කැමැත්ත නිෂ්පාදනය කිරීම

අමරණීය මතකයක් ගැන…
March 10, 2017
ජාතිවාදය – විද්‍යාව වෙනුවට මිථ්‍යාව වැළඳ ගැනීම
March 10, 2017
Show all

කැමැත්ත නිෂ්පාදනය කිරීම

මහාචාර්ය නොම් චොම්ස්කි විසින් සිදු කරනු ලදුව Z සඟරාවේ පළ වූ What makes the mainstream media Mainstream (ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය, ප්‍රධාන ධාරාව බවට පත් කළේ කුමක් ද?) යන දේශනයේ පරිවර්තනයකි.

මා මාධ්‍ය පිළිබඳව ලිවීමට පෙලඹුණු හේතු අතරින් එකක් වන්නේ, බුද්ධිමය සංස්කෘතිමය අගයක් ඇති දේවලින් වඩාත් ම පහසුවෙන් අධ්‍යයනය කළ හැක්කේ ‘මාධ්‍ය’ නිසායි. එය සෑම දිනකම පළ වෙනවා. ඔබට එහි ඊයේ ප‍්‍රකාශනයත් අද ප‍්‍රකාශනයත් සංසන්දනය කරමින් එය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පහසුවෙන් ම කළ හැකියි. එවිට වඩා උනන්දුවෙන් ගොඩනගන ලද දේවල් පිළිබඳවත් ඒවා පෙළගස්වා ඇති ව්‍යුහය පිළිබඳවත් විශාල සාක්‍ෂි ප්‍රමාණයත් හඳුනා ගැනීමට හැකියි.
මගේ හැඟීම අනුව මාධ්‍ය, ශිෂ්‍යත්වයක් ලබා දීම හෝ ඔබේ චින්තනය තරමක් දුරට අමතර බලශක්තියකින් යටපත් කිරීමට උත්සාහ කරන බුද්ධිමය වාර ප්‍රකාශවලට වඩා හෝ සම්පූර්ණයෙන් වෙනස් නැහැ. එය එකිනෙක හා සම්බන්ධ වන අතර එනිසා ජනතාව බොහෝ පහසුවෙන් ඒවා පරිශීලනයට හා ඒවා සමඟ ජීවත් වීමට පෙලඹෙනවා.
ඔබට අධ්‍යයනය කිරීමට අවශ්‍ය මාධ්‍ය හෝ වෙනත් ඕනෑම ආයතනයක් දෙස බලන්න. එහි අභ්‍යන්තර ව්‍යූහය පිළිබඳ ප්‍රශ්න කරන්න. ඔබට එය පුළුල් සමාජය තුළ ස්ථාන ගත වී ඇති ආකාරය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය යයි සිතන්න. එම ආයතන තුළ බලය හා අධිකාරිත්වය පවත්වා ගෙන යෑමට සකස් කර ඇති ක්‍රමවේදය කුමක් දැයි සොයා බලන්න. ඔබට එම ආයතනයේ බල ව්‍යූහය මෙහෙයවන පුද්ගලයෙකුගෙන් එම ආයතනය කුමක් වෙනුවෙන්, කුමන ආකාරයෙන් කටයුතු කරනවා දැයි යන්න (මෙය සාමාන්‍ය වශයෙන් අධිකාරිවාදී ක්‍රමවේදයකි) දැන ගැනීමට ලැබුණ හොත් ඔබ වාසනාවන්තයි. මම මෙහි දී අදහස් කරන්නේ, ඔවුන් ප්‍රසිද්ධියේ මහජනතාවට කියන දේ නොව ඔවුන් එකිනෙකා අතර කතිකා කර ගත් පරිදි ඔවුන් කුමක් වෙනුවෙන්, කුමන ආකාරයට කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ සැබෑ විස්තරයි. මෙවැනි හෙළි කිරීම් පිළිබඳ වාර්තා විශාල ප‍්‍රමාණයක් ප්‍රසිද්ධ වී තිබෙනවා.
මාධ්‍යවල ස්වභාවය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ප්‍රධාන මූලාශ්‍ර 03ක් තිබෙනවා. ඔබට එය විද්‍යාඥයෙක් අධ්‍යයනය කරන ලෙස සංකීර්ණ අණුවක් ලෙස ගෙන අධ්‍යයනය කිරීමට අවැසි නම් එය එසේ කළ හැකියි. පළමුව එහි ව්‍යූහය පිළිබඳවත් ඊළඟට ව්‍යූහය මත පදනම්ව ගොඩනගා ඇති කල්පිතය අනුව ‘මාධ්‍ය නිෂ්පාදනවල’ අවසාන හැඩහුරුකම කුමන ආකාරයක් දැයි පරීක්‍ෂා කරන්න. විශේෂයෙන්ම ‘‘මාධ්‍ය නිෂ්පාදනය’ එම මාධ්‍ය ආයතන විසින් පවත්වා ගෙන යන ‘කල්පිතයට’ කොතරම් අනුකූල දැයි බලන්න. සියලූම මාධ්‍ය අධ්‍යයනයන්හිදී ඉතා පරීක්‍ෂාකාරී ව කළ යුතු අධ්‍යයනය නම් ‘මාධ්‍ය නිෂ්පාදිතය’ හා එය කෙතරම් දුරට මාධ්‍යයේ ව්‍යූහය ආරක්‍ෂා කරන්නේ ද, අනුකූල වන්නේ ද යන්නටයි.
හොඳයි, අපි ප්‍රායෝගික කරුණු වලට පිවිසෙමු. ඔබට හමු වන්නේ මොනවා ද? සියල්ලට ම පෙරාතුව ඔබට විවිධ විෂයන්ට අදාලව කටයුතු කරන, එනම් විනෝදාස්වාදය සපයන හොලිවුඞ්, ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති පළ කිරීම (බොහෝ ප්‍රවෘත්ති පත්‍ර සිදු කරන ආකාරයට) ආදිය සිදු කරන විවිධ මාධ්‍ය මුණ ගැසෙනවා. මේවා සිදු කරන්නේ කුමක් ද? මේවා පොදු ජනතාව මෙහෙයවීම සිදු කරනවා.
මාධ්‍යවල තවත් කොටසක් වෙනවා. ඒ වරප්‍රසාදිත මාධ්‍යයයි. එසේත් නැතිනම් ‘න්‍යාය පත්‍රය සකස් කරන’ ^Agenda Setting Media& මාධ්‍යයයි. එනම් විශාල සම්පත් ප‍්‍රමාණයක් හිමි, සියලූම මාධ්‍ය කටයුතු කළ යුතු ‘රාමුව’ සකස් කරන මාධ්‍යයයි. New York Times, CBS වැනි ඒවා මේ සඳහා උදාහරණයි.
මේවායේ පාඨකයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක්ම වරප්‍රසාදිත පුද්ගලයන් New York Times පුවත්පත කියවන්නේ, ධනවත් හෝ සාමාන්‍යයෙන් වත්මන් දේශපාලන – ආර්ථික ක‍්‍රමය පවත්වා ගෙන යාමට තදින් සම්බන්ධ වී සිටින දේශපාලන ස්ථරය යි. මෙම ස්ථරය තුළ දේශපාලනඥයන්, ව්‍යාපාර කළමනාකරුවන් (සමාගම්වල ප්‍රධාන විධායකයන් වැනි), අධ්‍යාපන ආයතනවල කළමනාකරුවන් (විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල මහාචාර්යවරුන්) හා ‘ජනතාව සිතන ආකාරය හා ජනතාව දේවල් දෙස බැලිය යුතු ආකාරය’ සැලසුම් කරන සමහර මාධ්‍යවේදීන් වැනි පිරිසයි.
