ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම

e-Books Collection
February 20, 2019
ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ගැටලු පිළිබඳ කියවීමක්
February 25, 2019
Show all

ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම

“මිනිසා ම්ලේච්ඡත්වය කරා ආපසු යා යුතුය. නැතිනම් කොමියුනිස්ට් සමාජය කරා යා යුතුය.”

යන මුළු මහත් ලෝකය වත්මනෙහි පැමිණ සිටින සමාජ ආර්ථික තත්වයේ බියකරු හා තීරණාත්මක අන්තය සමාලෝචනය කරමින් ෆෙඞ්රික් එංගල්ස්  විසින් කරන ලද ප්‍රකාශය ධනේශ්වර ක්‍රමයේ නිර්මාණයක් වන පරිසර අර්බුදය සම්බන්ධයෙන්ද කිසිදු අඩුවක් නොමැතිවම අදාළ වේ. පරිසර හෝ සමාජ සංවේදී සංවිධාන, රටවල්, මිනිසුන්, පරිසර අර්බුදය හා බැදුණු මානව වර්ගයාගේ ඉරණම පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම්, මතවාද තහවුරු කිරීම්, පරිසර විනාශයට එරෙහිව බලපෑම් ආදී ලෙස තමනට ආවේණික විවිධ ආකෘතින්ගෙන්, එකිනෙකාට ආවේණික වූ වේගයන්ගෙන් ක්‍රියාත්මකවීම්, ක්‍රියාවට මග පෙන්වීම් හා ආයාචනා කිරීම් කරමින් සිටියි. එලෙසින් දෛනිකව ලෝකයේ කොතනක හෝ පරිසර විනාශයට එරෙහි උද්ඝෝෂණයන් සිදුවේ. වාර්ෂිකව විවිධ නාමකරණයන්ගෙන් යුක්තව පරිසර සමුළු, වැඩ මුළු ආදිය දැවැන්ත වියදම් හා විශාල සහභාගිත්වයන් සහිතව සිදුවේ. ඉන් නොනැවතී, පරිසර විනාශයන්ට වගඋත්තර කරුවන් ලෙසින් නම් කෙරෙන්නෝද තම අත් සෝදා ගනිමින්, තමන්ද පරිසර විනාශයට එරෙහි යැයි පෙන්වන  කෙඳිරිලි නගමින්, රැවටිලිකාර රංගනයන්හි යෙදෙති. පරිසර හානියේදී ලොකුම පංගුව දරන බහුජාතික සමාගම්වලට රැකවරණය දෙනු ලබන අධිරාජ්‍යවාදී රටවල්, වසර කිහිපයකට වරක් ජාත්‍යන්තර පරිසර සමුළු තුළ එක් රැස් වෙමින්, පරිසරයට වඩා වැදගත් වෙනත් මාතෘකා තිබේ යැයි වහසි බස් දොඩමින් අත පිසදා ගනී. මාධ්‍ය  වාර්තාවන්ද ප්‍රවෘත්ති වාර්තාද  චිත්‍රපටි, ටෙලි නාට්‍ය වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යන් මගින්ද විවිධ සම්මන්ත්‍රණයන් හා දේශනයන් මගින්ද පරිසර විනාශය පිළිබඳව කෙරෙන වාර්තාවලින් අඩුවක් නොමැත. අවංකව හෝ වංකව පවත්වාගෙන යනු ලබන පරිසර අර්බුදයන්ට එරෙහි මේ සියල්ල ආදායම් මාර්ග ලෙසින් පෙළ ගැසෙමින් පවතී. ඒ සදහා ධනේශ්වර නොවන අරුතකින් ගත් කළ මානව ශ්‍රමයද අති විශාල ධනයක්ද විනාශවේ.

