ඉතිහාසය යනු කුමක්ද?

දර්ශනයේ ශබ්ද කෝෂයෙන්…
June 26, 2019
එක්සත් පෙරමුණු දේශපාලනය යනු කුමක්ද?
July 1, 2019
Show all

ඉතිහාසය යනු කුමක්ද?

ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇත”

ඉතිහාසය බිහි කරනුයේ වීරයන් විසින් නොව වීරයන් බිහි කරනුයේ ඉතිහාසය විසිනි”

ඉතිහාසය සැබෑ නිර්මාපකයා වැඩකරන ජනතාව වෙති”

 

        දේශපාලනයේදී අපට නිතරම මුණ ගැසෙන ඉහත වර්ගයේ වැකි දෙස බලන විට “ඉතිහාසය” යන වචනය විසින් හඟවනු ලබන සංකල්පය යම් සංකීර්ණ බවක් ගන්නා බව පෙනේ. පාසලේදි ඉතිහාසය විෂයක් ලෙස ඉගෙන ගන්නා විට ලෝකයේ හෝ තම රටේ අතීත කතාන්දරවල රාජ්‍ය පාලනය, ආක්‍රමණ, යුද්ධ ආදී එකතුව ඉතිහාසය ලෙසින් තේරුම් ගත්තද ඉතිහාසය යන සංකල්පය ඊට වඩා ගැඹුරු සංකීර්ණ දේශපාලනයක් සහිත එකක් බව මාක්ස්වාදය තුළ එය භාවිතා කරන ආකාරයෙන් පෙනේ.

        ඉතිහාසයෙන් අප ඉගෙන ගන්නේ අතීතයේ වූ සිදුවීම් වන නිසා ඉතිහාසය යනු අතීතය යැයි වටහා ගැනීමට කෙනෙක් උත්සාහ කරනු ඇත. එහෙත් අප විශ්ව පරිණාමය ඉගෙන ගනිද්දී ඊට ඉතිහාසය යයි නො කියමු. ජීව පරිණාමය ජීවයේ ඉතිහාසයයි නොකියමු. අප ඉතිහාසය ලෙස නිශ්චය ලෙසම හදාරන්නේ මානව සමාජය බිහි වීමෙන් පසු ගතවූ මානව සමාජයේ අතීතය බව පැහැදිලිය. එම නිසා ඉතිහාසයේ යන්න ප්‍රචණ්ඩ ස්වාභාවික පරිණාමය ක්‍රියාවලියක් ලෙස නොව මානව සමාජය තුළ මිනිසාගේ සවිඥානික මැදිහත් වීමේ ක්‍රියාවලියක් ලෙස හඳුනා ගන්නා බව පැහැදිලිය. ඒ අනුව ඉතිහාසය යනු මානව සමාජයේ සංවර්ධනයේදී අතීතයේ වූ සියල්ල ලෙස සැලකීමට පුළුවන. ඉතිහාසය යනු වියුක්ත හුදකලා අතීතයක් නොව මානව සමාජය බිහි වූ දා සිට නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වූ මිනිසාගේ මෙම සමාජමය නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කරනු ලැබූ අතීතයක් බවද එම අතීතය වර්තමානය සමගත් අනාගතය සමග අඛණ්ඩව සම්බන්ධතාවයක් සහිත එකක් බව ද සත්‍යයක් වේ. ඒ අනුව ඉතිහාසය යනු ඉබේ ඇතිවන දෙයක් නොව මිනිසා විසින් නිර්මාණය කරනු ලබන දෙයක් වන්නේය. ඉතිහාසය තුළ අප කතා කරන සියලු සිදුවීම්, සොයා ගැනීම්, සමාජ පරිවර්තන, ආක්‍රමණ, යුද්ධ, මහා නිර්මාණ සහ දැනුම ආදී සියල්ල තනි තනි මිනිසුන්ගෙන් හුදකලාව නිම වූ දේ නොව සමස්ත මානව වර්ගයාගේ නිෂ්පාදන ක්‍රියාවලියක සංයුක්ත හා අන්තර් සම්බන්ධිත එකතුවක් වේ. එම නිසාම ඉතිහාසය තේරුම් ගත යුත්තේ ද හුදකලා සිදුවීම් ලෙස හෝ විශේෂ පුද්ගලයන්ගේ ක්‍රියාවන් ලෙස නොව නිෂ්පාදන මාධ්‍ය නිපදවීමත් නැවත නැවත නිපදවීමත් ඒවා බෙදා ගැනීමත් පරිභෝජනවාදී සමාජ ක්‍රියාදාමයන් තුළ සිදු වූ මානව ක්‍රියාකාරීත්වය නිර්මාණයක් ලෙසය.