න්‍යාය පත්‍රය සකස් කරන මාධ්‍ය නිරන්තරයෙන් අනිකුත් මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය හා පළ කළ යුතු ප්‍රවෘත්ති හා ප්‍රචලිත කළ යුතු ආකල්ප පිළිබඳ රාමුව සකස් කරනවා. උදාහරණයක් ලෙස ඔබ Associated Press නාලිකාව නරඹමින් සිටින්නේ නම් අඛණ්ඩ ප්‍රවාහයක් සේ ගලා ගෙන එන ප්‍රවෘත්ති පළ කිරීම් සෑම දිනකම දහවල් නතර කර පළ කරන දැන්වීමක් ^Breaking News& වෙයි. එම දැන්වීම මෙසේයි. “Notice to Editors. Tomorrow’s New York Times is going to have the Following Stories on the Front Page” (‘‘කර්තෘවරුන්ගේ අවධානයටයි. හෙට දින පළ වන නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ මුල් පිටුවේ පහත සඳහන් වන ප්‍රවෘත්ති පළ වේ’’) ඔබ ඩේටන් (Dayton) හෝ ඔහියෝ (ඇමරිකාවේ තරමක් ප්‍රාදේශීය නගරයන් ය) හි පුවත්පත් කතුවරයකු හා තමන් හෙට පළ කරන ප්‍රවෘත්ති පිළිබඳ අද දැන්වීම් පළ කිරීමට තරම් සම්පත් නැති හෝ එවැන්නක් ගැන සිතීමට අවශ්‍ය නැති කෙනෙකු නම්, Associated Press මගින් හෙට පළ කළ යුතු ප්‍රවෘත්තිය කුමක් ද යන්න පිළිබඳ මඟ පෙන්වීම ඔබට ලබා දෙයි. සිදු වන්නේ කුමක් ද? ඔබේ පුවත්පතේ මුල් පිටුවේ පිටු කාලක් පමණ ප්‍රාදේශීය ප්‍රවෘත්ති වෙනුවෙන් වෙන් කළ හැකි කොටසක් වෙන් කර, ඔබේ පාඨකයන්ගේ අවධානය ඔබේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති හා කරුණුවලින් වෙනස් කොට ඔබ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හෙට පළ කරන ප්‍රවෘත්ති කිහිපයක් පළ කරනු ලබයි. මන්ද යත් හෙට ‘ප්‍රධාන’ සාකච්ඡාව, උණුසුම ඇති කරන්නේ, නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්ති මත පදනම්ව නිසායි. ඔබ ඩේටන් හෝ ඔහියෝහි කර්තෘවරෙක් නම් එතරම් ප්‍රාග්ධනයක් හා සම්පත් නොමැති ඔබට මෙම තෝරා ගැනීමට කීකරු වීමට සිදු වෙනවා. ඔබ එය ගණන් නො ගන්නේ නම්, වරප්‍රසාදිත මාධ්‍ය පළ කිරීමට අකමැති ප්‍රවෘත්ති ඔබ පළ කරන්නේ නම් ඔබගේ මාධ්‍යය ඉක්මනින් ම බිඳ වැටෙනු ඇති. (බිඳ වට්ටනු ඇති) මේ පිළිබඳ ඉතා ම ආසන්න උදාහරණයක් වන්නේ, San Jose Mercury News ආයතනයේ බිඳ වැටීමයි. ඔබ ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත්ව යන්නේ නම් ඔබ එම මාර්ගයට නැවත තල්ලු කිරීමට යොදා ගත හැකි බලාධිකාරියන් රාශියක් ක‍්‍රමය සතුව තිබෙනවා. ඔබ එය බිඳ දැමීමට උත්සාහ කළ හොත් ඔබට වැඩි කාලයක් පැවතීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මෙම රාමුව ඉතා හොඳින් ක්‍රියාකාරී වෙන අතර, එය ඉතා පැහැදිලිව ම තේරුම් ගත හැකි පරිදි බල ව්‍යූහයත් හි ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි.
වර්තමානයේ ජනමාධ්‍යවල මූලික කාර්ය වී ඇත්තේ, ජනතා අවධානය වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ජනතාව (වෘත්තීය) ක්‍රීඩා පිළිබඳ විශාල උනන්දුවකට ලක් කිරීම දැක්විය හැකියි. සෑම කෙනෙකුට ම වෘත්තීය ක්‍රීඩා පිළිබඳ හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ලිංගික අර්බුදයන් පිළිබඳ හෝ ඔහුගේ වෙනත් ප්‍රශ්න පිළිබඳව හෝ දැන ගැනීමට සැලැස්වීම හා සෑම කෙනෙක් තුළම එවැනි දේ පිළිබඳ උනන්දුවක් හා රුචියක් ඇති කිරීම දැක්විය හැකියි. මේවා ඉතා බරපතළ නොවන තාක් කල්, ඒවා ජනතාවට ප්‍රචාරය කරනු ලබන අතර ඒවා ඉතා බරපතළ වූ විට ඒවා වාර්තා කිරීම නතර කරනු ලැබෙනවා. බැරෑරුම් මට්ටමේ ප්‍රශ්න ගැන අවධානය යොමු කිරීම ජනතාවට අයිති කටයුත්තක් නොවන අතර ඒවා පිළිබඳව ‘ඔවුන්’’ (‘ලොකු මිනිසුන්’) විසින් වග බලා ගන්නවා ඇති.
මේ වරප්‍රසාදිත මාධ්‍ය, නැතිනම් න්‍යාය පත්‍රය සකස් කරන ඒවා මොනවා ද? උදාහරණ විදියට The New York Times සහ CBS හැඳින්විය හැක. ඒවායේ ප්‍රධාන ලක්‍ෂණ වන්නේ ඒවා ඉතා විශාල, ඉතා ම අධික ලාභ උපයන සමාගම් වීමයි. තවදුරටත් කරුණු සෙවුව හොත් ඒවා වඩා විශාල බහුජාතික සමාගම්වලට සම්බන්ධ හෝ කෙළින්ම ඒවායේ අධිකාරිත්වයට අයත් ඒවා වීමයි. උදාහරණයක් ලෙස ජෙනරල් ඉලෙක්ට්‍රික්, Westing House වැනි දැවැන්ත සමාගම්වලට සම්බන්ධයි. මෙම සමාගම් ඉතාමත් ඒකාධිකාරී පාලන ව්‍යුහයක් සහිත වත්මන් පුද්ගලික දේපළ මත පදනම් වූ ආර්ථික ව්‍යුහයේ මුදුනට ම සම්බන්ධ ඒවා වීමයි. සමාගම් යනු මූලික වශයෙන් ම ඒකාධිකාරී ආයතන පද්ධතියක් වන අතරම ඒවා ඉහළින් පාලනය වන ඒවා යි. ඔබ මේවායේ කටයුතු කරන ඒකාධිකාරී පාලන ව්‍යුහයට කැමති නැතිනම් ඒවායින් ඉවත් වීමට හෝ ඉවත් කිරීමට ලක් වීමට ඔබට සිදු විය හැකියි. ප්‍රධාන ජනමාධ්‍ය ආයතන යනු මේ ඒකාධිකාරී සමාගම් පද්ධතියම මිස අන් යමක් නොවෙයි.
මෙම මාධ්‍ය සමාගම්වල ආයතනික ව්‍යුහය කෙබඳු ද? ඒවා අනිකුත් ප්‍රධාන බල කේන්ද්‍රයන් වන ආණ්ඩු, අනිකුත් දැවැන්ත සමාගම්, විශ්වවිද්‍යාල ආදිය සමග ඍජු සබඳතා පවත්වන අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වන ඒවායි. ඒවා එකිනෙක වෙලී පවතිනවා. උදාහරණයක් ලෙස මෙම මාධ්‍ය සමාගම් ඒකාධිකාරී මතවාදයන් පවත්වා ගෙන යෑම සඳහා විශ්වවිද්‍යාල සමග ඉතා තදින් බැඳී කටයුතු කරනවා. උදාහරණයක් ලෙස හිතන්න ඔබට දකුණු අප්‍රිකාව පිළිබඳ ලිවීමට අවශ්‍ය වී තිබෙනවා කියා. එවිට ඔබ සිදු කරන්නේ හෝ ඔබට පැවරෙන්නේ මෙම බල කේන්ද්‍ර සමග සමීපයෙන් කටයුතු කරන ‘විශාල’ විශ්වවිද්‍යාලයක හෝ ‘පදනමක’ උදාහරණයක් Brookings Institute හෝ American Enterprise Institute වැනි හෝ බහුජාතික සමාගම් හෝ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් ඍජු මුදල් ප්‍රදාන ලබන ආයතන ‘විශේෂඥයකු’ මුණගැසීමයි. ඔහු ඔබට ලිවීමට හෝ කීමට අවශ්‍ය ‘වචන’ ලබා දෙනු ඇති. මෙම පරිබාහිර ආයතනවල ක්‍රියාකාරීත්වය මාධ්‍යවල ක්‍රියාකාරීත්වයට ඉතා ම සමීපයි.