පරිසර හානියද එය විසින් මානව වර්ගයා ඇද දමා ඇති අනතුරද විසදුම් යැයි ඉදිරිපත් කෙරෙන ධනේශ්වර හා සංශෝධනවාදී පැලැස්තරවලින් තව තවත් අර්බුදයට යනවා මිස විසඳෙන්නේ නැත. ඒ වෙනුවට අර්බුදය දිනෙන් දිනම තව තවත් උග‍්‍රවෙමින් පවතී. මේ ධනේශ්වර කාල වකවානුවේ මිහිකත හෝරාව කැරකෙමින් පවතින්නේ පරිසර අර්බුදය නැමැති තත්පර කටුව අනුවය. එයට හෝරා හෝ මිනිත්තු නැත. ධනේශ්වර චින්තනයට ‘ලෝක විනාශය වළකාලිය නොහැකි’ යැයි අලස නියාම ධර්මයකින්  සැනසෙනවා මිස, පරාජිතභාවයට පත්වෙනවා මිස, වෙනත් ඉතිරිව ඇති පිළිතුරක් නැතිසේය. ප්‍රශ්නයේ  සැබෑ හේතුව හඳුනා ගන්නේ නැතිව, ප්‍රශ්නයේ නියමුවන් සමග එක්ව විසඳාලිය හැකි අර්බුදයක් නැත. මේ කෙටි උත්සාහය පරිසර අර්බුදය නිර්මාණය වන සැබෑ හේතුව හා එය පෝෂණය කරනු ලබන මූලයන්ද, ඒ සඳහා වන විසඳුම කුමන දිසානතියක් කේන්ද්‍රගතව පවතීද යන්න ධනේශ්වර නොවන දෘෂ්ටියකින් විමසා බැලීමයි. ධනේශ්වර නොවන දෘෂ්ටියක් යන්න අවධාරණය කරනුයේ, ධනේශ්වර දෘෂ්ටියට අනුව මෙම සමාජ ක්‍රමයේ අර්බුදයක් හෙවත් අප්සට් එකක් නැති බැවිනි. එබැවින් මෙහි පරිසර අර්බුදයක්ද නැත යන ඇගයීම මත පිහිටා කටයුතු කරන නිසාය.

stone age

මිනිසා සත්වයෙකු ලෙස යළි පරිසරයට අයත්ය. නමුත් ඔහු පරිසරය ඉක්මවමින් සමාජ සත්වයෙකු ලෙසින් වර්ධනය වේ. එහිදී මිනිසා මුල් අවධියේ පරිසරය හා සතුරු ලෙසින් ගැටුණේ නැත. මිනිසාගේ යැපීම් මාධ්‍ය  බැදුණේ පරිසරය සමඟය. ඔහුගේ පැවැත්ම සඳහා යෙදුණු නිෂ්පාදන ක්‍රියාවලියේ දී සොබාදහම තුළින් එන අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවුවද එය සතුරකු ලෙස සලකා කටයුතු කළේ නැත. එලෙස සතුරු වන්නට හේතුවක්ද නොමැත. ඒ වෙනුවට මිනිසාගේ ශ්‍රමයට විෂය වන සම්පත් මුණ ගැස්සුවේ සොබාදහමය. ඒ අනුව සොබාදහම ඔහුගේ සැපයුම්කරුය. සම්පත් දායකයාය. එය මිනිසා සහ පරිසරය අතර සතුරු නොවන සම්බන්ධතාවයකි.

අවශ්‍යතා හෙවත් අත ළඟ සූදානමින් තිබෙන යැපීම් මාධ්‍ය  මිනිසාට සපයන නොඉඳුල් තත්වයෙන් වන පස (ආර්ථිකව කතා කරන විට මෙයට ජලයද අයත්ය.) ඔහුගෙන් ස්වාධීනව පවතී. එය ශ්‍රමයට පාත්‍ර වන විශ්වීය විෂය වේ. පරිසරය සමඟ වන ඒවායේ අභ්‍යන්තර සම්බන්ධයෙන් ශ්‍රමය විසින් හුදෙක් ඒවා විප්‍රයෝග කරන මේ සියලු දේ ස්වාභාව ධර්මය විසින් නිරායාසව සපයන ලද ශ්‍රම විෂය වේ.

(කාල් මාක්ස් – ප‍්‍රාග්ධනය, සිංහල පරිවර්තනය, 1991 ජූනි 01, ජයතිලක ද සිල්වා, වෙළුම 02, 03 පොත, 32 පිටුව)

නමුත් මිනිසාගේ අනෙකුත් සත්වයන්ට වඩා වන විශේෂත්වය වන්නේ, ඔහු තම ශ්‍රම ක්‍රියාකාරිත්වය මගින් ස්වභාවධර්මයෙන් එන අභියෝගයන් ඉක්මවන්නට සමත් වීමයි. ආරම්භයේදී ඔහු මිහිතලයේ අසරණයෙකි. ප්‍රකෘතියට යටත්ව දිවි ගෙවූවෙකි. ජීවන පැවැත්ම, ආරක්ෂාව අතින් දුබලම සත්වයෙකි. පසුව සොබාදහම තුළ වන දේවල් මාධ්‍ය  කොට ගනිමින් එයට යටත් තත්වයෙන් මිදෙමින් එය අභිබවන්නට ඔහුට හැකි විය. එහෙත් ඔහුට කිසි විටෙකත් මුළුමනින්ම සොබාදහමින් වියුක්තව පැවැතිය නොහැක. ශ්‍රමය වැගිරවීම තුළින් පරිසරයේ පවත්නා දේ තම අවශ්‍යතා සපුරාලන දේවල් බවට පත්කිරීමට යාමේදී දැවැන්ත ශ්‍රමය විසින් මුණ ගස්වන සම්පත් ආකරය වන්නේ සොබාදහම නිසාය. එනිසා මිනිසාගේ පරිසරය හා වන සම්බන්ධතාවය අඛණ්ඩ පුළුල් එකකි.

