ඇත්තමට පුදුමයි කාල්!

මාගේ බලාපොරොත්තුව අපි සැම දෙනා වෙනුවෙන් දිනා ගනු ලබන යහපත් ලෝකයක්
March 10, 2017
INTERVIEW WITH FIDEL CASTRO by Barbara Walters on September 15, 1977
March 10, 2017
Show all

ඇත්තමට පුදුමයි කාල්!

– මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි –

හිතවත් කාල්,

ඔබගේ භෞතිකවාදී දර්ශනය පිළිගන්නා මෙන්ම නොපිළිගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔබ අභාවප්‍රාප්තවූ 1883 මාර්තු මස සිට පුරා වසර 133 ක් එක දිනයක් හෝ නොවරදවා පංචමහාද්වීපයේ සෑම අස්සක්මුල්ලකින්ම ඔබ සැතපෙන ලංඩනයේ හයිගේට් සුසාන භූමිභාගයට පැමිණ ඔබට ප්‍රණාමය කර ඇති බව අතිශයෝක්තියක් නොවේ. සත්තකින්ම කාල් මෙය සැබෑවටම සිදුවිය. වෙන වසරවලටත් වඩා ජනතාවක් මෙම මාසය තුළ ඔබ සැතපෙන භූමිභාගයට පැමිණ ඔබේ ප්‍රඥාවට, ඔබේ අවංකකමට, ඔබේ අප්‍රතිහත ධෛර්යයට, ඔබේ ඉවසීමට, ඔබේ කරුණාභරිත පීතෘත්වයට, ජෙනීට දැක්වූ අකලංක ආදරයට, එංගල්ස්ගේ උපකාර මධ්‍යයේ වුවද, දරිද්‍රතා මාපකයේ ශුන්‍යයට දශමයකට ඉහළින් සිටිමින් අගහිඟකම් නිසා දරුවන් එකා දෙන්නා මැරී වැටෙද්දී ධනවාදයට එරෙහි සටන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සහ කම්කරුවන් ප්‍රමුඛ ධනවාදයෙන් බැටකන සමස්ථ පීඩිත ජනතාවගේ ජීවිතයේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද අනලස් සහ කොන්දේසි විරහිත සේවයට ප්‍රණාමය පුදති. මෙම ලිපියද එම ප්‍රණාමයේම දිගුවකි.

එහෙත් මෙය ලියනුයේ සමස්ථ පීඩිත ජනතාවම කබලෙන් ලිපට වැටෙමින් යන තත්ත්වය තුළය. උදාවී ඇති මෙම තත්ත්වය පිළිබඳව ඔබ අතිශයෙන්ම කනගාටුවෙන බව මම ඉදුරා දනිමි. එහෙත් ඔබේ කනගාටුව තුළ නිහතමානී ආඩම්බරයක්ද මට දැකිය හැක්කේ මෙම අගාධයෙන් මිනිසාට ගොඩයාහැක්කේ ඔබගේ චින්තනය සහ වැඩපිළිවෙළ පමණක් උඩ බව ඔබ එදත් දැන සිටි බව දන්නා හෙයින් සහ සිදුවන දෑ බලන කල එදා ඔබ කියූ දෑ අදත් සනාථවන හෙයිනි.

