ජාතික විමුක්ති උපායමාර්ගය යථාර්ථයක් ද?

ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම
April 27, 2017
පංතිය, පක්‍ෂය හා නායකත්වය
April 27, 2017
Show all

ජාතික විමුක්ති උපායමාර්ගය යථාර්ථයක් ද?

21 වන සියවසට ධනවාදය පිය මැන්නේ, දැවැන්ත ආර්ථික අවපාතයක් ද සමඟයි. ධනවාදය සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම හා ගැඹුරුතම ආර්ථික අවපාතයට මුහුණ දී තියෙනවා. වර්තමාන ආර්ථික අවපාතය පටන් ගත්තේ පහළින් නොවෙයි, ලෝක ධනවාදයේ කේන්ද්‍රයෙන්. ලෝක ධනවාදය මුහුණ දී තිබෙන මේ ගැඹුරු අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ, සමාජ පරිවර්තනයක්. සමාජවාදී සමාජ පරිවර්තනයක්. සමාජවාදී සමාජ විප්ලවයක් සඳහා ඇති තරමින් විෂය මූල කොන්දේසි පරිණත වී තිබුණත් විප්ලවය සඳහා ඒ ඒ රටවල බලවේග පෙළ ගැසිය යුතු ව තිබෙනවා. ඒ ඒ රටවලට ගැළපෙන උපායමාර්ග සකස් විය යුතු ව තිබෙනවා. මේ කාරණාවේ දී විප්ලවයේ උපාය මාර්ගය සුවිශේෂී වැදගත්කමක් දරනවා.
ලංකාව වැනි පසුගාමී සංවර්ධනයක් සහිත දුර්වල, නව යටත් විජිත උපක්‍රමය තුළ සිර වූ රටවල, විප්ලවයේ උපායමාර්ග ලෙස බොහෝ විට සැලකුණේ ‘ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදයට’ නැමති උපායමාර්ගයයි. ඒත් මේ පිළිබඳව විවිධ මත තිබෙනවා. විවිධ විකෘති කිරීම් තිබෙනවා. සුළු ධනපති දක්ෂිණාංශික අවස්ථාවාදීන් ජාතික විමුක්ති අරගල උපායමාර්ගය ධනේශ්වර එක්සත් පෙරමුණු සමඟ ගැට ගසමින් විප්ලවය අවධි වලට බෙදමින් ධනේශ්වර පංතියේ පංති උවමනාවන්ට සමාජවාදය යට කරන්න කටයුතු කරනවා. ඒ අතර එහි අනෙක් අන්තය නියෝජනය කරන අති වාමවාදී ට්‍රොට්ස්කිවාදී සුළු ධනේශ්වර පොතේගුරුවාදීන් ජාතික විමුක්ති අරගලය ප්‍රතික්ෂේප කරමින් ‘පිරිසිදු කම්කරු පංති විප්ලවයක්’ ගැන හීන මවනවා. අවසානයේ මේ මතවාද දෙකම ධනවාදය රකිනවා. ජාතික විමුක්ති අරගල උපාය මාර්ගය තාමත් වලංගු ද? ඉන් කියවෙන්නේ කුමක් ද? මෙම අරගල උපාය මාර්ගය බිහි වුනේ කොහොමද? එය ලංකාවට අදාළ වෙනවා ද? නැද්ද යන කාරණා ලිහා ගැනීම ධනවාදය පැරැදවීමේ අරගලයේ දී ඉතා ම වැදගත් වෙනවා.
