්ණය කොට ඇත. මෙහි අර්ථය නම් ඓතිහාසික සංස්කෘතිය පන්ති ස්වරූපයක් ගෙන ඇත යනුයි.

         වහලුන් හිමි සමාජය, ප්‍රවේණි දාසයන් අයිති වැඩවසම් සමාජය, ධනේශ්වර සමාජය යන මේ එක් එක් සමාජය තමාට අනුරූප වූ සංස්කෘතියක් උත්පාදනය කළේය. ඒ සංස්කෘතිය ඒ ඒ අවධීන්හිදී වෙනස්ව ද අනේකවිධ සංක්‍රමණික ස්වරූපයන්ගෙන් සමන්විත ද විය. සංස්කෘතිය සමාජයේ පන්ති සංවිධානයට සේවය කොට ඇත. සූරාකන්නන්ගේ සමාජය සූරා කන්නන්ගේ සංස්කෘතියක් උපදවා ඇත.

එහෙත් මෙහි අර්ථය අප සමස්ත අතීත සංස්කෘතියටම විරුද්ධය යන්නද?

         සැබැවින්ම මෙහි ගැඹුරු ප්‍රතිවිරෝධයක් පවතී. මිනිසාගේ ප්‍රයත්නයෙන් දිනා ගන්නා ලද, නිර්මාණය කරන ලද, ගොඩ නඟන ලද, එමෙන්ම මිනිසාගේ ශක්තිය වර්ධනය  කිරීම සඳහා හේතු වන සියල්ලම සංස්කෘතිය වේ. එහෙත් මෙය තනි මිනිසා සම්බන්ධ දෙයක් නොව සාමාජික මිනිසා සම්බන්ධ දෙයක් වන හෙයින්ද සැබෑ සාරය අතින් බලන කල සංස්කෘතිය නම් සාමාජික – ඓතිහාසික ප්‍රපංචයක් වන හෙයින් ද ඓතිහාසික සමාජය පන්ති සමාජයක් ලෙස පැවත ඇවිත් ඇති හෙයින් හා තව දුරටත් එසේම පවතින හෙයින්ද සංස්කෘතිය යනු පන්ති පීඩනයේ මූලික උපකරණය බව පෙනී යයි. මාක්ස් මෙසේ කීය. “යුගයක රජයන අදහස් වනාහි අවශ්‍යයෙන්ම එම යුගයේ පාලක පන්තියේ අදහස් වේ.” මේ කීම සමස්ත සංස්කෘතියටද අදාළ වේ. තතු එසේ වන නමුදු අපි කම්කරු පන්තියට මෙසේ කියමු. සමස්ත අතීත සංස්කෘතියෙහිම කෙළ පත් වන්න. එසේ නොකළ හොත් ඔබට සමාජවාදය ගොඩ නගන්ට බැරි වන්නේය.

මෙය තේරුම් ගත යත්තේ කෙසේ ද?

        බොහෝ පුද්ගලයෝ මේ ප්‍රතිවිරෝධයෙහි පැකිල වැටී ඇත්තාහ. නිරතුරුවම ඔවුහු එසේ පැකිල වැටෙති. පන්ති සමාජය යනු මූලික වශයෙන් නිෂ්පාදන සංවිධානය බව අමතක කරමින් ඔවුන් පන්ති සමාජය තේරුම් ගැනීමට නොගැඹුරු ලෙසත් අර්ධ විඥානවාදී ලෙසත් පිවිසීම එසේ පැකිල වැටීමට හේතුවයි. සෑම පන්ති සමාජයක් ම හැඩ ගස්වා ඇත්තේ ස්වභාව ධර්මය සමග අරගලයේ යෙදෙන නිශ්චිත විධි පදනම් කොටගෙනය. තවද මේ විධි තාක්ෂණයේ වර්ධනයට අනුඅකූලව වෙනස් වෙමින් ඇවිත් ඇත. පදනම්වලත් පදනම නම් කුමක්ද? සමාජයේ පන්ති සංවිධානයද? එසේ නැතහොත් එහි නිෂ්පාදන බලවේගද? පදනම්වලත් පදනම නම් නිසැකයෙන්ම නිෂ්පාදන බලවේගයි. එම බලවේගයන්ගේ එක්තරා මට්ටමකදී පන්තීන් හැඩ ගැසෙන්නේත් යළි හැඩ ගැසේන්නේත් නිශ්චිතම එම නිෂ්පාදන බලවේගයන් මතය. මානව වර්ගයාගේ සාක්ෂාත් කෙරුණු ආර්ථික කුසලතාවත් පැවැත්ම සහතික කර ගැනීමට ඇති ඓතිහාසික හැකියාවත් නිෂ්පාදන බලවේගයන් තුළ ප්‍රකාශිත වෙයි. මේ ගතික පදනම මත පන්තීහු නැග එති. ඒ පන්තීහු ස්වකීය අන්තර් සම්බන්ධතාවන් මගින් සංස්කෘතියේ ස්වරූපය නිර්ණය කරති.

        මෙහිදී අපි පළමු කොටස් ප්‍රමුඛ කොටත් තාක්ෂණය සම්බන්ධයෙන් අපගෙන්ම මෙසේ ඇසිය යුතු වෙමු. තාක්ෂණය පන්ති පීඩනයේ උපකරණයක් පමණක් ද? එවැනි ප්‍රශ්නයක් මතු කළ සැණින්ම ඊට මෙසේ පිළිතුරු ලැබේ. නැත. තාක්ෂණය වනාහි මනුෂ්‍ය සංහතියේ මූලික ජයග්‍රහණයකි. මෙතෙක් එය සූරා කෑමේ උපකරණයක් වශයෙන් ද භාවිත වී ඇතත් සූරා කනු ලබන්නන්ගේ විමුක්තිය සඳහා පවතින මූලික කොන්දේසියද එයම වන්නේය. යන්ත්‍රය තම ග්‍රහණයෙහි ලා වැටුප්-වහලාගේ ගෙළ මිරිකයි. එහෙත් ඔහුට විමුක්තිය ලැබිය හැක්කේත් එම යන්ත්‍රය මගින්මය. මුළු ප්‍රශ්නයේ ම මුල එතැනය.