අපි විශ්වවිද්‍යාල ගනිමු. ඒවා ස්වාධීන ආයතන තෙමෙයි. ඒවා තුළ තැනින් තැන ස්වාධීන පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිය හැකියි. එවැනි අය මාධ්‍ය ආයතන තුළ ද සමාගම් තුළ ද සුළු පිරිසක් සිටිය හැකියි. නමුත් ඒවා ආයතන ලෙස ගත් විට පරපෝෂිත ආයතනයි. ඒවා මුදල් ප්‍රදාන ලබන ආණ්ඩුවට (ආණ්ඩු මහා සමාගම්වල ම ආයතනයකි. මේ දෙක වෙන් කළ නොහැක.) හෝ ප්‍රදාන ලබා දෙන පුද්ගලයන්ගේ පුද්ගලික වත්කම්වලට හෝ ප්‍රදාන ලබා දෙන මහා සමාගම්වලට හෝ යටත් වන අතර ඒවා මත යැපෙන ඒවායි. ඒවායේ කටයුතු කරන අය ද මෙම ආයතනවල ව්‍යුහයට, මෙම සම්ප‍්‍රදායන්ට සිතන ආකාරයට අනුගත විය යුතු අතරම එය නිවැරදි යයි විශ්වාස කරන, කොටින් ම කියතොත් එය ‘ජීර්ණය’ කර ගත් අය විය යුතුයි. ඔබට එලෙස වීමට නොහැකි නම් ඔබට එම ආයතන තුළ සිටීමට ද නොහැකි වනු ඇත. මෙම ආයතනවලට අවශ්‍ය පුද්ගලයන් ළදරු පාසලේ සිට ඉහළට ම ගොඩනගන ක්‍රමවේදයක් තිබෙනවා. මෙම ‘ව්‍යූහය’, ‘ක‍්‍රමය’ පීඩනය කර ගත් පුද්ගලයන් ‘පෙරා ගැනීම’ වෙනුවෙන් පෙර පාසලේ සිට පාසල, සරසවිය වැනි විවිධ ආයතන තුළ ඇති කර ඇති ‘පෙරුම් උපකරණ’ (Filtering Devices) ප්‍රමාණය අතිවිශාලයි. ඒවා මගින් ඔබ බෙල්ල ළඟට ම හිර කරනු ලබන අතර ඔබගේ ස්වාධීන සිතීමේ ක්‍රියාවලිය වෙනස් කරනු ලබනවා. උසස් පාසල්වල ඉගනුම ලැබූ බොහෝ දෙනා දන්නවා, ඒවායේ අධ්‍යාපනය ඉතා ම බරපතළ ලෙස කීකරු භාවය හා අනුකූලතාව දක්වන ලෙස සිසුන් ශික්‍ෂණය කරනු ලබන බව. ඔබ එසේ කීකරු හා අනුකූලතාව නො දක්වන්නෙක් නම් ඔබ ‘ප්‍රශ්න ඇති කරන්නෙක්.’ මෙම ක‍්‍රමය විසින් ගොඩ නගා ඇති ‘පෙරුම් උපකරණ’ හරහා ගමන් කිරීමෙන් පසු එහි අවසානය වන්නේ ඉතා ම අවංකව ම පවතින බල ව්‍යූහයට කීකරු හා අවනත වන, එය ජීර්ණය වූ නිවැරදි යයි අවංකව ම විශ්වාස කරන, පවතින බල ව්‍යූහයේ ආකල්ප තම ආකල්ප බවට පත් කර ගත් පුද්ගලයෙක්. මෙම වරප්‍රසාදිත ස්ථරයේ ආයතන, ප්‍රින්ස්ටන් සරසවිය හා කුඩා පරිමාණයේ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් හැරුණු විට, සිසුන් පවතින බල ව්‍යූහය හා අනුකලනය කිරීම බරපතළ ලෙස අරමුණු කර ගෙන ක‍්‍රියාත්මකව වන ඒවායි. ඔබ හාවඞ් වැනි සරසවියක් ගත හොත්, එහි ඉගැන්වීම් ආචාරධර්ම නැමති සිසුන් හා ගුරුවරුන් ශික්‍ෂණය කිරීමේ ක්‍රියාවලියට ඉතා ම ඉහළ බරක් යොදා තිබෙනවා. එමගින් කරන්නේ, ඔබ ඉහළ පංතියේ නියෝජිතයන් මෙන් හැසිරීමටත් සිතීමටත් ඔබව ‘ශික්‍ෂණය’ කිරීමයි.
ඔබ 1940 ගණන්වල මැද භාගයේ දී පමණ ජෝර්ජ් ඔවෙල් විසින් රචිත Animal Farm නම් කෘතිය කියවා තිබේ ද? එය සෝවියට් පාලනය පිළිබඳ උපහාසාත්මක කෘතියක්. එය විශාල ප්‍රහාරයක් වුණා. බොහෝ දෙනා එය කියෙව්වා. නමුත් ඔහු එම කෘතියට ලියූ පෙරවදන එංගලන්තයේ තහනම් කරනු ලැබුවා. එය ලෝකයට දැන ගන්න ලැබුණේ ඉන් වසර 30 කට පසුවයි. කවුරුන් හෝ ඔහුගේ ලේඛන අතර තිබී එය සොයා ගෙන තිබුණා. Animal Farm කෘතියට ලියා තිබූ පෙරවදන වූයේ Literary Censorship in England (එංගලන්තයේ සාහිත්‍ය වාරණය) යන්නයි. සෝවියට් පාලනයේ සාහිත්‍ය වාරණයේ ඇති ගැටලූ පිළිබඳ ඔහු ලියූ පොතෙන් ම ඔහු ලියා තිබෙන්නේ එංගලන්තයේ ඇති සාහිත්‍ය වාරණයත් සෝවියට් දේශයේ ඇති වාරණයත් යන දෙකම අතිශයින් සමාන බවයි. සෝවියට් පාලනය මෙන් අපගේ බෙල්ල උඩ KGB නැති වුවත් සෝවියට් පාලනය අපගේ බෙල්ල අල්ලා ගත් ප‍්‍රතිඵලයම, එංගලන්තයේ දී එසේ බෙල්ලෙන් ඇල්ලීමෙන් තොරව ම ලැබෙනවා.
ඔබ ඔබෙන් අසා වී, මෙය මෙසේ වන්නේ ඇයි ද කියා. එයට ඇති පිළිතුර නම් මෙම මාධ්‍ය ආයතනවල ඉතා ම ඉහළ ධනවතුන්, මෙම සමාගම්වල පාලකයන් පොදු ජනතාවට යා යුතු හා නොයා යුතු ප්‍රවෘත්ති හා තොරතුරු මොනවා දැයි තීරණය කරනවා. ඔබ වරප්‍රසාදිත පංතියේ අධ්‍යාපන ක්‍රමයෙන් ඉගනුම ලබා ඇත්නම්, එම ඉහළ පාසල්වලින් ඔබ නො කිව යුතු ‘සමහර දේවල්’ පිළිබඳවත් කිසිසේත්ම නොසිතිය යුතු, එසේ සිතුව හොත් ‘වැරදි’ යැයි උගන්වනු ලැබූ ‘සමහර’ සිතුම් පැතුම් පිළිබඳවත් ඔබට ඒත්තු ගන්වනවා. මෙය තමයි, වරප්‍රසාදිත ‘අධ්‍යාපන’ ආයතන ඔබව ‘සමාජගත කිරීම’ යනුවෙන් හඳුන්වන්නේ සහ සිදු කරන්නේ. ඔබ එයට අනුකූල හා කීකරු නොවන්නේ නම් හා එය ජීර්ණය කර නොගන්නේ නම් ඔබ නියමයක් ලෙස ම මෙම පද්ධතියෙන් ඉවත් කරනු ලබනවා. මෙම වාක්‍ය කිහිපය මූලික කතාව අඩු වැඩි වශයෙන් පවසා තියෙනවා.
එසේ වුවත් ඔබ මාධ්‍ය විවේචනය කරද්දී ඔබ ප්‍රබල මාධ්‍යවේදියෙකු ලෙස ඇන්තනි කිවයිස් ලියා ඇති දෙයක් පිළිබඳව විවේචනය කළා යැයි සිතන්න. ඔහු විවේචනයක දී (ඔහුට ‘උඩින්’ බලපෑම් කරන බවට වූ විවේචනයන්) තදින් කෝප ගන්නවා. ඔහු ඉතා ම නිවැරදිව මෙසේ කියනවා. ‘‘මට කිසිදාක, කිසිවෙක් අරක ලියන්න මේක ලියන්න කියලා බලපෑම් කරල නැහැ. මම ලියන්නේ මම කැමති දේ. බලපෑම් හා සීමා කිරීම් හා නියෝග ලබා දීම් පිළිබඳව කියන මේ විවේචන සියල්ල ගණන් නොගත යුතු හිස් ප්‍රලාපයි. මොකද මා මෙතෙක් එවැනි පීඩනයක්, බලපෑමක් යටතේ ලියා නැති නිසා.’’ ඔහු මෙසේ කියන විට එය සම්පූර්ණ සත්‍යය පැවසීමක් විය හැකියි.
