චින්තනය නිදහස් වීමට නම්…

චින්තනය වල්මත් වූ කල
February 24, 2020
තර්කනයේ චින්තනය හා අතාර්කික චින්තනය
February 24, 2020
Show all

චින්තනය නිදහස් වීමට නම්…

දැනුම සමාජය හා චින්තනය

17

           කිසියම් නිශ්චිත සමාජයක, එම සමාජයේ ජීවත්වන පුද්ගලයන් තුළ චින්තනය ගොඩනැගීමේදී අතීත සම්ප්‍රදායන් හා අත්දැකීම්, තමා ජීවත්වන වටපිටාවේ බලපෑම හා අප ලබන අධ්‍යාපනය හේතුකාරක වන බව පැහැදිලිය. වර්තමාන සමාජයේ මිනිසුන් ‘නිදහස’ නැමති සංකල්පයට ඉතාම කැමතිය. මිනිස්සු නිදහස වෙනුවෙන් සටන් කොට දිවි පිදීමට පවා ඉදිරිපත් වෙති. භෞතිකව යටත් පුද්ගලයෙක් ලෙස, යටත් රටක් ලෙස ජීවත්වීමට කිසිවෙකු කැමති නැත. සිරගත වීමට මිනිසුන් අකමැති වන අතර සිරගෙවල්වලින් පලා යාමට පවා පෙළඹෙන්නේ මිනිසාට නිදහස අත්‍යාවශ්‍ය නිසාය. රටවල් අතර යුද්ධ ඇතිවීමට පවා නිදහස පිළිබඳ අවශ්‍යතාවය හේතු වේ. එහෙත් කෙනෙකුට භෞතිකව නිදහස අහිමිවීම දැනෙන ආකාරයෙන් චින්තනයේ නිදහස අහිමිවීම දැනෙන්නේ නැත. විදේශ බලවේගයක් අපේ රට යටත්කරගත් විට දැනෙන හැඟීම වෙනත් බලවේගයක් අපේ චින්තනය යටත්කරගෙන සිටින විට දැනෙන්නේ නැත. මෙය බරපතළ ගැටලුවක් වී තිබේ.

යටත් කළ චින්තනයක්

           අප ජීවත්වන්නේ පංති සමාජයක් තුළය. දේපළ හිමි පංතිය එහි දේපළවල ආධිපත්‍යය දරයි. ඒ නිසාම එම පංතිය මතවාදය තුළද ආධිපත්‍යය දරයි. ඒ අනුව එම පංතිය අපගේ චින්තනය තුළද ආධිපත්‍යය දරන අතර අපේ චින්තනයේ නිදහස අපට අහිමිකරනු ලැබ තිබේ. මේ සඳහා ඉතාම සූක්‍ෂම ලෙස ධනවාදය තුළ අධ්‍යාපනය, ආගමික මතවාද, සදාචාරයන්, සම්ප්‍රදායන් යොදා ගැනේ. එවිට මිනිසා කැලයේ සිටින සතෙකු ලෙස නොව සත්ව උද්‍යානයක කූඩුවක සිටින සතෙකුගේ තත්වයට පත්වේ. සත්ව උද්‍යානයක කූඩුවක සිටින සතෙකුට කැලයේ ‘නිදහසේ’ සැරිසරන සතෙකුට නැති ‘පහසුකම්’ හා ‘වරප්‍රසාද’ තිබේ. ඒවා නම් තම කෑමවේල සඳහා වෙහෙස විය යුතු නැති  අතර එය තමන්ට ලැබේ. ඒ අනුව කෑමවේල සහතික වී ඇත. වෙනත් සතුන්ගෙන් උවදුරු සිදුවන්නේද නැත. අව්වට වැස්සට ආවරණයක් තිබේ. අසනීප වූ විට ප්‍රතිකාරද ලැබේ. සත්ව උද්‍යාන පාලකයින් සතුන්ව රැකබලා ගනු ලැබේ. ඒ කිසිවක් කැලයේ සිටින සතෙකුට නැත. එහෙත් ඒ සියල්ල ලැබෙද්දී එක් දෙයක් ඌට අහිමිවී තිබේ. ඒ වනාන්තරයේ ගතකරන ‘නිදහස්’ ජීවිතයයි.