        ඓතිහාසික වර්ධනයේ ගාමක බලවේගය නම් මිනිසා ස්වභාව ධර්මයාගේ ආධිපත්‍යයෙන් මුදාලන්නා වූ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයයි, යන්න අමතක නොකළහොත්, තමාගේම උන්නතිය සඳහාත් සහයෝගතා මූලධර්මය මත ජීවිතය යළි ගොඩ නැගීම සඳහාත් නිර්ධන පන්තිය තම ඓතිහාසික ගමන් මාර්ගයේදී මනුෂ්‍ය සංහතිය ගොඩ නඟා ගත් ඥාන සම්භාරයෙහි හා කුසලතා සමුදායෙහි කෙළපත් වීම අවශ්‍යය යන්න අපට පෙනී යනු ඇත.

        මෙවැනි ප්‍රශ්නයක් මා වෙත ලියා ඉදිරිපත් කොට ඇත. “සංස්කෘතිය තාක්ෂණය ඉදිරියට ගෙන යන්නේද? එසේ නැතහොත් තාක්ෂණය සංස්කෘතිය ඉදිරියට ගෙන යන්නේ ද?” ප්‍රශ්නය එසේ ඉදිරිපත් කිරීම වැරදිය. තාක්ෂණය සංස්කෘතියේ ජීවනාළිය වන හෙයිනි. තාක්ෂණයෙන් තොරව සංස්කෘතියක් නැත. තාක්ෂණයේ වර්ධනය සංස්කෘතිය ඉදිරියට ගෙන යයි. එහෙත් තාක්ෂණය පදනම් කොට ගෙන මතුවී ඇති විද්‍යාව හා සාමාන්‍ය සංස්කෘතිය තාක්ෂණයේ ඉදිරි වර්ධනය සඳහා ප්‍රබල ආධාරකයක් වෙයි. මෙහි අපෝහකාත්මක අන්තර් විනිවිදීමත් දක්නට ලැබේ.

          සහෝදරවරුනි, දුම්රිය වනාහි තාක්ෂණය තුළ ම ගැබ් වන ප්‍රතිවිරෝධය හකුළා දක්වන සරල මෙන්ම ප්‍රබල නිදර්ශනයකි. ඒ සඳහා ඊට වඩා හොඳ නිදර්ශනයක් සොයා ගත නො හැකිය. බටහිර යුරෝපීය මගී දුම්රිය දෙස බැලුවහොත් ඒවායේ විවිධ “පන්තිවල” මැදිරි ඇති බව ඔබට පෙනී යනු ඇත. මේ පන්ති අප හට ධනේශ්වර සමාජයේ පන්තීන් සිහි ගන්වයි. පළමු වන පන්තියේ මැදිරි වරප්‍රසාදිත, ඉහළ පැළැන්තියේ පිරිස් සඳහා ය. දෙවෙනි පන්තියේ මැදිරි මැද ධනපතීන් සඳහාය. තුන්වන පන්තියේ මැදිරි සුළු ධනේශ්වරයන් සඳහාය. සතර වන පන්තිය මුල් කාලෙය්දී මනාවූ හේතු සහිතව සතර වැනි බූදලය යනුවෙන් හඳුන්වන ලද නිර්ධන පන්තිය සඳහාය. හුදෙක් දුම්රිය යනු ම සියවසක් තුළදී මිහිතලය ඉමහත් විපර්යාසයකට භාජනය කළ මනුෂ්‍ය සංහතියේ දැවැන්ත සංස්කෘතික-තාක්ෂණික ජයග්‍රහණයකි. එහෙත් සමාජයේ පන්ති ව්‍යුහය ගමනාගමන මාර්ගයන්ගේ ව්‍යුහයටත් බල පායි. තවද අපගේ සෝවියට් දුම්රිය තවමත් සමානතාවෙන් ඉතා ඈත්ව පවතී. අතීතයෙන් උරුම කොට ගත් මැදිරි ඒවායේ පරිහරණය වීම පමණක් නොව නව ආර්ථික ප්‍රතිපත්තිය1 හුදෙක් සමානාත්මතාවට මඟ සකසනු විනා සමානාත්මතාව සම්පූර්ණ නො කිරීම ඊට හේතුවයි.