නමුත් ඔහු වැනි අය අද දරන තනතුරුවලට පත් වන්නේ ම, දිගු කලක් තිස්සේ අදාළ වරප්‍රසාදිත පුද්ගලයින් ‘නිවැරදි ‘යයි සිතන දේ, ඔවුන් කියන්නටත් පෙර තම සිතිවිලි දාමය කලින් ම නිවැරදි යයි පිළිගෙන ඒ ආකාරයට ලියා තමා ‘නිවැරදි සිතීමක්’ හා ‘නිවැරදි ලිවීමක්’ සහිත අය බව ඔප්පු කර පෙන්වා ඇති නිසයි. ඔහු වැනි අය ආරම්භයේ දීම ආධුනික ජනමාධ්‍යවේදියෙකු ලෙස, ප්‍රදේශීය පුවත්පතක වරප්‍රසාදිත පිරිස්වලට ‘වැරදි යයි’ සිතන දේ ලිව්වේ නම් අද ඔවුන් පත් වී තිබෙන ‘කැමති දෙයක් ලිවීමේ ඉඩකඩ ඇති තනතුරුවලට’ පත් වන්නේ නැහැ. මෙම කරුණ මේ ආකාරයට ම වගේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට ද අදාළයි. ඒවා තුළ ඇති ‘මතවාදී ශික්‍ෂණය’ (Ideological Discipline) මඟින් සිදු කරන්නේ වරප්‍රසාදිත සමාජය රැකීමට ගැල පෙන චින්තන ක්‍රියාවලියකට හුරු කිරීම හා සමාජ ගත කිරීමයි.
හොඳයි. මේ මුල් වරප්‍රසාදිත (මාධ්‍ය) ව්‍යූහය දිහා බලමු. එයට අනුව ප්‍රවෘත්ති කියන ස්වරූපය මොන වගේ විය යුතු ද? අපි New York Times පුවත් පත උදාහරණයකට ගෙන බලමු. එය නිෂ්පාදනයක් විකුණන සමාගමක්. එහි නිෂ්පාදනය එහි පාඨකයන්, එනම් ජනතාවයි. ඔබ ඔවුන්ගේ පුවත්පත මිල දී ගත් විට ඔවුන්ට ආදායමක් ලැබෙනවා. නමුත් ඔවුන් එම සම්පූර්ණ පුවත්පතම අන්තර්ජාලයේ නොමිලේ ම පළ කරනු ලබනවා. ඒ අනුව ප්‍රවෘත්ති (කඩදාසි ප්‍රමාණය) ඔවුන්ගේ ප්‍රධාන ආදායම නොවනවා වගේ. නැතිනම් මුළු පුවත්පතම නොමිලේ අන්තර්ජාලයේ පළ කරන්නේ නැහැ. එසේ නම් ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදනය, අලෙවි කරන භාණ්ඩ එහි පාඨකයනුයි. New York Times හි පාඨකයන් යනු වරප්‍රසාදිත පුද්ගලයනුයි. එමෙන්ම මේ පුවත්පතට ලිපි ලියන අයත් සමාජයේ ඉහළ තීරණ ගන්නා බලවත් පුද්ගලයන්. දැන් ඔබට New York Times සතුව ඇති භාණ්ඩය කුමක් ද කියා පැහැදිලියි. එය කියවන හා ලියන සමාජයේ ඉහළ වරප්‍රසාදිත, සමාජයේ තීරණ ගන්නා පුද්ගලයන්. ඔවුන් තමයි New York Times ඇත්ත නිෂ්පාදනය. මෙතැනට තමයි වෙළඳ ප්‍රචාරණය සම්බන්ධ වෙන්නෙ. ඒ අනුව New York Times පුවත්පතේ විශාල මිලක් ගෙවා වෙළඳ දැන්වීම් පළ කිරීමේ දී New York Times පුවත්පත අදාළ සමාගමට අලෙවි කරන්නේ ඔවුන් සතු පාඨකයන්වයි. ඔවුන්ගේ නිෂ්පාදනය හා අලෙවිකරණ ප්‍රධාන භාණ්ඩය එයයි. මෙය වෙනත් මාධ්‍යයකටත් එලෙස ම අදාළයි. සැබවින්ම සිදු වන්නේ, සමාගමක් විසින් තවත් සමාගමකට තම පාඨකයන් (ජනතාව) විකිණීමයි. අධිපති මාධ්‍ය යනු මෙයයි. මෙය විශාල වාණිජ ව්‍යාපාරයක්.
හොඳයි. ඔබ බලාපොරොත්තු වන්නේ මාධ්‍ය නිෂ්පාදනය (ප්‍රවෘත්ති, විශේෂාංග) ගේ ස්වාභාවයන් කොයි ආකාර වෙයි කියල ද?
මාධ්‍යයක පළ වෙන දේ හෝ පළ නොවන දේ හෝ එය පළ කරන, ඉදිරිපත් කරන විදිය හෝ තීරණය වන්නේ මිල දී ගන්නන්ගේත් එය අලෙවි කරන්නන්ගේත් ආයතනවල, එය වටා ඇති බල පද්ධතියේ අවශ්‍යතාව හා උවමනාවත් අනුවයි. එය එසේ නොවේ නම්, එසේ නොවන බව කවුරුන් හෝ කියත්නම් එය ආශ්චර්යයක්, අභව්‍ය යමක් විය යුතුයි.
ඔබ ඊළඟට මෙම විෂයයෙහි අනාවරණය කර ගන්නා ඊළඟ කරුණ වන්නේ, එහි බලපවත්වන ‘තහනම්’ විෂයයි. ඔබ ආණ්ඩුවේ හෝ ස්ටැන්ෆොර්ඞ් හි කෙනඩි අධ්‍යාපන ආයතනයට හෝ එවැනි ආයතනයකට ඇතුල් වි එහි ජනමාධ්‍යවේදය හෝ සන්නිවේදනය හෝ ශාස්ත්‍රීය දේශපාලන විද්‍යාව හෝ හැදෑරුව හොත් ඔබට ඒවාහි දී කිසි දා හමු නොවන, කිසි දා උගන්වනු නො ලබන විෂයන් හා ප්‍රශ්න ප‍්‍රමාණයක් වෙයි. එහි උපකල්පනයක් වෙයි. එය ඔබ දකින ඕනෑම දෙයක් විවෘතව ප්‍රකාශ නොකළ යුතු බවත් සාධක හා සාක්‍ෂි දන්නවා වුවත් ඒ සියල්ල සාකච්ඡා නොකළ යුතු බවත් ය. ඔබ එහි ආයතනික ව්‍යුහය දෙස බැලූවහොත් යමෙකුට දන්නා සියල්ල හෙළිදරව් කිරීමටත් සියල්ල හොඳින් සිදු වෙද්දී ඒවා පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක් කිරීමටත් ඇති අවශ්‍යතාවය කුමක් ද යන්නත් පිළිබඳ ප්‍රශ්නයත් ඔවුන් නඟනු ඇත. ඒ අනුව මෙම ආයතන විසින් එලෙස දන්නා සියල්ල ප්‍රකාශ කිරීමට හෝ විවේචනාත්මක විශ්ලේෂණයන් කිරීමට ඉඩ දෙනු නො ලැබේ. මෙය අරමුණු සහගත වාරණයයි. මෙම ‘අරමුණු සහගත වාරණය’ ඔබ පිළිනොගන්නේ නම් ඔබ දැනට එම ආයතනවල දරන ඉහළ තනතුරුවලට ඔබ පත් නොවනු ඇත. මෙම තත්වය දක්ෂිණාංශික හා වාමාංශික ආයතන වර්ග දෙකට ම පොදු ය. ඒ අනුව ඔබ තුළ දෙවන පෙළ උපකල්පනයක් තහවුරු වන අතර එය නම් ඉහත සඳහන් කළ ආකාරයේ ‘අරමුණු සහගත වාරණයට’ ලක් වූ, ‘සාකච්ඡා කිරීමට ඉඩ නැති’ කරුණු ප‍්‍රමාණයක් මූලික වශයෙන් ම ඇති බවයි. (උදාහරණයක් ලෙස හමුදාව වැනි ආයතනයක සිතීමේ හා ප්‍රකාශ කිරීමේ ඉඩකඩ පිළිබඳ පවතින ස්වභාව සිහියට නගාගන්න.*
මෙය නිරීක්‍ෂණය කළ හැකි ප්‍රධාන ධාරා 03 ක් තිබෙනවා. පළමුවැන්න ප්‍රචාරණ කර්මාන්තයයි. (මෙය මහජන සබඳතා කර්මාන්තය ලෙස ද හැඳින්වෙනවා* දෙවැනි ධාරාව වන්නේ, මහජනතාවට මත පළ කරන ප්‍රධාන පෙළේ බුද්ධිමතුන් ‘විශාල’ චින්තකයන්, ජනතාවට ‘මතවාදී අධ්‍යාපනය’ ලබා දීමේ අරමුණින් ලියන ලේඛකයන්. ඔවුන් නිතරම ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යාපාර ආදිය පිළිබඳ ඉතා ම බලපෑම් සහගත පොත් පත් ලියනවා. තෙවෙන ධාරාව වන්නේ අධ්‍යාපන ආයතනයි. විශේෂයෙන්ම සන්නිවේදනය, ප්‍රචාරණය වැනි පසුගිය වසර 70/80 තිස්සේ දේශපාලන විද්‍යාවේ ම කොටසක් ලෙස සාකච්ඡා කරන විෂය කරුණු පිළිබඳ දෙපාර්තමේන්තු හා ආයතනයි.