මිනිසාගේ ශ්‍රම ක්‍රියාකාරිත්වය වර්ධනය වූයේ ස්වභාවධර්මය තම ඉන්ද්‍රිය කර ගනිමින්ය. මිනිසාගේ දෑත ගල් කැටයක් විසිකරන දුර ප්‍රමාණයේ සිට අන්තර් මහද්වීපික මිසයිලයක තරමට දිගු වූයේද දෑස ඈත සක්වල දකින තරම් වර්ධනය කරගත්තේද කන්දෙක අභ්‍යාවකාශයේ ඈත දුර දේවල් ඇසෙන තරම් ප්‍රබල වූයේද සොබාදහම නම් ඉන්ද්‍රියයේ සහයෙන්ය. මේ තත්වය තුළ පෙනී යන්නේ සොබාදහම  මිනිසාට ආහාර, උපකරණ හා අවි සපයන මිතුරු මාධ්‍යයක් වී ඇති බවය. තවද එය මිනිසාගේ ආරක්ෂාව විය. ස්වභාවික ව්‍යසනයන් ලෙසින් අකුණු, ගිනි කඳු, භූ චලනයන් ඇති වුවද මිනිස් වර්ගයා මුළුමනින් පරාජය කරනු ලබන ගෝලීය උණුසුම වැනි ව්‍යසනයන් මිනිසාගේ සොබාදහමට සතුරු ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් මිස ඉබේ ඇතිවී නැත. පෙර කී ස්වභාවික ආපදාවන් මෙන්ම පසුව සඳහන් ව්‍යසනයන්ද මිනිසාට පරාජය කළ හැකිය යන්න සත්‍යයකි. එහෙත් එම සත්‍යය තාත්විකත්වයක් නැතිනම් සැබෑවක් වන්නේ ධනපති යථාර්ථය තුළ නොවේ. එයට විකල්ප ක්‍රමයක් තුළය.

මෙසේ ස්වභාවධර්මය ඔහුගේ ක්‍රියාකාරිත්වයෙහි එක් ඉන්ද්‍රියක් වේ. ඔහු එය තම කායික ඉන්ද්‍රියන්ට ඈඳා ගනී. එසේ කිරීමේදී බයිබලය නොතකා ඔහු තම ආරෝහ සම්පත වැඩිකර ගනී. පෘථිවිය ඔහුගේ මුල් ගබඩාව වන පරිද්දෙන්ම එය ඔහුගේ මුල් ආයුධ ගෙයද වේ.(කාල් මාක්ස් – ප‍්‍රාග්ධනය, සිංහල පරිවර්තනය, 1991 ජූනි 01, ජයතිලක ද සිල්වා වෙළුම 02, 03 පොත, 33 පිටුව)

මිනිසා සොබාදහම සමග සතුරු නොවන ප්‍රතිවිරෝධයක් පවත්වා ගනිමින් පරිසරය තම පැවැත්මට බාධාවක් නොවන ආකාරයෙන් හසුරුවා ගැනිමට සමත් විය. ඔහු පරිසරයට අවනත වූයේ නැත. යටත් වූයේ නැත. එය සහය කරගනිමින්ම එහි අභියෝගාත්මක පැති අබිබවනය කළේය. මෙම සම්බන්ධතාවයේ ස්වරූපය නිසාම ඔහුගේ ජීවන පැවැත්ම පරිසර හිතකාමී මෙන්ම එහෙත් එයට යටත් නොවන ආකාරයක් ගනු ලැබීය.