          දුම්රිය යුගයට පෙර ශිෂ්ටාචාරය, මුහුදු වෙරළවලින් ද මහ ගං ඉවුරුවලින්ද කොටු වී පැවතිණ. දුම්රිය මාර්ගයෝ සමස්ත මහාද්වීපයන් ම ධනේශ්වර සංස්කෘතියට විවෘත කර දුන්හ. අපගේ රුසියාවේ පිටිසරබද පසුගැමියාවට හා හුදකලා භාවයට මූලතම හේතුව නො වන්නේ නම් මූල හේතූන්ගෙන් එකක් වන්නේ දුම්රිය මාර්ගවල, ලෝමුවා මාර්ගවල හා අතුරු මාර්ගවල අඩුවයි. මේ අතින් අපගේ ගම්මාන වැඩි හරියක් පවතින්නේ ධනේශ්වර ක්‍රමය ඇති වීමට පෙර පැවති තත්වයන්හිය. අපගේ ලොකුම මිතුරා වන අතරම, අතිමහත් හතුරා ද වන මහත් භූමි අවකාශයන් අප විසින් ජයගත යුතුය2. සමාජවාදී ආර්ථිකය යනු සැලසුම්ගත ආර්ථිකයයි. සැලසුම් කිරීම සඳහා ප්‍රථම කොටත් සම්බන්ධන මාධ්‍ය අවශ්‍ය වේ. ඉතාමත් වැදගත් සම්බන්ධන මාධ්‍යය නම් මහා මාර්ග හා දුම්රිය මාර්ගයයි. සෑම නව දුම්රිය මාර්ගයක්ම සංස්කෘතියට මාර්ගයක් වන අතරම අප සිටින තත්වයන්හිදී සමාජවාදයටද මාර්ගයක් වෙයි. තවද සම්බන්ධන මාධ්‍යයන් පිළිබඳ තාක්ෂණයේත් රටේ සෞභාග්‍යයේත් වැඩි දියුණුව සමග අපගේ දුම්රියවල සාමාජික පෙනුමද වෙනස් වනු ඇත. “පන්තිවලට” බෙදීම අතරුදහන් වනු ඇත; සැම කෙනෙකුම “සුවපහසු” මැදිරිවල ගමන් කරනු ඇත… ඒ වෙනස සිදුවෙනු ඇත්තේ ඒ කාලය වන විට සෑම කෙනෙකුටම සුලභ වන්නා වූ අහස් යානාවල ගමන් කිරීමට වැඩි කැමැත්තක් නැතිව මිනිසුන් දුම්රියෙන්ම ගමන් කරත් නම් ය.

          අපි වෙනත් නිදසුනක් ගනිමු; එනම්, නැති භංග කිරීමේ  මාර්ගයන් වන යුද්ධෝපකරණ නිදසුනට ගනිමු. මේ ක්ෂේත්‍රයෙහි දී සමාජයේ පන්ති ස්වභාවය විශේෂයෙන්ම පැහැදිලි ද ජුගුප්සා ජනක ද ආකාරයෙන් ප්‍රකාශිත වේ. (පුපුරන හෝ විෂ සහිත) නාශක ද්‍රව්‍යයක් සොයා ගැනීම තනිකර ගත් විට අගනා විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණයක් නො වන්නේ නො වේ. විනාශකාරී කර්තව්‍යයන් සඳහා පමණක් නොව නිර්මාණාත්මක කර්තව්‍යයන් සඳහා ද පරිහරණය කෙරෙන පුපුරන හා විෂ සහිත ද්‍රව්‍යයෝ නව නිෂ්පාදනයේ හා සොයා ගැනීමේ ක්ෂේත්‍රයෙහි නව්‍ය හැකියාවන් විවෘත කරති.

         නිර්ධන පන්තියට බලය අත්කර ගත හැකි වන්නේ පන්ති රාජ්‍යය නමැති පැරණි යන්ත්‍රය, සුනු විසුනු කර දැමීමෙන් පමණකි. ඕනෑම කලෙක ඕනෑම කෙනෙකු කළ තරම් ම තීරණාත්මක අයුරින් අපි මේ කටයුත්ත ඉටු කර ඇත්තෙමු. එසේ නමුත් නව රාජ්‍ය යන්ත්‍රය ගොඩ නැඟීමේදී සැලකිය යුතු දුරකට පැරණි රාජ්‍යයේ අංගෝපාංග ප්‍රයෝජනයට ගන්ට සිදුවන බව අපට පෙනී ගොස් ඇත. රාජ්‍ය යන්ත්‍රය තවදුරටත් සමාජවාදී ලෙස යළි ඉදිකිරීම අපගේ සාමාන්‍ය දේශපාලන, ආර්ථික හා සංස්කෘතික කාර්යයන් සමග වෙන් නො කළ හැකි සේ බැඳී ඈත.

         අපි තාක්ෂණය සිඳ බිඳ සුනු විසුනු නො කළ යුත්තෙමු. ධනපති පන්තිය විසින් උපකරණවලින් සන්නද්ධ කරන  ලද කර්මාන්ත ශාලා, විප්ලව සමයේ පැවති තත්ත්වයෙන්ම නිර්ධන පන්තිය විසින් අත්පත් කොට ගෙන ඇත. පැරණි උපකරණ අද දක්වා මත් අපට සේවය කරයි. අප “උරුමය” ඉවත නො දමන බව මේ කරුණින් ඉතාම සිත් කා වදින ලෙසත් ඉඳුරාම මත් පෙනී යයි. කෙසේ නම් එය මීට වෙනස්  විය හැක්කේ ද? ප්‍රථම කොටත් ප්‍රමුඛ කොටත් විප්ලවයට උර දෙන ලද්දේ “උරුමය” අත්පත් කර ගනු  සඳහා ම නොවේද? තතු එසේ නමුදු අප අත්පත් කර ගත් ස්වරූපයෙන් නම් පැරණි තාක්ෂණය සමාජවාදයට අතිශයින්ම අයෝග්‍ය වේ. එය ධනේශ්වර ආර්ථිකයේ අරාජිකත්වය කැටිකර දැක්වූවකි. විවිධ ව්‍යවසායන් අතර තරගය, ලාභ පස්සේ දිවීම, ආර්ථිකයේ විවිධ අංශයන් අතර අසමාන වර්ධනය, ඇතැම් ක්ෂේත්‍රයන්හි පසුගැමියාව, කෘෂිකර්මය තන්හි තන්හි තනි වීම, මානුෂික බලශක්තීන් කොල්ල කෑම, යන මේ සියල්ල තාක්ෂණය තුළ දෘඨතර ලෙසින් ප්‍රකාශිත වෙයි. එහෙත් විප්ලවවාදී ප්‍රහාරයකින් පන්ති පීඩක යන්ත්‍රෝපකරණ වෙනස් කොට සුනු විසුණු කරලිය හැකි වුවත් ධනේශ්වර අරාජිකත්වය ඇති කරන යන්ත්‍රෝපකරණ යළි ඉදි කළ හැක්කේ අනුක්‍රමයෙන් පමණක්ය. පැරණි උපකරණ පදනම් කොට ගෙන ආර්ථිකය පුනරුත්ථාපනය කිරීමේ යුගය කෙළවර අප ළඟා වී ඇත්තේ මේ දැවැන්ත කර්තව්‍යයේ එළිපත්ත කරා පමණකි. කෙසේ හෝ අපි එම කර්තව්‍යය මුදුන්පත් කළ යුත්තෙමු