මේ ධාරා තුන දිහා බැලූවහොත් ඒවායේ ප්‍රධාන චරිත පොදුවේ නිතරම ලියා තියෙන දෙයක් නම් ‘‘සාමාන්‍ය ජනතාව යනු නූගත් හා අදාළ නැති දෙයට ඇඟිලි ගසන පිටස්තරයන් පිරිසක්’’ යන්නයි. අප විසින් කළ යුත්තේ, ‘‘ඔවුන් පොදුවේ වෙළා ගත් සමාජීය කරුණුවලින් ඉවත් කොට තැබීම’ ’යි. ‘‘එසේ නොමැති වුවහොත් ඉතා ම අඥාන පිරිසක් වන මොවුන් සෑම දෙයට ම මැදිහත් වී සෑම දෙයම අවුල් ජාලාවක් කරනු ඇත.’’
පොදු ජනතාවගේ කාර්යය ‘ප්‍රේක්ෂකයින්’ ලෙස කටයුතු කිරීම විනා ‘සහභාගි වන්නන්’ ලෙස කටයුතු කිරීම නොවෙයි. ඔවුන් සෑම කෙනෙකුට ම කලකට වරක් ‘අප අතරින්’ (එනම් වරප්‍රසාදිත සියලු කටයුතු ගැන දන්නා) එක් අයෙක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන අතර එසේ තෝරා ගැනීමෙන් පසු ඔවුන් පාපන්දු තරග නැරඹීම හෝ එවැනි ආකාරයේ ඔවුන්ට කැමති කටයුතු පමණක් සිදු කළ යුතු අතර සමාජය පාලනය, ආරක්‍ෂාව වැනි කටයුතු ‘අපට’ බාර දිය යුතුයි. මෙම නූගත්, සෑම දෙයකට ම ඇඟිලි ගැසීමට කැමති පිටස්තරයන් නිරීක්‍ෂකයන් මිස සහ කරුවන්, සහභාගි වන්නන් නොවිය යුතුයි. ‘සහභාගි වන්නන්’, ‘වගකිය යුතු මිනිසුන්’ (Responsible men) වන අතර ඔවුන් සෑම විටම එසේ හැඳින්වෙනවා. නමුත් ඔබ ‘වගකිවයුතු මිනිසෙක්’ වන විට තවකෙක් එසේ නොවන්නේ ඇයි ද? යන ප්‍රශ්නය ඔබ ඇතුළු කිසිවෙක් අසන්නේ නැහැ. මන්ද යත් ඔබ බල පද්ධතියක් විසින් කීකරු හා ශික්‍ෂණය කර ගත්, එයට ඈඳා ගත් පුද්ගලයන් වන නිසා හා අනෙක් කෙනා (සාමාන්‍ය ජනතා) එසේ නොවන ස්වාධීන (ඉහත ශික්‍ෂණ ක්‍රියාවලියට ලක් නොවූ) අය නිසායි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා ම දැඩි ඉගැන්වීමක් වන්නේ, ‘‘මිනිසා තම උවමනාවන් හා අවශ්‍යතාවයන්ගේ ස්වාමියා’’ බවයි. නමුත් මෙම බල ව්‍යුහයන්, මෙම ආයතන එම මූලධර්මය පිළි නො ගනියි. ඔවුන්ට අනුව ‘‘මිනිසා තම උවමනාවන්ගේ ස්වාමියා’’ නොවේ. ‘අප’ (වරප්‍රසාදිත ඉහත ආයතනවලින් ශික්‍ෂණය කළ* විසින් ඔවුන් වෙනුවෙන් එය කළ යුතු වෙයි.
එක්සත් ජනපදය විශාල බල කේන්ද්‍රයක් බවට විකාශනය වූයේ කෙසේ ද? එය රසවත් ඉතිහාස කතාවක්. එය පළමු ලෝක යුද්ධයෙන් පසුව දිග හැරීමට පටන් ගත් කතාවක්. එය ලෝකය තුළ එක්සත් ජනපදයේ ස්ථානය සැලකිය යුතු ලෙස වෙනස් කළා. 18 වන ශතවර්ෂය තුළ දීත් එය ලෝකයේ ධනවත් ම රාජ්‍යය බවට පත්වී තිබුණා. එදා ඇමරිකා එක්සත් ජනපදයේ තිබූ ජීවන මට්ටම, සෞඛ්‍යය හා ආයු අපේක්‍ෂා කාලය වැනි ඉහළ මට්ටමක් අත්පත් කර ගැනීමට බ්‍රිතාන්‍යයේ ඉහළ පංතිවල ජනයාට 20 වන සියවසේ මුල් දශකය වන තෙක් ම නොහැකි වුණා. එමෙන්ම එම ජීවන මට්ටම තිබූ ලොව වෙනත් කිසිදු රටක ද තිබුණේ නැහැ. එක්සත් ජනපදය එවකට අතිශයින් ධනවත්, අතිශය විශාල වාසිදායක සංවර්ධනයක් වෙත අවස්ථාව තිබූ, 19 සියවස වන විට ද ලොව විශාලතම ආර්ථිකය වී තිබූ රටයි. එහෙත් එක්සත් ජනපදයට ලෝක පරිමාණයෙන් විශාල බලයක් තිබුණේ නැහැ. එක්සත් ජනපදයේ බලය කැරිබියන් දූපත්වලටත් ඒ ආසන්නයේ කුඩා ප්‍රදේශ කිහිපයකටත් පමණක් සීමා වුණා.
නමුත් පළමු ලෝක යුද්ධය තුළ දී ලෝකයේ දේශපාලන සබඳතා වෙනස් වුණා. දෙවන ලෝක යුද්ධයේ දී එය නාටකීය ආකාරයකින් විශාල වේගයකින් වෙනස් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය අඩු වැඩි වශයෙන් ලෝකයේ ප්‍රමුඛයා බවට පත් වුණා. පළමු ලෝක යුද්ධය තුළ දී එක්සත් ජනපදය ණය ගනු ලබන රටක තත්ත්වයේ සිට ණය දෙනු ලබන රටක් බවට පත් වුණා. එය බ්‍රිතාන්‍යය තරම් අතිවිශාල ප‍්‍රමාණයක් නොවූවත් එක්සත් ජනපදය ලෝකය තුළ ප්‍රධාන පෙළේ භූමිකාවක් ඉටු කරන රටක් බවට පත් කළා. එය එක් වෙනසක් වන අතර එයට අමතර වෙනස් වෙනස්කම් ද සිදු වුණා.
ලොව ප්‍රථම වතාවට ඉතා ම සංවිධානාත්මක රාජ්‍ය ප්‍රචාරණ යන්ත්‍රණයක් ක‍්‍රියාත්මකව වූණේ පළමු ලෝක යුද්ධය තුළ දී යි. බ්‍රිතාන්‍යය සතුව තොරතුරු අමාත්‍යාංශයක් තිබූ අතර එය ඔවුන්ට බලවත් ලෙස අවශ්‍ය වූයේ, ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට ඈඳා ගැනීමේ උවමනාව නිසා වෙනුයි. බ්‍රිතාන්‍යය තොරතුරු හා සන්නිවේදන අමාත්‍යාංශය විශාල ප්‍රචාරණයක් ගෙන ගිය අතර එයට විශාල ලෙස ගොතන ලද කතා හා ප්‍රවෘත්ති ද මඩ ගැසීම් ද අයත් වුණා. ඔවුන් විශාල වශයෙන් ඇමරිකානු බුද්ධිමතුන් ඉලක්ක කළ අතර ඔවුන් පහසුවෙන් රැවටෙන හා ප්‍රචාරණය විශ්වාස කරන අයයි යන හේතු සහගත උපකල්පනයන් ද බ්‍රිතාන්‍යය අමාත්‍යාංශයට තිබුණා. ඔවුන්ගේ ප්‍රචාරණය ප්‍රධාන වශයෙන් ඇමරිකානු බුද්ධිමතුන් ඉලක්ක කළාක් මෙන් ම එය සාර්ථක ප්‍රතිඵල අත් කර දුන්නා. බ්‍රිතාන්‍යය තොරතුරු අමාත්‍යාංශය මඟින් පසුකාලීන ව නිකුත් කර ඇති අතිවිශාල ප‍්‍රමාණයක් වූ රහස්‍ය ලිපි ලේඛන අනුව ඔවුන්ගේ ප්‍රචාරණයේ ප්‍රධාන අරමුණ ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයට ඈඳා ගැනීම බවත්, ද්විතීක අරමුණ ලෙස පොදුවේ අනිත් රටවලටත් බ්‍රිතාන්‍යයටත් වාසිදායක අයුරින් යුධ තොරතුරු වාරණය කිරීම බවත් සඳහන් වී තිබෙනවා. බ්‍රිතාන්‍යය තොරතුරු අමාත්‍යාංශයේ ලේඛන පසුව වාර්තා කරන අන්දමට ඔවුන් තමන්ගේ කාර්යයේ සාර්ථක ප්‍රතිඵල ගැන අතිශය තෘප්තිමත් බවත් ඇමරිකානු බුද්ධිමතුන් යුද්ධයට පෙළඹවීම තම ප්‍රචාරණයේ ප‍්‍රධානම මඟක් ගත් බවත් සඳහන් කරනවා. ඇමරිකා එක්සත් ජනපදය පළමු ලෝක යුද්ධයට ඈඳා ගැනීම නිසා බ්‍රිතාන්‍යය පළමු ලෝක යුද්ධය තුළ ජයග්‍රාහී රාජ්‍යයක් ලෙස තම ස්ථානය අත්පත් කර ගත් අතර ජීවිත දහස් ගණනක් ද බේරා ගැනීමට හැකි විය.
