ජාතිවාදයෙන් සහ ආගමිිික අන්තවාදයෙන් තොර සමාජයක්!

අධ්‍යාපනය FAQs
January 17, 2019
ජනමාධ්‍යය – ධනපති දෘෂ්ටිවාදයේ හොරණෑව 
January 18, 2019
Show all

ජාතිවාදයෙන් සහ ආගමිිික අන්තවාදයෙන් තොර සමාජයක්!

ජාතිවාදය හා ආගමික අන්තවාදය සමස්ථ සමාජයම ගිල ගත් පිළිලයකි.  පසුගාමී චින්තනයක් සහිත අශිෂ්ට මිනිසුන් ජාතිවාදය මත පදනම්ව කටයුතු කළ ද, ප්‍රගතිගාමී හා ශිෂ්ට සම්පන්න චින්තනයක් ඇති මිනිසුන්ට ජාතිවාදයෙන් තොර සමාජයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය තිබේ. එහෙත් ගැටළුව වන්නේ එය සිදුකර ගන්නේ කෙසේද යන්නය.

 ඕනෑම බරපතළ ගැටළුවක් විසඳා ගැනීමට නම් අප ඊට ප්‍රවේශ විය යුත්තේ විද්‍යාත්මක විධි ක්‍රමයක් මඟිනි. ගැටළුවක් විසඳා ගැනීම අපට හැකි වන්නේ එය මතුපිටින් අතපත ගෑමෙන් හෝ සරල ප්‍රතිසංස්කරණවලින් නොව ගැටළුවේ සැබෑ හේතු වටහාගෙන ඒවාට පිළියම් කිරීමෙනි. මෙය ජාතිවාදයටත් අදාළ වේ. මිනිසුන්  හොඳ නරක කියා දීමෙන් පමණක් සමගිය පෙන්වන කෘත‍්‍රිම කි‍්‍රයාකාරකම්වලින් පමණක් ජාතිවාදය මුලිනුපුටා දැමිය නොහැක.

ලොව පුරා ජාතිවාදය හා ආගමික අන්තවාදය පැවතීමටත් ඒවා එකිනෙකට එරෙහි සතුරු ගැටුම් ලෙස වර්ධනය වීමටත් බලපාන හේතු රැසක් තිබේ. ඉන් ප‍්‍රධානම කරුණු කිහිපය මෙසේ දළ වශයෙන් කෙටියෙන් සඳහන් කළ හැක.

  1. අතීතයෙන් උරුම වන සම්ප‍්‍රදායන් හා මිත්‍යා මත
  2. තමන්ගේ ජාතිය හා ආගම උතුම් යයි සිතන පොදු මනෝභාවය
  3. දේශපාලන බලය පිළිබඳ ප‍්‍රශ්නයේදී මෙවලමක් ලෙස පාවිච්චි කිරීම
  4. ආර්ථික අරමුණු සඳහා යොදා ගැනීම
  5. සමාජයේ පංති පීඩනය ප‍්‍රකාශයට පත්වන වැරදි ක‍්‍රමයක් ලෙස පැවතීම.

ආදිය සැලකිය හැක.

ලොව සාතිශය බහුතරයක් මිනිසුන් තුළ ජාතිවාදය, ගෝත‍්‍රවාදය, වර්ණභේදය, ආගමික අන්තවාදය හා කුලවාදය ආදී මනෝභාවයන් පවතී. එහෙත් එම මනෝභාවයන්  තිබූ පමණින් ඒවා ගැටුම් බවට පත් වන්නේ නැත. ජාතිවාදී ආගම්වාදී මනෝභාවයන් චින්තනයන් ගැටුම් දක්වා වර්ධනය වන්නේ අප ඉහත සඳහන් කළ සමහර සාධකවල බලපෑම සමගය. එහිදී බල වුවමනාවත් හා ආර්ථික වුවමනාවත් සමාජයේ පංති පීඩනය විසින් ජනිත කරන තත්වයනුත් ප‍්‍රධාන තැනක් ගනී.

හුදකලාවීම විසඳුමක් ද?