අධ්‍යාත්මික සංස්කෘතියේ උරුමය

      අධ්‍යාත්මික සංස්කෘතියද භෞතික සංස්කෘතිය තරමට ම ප්‍රතිවිරෝධීය. අපි භෞතික සංස්කෘතියේ උපකරණ ගබඩාවලින් හා කෝෂ්ටාගාරවලින් දුනු හා ඊතල ද ගල් මෙවලම් හා ලෝහ යුගයේ මෙවලම් ද නොව අති නවීන තාක්ෂණයේ ඉතාමත්ම වැඩි දියුණු උපකරණ රැගෙන බෙදා හරිමු. අධ්‍යාත්මික සංස්කෘතියටත් ප්‍රවිෂ්ට විය යුත්තේ ඒ අයුරින්මය.

       පැරණි සමාජයේ සංස්කෘතියෙහි මුඛ්‍යාංගය වූයේ ආගමයි. මානුෂික ඥානයේත් මානුෂික එකමුතුවේත් රූපාකාරය වශයෙන් එහි අතිමහත් වැදගත්කමක් පැවතිණ. එහෙත් මේ රූපාකාරය තුළ සියල්ලටම මත් වඩා පිළිබිඹු වී පැවතුණේ සොබාදහම අබිමුවෙහි මිනිසාගේ දුබලකමත් සමාජය මධ්‍යයෙහි ඔහුගේ අසරණ භාවයත්ය. ආගම වෙනුවට ඉදිරිපත් කරනු ලබන සියලුම ආදේශකයන්ද සමග අපි ආගම අත්‍යන්තයෙන්ම ප්‍රතික්ෂේප කොට දමමු.

        දර්ශනවාදය සම්බන්ධයෙන් තත්වය මීට වෙනස්ය. පන්ති සමාජය විසින් නිර්මාණය කරන ලද දර්ශනවාදයෙන් අපි එහි අනර්ඝ අංග දෙකක් වන භෞතිකවාදය හා අපෝහකවාදය ගත යුතු වෙමු. මාක්ස්ගේ විධික්‍රමය පහළ වූයේත් ඔහුගේ පද්ධතිය මතු වී ආවේත් භෞතිකවාදයේ හා අපෝහකවාදයේ සමවාය සම්බන්ධයෙන්මය. මේ විධික්‍රමය ලෙනින්වාදයේ පදනම වශයෙන් පවතී.

        වචනයේ දෘඨතර අර්ථයෙන් ගත් විද්‍යාව දෙසට හැරුණ හොත් තම දීර්ඝ ජීවිත කාලය තුළදී මනුෂ්‍ය සංහතිය විසින් රැස් කරන ලද දැනුම් හා කුසලතා කෝෂ්ටාගාරයක් අප අබිමුවෙහි පවතින බව අපට පැහැදිලි වේ. යථාර්ථය ඥානනය කිරීම පරමාර්ථ කොට ගත් විද්‍යාවෙහි විවිධ ප්‍රවණතා විසින් කෙරුණු බොහෝ පන්තිමය දූෂණයන් ඇතැයි කිසිවෙකු පෙන්වා දෙන්ට පුළුවන. එය එසේ බව සැබවි. දුම්රිය පවා ඇතැමුන්ගේ වරප්‍රසාදිත තත්වය ද අන්‍යයන්ගේ දිළිඳුකම ද ප්‍රකාශ කරන්නේ නම් දුම්රිය මැදිරි තැනීමට ගන්නා ලෝහයන්ට හා දැවවලට වඩා බෙහෙවින් නම්‍ය වූ ද්‍රව්‍යයන් විෂය කොට ගන්නා විද්‍යාව සම්බන්ධයෙන් එම කරුණු වඩාත් යෙදේ. එහෙත් ස්වභාව ධර්මය පිළිබඳව ඥානය ලැබීමේ අවශ්‍යතාව විසින් විද්‍යාත්මක කටයුතු මූලික වශයෙන් පෝෂණය කොට ඇති බව අප සැලකිල්ලට ගත මනා වේ. පන්ති අවශ්‍යතා ස්වාභාවික විද්‍යාව තුළට පවා ව්‍යාජ ප්‍රවණතාවන් ඇතුළත් කොට ඇති අතර, තවමත් ඇතුළත් කරන්නේය. එහෙත් මේ විකෘතීකරණ ක්‍රියාදාමය ඇතැම් සීමාවලින් සීමිත වී ඇත. එසේ සීමිත වී ඇත්තේ ඒ සීමා  පැන ගියහොත් තාක්ෂණයේම ප්‍රගතිය ඇණ හිටින හෙයිනි. ස්වාභාවික විද්‍යාව යට සිට උඩට, එනම්, කරුණු රැස් කිරීමේ ක්ෂේත්‍රයේ සිට උච්චතම වූද අතිසංකීර්ණ වූද සාමාන්‍යකරණයන් තෙක් පරීක්ෂා කර බැලුව හොත් විද්‍යාත්මක පර්යේෂණය වඩාත් අනුභූතික වන තාක් දුරට එයින් විභාග කෙරෙන කරුණුවලට වඩාත් සමීප වන බවත් එයින් නිපැයෙන ප්‍රතිඵල වඩාත් නිසැක වන  බවත් පෙනී යනු ඇත. සාමාන්‍යකරණයේ ක්ෂේත්‍රය වඩාත් සමීප වෙමින් පන්ති ආවේශයේ බල පෑමට වඩාත් නතු වෙයි.