බ්‍රිතාන්‍ය තොරතුරු අමාත්‍යාංශය සිය ප්‍රචාරණ කටයුතුවලින් එක්සත් ජනපදය ඉලක්ක කරමින් තිබිය දී ඇමරිකා එක්සත් ජනපදයේ වූයේ යුධ විරෝධී ජන මනෝභාවයක්. 1916 දී වුඩ්රෝ විල්සන් ඇමරිකාවේ ජනාධිපති වූයේ යුධ විරෝධී දේශපාලන ප‍්‍රචාරණයන් තුළින්. රට සම්පූර්ණයෙන්ම වාගේ යුධ විරෝධී හා අක්‍රිය ජන විඥානයන්ගෙන් යුක්ත වූ අතර විදේශ යුද්ධවලට දායක වීම ජනතාව ප්‍රතික්ෂේප කළා. Peace without War සටන් පාඨය සමාජයේ ආදර්ශ පාඨය වුණා. වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයාට යුද්ධයට යාම අවශ්‍ය වුවත් එය පහසු වූණේ නැහැ. ප්‍රශ්නය වූයේ, ඉතා ම යුධ විරෝධී අක්‍රිය ජනතාවක් ජර්මන් විරෝධි හා ජර්මානුවන් මරා දැමීමට සූදානම් පිරිසක් බවට පත් කර ගත්තේ කෙසේ ද යන්නයි. ප්‍රචාරණය අවශ්‍ය වූයේ, එම ප්‍රශ්නය විසඳා ගැනීමටයි. ඒ සඳහා එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රථම හා ප‍්‍රධානම රාජ්‍ය ප්‍රචාරණ ආයතනය ආරම්භ කෙරුණා. එහි නම වූයේ මහජන තොරතුරු කොමිසම හෙවත් ක්‍රීල් කොමිසම Creel Commission යන්නයි. මෙම කොමිසමේ ප්‍රධානියා වූයේ ක්‍රීල් නැමැත්තෙකු නිසා එයට එම නම පට බැඳුණා. එයට පැවරුණු වගකීම වූයේ, ජනතාව තුළ නොමනා හා නුසුදුසු මට්ටමේම දේශානුරාගයක් මතු කිරීම මඟින් දේශප්‍රේමය පිළිබඳ උන්මාදයකට පත් කිරීමයි. කොමිසමේ කටයුතු පුදුම සහගත සාර්ථක බවක් ලැබුවා. මාස කිහිපයක් ඇතුළත ජනතාව තුළ යුද වාදී උන්මාදයක් ඇති කෙරුණු අතර මාස කිහිපයකින් එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ වුණා.
මෙම ප්‍රචාරණ මෙහෙයුමෙන් ලොව ප්‍රධාන පෙළේ පුද්ගලයන් ඇතුළු බොහෝ දෙනෙක් එය වශී වුණා. හිට්ලර් ඉන් එක් අයෙක්. හිට්ලර්ගේ ජීවිත කතාව අඩංගු ස්වයං චරිතාපදානයක් වන Main Kampf කෘතියේ ඔහු සැලකිය යුතු තර්කානුකූල භාවයක් සහිත ව නිගමන කරන්නේ පළමු ලෝක යුද්ධය ජර්මනිය පරාජය වූයේ ජර්මනිය විසින් ප්‍රචාරක යුද්ධය පැරදීම නිසා බවයි. ජර්මනියට, බ්‍රිතාන්‍යයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ යුධ ප්‍රචාරණ යන්ත්‍රය පරාජය කිරීමට නොහැකි වූ අතර එය ඉතා දැවැන්ත වුණා. එම කෘතියේ දීම හිට්ලර් විසින් ඊළඟ යුද්ධයේ දී ජර්මනිය විසින් එයට ම අදාළ ප්‍රචාරණ යන්ත්‍රණයක් ඇති කරන බවට සහතික කළ අතර දෙවන ලෝක යුද්ධයේ දී ඔහු එය මනාව සිදු කළා. ප්‍රචාරණයේ හැකියාව පිළිබඳව ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික ප්‍රජාව තදින් වශී කෘත වී සිටියා. රට ප‍්‍රජාතන්ත‍්‍රකරණය වෙමින් පැවති අතරම විශාල පිරිසකට ඡුන්දය දීමේ අයිතිය ලැබී තිබුණා. එමෙන්ම රටේ බොහෝ කටයුතුවලට ජනතාවගෙන් වැඩි කොටසකට සහභාගි වීමට හැකි වූ අතරම විශාල වශයෙන් සංක්‍රමණිකයන් රටට ගලා ගෙන ආවා.
එනිසා ඔබ කළ යුත්තේ කුමක් ද? තවදුරටත් රට පුද්ගලික සමිතියක් ලෙස පාලනය කළ නොහැකි වුණා. එම නිසාම ඔබට ජනතාව සිතන පතන ආකාරය පිළිබඳ සිතා බැලීමට සිදු වෙනවා. එය ඔබට බලපානු ලබනවා. ඒ වන විටත් එක්සත් ජනපදයේ මහජන සබඳතා කර්මාන්තයක් (ප්‍රචාරක කර්මාන්තයක්* තිබුණේ නැහැ. උදාහරණයක් ලෙස රොකෆෙලර්ගේ ප්‍රතිරූපය වඩා ප්‍රසන්න හා බලවත් ලෙස ගොඩ නැංවීමට ප්‍රචාරක විශේෂඥයන් බඳවා ගෙන තිබූ නමුත් එය කර්මාන්තයක් දක්වා වර්ධනය වී තිබුණේ නැහැ. නමුත් පළමු ලෝක යුද්ධය අවසන් වන විට, එක්සත් ජනපදය විසින් මෙම අති භයානක, නරුම කර්මාන්තය සොයා ගෙන තිබුණා. මෙම ප්‍රචාරණ කර්මාන්තයේ නායකයන්, ප්‍රමුඛයන් වූයේ ක්‍රීල් කොමිසමේ සාමාජිකයන්. මෙම කොමිසමේ ප්‍රධානියෙකු වූ එඩ්වඩ් බර්නාස් කොමිසමෙන් ඉවත්ව පැමිණ අතර ඔහු විසින් ප්‍රථම වරට ප්‍රචාරණය පිළිබඳ Propaganda නමින් කෘතියක් ලියා පළ කළා. ඒ යුගය තුළ දී Propaganda යන වචනයට අද මෙන් ඍණාත්මක අදහසක් සමාජය තුළ ඇති වී තිබුණේ නැහැ. Propaganda යන වචනයට නරක, ඍණාත්මක තේරුමක් ඇති වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව වන අතර එයට බලපෑවේ ජර්මන් ප්‍රචාරණ යාන්ත‍්‍රණය සමඟ මෙම Propaganda යන ඈඳී තිබීමයි. ජර්මනිය සම්බන්ධ සෑම දෙයක් ම නරක දේවල් කර තිබූ නිසා Propaganda යන වචනය ද ‘නරක දෙයක්’ වුණා. නමුත් එඩ්වඩ් බර්නාස් විසින් තම කෘතිය ලියූ 1925 කාලය වන විට Propaganda යන්නෙහි තේරුම තොරතුරු ලබා දීම වැනි දෙයකට පමණක් සීමා වී තිබුණා. ඔහු පොත ලියුවේ පළමු ලෝක යුද්ධයේ දී භාවිතා කරන ලද ප්‍රචාරක අභ්‍යාස හා මූලධර්ම ගැන සඳහන් කරමින්. ඔහු එම කෘතියේ සඳහන් කළේ ‘‘හමුදා රෙජිමේන්තුවක් සංවිධානය කරන ආකාරයට ම පොදු ජන මනස ද හැකි සෑම දෙයක් ම යොදා ගෙන ‘රෙජිමේන්තු කරණය’ (Regimentation of minds කළ හැකි’’ බවයි. ‘මනස රෙජිමේන්තු කරණය’ පිළිබඳ නව තාක්ෂණික ක‍්‍රමවේදයන් බුද්ධිමත් අය විසින් නිවැරදි දේ සඳහා යෙදවිය යුතු බව ඔහුගේ යෝජනාව වුවත් ඔහු ම ඊට විරුද්ධ භාවිතයකට දායක වුණා. ප්‍රචාරණයේ ‘ගුරු’ ලෙස හැඳින්වුණු ඔහු දේශපාලන වශයෙන් රූස්වෙල්ට්/කෙනඩි යන අයගේ දේශපාලන අදහස් දැරූවෙකු වුණා. ඇමරිකා එක්සත් ජනපදය, ගෝතමාලාවේ ප්‍රගතිශීලි ආණ්ඩුව පෙරළා දැමීමේ CIA කුමන්ත්‍රණයේ මහජන මතය සකස් කිරීමේ ප්‍රචාරණ ව්‍යාපෘතිය බාරව කටයුතු කළේද ඔහුයි.