ධනේශ්වර ක්‍රමයේ අර්බුදයට විසඳුම ලෙස විද්‍යාත්මක සමාජවාදය ඉදිරිපත් කරමින් මාක්ස්වාදය බිහි වන විට ලෝක ධනවාදය පැවතුණේ එහි ආරම්භක අවධියේයි. එකල ධනවාදය ක්‍රියාත්මක වුනේ නිදහස් තරඟය තුළයි. මාක්ස් ජීවත් ව සිටි කාලයේ නිදහස් තරඟය තුළ ධනවාදය අර්බුදයට ගොස් තිබූ තත්වය තුළ ධනවාදය බිඳ වැටී සමාජවාදය බිහි වනු ඇත්තේ ධනවාදය වඩාත් සංවර්ධනය වූ රටවලින් බව දුටු මාක්ස් සමාජවාදය එක්කෝ ලොව පුරා එක විට නැතිනම් දියුණු ධනපති රටවල් තුළින් ආරම්භ වන බව පැවසුවා. ඒ, ඒ වන විට පැවති වාස්තවික යථාර්ථයට අනුවයි. එහි දී දියුණු කාර්මික රටවල කර්මාන්ත විසින් ම බිහි කළ කම්කරු පංතිය සංවිධානය වී ධනපති කර්මාන්ත ශාලාවල බලය ලබාගනිමින් කම්කරු පංතිය අතට බලය ලබා ගන්නා බව ද මාක්ස් පැවසුවා. ඒ අනුව එහි දී විප්ලවයේ උපාය මාර්ගය වුනේ කම්කරු පංතිය විසින්
ප්‍රාග්ධනයේ බලය අත්පත් කර ගැනීමයි.
එහෙත් ලෝක ධනවාදය 20 වන සියවස ආරම්භ වන විට පිම්මක් පනිමින් නව තත්වයකට පත් වුනා. ධනවාදය නිදහස් තරඟය අහෝසි කරමින් ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදයට පා තැබුවා. ධනවාදයේ මෙම නව අවධිය මාක්ස්වාදයට අනුව නිවැරදිව විග්‍රහ කළේ ලෙනින්.
ඒ අනුව සමාජ විප්ලවය තව දුරටත් දියුණු ධනපති රටවල් තුළින් ම නොව අධිරාජ්‍යවාදයේ පීඩාවට ලක් වූ පරිධියේ රටවලින් ද පැන නැගිය හැකි බව ලෙනින් දුටුවා. මෙම නව තත්වයට අනුව මාක්ස්වාදය සංවර්ධනය කළ ලෙනින් පරිධියේ පසුගාමි රටවල විප්ලවය සඳහා නව න්‍යායික පදනමක් හා නව උපායමාර්ග ඉදිරිපත් කළා.
ධනවාදයේ නිදහස් තරඟය පැවති කාලයේ මාක්ස් විසින් ඉදිරිපත් කළ මතය නව වෙනස්කම් නො සලකා පුනරුච්චාරණය කළ අයට ලෙනින් න්‍යායික ව පැහැදිලි පිළිතුරු දුන්නා. ලෙනින් වරක් මෙහෙම කියනවා. ‘‘සමාජවාදය වඩාත් කාර්මික වශයෙන් දියුණු වෙනත් රටවලින් ආ යුතු යයි රිකෝව් සහෝදරයා කියයි. නමුත් එය එසේ නොවේ. එය පටන් ගන්නේ කවුද කෙළවර කරන්නේ කවුද යන්න කිසිවෙකුට කිව නොහැකිය. එය මාක්ස්වාදය නොවේ. මාක්ස්වාදය විහිළුවට ලක් කිරීමකි.
ප්‍රංශය එය ආරම්භ කරනු ඇති බවත් ජර්මනිය අවසන් කරනු ඇති බවත් මාක්ස් කීවේ ය. නමුත් අන් කිසිවකුටත් වඩා ප්‍රගතියක් රුසියානු නිර්ධන පංතිය ලබාගෙන ඇත’’(ලෙනින් තෝරා ගත් කෘති 5 වෙළුම, 94 පිටුව)
අධිරාජ්‍යවාදය තුළ යටත් විජිතවල මෙන් ම පරිධියේ පසුගාමී රටවල ද විප්ලවය කිරීමේ හැකියාව මතු වුවද එහි දී ඒ සඳහා නව උපායමාර්ගයන් අවශ්‍ය වුණා. මෙහි දී තිබූ තවත් ගැටලුවක් ලෙනින් න්‍යායික ව විසඳුවා. සාමාන්‍යයෙන් පිළිගත් න්‍යායික මතය වුනේ යම්කිසි රටක ධනේශ්වර ක‍්‍රමය සංවර්ධනය නොවී තිබේ නම් එම රටට සමාජවාදයට යා නොහැකිය යන මතයයි. එනම් රටක සමාජවාදී විප්ලවය සඳහා ධනේශ්වර විප්ලවය සිදු වී තිබිය යුතු ය යන පොදු
පිළිගැනීම තිබුණා. එහෙත් රුසියානු විප්ලවය ජය ගැනීමෙන් පසු එමගින් නිර්මාණය වූ නව දේශපාලන තත්වය තුළ ලෙනින් ඉහත කී මතය වෙනස් කළා. ජයග්‍රාහී නිර්ධන පංති රාජ්‍යයක් අත දෙන්නේ නම් රටකට ධනේශ්වර විප්ලවය මග හැර සමාජවාදයට යා හැකි බව ලෙනින් පැවසුවා. එම ක්‍රියාමාර්ග ලෙනින් හැඳින්වූවේ ‘‘ධනේශ්වර නොවන සංවර්ධන මාවත’’ ලෙසයි. ඒ පිළිබඳ ලෙනින් මෙසේ සඳහන් කළා.