පළමුවැනිව මිනිසා සහ ස්වභාවධර්මය සහභාගි වන ක්‍රියාවලියකි. එහිදී මිනිසා තම කැමැත්තෙන්ම තමා සහ ස්වභාව ධර්මය අතර ද්‍රව්‍යජ ප්‍රතික්‍රියා අරඹයි. නියාමනය කරයි. පාලනය කරයි. ඇගේම බලවේගයන් ලෙස ස්වභාව ධර්මයට විරුද්ධව පෙළ ගැසෙන ඔහු තම වුවමනාවන්ට අනුවර්තිත ස්වරූපයකින් ස්වභාව නිෂ්පාදිත අත්පත් කරගැනීම සඳහා අත්, පා, හිස දේහයෙහි ස්වභාවික බල චලිතයෙහි යොදවයි. මෙනයින් බාහිර ලෝකය මත ක්‍රියා කිරීමෙන් සහ එය වෙනස් කිරීමෙන් ඒ සමඟම ඔහු තමන්ගේම ස්වභාවය වෙනස් කරයි. තම නිදිබර බල සංවර්ධනය කරගන්නා ඔහු තම අභිමතයට කීකරුව ක්‍රියා කිරීමට ඒවාට බල කරයි.

(කාල් මාක්ස් – ප‍්‍රාග්ධනය, සිංහල පරිවර්තනය, 1991 ජූනි 01 ජයතිලක ද සිල්වා වෙළුම 02, 03 පොත, 31 පිටුව)

ධනපති සමාජය යන්න ඓතිහාසික සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. පංති සමාජය, ධනවාදය තෙක් සංවර්ධනයේදී පසු කළ ආසියාතික හෝ වහල්, වැඩවසම් සමාජ ආර්ථිකයන් තුළද හමුවේ. මිනිසා පසු කළ පංති රහිත සමාජ ආර්ථික ක්‍රමයක් වූ ප‍්‍රාථමික සාමූහික සමාජයෙන් පසුව පංති සමාජයට එළඹෙන්නේ සත්ව පාලනය හා දෙවනුව ශාක වගාව යන ආකාරයෙන් ආර්ථික ජීවිතයේ වන වෙනස්කම් සමඟය. දැවැන්ත වහල් ශ්‍රමයක් සත්වපාලනය හා ගොවිතැන සඳහා යෙදවිණ. වගාවන්  සඳහා මිහිතලයේ විශාල භූමි ප්‍රමණයක් යෙදවිණ. එමෙන්ම ඒ සඳහා දැවැන්ත ලෙසින් භූමි පරිභෝජනයන් සිදු විය. නමුත් පරිසර ගැටලූවක් පැන නැංගේ නැති තරම්ය. යම් ගැටලූවක් පැන නැංගේ නම් එය ස්වභාවික ලෙසින්ම සමනය විය. වැඩවසම් ක්‍රමය තුළද ආසියාතික සමාජය තුළද එවන් පාරිසරික ගැටලූවක් තීරණාත්මක ලෙසින් පැන නැංගේ නැත. එවකට මිනිසා නිපදවූයේ යැපීම් සඳහා හෝ හුවමාරුව සඳහාය. ලාභය ඉලක්ක කොට වෙළඳ භාණ්ඩ නිපදවූයේ නැත. වහල්, වැඩවසම්, ආසියාතික අධිපතීන් සාපේක්ෂව එකිනෙකට වෙනස්ව නමුත් ඔවුනගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් දැවැන්ත ශ්‍රම පැහැර ගැනීම් හෝ වංචාවන් කළ බව සත්‍යයකි. එහෙත් ධනපති සමාජය තුළ මේ සියල්ලට වෙනස් නග්න සූරාකෑමත් ඒ මගින් අතිරික්ත වටිනාකම් පොදි බඳිමින් ප‍්‍රාග්ධනය නැමැති සුවිශේෂී බලයක් අත්පත් කරගනිමින් සිටී.

ධනපති ක්‍රමය තුළ වන එහි හරය වන්නේ අතිරික්ත වටිනාකම් ඒකරාශි කිරීමය. ඒ සඳහා ප‍්‍රාග්ධනය නම් අති ප්‍රබල උපකරණයක් ධනපතියා සතුය. මෙය අන්කිසිවක් නොව නිර්ධන පංතිය හා ධනපති පංතිය බෙදනු ලබන නිෂ්පාදන මාධ්‍ය  හිමි, අහිමි බව යන බෙදුම් රේඛාව විසින් ඇති කරන්නකි. ඓතිහාසිකව එම පංතිය විසින් දැවැන්ත ඉඩම් හා සම්පත් කොල්ලකෑම් මගින් අත්පත් කොටගත් දෙය හා ශ්‍රම උපකරණ ඇතුළුව සමස්ත නිෂ්පාදන මාධ්‍ය යන්ම හිමිකර ගනී. මෙතැන් සිට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම හසුරු වන්නේ ප‍්‍රාග්ධන හිමියන් විසින්ය. නිෂ්පාදන මාධ්‍ය  අහිමි නිර්ධන පංතිය තමන් සතු ශ්‍රමය වැගිරවීමේ හැකියාව ධනපති පංතියට විකුණනවා හැර අන් යමක් ඉතුරු වන්නේ නැත. එතැන් සිට ධනපති පංතිය ස්වභාවධර්මයේ පවතින සියල්ලද, මිනිසා විසින් වෙනස් කරන ලද දෙයද තමන් සතු කොට ගනී. එම හිමිකම මත දැවැන්ත ශ්‍රම කොල්ලයක්ද කරමින් අතිරික්ත වටිනාකම් ඒක රාශිකිරීම හෙවත් ධනය පොදි බැදීමේ ලෝභයෙන් කටයුතු කරයි.