          සමාජ විද්‍යාවන් හා “මානව ශාස්ත්‍ර” යැයි හැඳින්වෙන ශාස්ත්‍ර විශේෂයන් සම්බන්ධයෙන් තතු මීට වඩා සංකීර්ණ ද අසතුටුදායක ද වේ. සැබැවින් මේ ක්ෂේත්‍රයෙහි ද මූලික වන්නේ පවත්නා දේ දැන ගැනීමට කරන ප්‍රයත්නයයි. මේ ප්‍රයත්නයට පින් සිදුවන්ට සම්භාව්‍ය ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන්ගේ ගුරුකුලය අපට ලැබී ඇත. එහෙත් සමාජ විද්‍යාවන් තුළ ස්වාභාවික විද්‍යාව තුළ බල පවත්වන්නා වූ පන්ති අවශ්‍යතාව ධනේශ්වර සමාජයෙහි ආර්ථික චින්තනයේ වර්ධනය ඉක්මනින්ම ඇන හිටුවා ඇත. කෙසේ වුවත් මේ ක්ෂේත්‍රයෙහි දී කොමියුනිස්ට්වාදීහු වන අපි අන් කිසිම ක්ෂේත්‍රයක දීට වඩා මැනවින් සන්නද්ධ වූවෝ වෙමු. නිර්ධන පන්තියේ පන්ති අරගලය විසින් පුබුදුවන ලද සමාජවාදී න්‍යායවාදීහු ධනේශ්වර විද්‍යාව පාදක කොට ගන්නා අතරම එය විවේචනය කරමින් මාක්ස්ගේ හා එංගල්ස්ගේ ඉගැන්වීම් නමැති ස්වරූපයෙන් ඓතිහාසික භෞතිකවාදයේ ප්‍රබල විධික්‍රමය ද ප්‍රාග්ධනය තුළ මේ විධික්‍රමයේ අද්විතීය භාවිතය ද නිර්මාණය කළහ. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ක්ෂේත්‍රයේදී අප ධනේශ්වර අදහස්වල බලපෑමෙන් මිදී රක්ෂිත වී සිටින බවක් මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. නැත. අති ග්‍රාම්‍ය මහාචාර්යරූපී සමාජවාදී හා සුළු ධනේශ්වර නරෝද්නික්වාදී3 ප්‍රවණතාවෝ සංක්‍රමණ යුගයේ නොපීදුණු හා ප්‍රතිවිරෝධී සම්බන්ධතාවන් තමන්ට පෝෂ්‍ය ජනක සේ දකිමින් පියවරක් පියවරක් පාසා පැරණි ඥාන “කෝෂ්ටාගාරවලින්” එළියට පනිමින් අප අතර ප්‍රචලිත වෙති. එහෙත් ලෙනින්ගේ කෘතිවලින් ස්ඵුට වූ ද පොහොසත් වූ ද මාක්ස්වාදයේ අනිවාර්ය නිර්ණායක අපට මේ ක්ෂේත්‍රයෙහි ඇත. තවද එදිනෙදා අත්දැකීම් තුළ හිරවීම අඩුවත්ම කිසියම් නිශ්චිත තත්වයක වෙනස්වීම්වලට යටින් ඇති මූලික ප්‍රවණතාවන් වෙන්කොට හඳුනා ගනිමින් ලෝකයේ සමස්ත වර්ධනය පෘථුලතර ලෙස වැළඳ ගනිත්ම අපි ග්‍රාම්‍ය ආර්ථික විද්‍යාඥයන්ට හා සමාජ විද්‍යාඥයන්ට වඩාත් ජයග්‍රාහී වූ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරන්නෙමු.

          සාමාන්‍යයෙන් නීතිය, සදාචාරය හා දෘෂ්ටිවාදය සම්බන්ධ ප්‍රශ්නවලදී ධනේශ්වර විද්‍යාවේ තත්වය ආර්ථික විද්‍යාවේ ක්ෂේත්‍රයේ දීටත් වඩා ශෝචනීය වේ. මෙකී ක්ෂේත්‍රයන්හි සැබෑ නැණ මුතු ඇටයක් සොයා ගත හැක්කේ වෘත්තීය නිපදවන්නන් කඳු ගැසූ කසළ ගොඩවල් දුසිම් ගණන් කැණීමෙන් පසුව පමණකි.