‘‘දැනට විමුක්තියේ මාවතෙහි (ගමන් කරමින්) සිටින සහ යුද්ධයෙන් පසුව ප්‍රගතිය කරා කිසියම් ම ඉදිරි ගමනක යෙදෙන නො දියුණු ජාතීන් ආර්ථික සංවර්ධනයේ ධනපති අවධියට අනිවාර්යය වශයෙන් ම එළඹිය යුතුයි ස්ථිර කොට කීම නිවැරදි සේ අපට සැලකිය හැකි ද? අප එයට පිළිතුරු දුන්නේ ‘නැත’ යනුවෙනි. ජයග්‍රාහී විප්ලවවාදී නිර්ධන පංතිය එම ජාතීන් අතර ක්‍රමානුකූල ප්‍රචාරයක් ගෙන යයි නම්, එසේම සෝවියට් රාජ්‍යයන් තම ප්‍රයෝජනය සඳහා ඇති සියලු මාධ්‍යයන් යොදා ගනිමින් ඔවුන්ගේ ආධාරයට එන්නේ නම්, එවැනි තත්වයක් යටතේ නො දියුණු රටවල් අනිවාරණීය වශයෙන් ධනපති සංවර්ධනය අවධිය ඔස්සේ ගමන් කළ යුතුයි සිතා ගැනීම වරදක් වනු ඇත.”
(ලෙනින් තෝරා ගත් කෘති 11 වෙළුම- 55 පිටුව)

ධනවාදය අධිරාජ්‍යවාදී අවධියට පා තැබීම සමඟ සිදු වූ සියලු ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම් අධ්‍යයනය කළ ලෙනින් මාක්ස්වාදය අනුව එම නව තත්වය විග්‍රහ කරමින් ලෝක විප්ලවය සඳහා නව උපායමාර්ගයන් යෝජනා කළා. එහි දී අධිරාජ්‍යවාදී බූවල්ලා අඩපණ කිරීමට නම් උගේ අඬු එකින් එක කපා දැමිය යුතුවා සේ අධිරාජ්‍යවාදය විසින් සූරා කන රටවල් ඉන් මුදා ඒවා තුළ සමාජවාදී පාලනයක් ඇති කළ යුතු බව ලෙනින් විශ්වාස කළා. සමාජවාදී විප්ලවය සඳහා ජාතික විමුක්ති අරගල උපායමාර්ගය ඉදිරිපත් වූයේ එම තත්වයට යටතේයි.
රුසියානු විප්ලවය ජය ගෙන එහි නායකත්වයෙන් ලෙනින්ගේ මග පෙන්වීම යටතේ 1919දී 03වැනි ජාත්‍යන්තරය ගොඩ නගන විට ලොව පුරා යටත් විජිතවල යටත් විජිත භාවයෙන් මිදීම සඳහා වූ ජාතික විමුක්ති අරගල පැන නැග තිබුණා. පොදුවේ එම අරගලවල නායකත්වය ගෙන තිබුණේ ඒ ඒ රටවල ධනපති පංතියයි. මේ තත්වය තුළ ලෙනින් තුන් වන ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ යෝජනාවක් මගින් යටත් විජිතවල පවතින ජාතික විමුක්ති අරගලවලට නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂවල නායකත්වය ලබා දී එම අරගල සමාජවාදී විප්ලවයෙන් කෙළවර කළ යුතු යයි පැවසුවා. ජාතික විමුක්ති අරගල උපාය මාර්ගය නිර්මාණය වූයේ එහෙමයි. එ අනුව යටත් විජිත හා පරාධීන රටවල යටත් විජිත භාවයට එරෙහිව නිර්මාණය වන ජාතික විමුක්ති අරගල ධනේශ්වර පංතියේ ජයග්‍රහණයෙන් කෙළවර වනවා වෙනුවට සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය දක්වා ගෙන යාම මෙහි අරමුණ වුණා.