මේ සඳහා ධනපති පංතිය වහලූන්, ප්‍රවේණිදාසයන් මෙන් නොව පුද්ගල බැඳීමෙන් නිදහස් නමුත්, වහලාට මෙන් නොව බත්පත අහිමි බැවින් ජීවත්විම උදෙසා තම ශ්‍රමය විකිනීමට බැඳී සිටින වැටුප් ශ්‍රමිකයන්, කර්මාන්ත ශාලා හා වැඩබිම් නැමැති සූරාකෑමේ මධ්‍යස්ථාන වෙතට ගාල් කරනු ලබයි. එය විසින් ධනපති ක්‍රමයේ හැඩය සකස් වන අතර, ධනපතියාගේ ලාභය මත මෙහෙය වෙන ලෝකය බිහිවේ. ධනපති ක්‍රමය විසින් සියලු ප‍්‍රාදේශීයකරණයන්ද අහෝසි කරයි. අති ධාවනයේ ලාභය පසුපස දුවන ප‍්‍රාග්ධනය විසින් පෘථිවි ගෝලය වෙළා ගැනීමට ගත වන්නේ නිමේශයකි. එතැන් සිට එහි ප්‍රතිවිපාකයන් ද ගෝලීයකරණය වේ.

නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය මූලික කොන්දේසියකි. එසේම ධනපති නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය කොල්ලය තීරණාත්මක කොන්දේසියකි. ධනපති ක්‍රමයේ අධිරාජ්‍යවාදී අවධියේදී සෘජු යටත් කරගැනීම්වල සිට ණය මත යටත් කරගැනීම් දක්වා මෙම ක්‍රියාවලිය දිව යයි. මේ මගින් ජාතීන් යටත් කරගැනීම්, මෙල්ල කරගැනීම්, හීලෑ කරගැනීම් යන විවිධ ක්‍රියාවලි මගින් එම රටවල සම්පත් අඩුම මිලට මිලදී ගැනීම, අත්පත් කරගැනීම, හවුලේ භුක්ති විඳීම කරනු ලබයි. (ඒවාට යටත්ව අධිරාජ්‍යවාදීන් විසින් රට මත පටවන  ඕනෑම බරකට යටහත් පහත්ව සිටිනවා හැර ශ‍්‍රී ලංකාව වැනි අධිරාජ්‍යවාදයේ පරිධියේ සිටින රටවලට පවතින ක්‍රමය තුළ අන් මඟක්ද නොමැත.) අඩුම වියදමකින් සම්පත් ලබාගැනීමේ අරමුණ විසින් ඒවා සොබාදහමෙන් වෙන්කර ගැනීමේදි පරිසරයට වන හානි සලකා බැලීමට කාලයක් හෝ වුවමනාවක් ධනපති නිෂ්පාදනයට නැත. ප‍්‍රාග්ධනය ලාභ සොයමින්, ඛනිජ සම්පත් සඳහා ආකර තුළට කඩාවදින විට, භූ විද්‍යාත්මක හානි අදාළ නැත. සාගරය කණිමින් එහි සම්පත් ගොඩගන්නා විට වෙරළ තීරය, සාගර පතුල තුළ වන පරිසර හානිය අවම කිරීමේ හෝ වුවමනාවක් ධනපති නිෂ්පාදනයට නැත. පොසිල ඉන්ධන උදෙසා කරන කැණීම්වලදීද මෙම තත්වය පොදුය. ධනපති නිෂ්පාදනයේ පහසුව හා කාර්යක්ෂමතාවය උදෙසා ඉදිවන යටිතල පහසුකම් යනු දැවැන්ත ඉදිකිරීම්ය. ජල මං අහුරමින් සාගර, ජලාශ, කෘෂිබිම් යටකරමින් මෙම ඉදිකිරීම් සිදුවේ. මහා ජල ගැලීම්, නායයෑම්, භූවිෂමතාවයන් හිතුවක්කාරි ලෙසින් විනාශවීමද ඒ මගින් ස්වභාවික ව්‍යසනයන් වැඩිවීමද සිදුවේ. ඉන් නොනැවත ඉතා අඩුම ප්‍රමාණයකින් පවතින මිනිසාගේ පරිභෝජනයට සුදුසු ජලයද දූෂණයට හා හිඟතාවයට පත්කරයි. බීමට සුදුසු ජලය හිඟකමෙන් ලොවපුරා බිලියන 2.8 ක ජනතාවක් පීඩා විඳියි. සෑම මහද්වීපයකම වසරකදී අඩුම වශයෙන් මසක කාලයක්වත් ජල හිඟයෙන් පෙළෙන ජනතාව බිලියන 1.2කි. ජල දූෂණය විසින් මෙම ගැටලූව තව තවත් බරපතළ කරනු ඇත.