          මාක්ස්වාදී ලෝක ඥානනයෙහි මූලික අවයව නම් අපෝහකවාදය හා භෞතිකවාදයයි. එහෙත් ඒවා සදාකල්හිම සූදානම් කොට ඇති, සියලු දොරවල් ඇරිය  හැකි ගුරු යතුරක් මෙන් ඕනෑම ඥාන ක්ෂේත්‍රයකට උපයෝග කළ හැකිය යන්න මෙයින් කිසිසේත්ම අදහස් නො වන්නේය. අපෝහකවාදය කරුණු මත පැටවිය නො හැකිය. එය කරුණුවලින්ම, ඒවායේ ස්වභාවයෙන් හා වර්ධනයෙන්ම උපුටා ගත යුතුය. ආර්ථික විද්‍යාවේ අපෝහකාත්මක විධික්‍රමය වටිනාකම සාමාජික ශ්‍රමය වශයෙන් පවතින්නේය යන සංකල්පය  කරා ඉදිරියට ගෙන යාමට මාක්ස්ට පුළුවන් වූයේ අතිවිශාල විෂය කරුණු සම්භාරයක් ඉතා මහන්සියෙන් අධ්‍යනය කිරීමෙන් පමණකි. මාක්ස්ගේ ඓතිහාසික කෘති ද නිමවන ලද්දේ මේ ආකාරයෙන්මය. එමතු නොව, ඔහුගේ පුවත්පත් ලිපි පවා තැනුණේ එලෙසින්මය. අපෝහක භෞතිකවාදය නව්‍ය ඥාන ක්ෂේත්‍රයන්ට උපයෝග කළ හැකි වන්නේ එම ක්ෂේත්‍රයන් ඇතුළතින් කෙළපත් වීමෙන් පමණකි. ධනේශ්වර විද්‍යාව ශෝධනය කිරීම සඳහා පළමු කොට ධනේශ්වර විද්‍යාවේ කෙළපත් වීමක් අවශ්‍ය වේ. ඉවක් බවක් නැති විවේචනයෙන් හෝ නග්න ආඥාවන්ගෙන් හෝ කිසිදු අර්ථ සිද්ධියක් නොවනු ඇත. මෙහි දී උගැන්ම හා භාවිතය විවේචනාත්මක පුනර්-නිර්මාණය සමග අත්වැල් බැඳ ගෙන ගමන් කරයි; විධික්‍රමය අප සතුව ඇත. එහෙත් පරම්පරා ගණනාවකට කරන්ට තරම් එමට වැඩ ඇත.

        විද්‍යා ක්ෂේත්‍රයෙහි මාක්ස්වාදී විවේචනය සුපරීක්ෂාකාරි විය යුතුවා පමණක් නොව සිහි නුවණින් සමන්විත ද විය යුතුය. එසේ නැතහොත් එය හුදු කයිවාරුවක් දක්වා, ෆැමුසොව්වාදය4 දක්වා පිරිහෙන්ට පුළුවන. පව්ලොව්ගේ ප්‍රතිකතාවාදය මුළුමනින්ම ගමන් ගන්නේ අපෝහක භෞතිකවාදයේ මග ඔස්සේය. එය කායික විද්‍යාව හා මනෝවිද්‍යා අතර කොටු පවුර තීරණාත්මක ලෙස බිඳ දමයි. සරලතම ප්‍රතීකය කායිකය. එහෙත් ප්‍රතීක පද්ධතියක් “විඥානය” ගෙන දෙයි. කායික (ප්‍රතීකයන්ගේ) ප්‍රමාණාත්මක ඒකරාශීවීම “නව මානසික” ගුණයක් ඇති කරයි. පව්ලොව්ගේ ගුරුකුලයේ විධික්‍රමය සම්පරීක්ෂණාත්මක වන අතර වෙහෙසකර ද වෙයි. සුනඛයන්ගේ කෙළවල සිට කාව්‍ය දක්වා පියවරෙන් පියවරට සාමාන්‍යකරණ ඇති කරගනු ලැබේ. කාව්‍යය කරා අප ගෙන එන මාර්ග තවමත් අනාවරණය කර නැත. මෙකී සාමාන්‍යකරණ ඇතිකර ගනු ලබන්නේ ද කාව්‍යයේ සාමාජික අන්තර්ගතය සම්බන්ධයෙන් නොව කාව්‍යය මනස තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ය.

      වියානා ජාතික මනෝ විශ්ලේෂක ෆ්‍රොයිඞ්ගේ ගුරුකුලය ගමන් ගන්නේ වෙනස් මගකය. අතිසංකීර්ණ හා අතිසූක්ෂම මානසික සන්තතීන්ගේ ගාමක බලවේගය වනාහි කායික අවශ්‍යතාවක් යයි එම ගුරුකුලය කල්තියාම සලකයි. මේ සාමාන්‍ය අර්ථයෙන් එම ගුරුකුලය භෞතිකවාදී වේ. එය අන්‍ය සාධක ඉක්මවා ලිංගික සාධකයට උවමනාවට වැඩි ස්ථානයක් නො දෙන්නේ ද යන ප්‍රශ්නය දැනට මත් භෞතිකවාදයේ අද්දර සීමාවන්හි විවාදයට භාජනය වී ඇත. එහෙයින් එය මෙහි ලා පසෙක තැබිය යුතු වේ. මනෝ විශ්ලේෂකයා සම්පරීක්ෂණාත්මක ලෙස පහළම ප්‍රපංචයන්ගේ සිට උච්චතම ප්‍රපංචයන් කරා ද සරල ප්‍රතීකයේ සිට සංකීර්ණ ප්‍රතීකය දක්වා ද ගමන් කරමින් විඥානය පිළිබඳ ගැටලුවලට නො පිවිසෙයි. ඒ වෙනුවට ඔහු උඩ සිට පහළට,  එනම්, ආගමික පුරාණොක්තියේ, උදාන කාව්‍යයේ හෝ සිහිනයේ සිට මනසේ කායික පදනම වෙත කෙළින්ම පනින පිම්මකින් මේ සියලු අතරමැදි අවස්ථාවන් එකවිට ග්‍රහණය කර ගැන්මට වෑයම් කරයි.