මෙම උපායමාර්ග තේරුම් ගැනීමේ දී ජාතික අරගල, ජාතික විමුක්ති අරගල, ජාතික රාජ්‍ය යන සංකල්ප හා ඒවා අතර ඇති වෙනස්කම් ද තේරුම් ගත යුතු වෙනවා. වැඩ වසම් ක‍්‍රමය බිඳ දමා ධනවාදය කරළියට ආවේ, වැඩ වසම් ප්‍රාදේශීය පාලනයන් වෙනුවට ධනේශ්වර ජාතික රාජ්‍ය බිහි කරමිනුයි. වැඩ වසම් ජාතිකත්වයන් ජාතීන් දක්වා සංවර්ධනය වූයේ ධනේශ්වර ක්‍රමයත් සමඟයි. ඒ අනුව ජාතික රාජ්‍ය බිහි කරනු ලැබූයේ, ධනේශ්වර පංතිය විසිනුයි. ධනවාදයේ ආරම්භයේ වැඩ වසම් ආධිපත්‍යයට එරෙහිව සටන් කරමින් ධනේශ්වර ජාතික රාජ්‍ය බිහි කිරීමට ක‍්‍රියාත්මකව වූ නව යොවුන් ධනේශ්වර පංතියේ දේශපාලන ව්‍යාපාරය ජාතික ව්‍යාපාර ලෙස හඳුන්වනු ලැබුවා. මුලදී මාක්ස්වාදී ව්‍යාපාර පවා (සමාජවාදය සඳහා ධනේශ්වර විප්ලවය ජය ගෙන තිබිය යුතු නිසා) ධනේශ්වර ජාතික ව්‍යාපාරවලට උදව් කළා. එහෙත් ධනවාදය අර්බුදයට ගිය පසු එහි අවපාත අවධියේ දී මාක්ස්වාදී ව්‍යාපාර ධනේශ්වර ජාතික ව්‍යාපාරවලට උදව් කරනවා වෙනුවට එම ව්‍යාපාර සමාජ විප්ලවය දක්වා ගෙන යාමට උපක්‍රම සකස් කළා. ලෙනින් රුසියාවේ දී 1905 යෝජනා කළේ එයයි.
ජාතික විමුක්ති ව්‍යාපාර ජාතික ව්‍යාපාරවලින් වෙනස් වෙනවා. ජාතික ව්‍යාපාර කියන්නේ පැරණි සමාජය පෙරළා ධනපති ජාතික රාජ්‍යය නිර්මාණය කරන ජාතික ව්‍යාපාර වලට. ඒත් ජාතික විමුක්ති ව්‍යාපාර ලෙස හැඳින්වූවේ යටත් විජිතවාදය තුළ යටත් විජිත බවට පත් වූ රටවල හා පරාධීන රටවල ධනවාදය සඳහා බිහි වූ ජාතික ව්‍යාපාරවලටයි. එහි දී එකී ජාතික ව්‍යාපාරයන් ට විමුක්ති අරගලයක් ද තිබුණා. ඒ තමන් යටත් කර ගෙන සිටින යටත් විජිත වාදයෙන් මිදීමේ අරගලයයි. ධනේශ්වර ක්‍රමයේ ආරම්භක අවධියේ මාක්ස්වාදීන් මෙම ජාතික විමුක්ති අරගලවලට සහයෝගය පළ කළා. ඒ එම රටවල ධනවාදය බිහි වී ඒවා ධනේශ්වර ජාතික රාජ්‍ය බවට පත්වීම සමාජවාදය සඳහා පූර්ව කොන්දේසියක් ව තිබූ නිසයි. පෝලන්තය පිළිබඳ ප්‍රශ්නයේ දී පෝලන්තයේ නිදහස වෙනුවෙන් මාක්ස් පෙනී සිටියේ ඒ අනුවයි.