කාල්, ඔබේ දැක්ම ගැන නම් ඉතින් කතා දෙකක් නැහැ. එය සත්තකින්ම නිවැරදියි. සමාජය සහ ආර්ථීකය පිළිබඳ විග්‍රහවලදි මිනිස් වැරදි සිදුවිය හැකිවුවත් පොදුවේ සමාජය පිළිබඳව ඔබේ කියවීමේ හෝ ධනවාදය පිළිබඳ ඔබගේ නිගමනයේ නොසලකා හැරිය හැකි මුලික දෝෂයක් මට නොපෙනේ. ඔබ නිවැරදි යැයි කියන්නේ ඔබ ගේ චින්තනය පසු පස පැමිණි ඔබගේ මධ්‍යම පංතික බුද්ධිමත් අනුගාමිකයන් සහ කම්කරුවන් පමණක් නොවේ. ඔබ ජීවතුන් අතර සිටි කාලයේ පවා ඔබ සමඟ වාද කළ සමහරු ද යටිහිතින් ඔබ නිවැරදි බව තේරුම්ගෙන සිටියෝය. සමහරු ඔබව නොසලකා හැර පසුව ඔබ වෙත ආවෝය (උදා. ජෝන් පෝල් සාත්රේ, ෂාක් ඩෙරීඩා). අද නම් එම සංඛ්‍යාව එදාට වඩා වැඩි බව ඔබ දන්නවාද? දේශපාලන න්‍යායවාදියෙක් ආර්ථීක විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක් ආදී වශයෙන් කේෂ්ත්‍රවලට කඩා ලේබල් අලවා ඔබව වෙන වෙනම හඳුන්වා දෙති. එහෙත් මම ඔබව එසේ නොදකිමි. මේ පටබැඳිළි ඔබට ගැලපෙනමුත් ඔබ එකවරම මේ සියල්ලෙහිම අභිභවනයයි. ඉක්මවීමයි. ඇරිස්ටෝටල්, හොබ්ස්, ලොක්, මකියාවෙල්ලි දේශපාලන න්‍යායවේදීන්. ඔබ ඒ ගණයේ නොවේ. ඔබ දේශපාලන විප්ලවකාරයෙක්. ඇඩම් ස්මිත්, කේන්ස්, ලිප්සේ, ෆී්‍රඩ්මාන් ආර්ථීක විද්‍යාඥයන්. ඔබ ඔවුන්ගේ පරපුරේ නොවේ. ඔබ ඔවුන්ගේ නිෂේධනයයි. කොම්ට්, ඩුර්කයීම්, වෙබර්, පාසන්ස්, ගිඩන්ස් සමාජවිද්‍යාඥයන් තමයි. නමුත් ඔබ ඒ එකෙකුවත් නොවේ. හෙරඩෝටස්, බකල්, රැට්සල්, හේගල්, බරුවා සහ ටොයින්බි එක්තරා අර්ථයකින් ඉතිහාඥයන් වුවද ඉතිහාසය ගැන ඔබගේ කියැවීම බැලූවිට ඔබව කෙසේවත් ඒ කඳවුරට දැමිය නො හැකිය. ඔවුන් ඉතිහාසය යනු පංති ගැටුම්වල ඉතිහාසයකි යන්න දුටු අය නොවේ. ඇරත් ඔබ අවධාරණය කළේ මානව ඉතිහාසය තවම ලියැවී නොමැති බවත් ලියැවී ඇත්තේ බලවතාගේ ඉතිහාසය බවත් සැබෑ මානව ඉතිහාසය ලිවීම ආරම්භවෙනුයේම ලෝකය ධනවාදී ග්‍රහණයෙන් මුදවාගත්දාටය යන්නය.
ඉතිහාසඥයාගේ පණිවිඩයට අවශ්‍ය පරිදි සිද්ධීන් අභිමත පරිදි රේඛීයව පෙළගැස්වීමකට වඩා (ලංකා ඉතිහාසය කෙටුම්පත් කළ මහානාම හිමියන් සහ පිරිස මෙන්) ඉතිහාසය යනු දහඩියේ, ගැටුමේ සහ අසාධාරණයේ ඉතිහාසය ලෙස පෙන්වීමට ඔබ කළ වෑයමේ තේරුමින් ගත්කළ ඔබ සාම්ප්‍රදායික ඉතිහාඥයෙක් නොවේ. බුදුන්වහන්සේ, මහාවීර, කොන්පියුසියස්, ඇක්වයිනාස්, කාන්ට්, විට්ගන්සටයීන්, රසල්, ඩෙරීඩා ආදීන් එක්තරා අර්ථයකින් දාර්ශනිකයෝ වූ මුත් ඔබ ඒ කිසිවෙකුත් නොදුටූ දෑ දුටූ ඒ කිසිවෙකුත් නොකී දෑ කියූ සුවිශේෂී දාර්ශනිකයෙකු විය. ඔබ ඒ කව්රුන්වත් නොවන බව සංයුක්ත ලෙස ප්‍රකාශ කොට තිබුනේ ෆියුබෑ පිළිබඳව ඔබ ලියූ 11 වෙනි ප්‍රවාදයේය. —දාර්ශනිකයන් මේ දක්වා කර ඇත්තේ ලෝකය විස්තර කිරීමයි. කළ යුත්තේ ලෝකය වෙනස් කිරීමයි˜. (ඔබගේ ඉහත අනුස්මරණ ථලකයේ ද මෙම ප්‍රවාදය කොටා ඇත). ඔබ ලියූ දෑ මුල සිට අග දක්වා ගැඔුරින් කියවා මෙම ප්‍රවාදය ද තීක්ෂණව කියවන්නෙකුට ඔබ අනෙක් දාර්ශනිකයන්ගෙන් සාකල්‍යයෙන්ම වෙනස් බව තේරුම් යනු ඇත. දර්ශනය යනු හුදු චින්තනාභ්‍යාසයක්ම නොව සමස්ථ මානවයාගේ යහපත සඳහා මානවයා විසින්ම කරනු ලබන ‘සදාචාර දේශපාලන සුභාවිතයක්‘ (moral political praxis) බව පෙන්වා දුන්නේ ඔබ පමණි. දර්ශනය යනු ඓතිහාසික, ආර්ථීිීක, දේශපාලනික සහ සමාජයීය යන විෂයයන් හතරේ ප්‍රබුද්ධ සංකලනයයි. කාල්, මගේ පුදුමය නම් මේ කේෂ්ත්‍ර 4 එක පුද්ගලයෙකු තුළ නොසෙල්වන ලෙසත් සංස්ථීතික ලෙසත් සංශ්ලේෂණය කර ගත්තේ් කෙසේද යන්නයි. ප්ලේටෝ චින්තකයෙකු වුවද ඔහු ප්‍රභූ පංති සංරක්ෂකයෙකු විය. ඇඩම් ස්මිත් ආර්ථීක විද්‍යාඥයෙකු වුවද මානවවාදියෙකු නොවීය. ලියනාඩෝ ඩවින්චි කුශලතා පූර්ණ මිනිසෙකු වුවද විප්ලවවාදියෙකු නොවීය. එහෙත් ඔබ ඒ සියල්ලමය. මට පුදුමය එයය.

