අන්තවාදයට මුහුණදිය හැකි ප්‍රබලම අවිය සමාජවාදයයි

නියමුවා – 2019 අප්‍රේල්
April 29, 2019
විමර්ශන – 2019 අප්‍රේල්
May 2, 2019
Show all

අන්තවාදයට මුහුණදිය හැකි ප්‍රබලම අවිය සමාජවාදයයි

 – හිටපු කියුබානු තානාපතිනි ආචාර්ය ඉන්දිරා ලෝපේස්

මෙය ශ්‍රී ලංකාවේ හිටපු කියුබානු තානාපතිනි ආචාර්ය ඉන්දිරා ලෝපේස් මහත්මිය සමග ලෙෆ්ට් සඟරාව කරන ලද සාකච්ඡාවක සිංහල පරිවර්තනයයි. හවානා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ඇය වසර 03ක කාලයක් ලංකාවේ කියුබානු තානාපතිනිය ලෙස සේවය කළාය. ලංකාවෙන් බැහැරවීමට පෙර ඇය විසින් ලංකාවේ මාධ්‍යයක් සමග කරන ලද අවසන් අදහස් දැක්වීමය.

LEFT  : වත්මන් ලෝකය තුළ අන්තවාදය විසින් විශාල විනාශකාරී බලපෑමක් සිදුකරමින් තිබෙනවා. එහි ගමන්මඟ ගැන යමක් කිවුවොත්.

මානව ඉතිහාසය තුළ අපට අන්තවාදය විවිධ අවස්ථාවන්හි හමුවෙනවා. විශේෂයෙන් ජාතික බලවේග තුළත් ආගමික බලවේග තුළත් එය පැවැතුණා. මාක්ස්වාදයට අනුව පෞද්ගලික දේපළ බිහිවීමේදී විවිධ වූ සමාජ සංවිධානයන් බිහිවූ බව අපි දන්නවා. එම සමාජයන්හි ආගම තුළ අන්තවාදයේ මුල්  දක්නට ලැබුණා. දාර්ශනික වශයෙන් බැලුවහොත් ආගමට පදනම වූයේ මිනිසුන් තුළ පැවති කුතුහලයයි. තමන් කවුද? තමන් ආවේ කොහි සිටද? තමන් යන්නේ කොතැනටද? ආදී වශයෙන් ඔවුන්ට දැනගැනීමට කරුණු තිබුණා. එම අපේක්ෂාවන් කාලයත් සමග වෙනස් වුණා. කල්යත්ම අපේක්ෂාවන් ආගමට පමණක් නොව දේශපාලනයටද ඈඳුණා. මුල්කාලවලදී ආගම හා දේශපාලනය ඍජුවම එකට ගමන් කළා. මේ යුගයේදී දේශපාලන නායකයින් ආගමික නායකයින්ද ආගමික නායකයින් දේශපාලනික නායකයින්ද වුණා.

විශේෂයෙන් යුරෝපයේ ධනපති පංතිය ශක්තිමත්ව නැගී ඒමත් සමග කතෝලික ආගම සහ වැඩවසම්වාදය තමන්ගේ වර්ධනයට බාධාවක් ලෙස පවතින බව තේරුම් ගත්තා. ආගමට හා දේශපාලනයට තමන්ට බලපෑම් කළ හැකි බව තේරුම් ගනිමින් සිටි ඔවුන් ආගම හා දේශපාලනය අතර බෙදීමක් තිබිය යුතු බව දුටුවා. ධනේශ්වර විප්ලවය තුළ අපි දකින්නේ මෙය කූටප්‍රාප්තියට පත් වූ ආකාරයයි. ඉන් පසුව කෙනෙකුට තමන්ගේ ආගමික සම්භවයන් හා විශ්වාසයන් නොසලකා දේශපාලනයට ඇතුළත් විය හැකි වුණා. මෙම සමාජ සංස්කෘතික රටාව යටත්විජිතවාදය සමග ආසියාවට, අප්‍රිකාවට හා ලතින් ඇමරිකාවටද ලෝකයේ සෙසු කොටස් වෙතටද ව්‍යාප්ත වී ගියා. ඒ අතර කතෝලික ආගම මේ ප්‍රදේශවල පැතිරුණා. මේ හා සමගාමීව ආගම හා දේශපාලනය වෙන් වෙන්ව පැවතීමත් සිදුවුණා.