          මනස යනු ස්වාධීන දෙයක් යැයි ද “ආත්මය” යනු පතුල රහිත ළිඳක් යයිද විඥානවාදීහු අපට කියති. “ආත්මයෙහි” පතුළ නම් කායික ක්‍රියාකාරිත්වය යයි පව්ලොව් හා ෆ්‍රොයිඞ් යන දෙදෙනාම සිතති. එහෙත් පව්ලොව් කිමිදුම්කරුවෙකු මෙන් ළිං පතුළට බැස එතැන් සිට උඩට ළිඳ නිරීක්ෂණය කරයි. මේ අතර ළිඳට උඩින් සිට ගන්නා ෆ්‍රොයිඞ් එහි නිරන්තරයෙන් වෙනස් වන කැළඹුණු ජල කඳ සිය විනිවිද දක්නා බද්ධ දෘෂ්ටියෙන් විනිවිද දැකීමටත් පතුලේ තිබෙන දේවල හැඩය අනුමානයෙන් සිතා ගැනීමටත් තැත් කරයි. පව්ලොව්ගේ විධික්‍රමය සම්පරික්ෂණයයි. ෆ්‍රොයිඞ්ගේ විධික්‍රමය අනුමාන යයි; ඇතැම් විට විස්මය ජනක අනුමානයයි; මනෝ විශලේෂණය මාක්ස්වාදය සමග “නොගැලපේ” යැයි පැවසීමටත් ෆ්‍රොයිඞ්වාදයට පසුපස හැරවීමටත් දරන වෑයම අතිසරලය; නැතහොත් වඩාත් නිශ්චිත ලෙස කිවහොත්, අත්‍යන්තයෙන්ම අඥානය. එහෙත් අපි ෆ්‍රොයිඞ්වාදය පිළිගැනීමට කිසිසේත් බැඳී නොසිටිමු. එය වනාහි භෞතිකවාදී මනෝවිද්‍යාවේ මං ඔස්සේ ගමන් ගන්නා නිගමනයන් හා අනුමානයන් නිපදවීමට පුළුවන් වූත් නිසැකයෙන්ම නිපදවන්නා වූත් ක්‍රියාත්මක කළ යුතු උපන්‍යාසයකි. යථාකාලයේදී සම්පරීක්ෂණාත්මක ප්‍රතිපදාව මේ අනුමානයන් අත්හදා බලනු ඇත. එනමුත් සම්පරීක්ෂණාත්මක ප්‍රතිපදාව ඉතා හෙමින් පමණක් ළඟා වන්නා වූ නිගමනයන් කල්තියා බලාපොරොත්තු වීමට වෑයම් කරන ෆ්‍රොයිඞ්ගේ අනෙක්  ප්‍රතිපදාව විශ්වාසීයත්වයෙන් අඩු විය හැකි නමුදු තහනම් කිරීමට පදනමක් හෝ අයිතියක් අපට නැත.5

          කලාව වනාහි මිනිසා ලෝකය තුළ සිය දිගංශයන් පාදා ගන්නා මාර්ගයන්ගෙන් එකකි. මේ අර්ථයෙන් කලා උරුමය විද්‍යා හා තාක්ෂණ උරුමයෙන් වෙනස් නොවේ. කලා උරුමය විද්‍යා හා තාක්ෂණ උරුමයට වඩා  අඩු ප්‍රතිවිරෝධතාවයන්ගෙන් යුක්ත ද නොවේ. එහෙත් විද්‍යාවට වෙනස් ලෙසින් කලාව ලෝකය නියාම පද්ධතියක් සේ නොව සංකල්ප රූප ස්තම්බකයක් මෙන් ඥානනය කරන්නා වූ විධියක් ද ඒ අතරම ඇතැම් හැඟීම් හා මනෝගතීන් පුබුදුවන්නා වූ මාර්ගයක් ද වෙයි. අතීත ශත වර්ෂවල කලාව මිනිසා වඩා සංකීර්ණත්වයට හා සුනම්‍යත්වයට පත්කොට, ඔහුගේ මානසික තත්වය උසස් මට්ටමකට නංවා, ඔහු හාත්පසින්ම ආඪ්‍ය බවට පත් කොට ඇත. මේ ආඪ්‍යත්වය සංස්කෘතියේ මහඟු ජයග්‍රහණයකි. තතු එසේ හෙයින් අතීත කලාවෙහි පාරප්‍රාප්ත වීම වනාහි නව කලාව නිර්මාණය කිරීම සඳහා පමණක් නොව සමාජය ගොඩ නැඟීම සඳහා ද අවශ්‍ය පෙරකොන්දේසියක් වන්නේය. කුමක් හෙයින්ද යත්; කොමියුනිස්ට්වාදයට උසස් ලෙස වර්ධනය වූ මනස්වලින් යුතු මිනිසුන් අවශ්‍ය වන හෙයිනි. අතීත කලාවට ලෝකය පිළිබඳ කලාත්මක ඥානයකින් අප ආඪ්‍ය කළ හැකිද? එයට එසේ කළ හැකිය. මක්නිසාද යත්; එයට අපගේ හැඟීම් පෝෂණය කොට ශික්ෂිත කළ හැකි නිසාය. කිසිම පදනමකින් තොරව අතීත කලාව ප්‍රතික්ෂේප කළ හොත් ඒ සමගම අපි අධ්‍යාත්මික වශයෙන් වඩාත් දිළිඳු වන්නෙමු.

        කලාවේ අරමුණ ලෙස පවතින්නේ ඇතැම් මනෝගතීන් පුබුදු කිරීම පමණක්ය; යථාර්ථය ඥානනය කිරීම කිසිසේත්ම එහි අරමුණක් නොවන්නේය. යන අදහස ඉදිරිපත් කරන ප්‍රවණතාවක් මේ දිනවල තන්හි තන්හි දිස්වේ. මෙයින් උපුටා ගැනෙන නිගමනය නම් මෙයයි; වංශාධිපති පැළැන්තියේ හෝ ධනේශ්වර පන්තියේ කලාවට අප තුළ පැතිරවිය හැක්කේ කවර නම් මනෝභාවයක්ද?