අමුද්‍රව්‍ය කොල්ලයෙන් පසු ධනපති නිෂ්පාදනයේ මීළග ඉලක්කය වන්නේ කර්මාන්තශාලාව තුළ සිදුකරනු ලබන නිෂ්පාදන අදියරයි. ධනපතියා නිපදවන්නේ අන් යමකට නොවේ ලාභය උදෙසාය. ලාභය උදෙසා නිෂ්පාදනය කරනු ලබන සමාජ ක්‍රමයක කර්මාන්ත ශාලාව ඉදිකරනුයේ අඩු ප්‍රවාහන හා වෙනත් වියදම් සලකා මිස පරිසර හිතකාමී ලෙසින් සලකා නොවේ. ඒ සඳහා වනාන්තර විනාශය හෝ පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම් නොසලකා හරින්නට ලාභය විසින් මෙහෙය වෙන ධනපති හෘදය සාක්ෂියට හැකිය. ලංකාවේ සමීපතම උදාහරණයක් ලෙස රතුපස්වල සිදුවීම සජීවී නිදර්ශනයකි. අසලවූ කර්මාන්ත ශාලාවක් හේතුවෙන් තම ගෙවල ළිං ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍රවීම හේතුවෙන් නැඟූ හඬට කර්මාන්ත ශාලාව රකිමින් පාලකයන් පිළිතුරු සැපයූවේ උණ්ඩවලිනි. එය අනිවාරණීය ලෙසින්ම එසේ වන්නේ ධනපති පාලනයක් අනිවාර්යයෙන්ම පෙනී සිටින්නේ ප‍්‍රාග්ධනය උදෙසා වන නිසාය. මෙලෙසින් කර්මාන්ත හේතුවෙන් මිනිසාට සෘජුවම අහිතකර දේවල් සහ පරිසරයට අහිතකර වීම හේතුවෙන් යළි මිනිසාටම පෙරළා බලපානු ලබන දේවල් බොහෝය. ධනපති නිෂ්පාදනය මිනිස් වර්ගයාගේ පැවැත්ම උදෙසා නොව ප‍්‍රාග්ධන හිමියන්ගේ හා ඔවුනගේ රැකවලුන් උදෙසාය. නිදර්ශනයක් ලෙස සලකා බලන්නේ නම් මහා සාගතවලට මංපෙත් විවර කරන ධාන්‍ය ටොන් බිලියන ගණන් යොදවා කරනු ලබන ජීව ඉන්ධන නිෂ්පාදනයන් ගත හැක. මෙවැනි විවිධ සොයා ගැනීම් ධනපති ලාභය උදෙසා තව තවත් බිහි කරලනු ඇත.

ධනපති ක්‍රමය සොයන්නේ ලාභය නිසාම  එහි සදාචාරය වන්නේද ලාභයමය. එනිසා පරිසර දූෂණයෙන් හා පරිසර හානියෙන් වන අනතුර තුළින් පවා ඔවුන් සොයන්නේ ලාභ පංගුවයි. ධනපති නිෂ්පාදන ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළයාම නිසා ආක්ටික් ප්‍රදේශයන්හි අයිස් තට්ටු දියව යන විට ධනපති ප‍්‍රාග්ධනයේ ආරක්ෂකයින් වන ඔබාමා වැන්නන් ඉව අල්ලන්නේ එම නිරාවරණය වන භූමිවල ඉන්ධන හා රන්, මැණික්, යුරේනියම් වැනි ඛනිජ සම්පත් සඳහා භූමිය වෙන් කොටගැනීම පිණිස මායිම් ලකුණු කරගැනීමටය.