        “ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇත” යන වැකිය තුළ ඇති දාර්ශනික අදහස සොයා ගැනීමෙන් මෙය තේරුම් ගත හැක. මානව සමාජය පංතීන්ට බෙදී ඇති තත්ත්වයක් තුළ සාධාරණය-අසාධාරණය, යුක්තිය-අයුක්තිය සහ හොඳ- නරක වැනි සංකල්ප සඳහා විවිධ මිනුම් දඬු සහ විවිධ නිර්වචන පවතින බව අප දනිමු. ඒ එක් එක් පන්ති අර්ථයෙනි. එහෙත් සමාජයේ මතවාද තුළ තාක්ෂණික සොයාගැනීම් තුළ සංකල්ප තුළ සත්‍යයන් කිහිපයක් තිබිය නොහැකි බවත් සත්‍ය යනු යම් අදහසක්, මතයක් සංකල්පයක් තුළ ප්‍රකෘතිය නිවැරදිව හා අංග සම්පූර්ණව පරාවර්තනය වීමක් බවත් පැහැදිලිය. මෙහි දී යමක් සත්‍ය දැයි නිශ්චය ලෙසම තේරුම් ගත හැකි මිනුම් දණ්ඩ භාවිතාවත් හෙවත් ක්‍රියාවට නැගීම වේ.

        යම් අදහසක් උත්සාහයක් අරගලයක් හරිද වැරදිද යන්න හරියටම තේරුම් ගත හැකි වන්නේ කෙටි කාලීන හෝ දිගු කාලීන භාවිතාව තුළ බව කියැවේ. ඒකෙදි භාවිතාව සිදුවන්නේ කාලය හා අවකාශය තුළ වන නිසා කාර්යය තුළ සිදුවන භාවිතාවන් (චලිතය) අතීතයට නැතිනම් ඉතිහාසයට එක්වන නිසා යමක හරි වැරද්ද ඉතිහාසය විසින් තහවුරු කරනු ඇත යන්න තාර්කික වේ.

         මේ අනුව ඉතිහාසයේ යනු මානව සමාජයේ මිනිස් ක්‍රියාකාරීත්වය විසින් නිර්මාණය කරනු ලබන සමස්ත ද්‍රව්‍යමය මතවාදීමය සංකල්පයම, ,ප්‍රපංචයන් හා ක්‍රියාකාරීත්වයන්ගේ අතීතයට එක් වූ සියල්ල බව පැහැදිලි වෙයි. එසේම ඉතිහාසය තුල සිදු වූ සියලු සිදුවීම් ක්‍රියාකාරකම් නිර්මාණයන් තනි තනි මිනිස්සුන්ගේ හිතුවක්කාරකම් වල හෝ යුක්ත දක්ෂකම් වල ප්‍රතිඵල නොවන බවත් නිෂ්පාදන බලවේග හා සම්බන්ධතාව ගැටුමේ ප්‍රතිවිරෝධයන් ඔස්සේ වර්ධනය වන සමාජ ආර්ථික රටාවන්ගේ නිෂ්පාදන මාදිලීන් ගේ උවමනාව මත නිෂ්පාදනය සමාජීය වුවමනාවන් මත වන මිනිසාගේ තනි තනි මෙන්ම සාමූහිකත්වයක් සවිඥානික මෙන්ම අවිඥානික ක්‍රියාකාරීත්වය අඛණ්ඩ අන්තර් සම්බන්ධිත ප්‍රවාහයක කොටස් බවත් පැහැදිලි වේ. තනි පුද්ගලයන්ට ඉතිහාසය නිර්මාණය කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වුවද විශේෂ හැකියාවන් සහිත මිනිසුන් ඉතිහාසය තුළ කරන බලපෑම බැහැර කළ නොහැක. අනෙක් අතට එවැනි විශේෂ මිනිසුන් පවා අදාල යුගයේ අවශ්‍යතාවයන් විසින් බිහි කරනු ලැබූවන් වන හෙයින් ඔවුන් ඉතිහාසයේම නිර්මාණයන් ලෙසින් තේරුම් ගත හැකිය. මේ අනුව ඉතිහාසයේ යනු මිනිස් ක්‍රියාකාරකම් වල හරි හෝ වැරදි හොඳ හෝ නරක සියල්ල අතීත අත්දැකීම් වෙයි. ඒ නිසාම මිනිසා ඉතිහාසය උගත යුත්තේ කතන්දර ඇසීමේ කුතුහලයෙන් නොව මානව සමාජය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා තමන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අතීතයෙන් පාඩම් උගෙනීම සඳහා ය.

විමර්ශන