පසුව ධනවාදය සමාජ ක්‍රමයක් ලෙස අර්බුදයට ගොස් අධිරාජ්‍යවාදී අවධියට පා තබන විටත් ලෝකය බෙදී තිබුණේ, යටත් විජිත හා යටත් විජිත හිමි අධිරාජ්‍යවාදී රටවල් ලෙසයි. අධිරාජ්‍යවාදී මැදිහත් වීම තුළම මේ බොහෝ යටත් විජිතවල ධනේශ්වර සම්බන්ධතා ගොඩනැගී තිබුණා. (උදාහරණ: ලංකාව) ඒ නිසාම එම යටත් විජිතවල ධනේශ්වර පංතියක් මෙන් ම නිර්ධන පංතියක් ද බිහි වෙමින් තිබුණා. මෙම යටත් විජිතවල නිදහස සඳහා විමුක්ති ව්‍යාපාරයන් ද පැන නගිමින් තිබූ අතර එහි නායකත්වය ගෙන තිබුණේ ජාතික ධනපති පංතියයි. මෙහි දී ලෙනින්ගේ යෝජනාව වූයේ මෙම යටත් විජිතවල යටත් විජිත භාවයට එරෙහිව පැන නගින ජාතික විමුක්ති ව්‍යාපාර ධනේශ්වර පංති නායකත්වයෙන් මුදා නිර්ධන පංති නායකත්වය යටතට ගෙන එම අරගලය මගින් යටත් විජිතය නිදහස ලබන විට ඒවා ධනේශ්වර ජාතික රාජ්‍ය ලෙස ගොඩ නැගෙනවා වෙනුවට සමාජවාදී ජාතික රාජ්‍යයන් බවට පත් කර ගත යුතු බවයි. එනම් පරිධියේ පසුගාමී යටත් විජිතවල සමාජවාදී විප්ලවය සඳහා උපායමාර්ගය වූයේ, ඒවායේ නිර්මාණය වන ජාතික විමුක්ති අරගල නිර්ධන පංතියට බලය ලබා ගැනීම සඳහා යොදා ගැනීමයි. මෙම උපායමාර්ගයට අනුව වියට්නාමයේ, චීනයේ, කොරියාවේ සමාජ විප්ලව ජයග්‍රහණය කළා. එහෙත් ඉන්දියාව වැනි රටවල එය ඉටු කර ගැනීමට නොහැකි වුණා. ලංකාවේ දුර්වල ජාතික ව්‍යාපාරයක් ඇති වුණත් ජාතික විමුක්ති අරගලයක් නිර්මාණය වුනේ නැහැ.

1939 ආරම්භ වී 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වන විට එක් අතකින් ලොව යටත් විජිත කිහිපයක් සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර තිබුණා. එසේම සෝවියට් රතු හමුදා සහයෙන් නැගෙනහිර යුරෝපීය රටවල් රැසක සමාජවාදී පාලන බිහි වී සමාජවාදී කඳවුරක් නිර්මාණය වුණා. අනෙක් අතට අධිරාජ්‍යවාදය පසුබෑමට ලක් ව තිබූ තත්වය තුළ යටත් විජිතවල නිදහස් අරගල උත්සන්න වෙමින් තිබුණා. ඒවා තුළ නිර්ධන පංති ව්‍යාපාරයන් සක්‍රීය ව කටයුතු කළා. මෙවැනි තත්වයක් තුළ තම යටත් විජිත ‘කොමියුනිස්ට්වාදීන් අතට පත්වීමේ’ අනතුරෙන් මුදා ගැනීමට අධිරාජ්‍යවාදීන් නව උපක්‍රම සකස් කළා. තම යටත් විජිතවල ගොඩනැගී තිබූ අධිරාජ්‍ය ගැති දේශීය ධනපති පංතිය අතට බලය මාරු කරමින් ඔවුන් ‘නව යටත් විජිත’ උපක්‍රමයට මාරු වුණා. ඒ අනුව 1945න් පසු සෘජු යටත් විජිත යුගය වෙනුවට නව යටත් විජිත යුගය ඇරඹුණා.