ඇත්තෙන්ම 20වෙනි ශතවර්ෂයේ 6 සහ 7 දශකවල ලෝකයෙන් 1/2 ක පමණ දේශපාලනය ඔබේ චින්තනය පිළිගෙන තිබුනා. එහෙත් ස්ටැලින්වාදය, ජර්මන් ෆැසිස්ට්වාදය, ධනවාදී ආර්ථීක යාන්ත්‍රණයේ ෆැන්ටසි උත්තේජනයන්ගෙන් බිහිවූ නව පාරිභෝජන සංස්කෘතිය නිසාවෙන් ධනවාදය ස්ථම්භනයවීමෙන් ඔබගේ දර්ශනය තාවකාලික පසුබැස්මක් ලැබුවේයැයි පෙනුනද සැබෑ ලෙස නම් සිදුවූයේ සහ වෙනුයේ ධනවාදයේ දෛනික කඩාවැටීමයි. එසේ කඩාවැටෙන වාරයක් වාරයක් පාසා අභීතලෙස නැගීසිටිනුයේ ඔබයි. ඔබගේ කියවිමේ සහ අනාවැකීන්වල නිරවද්‍යතාවයයි. 2008-2010 ධනවාදී ලෝක අර්බුද-සුනාමිය නිසා කිසිවක් කරකියාගත නොහැකිවූ ඇන්ජලා මර්කල්, සාකෝසී, ඩේවිඩ් කැමරන්, ඔබාමා ඇතුළු ධනවාදී බලවතුන් උන්මාදයෙන් මෙන් ගැලවීම සඳහා ඔබගේ ප්‍රාග්ධනයටද එබී බැලීය. බල්ලාගේ තුවාලය ඌ විසින්ම ලෙව කා සනීප කරගන්නවා මෙන් ධනවාදය විසින් බංකොලොත්වු බැංකු සහ කොම්පැණි සියල්ල ඇප දී (bailing out) බේරා ගනු ලැබීය.

අද තත්ත්වය 2008 ට වඩා සෑම අතින්ම බරපතළයි කාල්. ඔබ පුරෝකථනය කළ ආකාරයටම අද ධනවාදය ගොඩ ඒමට බැරි ලෙස ආගාධයටම වැටිල. ගින්දර අඩුවී වතුර රත්වීම ප්‍රමාද වනවිට කකුළුවො බාල් නැටුවට ධනවාදයේ අවසානය වැඩි ඈතක නොවන බවට සොහොන් ලකුණු සෑම තැනින්ම මතුවෙනවා. හිට්ලර්, මුසෝලීනී සහ ෆ්‍රැන්කෝ වගේ ජනතාවගේ දුකින් පරපීඩක සතුටක් ඔබ නොලබන බව මම දන්නා මුත් ධනවාදයේ අර්බුදය තීව්‍රවීම ගැන සහ ඔබේ කියවීමේ නිගමන සනාථවීම පිළිබඳ ඔබට අහිංසක සතුටක් ඇතැයි මට සිතෙනුයේ ධනවාදයේ අවසානය ඔබේ අනාවැකියකට වඩා ඔබේ පැතුමව තිබූ බව ඔබේ ලිපි ලේඛනවලින් මට අනන්තව පැහැදිලිවී ඇති නිසාය. ‘‘ධනවාදය ලෝකයට මුදාහැර ඇත්තේ අරාජිකත්වය පමණයි‘‘ කියමින් Why Socialism නැමැති පොත් පිංචෙන් අයින්ස්ටයින් මීට වසර 70 කට පෙර ඔබගේ දැක්ම සනාථ කිරීමෙන් ඔබ සතුටු වන්නට ඇතැයි සිතමි.