විවිධ ජාතිකත්වයන්, ආගමික කණ්ඩායම් එකිනෙකාගෙන් හුදකලා වීමෙන්, වෙන්වීමෙන්, වෙනම අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් ජාතිවාදය පරාජය කළ නොහැක. ඉන් සිදුවන්නේ, එය තව තවත් වර්ධනය වීමය. අනෙක් අතට නීති – රීති පැනවීමෙන්ද මෙයට නිවැරදි විසඳුමක් ලැබෙන්නේ නැත. ජාතිවාදය පරාජය කිරීමට අයෙකුට සැබෑ ලෙසම අවශ්‍ය නම්, ඔහු කොතරම් දුෂ්කර වුවත් කොතරම් කාලයක් ගත වුවත් නිවැරදි කි‍්‍රයාමාර්ග වෙතට පිවිසිය යුතුව තිබේ.

සමාජ සංවර්ධනයේ රීතින්ට අනුවත් එහි ඓතිහාසික ගමන් මඟට අනුවත් මානව සමාජයේ සංවර්ධනයේදී සිදුවන්නේ ජනතාව කුඩා කුඩා කණ්ඩායම්වල සිට විශාල ජන කණ්ඩායම් දක්වා පුළුල්වීම ය. නැතිව කුඩා කුඩා කණ්ඩායම්වලට බෙදී යාම නොවේ. එබැවින් ජාතිවාදය විසඳිය යුත්තේ ජනතාව එකම ජන ප්‍රජාවක් බවට අනාගතයේ පත්වන්නා වූ දිශානතියක් ඉලක්ක කර ගෙන ය. මිනිස් කණ්ඩායම්, ජන ප්‍රජාවන් තුළ ඇති අනන්‍යතාවයන් පාරිශුද්ධ ඒවා නොවේ. බොහෝ මිශ‍්‍රවීම් දැනටත් සිදුවී තිබේ. ඒ නිසා තම තමන්ගේ අනන්‍යතා උත්තරීතර ලෙස සලකා ඒවා රැකීමට යාම වෙනුවට විවිධ ජන කණ්ඩායම් අතර සංකලනය වීම මෙම ගැටළුවේදී එය විසඳීමේ අර්ථයෙන් ඉතාම හොඳය.

සමානතා පදනම මත

ජාතිවාදය විසඳීමේදී එහි තීරණාත්මක සාධකය වනුයේ මිනිසුන් අතරවන පංතිමය වෙනස්කම් නැති කිරීමය. සමාජයක් තුළ මිනිසුන්ට තම ජාතිය හෝ ආගම නිසා සිදුවන වෙනස්කම් නතර කළ හැක්කේ පංතිමය වෙනස්කම් නතර කරනු ලබන තත්වයකදී පමණි. මිනිසුන් අතර ආර්ථිකමය ලෙස විශාල වෙනස්කම් පවතින විට, ඒවා පීඩාවක් වන විට ජාතිවාදී මානසිකත්වයන්ට එය සරු පසක් වේ. එබැවින් මිනිසුන් අතර, ජන කණ්ඩායම් අතර, ආර්ථික හා සමාජීය සාධාරණත්වයත්, සමාන පිළිගැනීම හා සමාන ලෙස අයිතීන් ලබා ගැනීමේ ඉඩක් තහවුරු විය යුතුය. තනි වචනයෙන් පවසන්නේ නම් සමාජය තුළ පවත්නා දේපළ මත නිර්මාණය වූ පංතිමය වෙනස්කම් හා පංතිමය පීඩනයත් පංති ප්‍රතිවිරෝධයත් අහෝසි කිරීම මෙම ගැටළුව විසඳීමේ ප්‍රධානතම සාධකය වේ. එය ධනවාදයට ඉටුකළ නොහැක. එය ඉටුකළ හැක්කේ සමාජවාදයට පමණි. ඒ සඳහා රටක ආර්ථික සංවර්ධනය ආර්ථික හා සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරුවීම අත්‍යවශ්‍ය වේ.