ප්‍රථම වතාවට ඇමරිකාව විසින් ආර්ක්ටික් කලාප බලවතුන්ගේ සමුළුවකට හිලරි ක්ලින්ටන් යැවීම මඟින් සංඥා කරන්නේ ආක්ටික් තෙල් හා ගෑස් සෙවීම සඳහා වන ඇමරිකාවේ නව අධිෂ්ඨානයයි.

2011 මැයි 12 ගාර්ඩියන් ලිපියකින් – (උපුටා ගැනීම ‘විකිලීස් හෝරාව’ මහින්ද පතිරණ)

ආර්ක්ටික් අයිස් දියවීම පිළිබඳ කාරණය දේශගුණික විපර්යාස මත ක්‍රියා කිරීම සඳහා හදිසි සංඥාවක් ලෙස ගනු වෙනුවට, Cairn වැනි තෙල් සමාගම් විසින් අයිස් දියකිරීමට මූලික වශයෙන්ම හේතු කාරකවූ පොසිල ඉන්ධන උකහා ගැනීමට යුහුසුළු වෙමින් සිටින බවය.

(2011 මැයි 12 BBC-Meirion Jones -උපුටා ගැනීම ‘විකිලීස් හෝරාව’ මහින්ද පතිරණ)

ධනපති ක්‍රමය තුළ පරිභෝජනය යන්නද මිනිස් වුවමනාව යන්න ඉක්මවමින් ධනපති ප‍්‍රාග්ධනයේ මෙහෙයවීමෙන් වන වුවමනාවක් බවට පත්ව තිබේ. ධනපති ක්‍රමය තුළ වන මිනිසුන් පරිභෝජනය කරනුයේ අවශ්‍යතාවය මත අවශ්‍ය දෙයම නොවේ. ධනපති ප‍්‍රාග්ධනය යොදවමින් සෘජුව හා වක‍්‍රාකාරයෙන් මොළය ආක්‍රමණය කරනු ලබන මතවාදයන් මෙන්ම නියමින් හා අනියමින් සමාජය මත පටවනු ලබන විලාසිතාවන් විසින් මිනිසාගේ පරිභෝජන රටාවන් හා වුවමනාවන් කෘත‍්‍රිම කොට තිබේ. ධනපතියා මුලින්ම අපට සිතන්න පුරුදු කොට ඒ සිතුවිල්ලට සරිලන භාණ්ඩ නිපදවයි. අනෙක් අතට ඔහු භාණ්ඩ නිපදවා ඒවා අපට අවශ්‍ය යැයි බලහත්කාරයෙන් තහවුරු කරයි. අපට එසේ සිතන්නට සලස්වයි. මේ ආකාර දෙකෙන්ම පරිභෝජනවාදී මිනිසකු නිර්මාණය කර තිබේ. ඒවා පරිභෝජනයෙන් පසු ක්ෂණිකව යළි පරිසරය සමඟ ප්‍රතිචක‍්‍රීයකරණයට ලක්වන ඒවා මෙන්ම එයට වඩා ප්‍රතිචක‍්‍රීයකරණයෙන් යළි පරිසරයට එක් නොවන හා එක්වීම පමාවන දේවල් බොහෝය. අවසානයේ සිදුවන්නේ පරිසර ගැටලූ බවට ඒවා පත්වීමයි. ප්ලාස්ටික්, පොලිතින් වැනි කෘත‍්‍රිම දවටනවල සිට විවිධාකාරයෙන් පරිසරය හා ආගන්තුකව පවතින මෙවන් දේ බොහෝය,