අයින්ස්ටයින් 1949 දුටු ධනවාදයේ අරාජිකත්වයට වඩා අද අරාජකත්වයත් අවුලෙන් අවුලට ගිහිං කාල්. නවසිය තිස් ගණන්වල මහා ආර්ථීක අවපාතයේ සිට අද වෙන විට කී වතාවක් නම් ධනවාදය කඩාවැටුනද? ඒත් මොකක් හෝ කරල නැවත නැගිිටිනවා. ආයිත් කඩාවැටෙනවා. වෙනත් තැනකින් පුපුරනවා. ඒක පාස්සා ගන්නවා. ඔහොම තමයි පසුගිය වසර 133 ම ගෙවුනෙ. ඔබ එදා කීවානෙ ‘කොම්පැණිකාරයෝ නිපදවනවා, නිපදවනවා, නිපදවනවා අන්තිමේදී නිපදවන බඩුගන්න කෙනෙක් නැහැ‘ කියල. අද ඇතිවෙලා තියෙන්නෙ ඒ තක්ත්වය තමයි.. වෙළඳපොළවල් නැහැ. නව බැඳුම් නැහැ. තණ්හාව මිස නිෂ්පාදකයන්ට සදාචාරයක් නැහැ. 2008 නිවාස වෙළඳපොළ වැටුනෙ මේ නිසා. අසමානතාවය ආදායම හීන කළා. එය ණය ගැනීමට පෙළඹෙව්වා. මේ නිසා සියල්ල කඩාවැටුනා. දැනුත් එහෙමයි කාල්. උත්ප්‍රාසය නම් ධනවාදීන්ම ධනවාදයේ ගෙළ සිඳීමයි. පැනමා පත්‍රීකා කාන්දු සංසිද්ධිය පෙන්නුම් කරන්නේ ධනවාදයේ මේ සියදිවි නසා ගැනීමයි. ධනවාදයේ මූලික කොන්දේසිය මුදල් ආයෝජනයට යෙදවීමයි. මුදල් ප්‍රාග්ධනයට හැරවීමයිි. ඔබ ප්‍රාග්ධනයෙහි වෙළුම 1. 11 කොටසෙහි පරි. 4 න් පැහැදිලි කළ පරිදි මෙම ක්‍රියාවලිය එනම් C-M-C සහ M-C-M ප්‍රාග්ධනයේ සාමාන්‍ය සුත්‍රයයි. අද වෙන්නෙ තක්කඩි කමින් සහ හොරකමින් හොයලා මුදල් පොදි ගහගෙන ඉඳලා ආයා්ජනයට නොදා බදු කෙම්බිම් වල (tax heavens) හැංගීමයි. මෙය ධනවාදයේම මුලික ගතික නියාමයට පවා පිටුපෑමකි.

අනික් අතට කාල් ගිය සතියේ ධනවාදයේ පිපිරීම පෙන්වූ තවත් සිද්ධියක් වුනා. වසර 43 කට පසු යුරෝපා සංගමයෙන් බි්‍රිතාන්‍යය ඉවත්විය යුතුය යන්න ජනතාව තීරණය කළා. එදා යුරෝපා සංගමය අටවා ගත්තේත් ආර්ථීක අර්බුදයෙන් නිදහස්වීමට. අද අයින් වෙන්නෙත් ආර්ථීක කරුණු යහපත් කරගැනීමට සහ සූරාකෑම පිළිවෙළක් ඇතිව කිරීමට. බි්‍රතාන්‍ය යුරෝපා සංගමයේ සිටියත් එකයි ඉවත් වුනත් එකයි. ධනවාදයේ කඩාවැටීම නවත්වන්න බැහැ.

ඔබ සිතූ සහ පැතූ පරිදිම ධනවාදයට උරුම කඩාවැටීම දැන් ශීඝ්‍රගාමී වෙලා. ධනවාදයේ යාන්ත්‍රණයන් වන සිල්ලර වෙළඳපොළ, තොග වෙළඳපොළ, ණය වෙළඳපොළ, බැංකු ක්‍රමය, මූල්‍ය පද්ධති ආදී සියල්ල කඩාවැටෙමින් යනවා. 1930 ගණන්වල මහා ආර්ථීක අවපාතයෙන් පසු ධනවාදයේ නරකම කාලය අද ගෙවෙන බවට ධනවාදයෙන්ම හැදුණු ධනකුවේරයන් වන ජෝර්ජ් සොරොස් වැන්නන්, ‘ලෝක බැංකුව‘ (WB) සහ ධනවාදයේ භාරකරුවන ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල‘ (IMF) පවා පාපොච්චාරණය කරනවා.

ධනවාදයේ ආරක්ෂක පුවත්පතක් වන The Financial Times ධනවාදයේ ඉරණම වචන තුනකින් මෑතදී ලීවා. “ධනවාදය පටලවගෙන ඉවරයි“ (capitalism is in convolution). කේන්ද්‍රය දුර්වලයි. සියල්ල කඩා වැටෙනවා. සියල්ල දියවෙනවා. මට මතකයි ඔබත් ‘කොමියුනිස්ට් ප්‍රකාශනයේ‘ තැනක අවධාරණය කළා. “සියලූම ඝණීකෘත දේ දියවී වාතයට මුසුවන බව.“ ඒ කියන්නෙ ඔබ එදා කියු දෑ බොහොමයක් නිවැරදියි කාල්. ඔබ හැරුණුකොට අනෙක් සෑම සමාජ විිශ්ලේෂකයකුටම බැරිවුණා සිදුවන්නේ කුමක්ද සහ කළයුත්තේ කුමක්ද යන්න කියා දෙන්න. ඔබ ඒක කළා. අකුරටම කළා. නිවැරදිවම කළා. එහෙත් ජනතාව ධනවාදී මිරිඟුව පස්සෙ දුවනවා කාල්. නමුත් මේ දිවිල්ලට අවසානයකුත් දිවීමට හතියකුත් තියෙන්න එපායැ කාල්. පද්ධතිය කඩාවැටෙන බව හදපු අයම කියනවා නම් කාල් ඒ පසුපස දුවන්නන් ඒකට යටවෙන එක අහන්න ඕනෑ නැහැ නෙ. අපේ භාෂාවෙන් කියනවා නම් කාල් අද සියල්ල ‘කොට උඩ‘. ඒ කියන්නෙ ධනවාදය මැරි මැරී ජීවත්වෙනවා නැත්නම් මැරෙනකම් ජීවත්වෙනවා.