සමාජය තුළ, රාජ්‍යයක් තුළ, තමන්ට අසාධාරණ ලෙස සලකන්නේ යැයි තමන්ට අසමාන ලෙස සලකන්නේ යැයි කෙනෙකුට සිතෙන භෞතික සාධක වෙනස් කළ විට, ආර්ථිකමය හා සමාජමය අසමානතාවය නිසා ඇතිවන තරගය හා ප්‍රතිවිරෝධය අහෝසි වූ විට ජාතිවාදය චින්තනයක් ලෙස පැවතීමේ ද්‍රව්‍යමය පදනම අහෝසි වේ. ආර්ථික හා සමාජමය සාධාරණත්වයත්, සමානත්වයත් වැදගත් වන්නේ ඒ නිසාය.

අධ්‍යාපනය හා චින්තනය

සමාජය තුළ ආර්ථික හා සමාජීය සාධාරණත්වය ගොඩනැඟූ පමණින් එක් රැයකින් ජාතිවාදය අතුරුදහන් නොවේ. මන්ද එය ඓතිහාසිකව රැගෙන ආ චින්තනයක් ලෙස මිනිස් මනසේ තිබෙන නිසා ය. එබැවින් ආර්ථිකමය හා භෞතික සාධාරණත්වය ගොඩනඟන අතරම මිනිසුන්ගේ චින්තනය තුළින් ජාතිවාදය ඉවත් කිරීම සඳහා මතවාදී හා අධ්‍යාපනමය වැඩ පිළිවෙළක්ද අවශ්‍ය වේ. ආරම්භයේදීම ජාතිවාදී ලෙස අදහස් හා මත ප්‍රකාශ කිරීම නීතියෙන් තහනම් කිරීම වැනි දැඩි පියවරයන්ද අවශ්‍ය වනු ඇත. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. නීතිවලින් මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ නොහැක. ඒ නිසා මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීම සඳහා සියලූම ජනමාධ්‍ය හා සංස්කෘතික අවස්ථාවන් උපයෝගී කර ගනිමින් අඛණ්ඩ කි‍්‍රයාමාර්ගයක් ගැනීම අවශ්‍ය වේ.

එහිදී මිශ‍්‍ර පාසල් ඇතිවීම, එක් එක් ජන කණ්ඩායම්වල සංස්කෘතික උත්සවවලදී ඊට සියලූ දෙනා සහභාගි වීම, විවිධ ජන කණ්ඩායම් අතර විවාහයන් සිදුවීම, තමන්ගේ භූමි සීමා ලෙස නොසිතා පදිංචිවීම,  නිතර පොදු කාර්යයන්ට දායකවීම වැනි දේ මෙහිදී අවශ්‍ය වේ.

ඊට අමතරව ළමා අවධියේ සිටම අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ ජාතිවාදය ඉවත් කිරීම අරමුණු කරගත් ඉගැන්වීමක් තිබිය යුතුය. එහිදී භාෂා කිහිපයක් ඉගෙන ගැනීම, ඉතිහාසය ඉගැන්වීමේදී ජාතිවාදී ලෙස කරන අර්ථ දැක්වීම් ඉවත්කර, මිනිසා පිළිබඳ හා ඉතිහාසයේ ගමන්මඟ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක අවබෝධයක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

ධනවාදය තුළ විශේෂයෙන් පසුගාමී රටවල ළමුන්ගේ මනස්තුළට ජාතිවාදය ඇතුළු කරන්නේ අධ්‍යාපනය තුළිනි. ආගමික අන්තවාදයද එසේය. ඒ නිසා ජාතිවාදී ආගම්වාදී  ලෙස සිතන එවන් චින්තනයක් නැති සමාජයක් සඳහා කුඩා අවදියේ සිට අධ්‍යාපනය මඟින් ජාතිවාදී විෂ දරුවන්ගේ මනසට ඇතුල් නොකර සිටීමත්, සමාජයෙන් ඇතුල්වන ජාතිවාදී විෂ ඉවත්කිරීමත් කළ යුතුය.
10513522_673214212770898_5492152099843718243_n