ඉහත සියල්ල විසින් පෙන්නුම් කෙරෙන්නේ පරිසර අර්බුදය යන්න ධනපති ක්‍රමයේ ජානමය හේතූන් මත ඇති වන්නක් බවය. ඒ සඳහා ධනපති නිෂ්පාදනයේ ප්‍රධාන සාධක දෙකක් බලපානු ලබයි. ඉන් පළමුවැන්න වන්නේ ධනපති නිෂ්පාදනය විසින් පරිසරය හා මිනිසා අතර වන ප්‍රතිචක‍්‍රීයකරණ ක්‍රියාවලිය වළකා ඇති බවයි. ධනපති පංතිය නිරන්තරයෙන්ම නිෂ්පාදනයේදී සොබාදහමෙන් ලබාගන්නා දේවල් නිෂ්පාදන බවට පමුනුවා ඒවා එක් රැස් කරයි. දීර්ඝ කාලීනව ගබඩා කර තබා ගනියි. ඒවා යළි පරිසරයට එක්වන්නේ ඉතා සෙමින් හා ක්‍රමිකවය. එහි අනෙක් ප්‍රතිපක්ෂය ලෙස පෘථිවි ගෝලයට අධිකතර ලෙස සමතුලිත බව බි`ද වැටෙන දේ එක් කිරීම බහුලව හා ක්ෂණිකව කරනු ලබයි. විද්‍යුත් හා වෙනත් භාණ්ඩවල සමහර අබලි කොටස් මෙයට අයත්ය. ඒවාද අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පරිධියේ දුප්පත් රටවල මුහුදට හෝ වෙරළට ගෙනවිත් ගොඩ ගසනු ලබයි. කෘෂිකර්මයේදී ගොවිබිම්වලට එක්කරනු ලබන කාබන් ප්‍රමාණය වායුගෝලයෙන් උරා ගන්නා ප්‍රමාණය ඉක්මවා යයි. මහා පරිමාණ වශයෙන් කරනු ලබන බහුජාතික සමාගම්වල වගාවන්වලින් අධික හා ඉක්මන් අස්වැන්න බලාපොරොත්තුවෙන් එක් කරනු ලබන රසායනික මෙයට හේතුවේ. වායුගෝලයේ එසේ එක් රැස්වන කාබන් වසර බොහෝ ගණනාවක් රැඳෙමින් ගෝලීය උණුසුම ආදිය ඉහළ නැංවීම සඳහා බලවත් දායකත්වයක් දක්වයි. දෙවන සාධකය වන්නේ, ධනපති ක්‍රමය ජාතික දේශසීමා තුළ පවතින්නක් නොවීමයි. එය ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින්නකි. ධනපති ප‍්‍රාග්ධනය ලාභය සොයමින් මිහිතලයේ අස්සක් මුල්ලක් නෑර (අවස්ථාවක් වේ නම් විශ්වය පුරා  වුවද) පිම්මේ යෑම එයට හේතුවයි. මන්දගාමී සියල්ල එය විසින් පරයමින් මුළු මහත් ලෝකයම තම දෑතට මිට මොළවා ගනියි. එනිසා පරිසර අර්බුදයට වන විසඳුම් ප‍්‍රාදේශීය හෝ ජාතික විය නොහැක. ඒ පරිසර විනාශය ගෝලීය ක්‍රියාවලියක් වන බැවිනි.

අවසන ඉතා මැනවින් පැහැදිලි වන්නේ, ධනපති ක්‍රමය තුළ ලාභය පිළිබඳ දෙවැනිකොට සිතන ධනපතීන් සිටිය නොහැකි බවය; ධනපති ක්‍රමය යන්න ලාභය ලක්ෂණය කොට ඇති සමාජ ආර්ථික ක්‍රමයක් බවය. එනිසා “එසේ නොසිතා මිහිතලයේ හෙට ගැන සිතන්න” යැයි ධනපති පංතියට ඔවදන් දීම හෝ ආයාචනා කිරීමෙන් ඵලක් නැත. හේතුව ලාභය පසුපස හඹා නොයන්නේ නම් තවදුරටත් ධනපති පංතියට මෙම ක්‍රමය කුමකටද? පරිසර විනාශය, හානිය ගෝලීය පරිමාණයෙන් සිදුවන විට රටකට ජනතාවකට ඊට එරෙහිව කරනු ලබන අරගලයක් හැර වෙනත් විසඳුමක් නැත. එයට විකල්පව ලෝක පරිමාණ පමණක් නොව, මිනිස් වර්ගයා මූලික කොට සිතන ක්‍රියා කරන සමාජ ක්‍රමයක් වන්නේය. එය ධනපති ක්‍රමය බිඳ පෙරළා දමමින් බිහිවන කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයයි. ලාභය, ආත්මාර්ථය වැනි හැඟීම් වෙනුවට මිනිස් වර්ගයාගේ පොදු යහපත වෙනුවෙන් සිතන, කටයුතු කරන එවන් සමාජ ක්‍රමයකට හැර ආත්මාර්ථයෙන් ඔද්දල් වුණු, කල් ඉකුත්වූ සමාජ ක්‍රමයකට කළ හැකි ප්‍රතිඵලදායක දෙයක් නැත. එනිසා ‘ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා ඵලක් නැත’ යන්න මේ ධනපති ක්‍රමයේ මහලූ අවධියේ පවතින සත්‍යයයි.

විමර්ශන