හයිගේට් සුසානභූමියේ ඔබේ අනුස්මරණ ඵලකයේ උඩ වැකිය ‘ලෝකයේ කම්කරුවනි එක්වව්‘ යන්නයි. කම්කරුවන් ධනවාදයේ මිනීවල හාරන්නන් ලෙස ඔබ හඳුනා ගත්තා. එමනිසා කම්කරු අරගල ගැනත් ඔබට කියන්න ඕනෑ. ඔබ සිටි කාලයේ වගේම තමයි කාල් කම්කරු අරගලවලින් නම් අදත් අඩුවක් නැහැ. හැමතැනම අරගල. හැමතැනම අර්බුද. පංචමහාද්වීපයේ කොහේ හෝ රටක දහස්ගණනින් රැකියාවලින් එළියට විසි නොවී රැයක් පහන් වෙන්නෙ නැහැ. 2008 සිට මේ වනවිට මිලියන ගණනකට රැකියා නැත්තටම නැතිවෙලා. සමහරු වරු පිරිත් කියනවා මෙන් පැය 4යි සේවය. සමහරු වෙඩිතියාගත්තා. සමහර පියවරු දරුවන්ට කන්න දෙන්න බැරුව මුළු පවුලම මැරුව. සමහරු වස පානය කළා. සේවක ප්‍රජාව රැකියාවලින් නො පන්නා ධනවාදය ගෙනයන්න බැරි බව ඔබ එදා කීවෙ කෑදර ධනවාදීන් ශ්‍රම සුරාකෑමෙන් පමණක් නොසෑහෙන නිසා සහ ඔවුන්ගේ තණ්හාවට සීමා මායිම් නැතිනිසා. ඒවා කිරිගහට ඇන්න වගේ හරි කාල්. අද අර්බුදය ඉහ වහා ගිහිං. එහෙත් උද්ඝෝෂණ, සටන්, වර්ජන සහ පිකටිං තිබ්බට ඒවා ඛෙහොමයක් කෙළවරවෙන්නෙ අයිතිවාසිකම් දිනාගෙන නොවෙයි. පාලකයන් ඉදිරියේ දණින් වැටිල. පාවාදීලා. අවබෝධතා ගිවිසුම් අත්සන් කරල. විශේෂයෙන් ශ්‍රී ලංකාවේත් ආසියාවේත් වැඩ වර්ජන අවසාන වෙන්නෙ පාවාදීලා. හැබැයි කාල් කටුනායක අරගලයෙන් නම් කම්කරුවන් රජය දණගැස්සුවා. එත් මේ ජයග්‍රහණය අඳුරු වළාකුළු ගොන්නක එක් රිදීරේඛාවක් පමණයි.

රට රටවල ප්‍රතිශත පෙන්වලා ඔබව වෙහෙස කරන්න මම කැමති නැහැ. එහෙත් දත්ත යථාර්ථයට දොරටුව බව ප්‍රාග්ධනය කෘතියෙන් පෙන්වා දුන්නේද ඔබමයි. ලෝක වැඩකරන ජනතාවෙන් මිලියන 375 ක් දිනකට ඩොලර් 1.25 ක වැටුපෙහි ඉන්නෙ. මිලියන 839 ක් ඩොලර් 2 වැටුපට. පුරසාරම් දොඩන ධනවාදය එදාට වඩා අද අති අමානුෂිකයි නෙ කාල්. Habitat (2015) දත්තවලට අනුව පවුල් මිලියන 100 ට ඉන්න තැනක් නැහැ. බිලියන 2කට පමණ ඇත්තේ නිවාස නොව කූඩාරම්. ආහාර හිඟකම සහ සෞඛ්‍ය ප්‍රශ්න මිනිසුන්ට ඔරොත්තු නොදෙන තත්වයකට ඇවිත්. එක පැත්තකින් රැකියාවලින් ලක්ෂ ගණන් දොට්ට වැටෙනවා. අනික් පැත්තෙන් විරැකියාව ප්‍රසාරණය වෙනවා. 2008-9 මූල්‍ය කඩාවැටීමෙන් පසු තරුණ විරැකියාව 14% කින් ඉහළ ගියා. මැද පෙරදිග තරුණ විරැකියාව 27%. මැදපෙරදිග කලබල මේ නිසා වුවද ඉතිහාසයට එකතුවෙන්නෙ ෂියා-සුන්නි ආගමික-නිකායික සටන් ලෙසය. ශ්‍රී ලංකාවේ ඇති-නැති ප්‍රශ්න සිංහල-දෙමළ ජනවාර්ගික කෝලහාල ලෙස ඉස්මතුවෙනවා වගේ.