නව යටත් විජිතවාදය බිහි වීම නිසා ජාතික විමුක්ති අරගලය සඳහා වූ විෂය මූලික දේශපාලනය අහෝසි වූයේ නැහැ. ඒත් අරගලයේ ස්වරූපය වෙනස් වුණා. අරගලය වඩාත් සංකීර්ණ හා දුෂ්කර වුණා. මන්ද යටත් විජිතවාදය තුළ ආක්‍රමණිකයා සෘජු ලෙස පෙනුනත් නව යටත් විජිතවාදයේ ඔහු අදෘශ්‍යමාන වුණා. පෙනුමට බලයේ සිටියේ දේශීය පාලකයින්. ඒ නිසා අධිරාජ්‍යවාදයට එරෙහි සටන සමඟ ධනවාදයට එරෙහි සටන ද ඒකාබද්ධ කිරීමට සිදු වුණා.
නව යටත් විජිත උපක්‍රමය තුළ ඇතිවූ මෙම සංකීර්ණ තත්වයත්, 1940න් පසු ලෙනින්වාදී 3වන ජාත්‍යන්තරයක් නො පැවතීමත්, එසේම 1935දී 3වන ජාත්‍යන්තරයට ස්ටාලින් වෙනුවෙන් බල්ගේරියානු කො. පක්‍ෂ නායක ජෝර්ජ් දිමිත්‍රෝව් ඉදිරිපත් කළ ෆැසිස්ට් විරෝධී මහජන පෙරමුණු න්‍යාය පිළිගෙන එක්සත් පෙරමුණ සඳහා කොමියුනිස්ට් පක්‍ෂවලට බලපෑම් කිරීමත් විසින් සමහර රටවල ජාතික විමුක්ති අරගල උපායමාර්ගය විකෘති වී, ධනපති පංතිය සමඟ එක්සත් පෙරමුණු ගොඩනැගීමේ වැරදි දේශපාලන ක්‍රියාමාර්ග ඇති වුණා. විප්ලවය අවදිවලට බෙදා පළමු අවධිය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවදිය ලෙස නම් කොට සමාජවාදී විප්ලවය කල් දැමුණා. මෙය ජාතික විමුක්ති අරගල උපායමාර්ගයට බරපතළ හානි සිදු කළා. මෙම තත්වය විසින් ජාතික විමුක්ති අරගල උපායමාර්ගය ප්‍රශ්න කිරීමට හා එය ප්‍රතික්ෂේප කිරීමට ද සමහර අතිවාමවාදීන් පෙලඹුණා. එහෙත් සැබෑ ලෙස ම වරද තිබුණේ, ජාතික විමුක්ති අරගල උපායමාර්ගය තුළ නොව එය ධනේශ්වර එක්සත් පෙරමුණු වෙනුවෙන් පාවිච්චි කර ගැනීමේ වැරදි දේශපාලනය තුළයි. ජාතික විමුක්ති අරගල උපායමාර්ගය තුළ ‘බොරු වලවල්’ ඇතැයි කියමින් ඊට බියවී මෙම උපායමාර්ගය ප්‍රතික්ෂේප කරන ‘ළදරුවන් ‘ද දේශපාලනය තුළ සිටිනවා. ඒ සඳහා මාක්ස්වාදය වටහා නොගත් ප‍්‍රාන්ට්ස් ෆැනොන් වැනි අය උපුටා දැක්වීමට ද මේ ඊනියා වම්මුන් කටයුතු කර තිබෙනවා. එමගින් ඔවුන් අධිරාජ්‍යවාදයෙන් පීඩාවට පත් රටවල අධිරාජ්‍ය විරෝධී අරගලයටත් එම රටවල සමාජවාදී විප්ලවය සඳහා අරගලයටත් මහත් හානි පමුණු වමින් අනියමින් අධිරාජ්‍යවාදයට සේවය කරනවා. ජාතික විමුක්ති අරගල උපායමාර්ගය වර්තමාන නව ලිබරල්වාදී යුගයටත් වලංගු ද යන්න විමසා බැලිය යුත්තේ ඒ නිසයි.