           අපගේ චින්තනයට ධනවාදය තුළ සිදුකර ඇත්තේද එයයි. මිනිසාගේ චින්තය සඳහා ‘හැම පහසුකමක්ම’ සලසා ඇති ධනවාදය ඔහු ධනවාදයට අවශ්‍ය කොටුවක සිරකොට එම කොටුවේ සිට එහි සීමාවක් තුළ සිට සිතන කෙනෙක් බවට පත් කරයි. එවිට ධනවාදය තුළ චින්තනය ‘සිරගත කළ’ එකක් වේ.

චින්තනය හා ජනමාධ්‍ය

           නිදහස් චින්තනය අහෝසි කිරීමේදී ධනවාදය තුළ ජනමාධ්‍ය විසින් ඉටුකරන කාර්යය ඉතා විශාලය. ධනවාදී අධ්‍යාපනය විසින්, සිරිත් විරිත් හා මතවාද විසින් සකස්කළ මිනිස් චින්තනය යාවත්කාලීන කරමින් පවත්වාගෙන යනු ලබන්නේ ජනමාධ්‍ය විසිනි. වත්මන් ලෝකයේ මිනිසාට නැතුවම බැරි දෙයක් ලෙස ජනමාධ්‍ය ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ වී තිබේ.

         මිනිසා ස්වභාවයෙන්ම තොරතුරු දැන ගැනීමට කැමතිය. තොරතුරු සන්නිවේදනය කර ගැනීම මානව අවශ්‍යතාවයක්ව තිබේ. මිනිසාගේ තොරතුරු දැන ගැනීමේ පිපාසය දැන් සංසිදුවන්නේ ජනමාධ්‍ය විසිනි. මහා ජනමාධ්‍යවල අයිතිකරුවෝ එක්කෝ ධනේශ්වර දේශපාලකයෝය. නැතිනම් දේශපාලන සබඳතා ඇති ප්‍රාග්ධන හිමියෝය. ප්‍රාග්ධන හිමියාගේ අරමුණ ලාභ ලැබීමය. ඒ අනුව තොරතුරු සන්නිවේදනය ලාභ උපයන කර්මාන්තයක් බවටත් දේශපාලන අරමුණු සඳහා ජන මනස සකස් කරන මෙවලමක් බවටත් පත්ව තිබේ. ඒ අනුව ධනවාදය තුළ තොරතුරු වෙළඳාමක් බවට පත්ව තිබේ. තම තොරතුරු සඳහා වැඩිම පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඇතිකර ගැනීම අවශ්‍ය නිසා ජනමාධ්‍ය ආයතන සිය ශ්‍රාවකයන් හෙවත් පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩිකර ගැනීම උනුන් හා තරඟයකද නියැලේ. අසන්නන්ට නරඹන්නන්ට සල්ලි හා තෑගි දෙමින් මහා ප්‍රචාරක වැඩසටහන් කරන්නේ ඒ නිසාය. එහි රහස නම් වැඩිම කියවන අසන නරඹන ප්‍රමාණයක් ඇති මාධ්‍ය ආයතනවලට වැඩිපුර වෙළඳ දැන්වීම් ලැබීමය.