කාල්. එදා ධනවාදය දිහා බලා ඔබ වරක් නොවෙයි කිහිපවාරයක් ම කළ අනාවැකියක් තමයි තරගකාරීබව නිසා කුඩා සමාගම් සහ මධ්‍යම ප්‍රාග්ධනධාරීන් අනාගතයේදී බහු ජාතික, බහු ආගමික, බහු ව්‍යාපාරීක ආදී වශයෙන් එකතුවී මෙගා සමාගම් සාදන බව. ඔබේ ඒ පුරෝකථනය නිවැරදියි. අද එය හඳුන්වන්නෙ ‘ගෝලීය ඒකාබද්ධ ධනවාදය‘ (global cooperate capitalism) ලෙස. ධනවාදය කිහිපදෙනෙකු අත රැඳි වර්ධනය වෙලා අද වඩාත් සීමිත අතලොස්සකට සාන්ද්‍රණය වෙලා. මෙම කි්‍රයාවලියේ නියාමය ඔබ හැඳින්වූයේ The Law of Concentration & Centralization එනම් ‘ප්‍රාග්ධනය මධ්‍යගත සහ රාශීභූතවීමේ න්‍යාය‘ ලෙසය. නමුත් ඔබ ඒ සමගම කීවා මේ හේතුව නිසා ධනවාදයට බේරෙන්න පුළුවන්කමක් නම් නොලැඛෙන බව. නිෂ්පාදන බලවේග සහ සම්බන්ධතාවල හැප්පීම, ගැටීම, පරස්පරය තවත් පුළුල් වීම මෙයට හේතුව බව ඔබ පෙන්වා දුන්නා. ‘ගෝලීය ඒකාබද්ධ ධනවාදය‘ දිනෙන් දින පුපුරායාමෙන් පේන්නෙ ඔබ එතනත් හරි කියලයි. එදා ධනවාදයට රුකුලක් ලැබුනෙ තාක්ෂණයෙන්. අද ධනවාදයේ භාරකරුවො වෙලා තියෙන්නෙ සාම්ප්‍රදායික ධනපතීන් නොවෙයි. ‘නවීන තාක්ෂණික ධනකුවේරයන්. බිල් ගේට්ස් (Microsoft), ස්ටීව් ජොබ්ස් (Apple), ලැරී පේජ් (Google), මාර්ක් සකබර්ග් (Facebook). මොවුන් තමයි ධනවාදයෙන් උපන් ප්‍ර-ප්‍රකෝටිපති දැවැන්තයො. අද පරම්පරාවේ ‘රෝල් මොඩල්‘ මේ අයයි. Plutocrats: The rise of the new global super-rich and the fall of everyone else යන ශීර්ෂයෙන් මොවුන් ගැන පොතක් Chrytia Freeland විසින් 2012දී ලියලා තියෙනවා. මෙම කෘතිය ඔබ කියු නියාමයේ අභ්‍යන්තර ක්‍රියාවලිය කරුණු සහිතව පෙන්වා දෙනවා. මේ නිසයි කාල් ඔබ නිවැරදි බව මමත් මම වැනි තවත් බොහෝ අයත් පුන පුනා කියන්නෙ සහ හිතන්නෙ. මම නම් හිතන්නෙ ධනවාදය ගිලෙන ගිලෙන ගානට තව තවත් ගොඩට පාවී දිලිසෙන්නෙ ඔබ සහ ඔබ විතරමයි කියල. මම තරමක් භාවාත්මකයි වගේද කාල්. ඒ වුනත් මම කියන්නෙ ඇත්ත. ඇරත් ධනවාදයට එරෙහිව ඔබත් භාවාත්මක වුණා. ඔබ ජෙනීට ‘ලව්‘ කරන කාලයේ ඔබ ලියූ භාවාත්මක කවි ගැන මම 2008 දී ලියූ ලිපිය ඔබට එව්වා 2008 දී පමණ. මතකද කාල්. ඒ නිසා මමත් ටිකක් භාවාත්මක වුණාට කමක් නැහැ නෙ.

කාල්, ධනවාදය අභාවයට යන ගමන් තම පැවැත්ම සහතික කරගැනීමට ඔබ කියු දේවල් බොහොමයක් අද එය පාව්ච්චි කරනවා. ධනවාදයේ අර්බුදය පමණක් නොව ධනවාදීන් විසින් අර්බුදයෙන් ගොඩයාමට ගන්නා විකල්ප පියවරයන් ගැනද ඔබ කියා තිබීම ඇත්තමට පුදුමයි කාල්.