සෘජු යටත් විජිත රටවල් නව යටත් විජිත උපක්‍රමය තුළ පවත්වා ගෙන යාම ආරම්භ කළ විට ජාතික විමුක්ති සටනේ සමහර සංකීර්ණතා මතු වූ බව අපි කලිනුත් ප්‍රකාශ කළා. සෘජු යටත් විජිත පවතිද්දී දේශීය ධනපති පංතිය ජාතික ව්‍යාපාර තුළ ක‍්‍රියාත්මකව වුණා. එහෙත් නව යටත් විජිත තුළ ඔවුන් බලයට පත්ව සිටීමත් සමඟ තවදුරටත් සැබෑ ලෙස අධිරාජ්‍ය විරෝධී වීමට හෝ ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වුනේ නැහැ. එසේම අධිරාජ්‍යවාදයෙන් යැපීමට සිදුවීම නිසා එසේ හැකියාවකුත් ඇති වුණෙත් නැහැ. ඒ නිසාම නව යටත් විජිතවාදය තුළ සැබෑ ජාතික නිදහස සඳහා අරගලයේ නායකත්වය මෙන් ම එහි වැඩි බර නිර්ධන පංති ව්‍යාපාරය මත පැවරුණා.

ධනවාදය නව ලිබරල්වාදය ක්‍රියාවට නැගීම ආරම්භ කිරීමත් ඊට සමාන්තරව සමාජවාදී කඳවුර බිඳ වැටීමත් එම වාසිය අත්පත් කර ගත් අධිරාජ්‍යවාදීන් ලෝකය (විශේෂයෙන් සමාජවාදී රටවල් ලෙස පැවති හා ඒ හා බැඳී අධිරාජ්‍ය විරෝධී ලෙස පැවති) තම ආර්ථික දේශපාලන ආධිපත්‍යයට යටත් කර ගැනීම සඳහා ක‍්‍රියාත්මකව වීමත් සමඟ නව යටත් විජිත මත පැවති අධිරාජ්‍යවාදී මැදිහත් වීම් ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ද වැඩි වුණා. මෙය යළි යටත් විජිත කරණ තත්වයක් තරමට ම වර්ධනය වුණා. එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ඉරාකය ආක්‍රමණය කිරීම, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම, කොසෝවෝ වෙන් කිරීම, සුඩානය බෙදීමට මැදිහත් වීම, බෙදුම්වාදය පරිධියේ රටවල් දුර්වල කර ගිල ගන්නා අවියක් ලෙස භාවිත කිරීම, ඍ2ඡු සංකල්පය, මෑතක දී ලිබියාව ආක්‍රමණය කිරීම හා ඉරානයට තර්ජනය කිරීම හා ඉරානය වට ලෑම, ලොව පුරා එක්සත් ජනපද හමුදා කඳවුරු වැඩි කිරීම, ආදී උදාහරණ රැසකින් මෙම තත්වය තහවුරු වෙනවා.
ඒ අනුව මේ නව තත්වය තුළ එනම් පරිධියේ රටවල් සූරාකෑම හා කොල්ලකෑම සඳහා සෘජු යුද මැදිහත් වීම්වල සිට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, ආරක්‍ෂක මණ්ඩලය, ආදී ආයතනත් නේටෝව වැනි යුද ආයතනත් විවිධ කුමන්ත්‍රණත් අධිරාජ්‍යවාදීන් විසින් යොදා ගනිමින් තිබීම විසින් ජාතික විමුක්තිය සඳහා අරගලයට, අධිරාජ්‍ය විරෝධී අරගලයට නව තර්කානුකූල විෂය මූලික පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. එය ප්‍රතික්ෂේප කළ හැක්කේ, දේශපාලන අන්ධයින්ට, ළදරුවන්ට හෝ අධිරාජ්‍යවාදයෙන් යැපෙන එහි සහායක බළඇණි බවට පත් ‘කල්ලිවලට’ පමණයි.