        මෙය මූලික වශයෙන්ම වැරදිය. ඥානනය මාර්ගයක් වශයෙන් ජනතාවන් සඳහාත් විශේෂයෙන්ම ඔවුන් සඳහා මත් කලාවෙහි පවත්නා වැදගත්කම එහි “මනෝභාවික” වැදගත්කමට වඩා කිසිසේත්ම අඩු නොවේ. පෞරාණික වීර කාව්‍ය, උපමා කතා, ගීත, පාරම්පරික සුභාෂිත, ගැමි රිද්ම යන මේවා සිත් කා වදින විශද ස්වරූපයෙන් ඥානය සපයයි. ඒවා අතීතයට ආලෝක ධාරා විහිදුවයි; අනුභූතීන් සාධාරණීකරණය කරයි; ඥාන මණ්ඩලයේ නිම් වළලු ප්‍රසාරණය කරයි. තවද බාහිර ලෝකය සමග අපගේ සබඳතාව පිහිටුවා ගත හැකි වන්නේ එකී කලා කෘතීන් සමග සම්බන්ධ වීමෙන් පමණක් හා එම සම්බන්ධ වීමට පින්සිදු වන්නටය. වීර කාව්‍යයට පමණක් නොව උදාන කාව්‍යයට ද පොදුවේ සමස්ත සාහිත්‍යයටම ද මේ කීම අදාළ වේ. එය චිත්‍ර කලාවටත් මූර්ති කලාවටත් අදාළ වේ. මෙහිලා එක්තරා ප්‍රමාණයකට එකම විකල්පය වන්නේ සංගීත යයි ! සංගීතය දනවන ප්‍රතික්‍රියා ප්‍රබල වූවත් ඒකාංශිකය ! සැබැවින්ම සංගීතයද ස්වභාව ධර්මය පිළිබඳ සුවිශේෂ ඥානයක් මත, එනම් එහි නාද හා රිද්මයන් මත රඳා පවතී. එනමුත් සංගීතයෙහි දී ඥානය කොතෙක් ගැඹුරින් සැඟවී තිබේද? ස්වභාව ධර්මයාගෙන් ලැබෙන ආවේශයේ ප්‍රතිඵල පුද්ගලයෙකුගේ ස්නායු අතරින් කෙතෙක් දුරට වර්තනය වී තිබේද? කියත හොත්, සංගීතය ස්වාධීන “ආවිෂ්කරණයක්” සේ ක්‍රියා කරයි. සියලුම කලා මාධ්‍යයන් “(හැඟීම්) පැතිරවීමේ” කලාවට මෙන්ම6 සංගීතයට සමීප කිරීමේ ප්‍රයත්නයන් නිතරම පාහේ දරා ඇති අතර එම ප්‍රයත්නයන්ගෙන් සැමවිටම සංකේතික  වූයේ රූපාකාරයන් රහිත හැඟීම් වෙනුවෙන් කලාව තුළ බුද්ධියේ ක්‍රියා කලාපයෙහි අගය අඩු කිරීමකි. මේ අර්ථයෙන් ගත් කල ඒ ප්‍රයත්න ප්‍රතිගාමී විය; දැනුදු ප්‍රතිගාවීම … සැබැවින්ම සියල්ලටමත් වඩා අධම වන්නේ  සිත් කා වදින ලෙස විශද ඥානය නො සපයන, කලාත්මක “(හැඟීම්) පැතිරවීමක්” සිදු නො කරන, ඒ වෙනුවට සීමාතික්‍රාන්ත ව්‍යාජයන් පතුරුවන “කලා” කෘතිය. අවාසනාවකට මෙන් කලා විදුහල්වල ශිෂ්‍යයන්ගේ පොත්වල නොව දහස් ගණන් පිටපත්වල…. එවැනි කෘති අප රටෙහි බෙහෙවින් මුද්‍රණය කරනු ලැබේ.

      සංස්කෘතිය වනාහි සාමාජික ප්‍රපංචයකි. මේ නිසාම මනුෂ්‍යයන් අතර සම්බන්ධතා පැවැත්වීමේ උපකරණය වශයෙන් භාෂාව සංස්කෘතියේ ඉතාමත් වැදගත් අවයවය වන්නේය. භාෂාව සියුම් ලෙස වර්ධනය කිරීම වූ කලී සංස්කෘතියේ සියලුම අංශවල, විශේෂයෙන්ම විද්‍යාවේ හා කලාවේ වර්ධනය සඳහා අවශ්‍ය වන ඉතාමත් වැදගත් පෙර කොන්දේසියයි. තාක්ෂණයේ පැරණි මිනුම් උපකරණවලින් සෑහීමට පත් නොවී මයික්‍රොමාන, වොල්ටමාන යනාදී නව උපකරණ නිපදවමින් අතිමහත් නිරවද්‍යතාව ලැබීමට වෑයම් කරමින් එය ලැබ ගන්නාක් මෙන්ම භාෂාවෙහි දී ද යෝග්‍ය වචන තෝරා ඒවා යෝග්‍ය අයුරින් සංයෝග කිරීමේ නිපුණත්වය සඳහා ස්ථිරසාර ලෙසද ක්‍රමික ලෙස ද වෙහෙස දැරීම, අතිමහත් නිශ්චිතත්වය, පැහැදිලි බව හා ප්‍රාණවත් බව සඳහා අවශ්‍ය වන්නේය. මේ කර්තව්‍යයට පදනම දැමීම යනු අකුරු කියන්ට බැරිකමටත් අකුරු කියවීමේ අඩ හැකියාවටත් අකුරු කියවීමේ නොහැකියාවට සමීප බවටත් විරුද්ධව සටන් කිරීම විය යුතුයි. එම කර්තව්‍යයේ දෙවැනි අදියරට නම් සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ පරතෙර දැකීමයි.

සංස්කෘතිය පන්ති පීඩනයේ ප්‍රධාන උපකරණය වූ බව සැබවි. එහෙත් එයට සමාජවාදී විමුක්තියේ උපකරණය වීමටත් පුළුවන. සමාජවාදී විමුක්තියේ උපකරණය විය හැක්කේ එයට ම පමණි.

අප සංස්කෘතියේ ප්‍රතිවිරෝධතා