1. සම්භාව්‍ය ආර්ථීක න්‍යාය විසින් තරගකාරීත්වය සාමාන්‍ය දෙයක් ලෙසත් ස්වයංපෝෂි ලෙසත් තේරුම් කර දී තිබූ වෙලාවක 1860 ගණන්වල ඔබ තර්ක කළේ විශාල ඒකාධිකාරී සමාගම් හරහා වෙළඳපොළ- බලය මධ්‍යගත වන බවය. ඔබ මෙය අවධාරණය කරනවිට එදා සිටි ආර්ථීක ‘ඔස්තාද්ලා‘ මේ මොන පිස්සෙක්දැයි අහන්නට ඇත. නමුත් අද ඔබේ කියැවීම සත්‍යය වී ඇත. කුඩා ව්‍යාපාර වැසී ගොස් ඒ වෙළඳාම Nike, Coca-Cola, Walmart ආදී බහු ජාතික සමාගම් සහ ව්‍යාපාර-ජාලයන් විසින් ඩැහැගෙන අහවරය. කුඩා බැංකු පමණක් නොව Morgan Chase වැනි මහා බැංකු ද, ලෝපුරා කුඩා ගොවිපළවළArcher Daniels” Midland සහ Nestle වැනි බහු-ජාතික සමාගම් විසින් විසුරුවා හැර අවසානය. කාල්, ඔබ ඉංදියාව සහ ශ්‍රී ලංකාව ගැනත් ලියා ඇති නිසා අපද මේ ව්‍යසනයට ලක්වී අවසාන බව දැනුම්දෙමි. ලංකාවේත් Food City සුපිරි වෙළඳ සැල් ජාලය දිවයිනේ සතර දිග් භාගයේම කුඩා කඩ බිල්ලට ගනිමින් සමස්ත දිවයිනම තම වෙළඳ දඬු අඬුවට හසුකරගෙන ඇත. අනෙක් රටවල් මෙන් ශ්‍රී ලංකාවද ධනවාදී මහාවිශ්වයේ (macrocosm) අණුකවිශ්වය (microcosm) වී අවසානය.

2. ඔබ එදා අධි නිෂ්පාදනය (over-production) ගැන මොනතරම් කතාකළාද? අධි-නිෂ්පාදනය නිසා සමස්ථ පෘථීවි ග්‍රහවස්තුවම පීරා වෙළඳ පොළවල් සෙවීමට ධනවාදයට සිදුවෙන බව ඔබ කී තැනක ලීවාද?, සමස්ථ ගෝලයේ මතුපිට පීරමින් භාණ්ඩ සඳහා වෙළඳපොලක් (සහ ලාභ ශ්‍රම හමුදාවක්) නිරන්තරයෙන් සොයායාමේ ධනපතියාගේ අවශ්‍යතාවය “සෑමතැනකම ස්ථාපිතවීමටත් මුල්බැස ගැනීමටත් ඔවුන්ගේ තණ්හාව ඔවුන්ට බළකරති“. ආදී වශයෙන් ඔබ එදා ප්‍රාග්ධනයෙන් පෙන්වාදුන්නෙ මේකනේ?. අද සිදුවන ගෝලීයකරණයනෙ මේ. ඔබ ඒ ගැන ලීවේ 1848 දී නෙ. ඔබ ගැන මා ආඩම්බර වනුයේ 2016 දී ධනවාදී ලෝකය යන දිශාව ඔබ එදා දැකීම ගැන නොවේ. එසේ සිදුවන්නේ කෙසේද යන්න ඔබ විග්‍රහ කිරීම ගැනත් නොවේ. මම පුදුම වනුයේ ඔබ එය නිවැරදිව කිරීම නිසාය. ධනවාදයේ දෛලෙක්තිය ඔබ තීක්ෂණව දුටු නිසාය. ඔබ නිවැරදි බව මහාචාර්ය ටෙරී ඊගල්ටන් විසින් Why Marx was Right? පොතින් පෙන්වා දුන්නේ මේ මෑතදීය.

3. කාල් ඔබේ යුගයේ කම්කරුවන් මුදාහැරියෙ ශාරීරික ශ්‍රමයයි. අද ශ්‍රමයත් පරිණාමය වෙලා. ශ්‍රමය ඩිජිටල් වෙලා. ඇත්තටම ඩිජිටල් කරල. ඩිජිටල් නිසාම එම ශ්‍රමය ආකර්ෂණීීය වෙලා. ශාරීරික ශ්‍රමයෙන් වෙනස් ලෙස එය අර්ථකථනය වෙලා. උත්තරාරෝපිතවෙලා (superimposed). එදා ශරිරය හරහා ශ්‍රමය සුරාකෑවා. අද ඩිජිටල් බුද්ධිය හරහා සුරාකනවා. ඇ.එ. ජ. ප්‍රදේශයේ සිලිකන් වැලි තමයි ඩිජිටල් තාක්ෂණය හරහා ශ්‍රම සුරාකන අඩවි තලාව. එවන් අඩවි දැන් සෑම තැනකම ඉදිවෙලා. ඒ නිසා ඔබ හරි. ධනපතීන් මොන උප්පරවැට්ටි හෝ යොදා මින්ස් ශ්‍රමය සුරාකන බව එදා කීවා. එදා වගේම තමයි කාල් අදත්. ඩිජිටල් වුවත් ‘මරා වැඩගැනීම අඩුකරල නැහැ. (Wod Amazon, Apple). එහෙත් ඩිජිටල් ශ්‍රමධාරීන් හිතන්නෙ ඔවුන් දහඩිය හෙලන ශ්‍රමධාරිතයින්ගෙන් වෙනස් කියල. ඔවුන් කම්කරුවො නොවෙයි කියල. ඔබ පැහැදිලිව කම්කරුවාව නිර්වචනය කරමින් ලීවා “වේතනධාරීයෙක් නම් ඔහු හෝ ඇය කම්කරුවෙක්“ බව. ඩිජිටල් කම්කරු ‘මහත්වරු‘ එහෙම හිතන්න කැමති නැහැ. ධනවාදීන්ගේ සිලිකන් තලාව වැනි ‘ඩිජිටල්‘ වැඩබිම් “ඩොට්, බබල්“ ආයොජනයන් දක්වා අද වර්ධනය වෙලා. මෙය ඔබ හඳුන්වා දුන් “මිථ්‍යා – ප්‍රාග්ධනය“ (fictitious capital) නොවේනම් වෙන කුමක්ද?