ඔහුගේ තවත් ප්‍රධාන ‘කුමන්ත්‍රණයක්’ වන්නේ පළමු වතාවට කාන්තාවක් දුම් බොන දර්ශනයක් යොදා ගැනීමයි. 1920 වැනි වකවානුවේ කාන්තාව දුම් පානය නොකළ අතර ඔහු විසින් කාන්තාවන් යොදා ගැනීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් අතරම ඔහු Chesterfield දුම් කොළ සමාගම වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළා. ඔහුගේ මෙම කුමන්ත්‍රණකාරී තාක්ෂණික උපක්‍රමය ඉන් පසුව පැමිණි බොහෝ චිත්‍රපටවල නළු නිළියන්ගේ තොළ අග සිගරැට්ටු රැඳවීමට තරම් ප්‍රබල වුණා. ඔහුගේ ඉගැන්වීම් හා අභ්‍යාසයන් ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ ඔහුට ඉමහත් කීර්තියක් ගෙන දුන් අතර ඔහුගේ කෘතිය ප්‍රචාරණ ක්ෂේත්‍රය මුල් පොත බවට ද පත් වුණා.
ක්‍රීල් කොමිසමේ තවත් සාමාජිකයෙකු වූයේ වෝල්ටර් ලිප්මාන්. ඇමරිකානු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ශතවර්ෂ අඩකට වඩා වැඩි කාලයක් වඩාත් ම ගෞරවනීය පුද්ගලයා ලෙස සැලකිල්ලට ලක් වූයේ ලිප්මාන්. ඔහු ද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රගතිශීලී ලිපිලේඛන සම්පාදනය කළා. ඔහුගේ ලිපි 1920 ගණන්වල දී ප්‍රගතිශීලි ඒවා ලෙස සැලකුණා. ඔහු ද ප්‍රචාරණ කටයුතු සඳහා විවිධ ක‍්‍රමවේදයන්, තාක්‍ෂණයන් අසීමිතව යොදා ගත්තා. ඔහු ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ නව කලාවක් නිර්මාණය වී ඇති බවත් එහි නම ‘‘කැමැත්ත නිෂ්පාදනය කිරීම’’ Manufacturing the Consent බවයි. එඩ්වඩ් හර්මාන් සහ මම (චොම්ස්කි) මෙම කියමන අපගේ කෘතිවලට යොදා ගත්තා. නමුත් එය මුලින් ම ලීවේ ලිප්මාන්. (දැන් අධිරාජ්‍යවාදය ‘අකමැත්ත ‘ද නිෂ්පාදනය කරයි- එකතු කිරීම අපෙනි) ඔහු මෙම කාර්යය හැඳින්වූවේ, ප්‍රජාතන්ත්‍රවාදයේ නව කලාවක් ලෙසයි. එය ‘‘කැමැත්ත නිෂ්පාදනය කිරීමේ කලාවයි.’’ ‘‘කැමැත්ත නිෂ්පාදනය කිරීමෙන්’’ ඔබට, බොහෝ දෙනෙකුට ඡන්ද අයිතිය ලැබීමෙන් සිදු විය හැකි අර්බුද ඉක්මවිය හැකියි. මෙම විවිධ පුද්ගලයන් අතිවිශාල ගණනක්, විවිධ අදහස් ඇතිව කටයුතු කිරීම ‘කැමැත්ත නිපදවීම’ මඟින් නිෂේධනය කළ හැකි වන අතර ඔවුන් නිල වශයෙන් වෙන වෙනම මැතිවරණවල දී ඡුන්දය දීමට ගිය ද ඔවුන්ගේ තෝරා ගැනීම්, ආකල්ප, අවශ්‍යතා ඔවුන්ගේ චින්තනය යළි ව්‍යුහගත කිරීම මඟින් ‘අපට’ අවශ්‍ය ලෙස සකස් කර ගත හැකි නිසා ඔවුන්ට ‘අපෙන් කෙනෙක්’ තෝරා ගැනීමට සිදුවේ. ඒ අනුව අපට ‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක්’ ලැබේ. එය ප්‍රචාරණ ආයතනවල උපදෙස් හා ඉගැන්වීම් මත කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදයකි.
ශාස්ත්‍රීය සමාජ විද්‍යා හා දේශපාලන විද්‍යාව උගන්වනු ලබන ආයතනවල තත්වය මේ ආකාරයමයි. සන්නිවේදන විද්‍යාවේ හා ශාස්ත්‍රීය දේශපාලන විද්‍යාවේ ආරම්භකයා හැරල්ඞ් ග්ලාස්වෙල් (Harold Glasswell) . ඔහුගේ ප‍්‍රධානම ශාස්ත්‍රීය සාධකය වූයේ, ප්‍රචාරණය පිළිබඳ ලියවූ කෘතියක්. ඔහු ඉතා ම නිහතමානී ව සඳහන් කරන්නේ, මා විසින් ඉහත දී උපුටා දැක්වූ දේවල් – ආධාන ග‍්‍රාහත්වය යටතට නොව, ඒවා ශාස්ත්‍රය දේශපාලන විද්‍යාවට අයත් ඒවා බවයි. නැවතත් යුධ සමයේ අත්දැකීම් අනුවත්, දේශපාලන පක්‍ෂවල අත්දැකීම් අනුවත්, විශේෂයෙන්ම එංගලන්තයේ දක්ෂිණාංශික පක්‍ෂය Conservative Party විසින් මෑතක දී නිකුත් කරන ඔවුන්ගේ පැරණි ලිපි ලේඛන අනුව ද, ඔවුන් විසින් ද බ්‍රිතාන්‍යයේ තොරතුරු අමාත්‍යාංශයේ කාර්ය සාධනයන් ඉහළින් පිළිගෙන තිබෙනවා. රට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සිතුම් පැතුම් අනුව පුද්ගලික සමිතියක් ලෙස පාලනය කිරීම නැවතී, රට වඩා ‘ප්‍රජාතන්ත්‍රවාදී’ වීමක් යුධ සමයේ ප්‍රචාරණය නිසා සිදු වූ බවත් දේශපාලනය දේශපාලන සංග්‍රාමයක් බවත් ඒ අනුව දේශපාලනයට ප්‍රචාරණ ක්ෂේත්‍රයේ තාක්‍ෂණයන් හා ක‍්‍රමවේදයන් යොදාගැනීම මඟින් පළමු ලෝක යුද්ධයේ දී ජනතාවගේ සිතුම් පැතුම් ඉතා ම විශිෂ්ට ලෙස පාලනය කිරීමට හැකි වූ බවත් ඔවුන්ගේ පිළිගැනීමයි.
මෙම මතවාදී දෘෂ්ටිය, මෙම ඒකාධිකාරී දැක්ම තිබෙන ආයතන ව්‍යුහය සමග ද හොඳින් ම සමපාත වෙනවා. එය, කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව කරනු ලැබ ඇති උපකල්පනයන් (වරප්‍රසාදිත කොටස්) තවත් ශක්තිමත් කරනවා. මෙම උපකල්පනයන් තවත් වටයකින් ස්ථිර කිරීම ද මෙමඟින් සිදු වෙනවා. නමුත් මෙම තීරණයන් බොහොමයක් සාකච්ඡා කර ගනු ලබන ඒවා නොවෙයි. මෙය ප්‍රධාන ලේඛන ධාරාවේ ලක්‍ෂණයන් වන අතර ඒවා සාකච්ඡා කිරීම හෝ ඒවායේ තීරණවලට හේතු දැන ගත හැකි වන්නේ, ඒවා ‘ඇතුළත’ සිටින, ඒවාට ‘ශික්‍ෂණය’ වූ අයට ම පමණයි. ඔබ ඒ පිළිබඳව විමසුව හොත් පොදු ජන මනස පාලනය කිරීම පිළිබඳ ලියැවී ඇති ශාස්ත්‍රය ලේඛන ඔබට කියවීමට ලැබෙන්නේ නැහැ.