වාර්තාකරණයේ සීමාව ඉක්මවීම

               මෙලෙස විවිධ උපක්‍රම හරහා මිනිසුන් තම ග්‍රහණයට ගෙන තම ජනමාධ්‍යවල ‘වහලුන්’ බවට පත්කර  ගන්නා ජනමාධ්‍ය මිනිසුන් වෙත තම මුද්‍රිත හෝ විද්‍යුත් ජනමාධ්‍ය හරහා තොරතුරු සන්නිවේදනය කිරීම හා සමාජ විග්‍රහයන් ඉදිරිපත් කිරීම සිදුකෙරේ. එහිදී ඔවුන්, තමන් තොරතුරු වාර්තා කරන අපක්‍ෂපාතී ආයතනයක් බවට ප්‍රකාශ කළද සත්‍ය ලෙසම අපක්‍ෂපාතීව හා නිදහස්ව තොතුරු වාර්තා කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු තම දේශපාලන හෝ ආර්ථික අරමුණු මත පිහිටා ඊට ගැලපෙන ලෙස තෝරාගත් තොතුරු තමන් සිටින ආස්ථානයට අනුව ඊට ගැලපෙන ලෙස අර්ථකථනය කරමින් ඉදිරිපත් කරති. එමගින් මිනිසුන්ගේ චින්තනය තමන්ට අවශ්‍ය ලෙස හැසිරවීමේ යතුර තමන් අතට ගනිති. මිනිස් චින්තනය ස්වාධීන නොවන්නේ නිදහස් නොවන්නේ මේ තත්වය තුළය. මෙහිදී ජනමාධ්‍ය විසින් අසත්‍ය තොරතුරු, අර්ධ සත්‍ය තොරතුරු වාර්තා  කිරීමට අමතරව තමන් වාර්තා කරන තොරතුරු තමන්ට අවශ්‍ය ලෙස විග්‍රහයකට ලක්කොට එම ‘සදා නිමකළ’ අදහස ජනතාව තුළට ඇතුල් කරනු ලැබේ. මෙහිදී ජනමාධ්‍ය ඇසුරු කරන ජනතාවට සිදුව තිබෙන්නේ කුමක්ද? ජනමාධ්‍ය ආයතන කැමති, ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට හා අවශ්‍ය ආකාරයට ලබාදෙන තොරතුරුවලින් සෑහීමකට පත් වීමටය. මෙයට ලංකාවේ හොඳම උදාහරණය විද්‍යුත් මාධ්‍ය මගින් උදෑසන පුවත්පත් වාර්තා කියවීම ගත හැක. යම් පුද්ගලයෙක් පුවත්පතක් බලන්නේ නම් ඔහු එහි ඇති සියලු ප්‍රවෘත්ති, පින්තූර ලිපි ආදිය දෙස බලා තමන් කියවන්නේ කුමන ප්‍රවෘත්තියද අවධානය යොමු කරන්නේ කුමකටද යන්න තමාම තීරණය කර ගනී. එහෙත් විද්‍යුත් මාධ්‍යවල පුවත්පත් කියවද්දී එය එසේ නොවේ. එහිදී අපට දැන ගැනීමට සිදුවන්නේ අදාල රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවේ හිමිකරුවන් විසින් ඔවුනට අවශ්‍ය ලෙස තෝරාගත් ප්‍රවෘත්ති පමණි. ඒ අතර එම ප්‍රවෘත්තියට විවිධ විග්‍රහ එකතු කිරීමටද නිවේදකයා කටයුතු කරයි. මේ අනුව අනුන්ගේ අවශ්‍යතාවයට ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්තිවලින් සෑහීමකට පත්වීමට ජනතාවට සිදුවන අතර එය පුද්ගල චින්තනය පටු කිරීමටද හේතු වේ.

          මේ පිළිබඳව වරක් ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා මෙසේ පැවසීය.

“මාධ්‍ය මගින්  කරන්නේ බොරු කියන එක පමණක් නොවේ. සාවද්‍ය පරාවර්තනයක් ඇතිකිරීමයි. බොරුව හා සාවද්‍ය පරාවර්තනය යනු වර්ග දෙකකි. බොරුව දැනුම මත සෘණාත්මක බලපෑමක් ඇති කරයි. සාවද්‍ය පරාවර්තනයක් චින්තනය මත ඍණාත්මක බලපෑමක් ඇති කරයි. එය තොරතුරු වසන් කිරීමට හෝ විකෘති කිරීමට සමාන නැත. එමගින් සිදුවන්නේ සිතීමට ඇති හැකියාව මොට කිරීමය.”

            මේ නිසා නිදහස් චින්තනයක් ඇතිකර ගැනිමට නම්, ධනවාදය තුළ පවත්නා මෙම තත්වය වටහාගෙන ධනවාදී මතවාදයෙන් මෙන්ම ධනවාදී මත හදන මෙවලම්වලින්ද චින්තනය නිදහස් කර ගත යුතු වේ. මිනිස් චින්තනය ධනේශ්වර හිර කූඩුවලින් නිදහස් කර ගැනීම ඉතාම වැදගත් වන තර ඒ සඳහා අලුත් සිතීමක් අවශ්‍ය වේ. ඒ සඳහා තාර්කික බුද්ධියක් නිවැරදි දාර්ශනික මඟපෙන්වීමකුත් අවශ්‍ය වන අතර ලෝකය වෙනස් කළ හැකි වන්නේ එලෙස තාර්කිකව සිතන තම චින්තනය ධනේශ්වර ‘සිරකුටි’වලින් නිදහස් කරගත් අයට පමණි.

Next – තර්කනයේ චින්තනය හා අතාර්කික චින්තනය