4. භාණ්ඩ නිෂ්පාදනය සමග භාණ්ඩ අර්චන කාමයකුත් (Commodity Fetishism) පාරිභෝජකයා තුළ ධනවාදය ඇතිකරන බව ඔබ එදා දුටුවා. එහි උච්ච රූපය අද ධනවාදය තුළ පේනවා. එයටම කියා මනුස්සකමක් නැති, භාවිත නොව ශෝභන නිමාවෙන් යුතුව නිපැදවී වාර්ෂිකව වෙළඳපොළට එන සියුම් විචිත්‍ර භාණ්ඩවලට පාරිභෝජකයන් යට වන හැටි සහ ඒ පසුපස දුවන උන්මාදය අර්චන කාමය හැර වෙන කුමක්ද? iPhone s6 වැඩිමිලකට හැකිනම් පළමු ගැනුම්කරුවන් 100 ට ඇතුල් වෙමින් තමන් සතුකර ගැනීමට දහදුක් විඳිනුයේ iPhone s5 ට හෝ iPhone s4 ට වඩා iPhone s6 හොඳ නිසා නොව භාණ්ඩ අර්චන කාමය නිසාය. පරිභෝජන චර්යාව තුළ භාණ්ඩ හඔායාම් මීට පෙරත් තිබූ මුත් ධනවාදය මෙන් පාරිභෝගිකයා තුළ ආශාව පැළකොට ඔහුට හෝ ඇයට හතිවැටෙනකම් භාණ්ඩය පසුපස දිවීම පුරුදුකළේ ධනවාදයයි.

ඔබගේ චින්තනය අද්වීතීයවනුයේ ධනවාදයේ වැටීම පුරෝකථනය කිරීම නිසාම නොවේ. පහත් ප්‍රතිභාවන් ද නිසාය.
1. “යථාර්ථමය වශයෙන් ගත් කළ ලෝකය භෞතික මිස අධ්‍යාත්මික නොවේ“.
2. “සමාජ ඉතිහාසය යනු පංති අරගලයන්ගේ ඉතිහාසයයි“.
3. “ජනතාව සමාජ තීරණයන්ට එළෙඔනුයේ ඔවුන්ගේ ආර්ථීක වුවමනා එපාකම්වලට අනුවය. ඒ ඒ සමාජවල ලක්ෂණ එපරිදි හැඩගස්වනුයේ ඒ ඒ සමාජයන්හි ආර්ථීක ව්‍යුහයන්ය“.
4. “දාර්ශනිකයන් මේ දක්වා කර ඇත්තේ ලෝකය විස්තර කිරීමකි. කළ යුත්තේ වෙනස් කිරීමයි“.
5. “ආගම යනු ජනතාවගේ මත්ද්‍රව්‍යයයි. ජනතාව රැවටිල්ලයි“.

ඔබ ඉහත ලියූ සෑම වාක්‍යයන්ම වැදගත්. ඒවා කීවේ සහ ලීවේ මිනිසා වන අප වෙනුවෙන්. කෙසේ වෙතත් ඔබ ලියූ වාක්‍යයන් සියල්ලම වැදගත් මුත් මා සිත්ගත් අතිශය දාර්ශනික හරයකින් යුත් වාක්‍යයක් උද්ධෘත කිරීමෙන් ඔබට කරනු ලබන මෙම ප්‍රණාමය අවසන් කරමි. ඔබ මෙය ලීවේ වයස 17 දී. මට පුදුම ඒකයි.

“මිනිසාගේ ස්වභාවය සකස් වී ඇති ආකාරය සලකන කල ඔහුගේ පරිපූර්ණත්වය කරා ඔහුට යා හැක්කේ ඒ සඳහා ඔහු කටයුතු කරන්නේ නම් පමණි. තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමියෙකුට සමහරවිට හොඳ උගතෙකු හෝ සිල්වත් තාපසයෙකු හෝ හොඳ කවියෙකු විය හැකි මුත් ඔහුට කිසිදිනක ශ්‍රේෂ්ඨ මිනිසෙකු නම් විය නොහැකිය.“ (Reflections of a Youth on the Choice of a Vocation).

මෙයට
හිතවත් ඩෙස්මන්ඩ්
ශ්‍රි ලංකාව
wasanthimanik@yahoo.com