සංස්කෘතික අරගලයන්

ජාතිවාදය පරාජය කිරීමේදී එයට විශාල දායකත්වයක් දැක්වීමට සංස්කෘතික ක්ෂේත්‍රයට පුළුවන. මේ සඳහා රූපවාහිනිය, පුවත්පත් වැනි ජන මාධ්‍යයද සිනමාව, නාට්‍ය කලාව, කවිය, ගීතය, සාහිත්‍යය වැනි අංශද යොදා ගත හැකිව තිබේ. විවිධ සංස්කෘතීන් පිළිබඳ හැම දෙනාටම අවබෝධය ලබාදීමත් විවිධ සංස්කෘතික උත්සවවලට කවුරුත් සහභාගි කර ගැනීමත්, එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරු කිරීමත් මෙහිදී විශාල වැදගත්කමක් දරයි. මිනිසුන්ගේ චින්තනය ගොඩනැඟීමට උපකාරීවන සියලූම මාධ්‍ය හා මෙවලම් ජාතිවාදය තුරන් කිරීමේ අරමුණ සහිතව මෙහෙයවන්නේ නම් ඒවාට කෙටිකලකින්ම අඩුම වශයෙන් එක් පරම්පරාවක් අවසන් වන විට ජාතිවාදයද අවසන් කිරීමේ හැකියාව ඇති වේ.

මෙයින් පෙනෙන්නේ කුමක්ද? ජාතිවාදය සමාජයෙන් ඉවත් කිරීම කළ හැකි වුවත් එය සරල කාරණයක් නොවන බවය. ජාතිවාදය බිහිවන, එය පතුරුවන ආර්ථික හා දේශපාලන සාධක එලෙසම තිබියදී, ඒවා වෙනස් නොකර මතුපිටින් කරන සමාජමය බලපෑම්වලින් ජාතිවාදය මුළුමනින්ම පැරදවිය නොහැක. ආර්ථිකය තුළ දේශපාලනය තුළ නීතිය තුළ සාධාරණත්වයත් ඒ සමගම සාධාරණත්වයන් අගයන මිනිස් චින්තනයකුත් ගොඩ නැංවීම අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසාය. සමාජයක භෞතික, නෛතික හා චින්තනමය යන සියලූ පැතිවල වෙනසක් මේ සඳහා අවශ්‍ය වන බව ඉතා පැහැදිලිය.

සමාජයක් තුළ සිදු කළ යුතු මේ සියලූ වෙනස්කම් කළ හැක්කේ කුමන සමාජ ක්‍රමයටද?
අසමානතාවය හා අසාධාරණය මත පදනම් වුණ, දේපළමය වෙනස්කම් ආරක්ෂා කරන, එක් පංතියක් විසින් තවත් පංතියක් සූරාකන, විවිධ පීඩාවන් හා ප්‍රතිවිරෝධයන් පිරුණ ධනවාදී සමාජයක් තුළ ජාතිවාදය මුළුමනින්ම පැරදවිය නොහැක. එය කළ හැකි වන්නේ, සමාජ සංවර්ධනයේ නියාමයන් හා දිශානතිය හඳුනන, පංතිමය වෙනස්කම් අහෝසි කිරීමත්, සමාජ සාධාරණය ගොඩනැගීමටත් තම කාර්යය කරගත් ඒ සඳහා සියලූ සමාජ බලවේග හා මතවාදී මෙවලම් සවිඥානික අරමුණකින් මෙහෙයවන පාලනයකට පමණි. එනම් ධනවාදය වෙනස්කර, ගොඩනඟන සමාජවාදී සමාජ ක්‍රමයකට පමණි. කෙතරම් දුෂ්කර වුවත්, ජාතිවාදය පරදා සැබෑ ජාතික සමගිය ගොඩ නැගීමේදී ඒ මඟහැර අන් මඟක් කිසිවෙකු ඉදිරියේ නැත.

ඔබ ඔබේම අතීතයේ සිරකරුවකු නොවන්න. අතීතය හුදු පාඩමක් පමණි. එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නොවේ.

අබ්දුල් කලාම්