නව ලිබරල්වාදය යටතේ පීඩාවට පත් පරිධියේ පසුගාමී රටවල් තුළ සමාජවාදී විප්ලවය සඳහා තත්වයන් මෝරා ඇති අතර එහි දී විප්ලවයේ උපායමාර්ගය ලෙස ජාතික විමුක්ති අරගලය හෙවත් අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී අරගලය තෝරා ගැනීම ඉතා ම නිවැරදි වෙනවා. විශේෂයෙන්ම මෙම පරිධියේ රටවල ධනේශ්වර සංවර්ධනයේ දුබල කම නිසා කම්කරු පංති බලවේග සාපේක්‍ෂව කුඩා වීමත් අධිරාජ්‍යවාදයේ ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් වන විවිධ ජන කණ්ඩායම් පැවතීමත් නිසා මෙම රටවල විප්ලවයට ජනතාවගේ බහුතරය පක්‍ෂපාත කර ගැනීමේ දී ජාතික විමුක්තිය හෙවත් දේශප්‍රේමය වැදගත් වෙනවා.

ඒ අනුව නිර්ධන පංති විප්ලවකාරී ව්‍යාපාරය තම නායකත්වය යටතේ සියලු අධිරාජ්‍ය විරෝධී හා දේශප්‍රේමී බලවේග කම්කරු පංතියේ පෙරටුගාමිත්වය සමඟ පෙළගැස්වීම නිවැරදියි. මෙම සටනේ දී දේශීය ධනපති පංතිය සටනේ මිතුරෙක් නොවන අතර ඔවුන් අධිරාජ්‍යවාදය හා පෙළ ගැසී ඇති හෝ ඉන් යැපෙමින් සිටින නිසා ධනපති පංතියට මෙම සටන තුළ කාර්යභාරයක් නොමැති බව ද පැහැදිලියි.

ලෙනින් කියූ ලෙස ම සමාජවාදී සමාජ පරිවර්තනයක් සඳහා රටක ජනතාවගේ බහුතරයේ දායකත්වය හෝ අඩුගානේ පක්‍ෂපාතීත්වය ලබා ගැනීම බලය ගැනීමේ දී මෙන් ම සමාජවාදය ගොඩ නැගීමේ දී ද අවශ්‍ය වන බැවින් නව යටත් විජිත ලෙස පවතින හා නව ලිබරල් ධනවාදයේ බලපෑමට ගොදුරු වූ රටවල විප්ලවයේ උපායමාර්ගය ජාතික විමුක්ති අරගලය බවට පත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයක් වෙනවා. ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී හා ජාතිකවාදී (ජාතිවාදී නොවේ) හැඟීම් ධනපති පංතියට කොල්ලකෑමට හා ධනපති පංතියේ පැවැත්මට යොදා ගැනීමට ඉඩ නො දීම සඳහාත් එම හැඟීම් සමාජවාදී විප්ලවය වෙනුවෙන් යොදාගැනීම සඳහාත් නිර්ධන පංති ව්‍යාපාරය ඉතා ම දියුණු න්‍යායික පදනමක සිට ජාතික විමුක්ති අරගලය සඳහා ජනතාවගේ පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීමත් ඊට තම නායකත්වය ලබා දීමත් නිවැරදිව සිදු කරන්නේ නම් ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදයට යන උපායමාර්ගය ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි වෙනවා. එබැවින් අප වැනි රටවල විප්ලවයේ උපායමාර්ගය නව පන්නයේ ජාතික විමුක්ති අරගලයක් ය යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක්, විෂය මූල යථාර්ථයක් බව පැහැදිලියි.

පොදු ජනයා පිළිබඳ විශ්වාසයක් නැති, විවිධ ජන කණ්ඩායම් එකම සටනක් තුළ මෙහෙයවීමට ධෛර්යය නැති, අතිවාමවාදී, පොතේගුරුවාදී පොදු ජනයාගෙන් වියෝ වී කුඩා කව තුළ සිර වී සිටින ඊනියා රැඩිකල් වම්මුන්ගේ නිර්මාක්ස්වාදී මත පරාජය කොට ජාතික විමුක්ති අරගල උපායමාර්ගය තහවුරු කිරීම සැබෑ විප්ලවවාදීන්ගේ වගකීම වෙනවා.

වෛද්‍ය එච්. පී. ධම්මික