එය හරියටම ව්‍යවස්ථා සම්පාදක සමුළුවේ දී ජේම්ස් මැඩ්සන් (James Madson ) විසින් ප්‍රකාශ කළ ‘‘නව ව්‍යවස්ථාව සුළුතර ධනවත ආඪ්‍ය පිරිස, බහුතරයෙන් ආරක්‍ෂා කර ගත හැකි පරිදි සැකසිය යුතු හා අවසානයේ එම ප‍්‍රතිඵලයම අත්පත් කර ගත හැකි පරිදි සැකසිය යුතු ය’’ යන්න ඔබට කියවීමට නො ලැබෙනවා වගෙයි. මෙය ලෝකයේ ම ව්‍යවස්ථා සම්පාදන කටයුත්තේ ප්‍රාරම්භක අවස්ථාවයි. එම නිසා කිසිවෙක් එහි දී ජේම්ස් මැඩිසන් කියූ දේ පිළිබඳ අධ්‍යයනයට පෙලඹෙන්නේ නැහැ. (එයට වඩා ව්‍යවස්ථා සම්පාදනය වැදගත් බව හැඟෙන නිසා – සංස්කාරක* ඔබ එවැනි කරුණු ගැඹුරින් හදාරන්නේ නැතිව සමාජය කියවීමට තබා හොඳ ශාස්ත්‍රඥයෙක් හෝ වීමට බැහැ.
මා සිතන හා දකින ආකාරයට දළ වශයෙන් පින්තූරය මේ පරිදියි. මෙම ක‍්‍රමය රකින, තහවුරු කරන ආයතන හා අධිරාජ්‍යවාදී සාව මතවාදී හුයකින් බැඳී තිබෙනවා. අනෙක් අතට එනම් තවත් කොටසක් ‘‘අඥාන අදාළ නැති දෙයට ඇඟිලි ගසන පිටස්තරයන්’’ (ජනතාව* මෙහෙයවීමට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට එය එක් හෝ තවත් දෙයකින් අවධානය වෙනස් කිරීම සිදු කරනවා. මේ තත්වය යටතේ ඔබට දකින්නට – අසන්නට ලැබෙන ඒවායේ ස්වභාවය පිළිබඳ මූලික උපකල්පිතයන් දැන් ඔබට ඇති කර ගත හැකි යැයි මම විශ්වාස කරනවා.
සංස්කාරක සටහන් – අදහස පැහැදිලි වීම සඳහා අත්‍යවශ්‍ය තැනක පමණක් කෙටි එකතු කිරීම් කර ඇත.
පාදක සටහන්
1. San Jose Mercury News
2. ජෝර්ජ් ඔවෙල් සහ Animal Farm කෘතිය
3. එංගලන්තයේ මාධ්‍ය වාරණය
4. ජේමිස් මැඩිසන්
1. San Jose Mercury News පුවත්පතේ සිදුවීම යනු ඇමරිකානු මාධ්‍ය ඉතිහාසයේ තවත් කළු පැල්ලමකි. San Jose Mercury News පුවත්පතේ සේවය කළ ගැරී වෙබ් නැමති විමර්ශනාත්මක මාධ්‍යවේදියා විසින් නිකරගුවාවේ සමාජවාදී පාලනය බිඳ දැමීමට CIA සංවිධානය විසින් ගොඩනගා නඩත්තු කළ කොන්ට‍්‍රා කැරලිකරුවන් පිළිබඳවත් විශේෂයෙන්ම CIA සංවිධානයේ ද අනුදැනුම හා අවබෝධය මත ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය ඇතුළු නගරවලට මෙම කොන්ට‍්‍රා කැරලිකරුවන් මඟින් කොකේන් මත් ද්‍රව්‍ය නැව් ගත කළ ආකාරය පිළිබඳවත් Dark Alliance (අඳුරු සන්ධානය) නමින් ලිපි පෙළක් ලියන ලදී. එමගින් නිශ්චිතව රේගෙන් පාලනය හා CIA සංවිධානය, කොන්ට‍්‍රා කැරලිකරුවන්ගේ මත් ද්‍රව්‍ය ජාවාරමට උදව් කළ ආකාරය විශාල ලෙස තහවුරු කර තිබුණි. මෙය රේගෙන් පාලනයට එරෙහි විශාල ජනමතයක් ගොඩ නැංවීය. නමුත් අවසානයේ දී සිදු වූයේ San Jose Mercury News පුවත්පත හිමි සමාගම (එය ඛනිජ ගවේෂණ කර්මාන්තයට ද සම්බන්ධය) විසින් ගැරී වෙබ්, මාධ්‍ය ආයතනයෙන් නෙරපූ අතර එම ලිපිවල කරුණු වැරදි බවට කළමනාකාරිත්වය විසින් තම පුවත්පත මගින් ම පැහැදිලි කරන ලදී. CIA – කොන්ට‍්‍රා සබඳතා පිළිබඳව ඔහු ලියූ කෘති කිහිපයක් o එළිදක්වා ඇත. ඔහු ප්‍රධාන ධාරාවේ මධ්‍ය විවේචනය කළ ප්‍රගතිශීලි මාධ්‍යවේදියෙකි. 2004 දී ගැරී වෙබ් ඝාතනය කෙරිනි.
2*. ජෝර්ජ් ඔවෙල් සහ Animal Farm කෘතිය
(1908-1950* ඉන්දියාවේ ඉපදුණු ඉංග්‍රීසි ජාතික නවකතා කරුවෙකු, මාධ්‍යවේදියෙකු හා සාහිත්‍යවේදියෙකු එරික් ආතර් බ්ලෙයාර් ඔහුගේ ලේඛනවල යෙදූ නම වන ජෝර්ජ් ඔවෙල් නමින් ප්‍රසිද්ධ විය. ඔහු විසින් බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාරණය පිළිබඳව ලිපි ලියූ අතරම ඔහු කලක් බ්‍රිතාන්‍ය පුවත්පතේ වාරණ මණ්ඩලයේ සේවය ද කළේය. ඔහු විසින් ස්ටාලින් පාලන කාලය තුළ රුසියාවේ තිබූ නිලධාරිවාදී ප්‍රවණතා පිළිබඳව උපහාසාත්මක ශෛලියෙන් ලියූ නවකතාවකි. Animal Farm වැඩියෙන් ස්ටාලින් පාලන කාලයටත් පොදුවේ සමාජවාදී ව්‍යාපාරයටත් ප්‍රහාර එල්ල කළ කෘතියකි. ඔහු කෘතිය රචනා කළේ, සෝවියට් දේශය පිළිබඳ ඔහුගේ ම අත්දැකීම් මත නොව වෙනත් තොරතුරු මගින් වන අතර ඒවා බ්‍රිතාන්‍යයේ දේශපාලන උවමනාවන් ඉටු කිරීමක් ද දක්නට ලැබිණි. ඔහු බ්‍රිතාන්‍ය තොරතුරු අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලෙස ද කටයුතු කළේය.
3*. එංගලන්තයේ මාධ්‍ය වාරණය
1928 ඔක්තෝබර් ලියන ලද ලිපියකි. මෙම ලිපිය මඟින් බ්‍රිතාන්‍යය තුළ මාධ්‍ය වාරණයට ලක් කර ඇති ආකාරය උදාහරණයන් ලෙස ජෝර්ජ් බර්නාඞ් ෂෝගේ නාට්‍ය සහ ලේඛන වසර ගණන් තහනම් කර ඇති ආකාරය පිළිබඳව ඔහු ලියා ඇති අතර කාමුක හා පහත් හාස්‍යජනක නාට්‍ය හා ගුවන් විදුලි වැඩසටහන් කිසිදු වාරණයකට ලක් නොවන ආකාරය ගැන ද ඔහු සඳහන් කර ඇත. මෙම ලිපියේ ඇති ප‍්‍රධානම කරුණ වන්නේ එංගලන්තයේ ඇති ස්වයං වාරණය හා සිතුවිලි පාලනයයි.
4*. ජේම්ස් මැඩ්සන් (1751-1836* (ඇ. එ. ජනපදයේ 4 වන (1809-1817) ජනාධිපති)
ඇමරිකා එක්සත් ජනපදයේ 4 වන ජනාධිපති වන ජේම්ස් මැඩිසන් එහි ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා’ ලෙස හැඳින්වේ. එමෙන්ම ඇමරිකාවේ අයිතිවාසිකම් පිළිබඳ පනත (Bill of Rights ) හි නිර්මාතෘ ලෙස ද සැලකේ. ඔහු දහස් ගණන් වහලුන් හිමි වී සිටි වහල් හිමියෙකි.