ආසියාකරයේදී ආරක්ෂණවාදී හැසිරීම් නිසා ධනේශ්වර ක්‍රියාවලිය හා මෙම සංස්කෘතික බලපෑම එක්ව ගමන් කළේ නැහැ. එය සුවිශේෂී සංවිධානයක් වුණා. කාල් මාක්ස් එය හැඳින්වූයේ ආසියාතික සමාජ ක්‍රමය ලෙසයි. ආසියානුවන් ආක්‍රමණිකයින්ගේ ආගම හා ජීවන රටාව තමන් මත පැටවීමට ඉඩදුන්නේ නැහැ. ඒ නිසා එම සමාජයන්හි නායකයින්ගේ භූමිකාව ආගමික හා දේශපාලන ක්ෂේත්‍රයේදී නොවෙනස්ව පැවතුණා.

සමාජවාදයේ සෝවියට් සංස්කෘතිය බිඳ වැටෙනු අපි දුටුවා. සමාජවාදී රටවල් කඩා වැටුණා. එය ඔවුන් විසින් ඔවුන්වම පරාජය කර ගැනීමක්. ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව දරිද්‍රතාවයට ඇද වැටුණා. මරණයට පත්වූණා.  ඒ සමගම සූරාකෑමෙන් මිදීම සඳහා ජනතාව තුළ වන අපේක්ෂාවද දැල්වුණා. සමාජවාදයට බටහිර සංස්කෘතියේ මූලයන් පැවැතුණා වගේම සමාජවාදය නිර්මාණය කළේ ආගමෙන් වෙන්වූ දාර්ශනිකයින් විසිනුයි. ආගමටත් ඔවුන්ගේම වූ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයක් තිබුණා. මිනිසුන් තේරුම් ගත් පරිදි තමන්ගේ බලාපොරොත්තුව ලෙස පැවති සමාජවාදය බිඳ වැටීමෙන් පසු බොහෝ පිරිසක් නැවතත් ආගම දෙසට හැරුණා. ඒ සූරාකෑම අසමානතාව, අවස්ථාවන් අහිමිවීම, අධ්‍යාපන ගැටලු, අයුක්තිය තවමත් පවතින ලෝකයක් වීම නිසයි. මේවායින් පීඩා විඳි ජනතාව ආගම තුළ සහනයක් සෙව්වා. අන්තවාදීන් මේ කොටස්වලට නාමික සමානාත්මතාවයක් ප්‍රදානය කරමින් තමන් වෙතට ආකර්ෂණය කර ගත්තා. අන්තවාදයේ ද්‍රව්‍යමය පදනම සකස්කළේ මෙම පරිසරයයි. ආගමික කොටස් අතර ආධිපත්‍යය තහවුරු කර ගැනීමට අන්තවාදයට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ වුවද අද අන්තවාදය තවත් පිරිසකගේ බලපෑමට අධිකාරිත්වයට යටවී තිබෙනු දක්නට පුළුවන්. අන්තවාදය අද සේවය කරන්නේ අධිරාජ්‍යවාදයටයි.”

LEFT  : අන්තවාදය (Extremism) හා මූලධර්මවාදය (Fundamentalism) අද එකම අර්ථයකින් භාවිත වෙනවා. එහෙත් මේ අතර වෙනස පැහැදිලි කළොත්.

අන්තවාදය සහ මූලධර්මවාදය අතර වෙනස්කම් තිබෙනවා. මූලික වශයෙන් මූලධර්මවාදය ආගමික ඉගැන්වීම් පදනම් කරගන්නවා. මූලධර්මවාදය ආගම්වල මූලධර්ම මත රඳා පවතිනවා. එය ආගමෙහි සාරය හරය කොට ගන්නවා. ආගම වෙත සමීප වීම තේරුම්ගත හැකියි. මෙය වඩාත් ජනප්‍රිය වූයේ එහි ප්‍රචාරක වැඩසටහන් නිසාම නෙමෙයි. ඊටද දාර්ශනික පදනමක් පැවතියා. ආසියාතික ජනතාවට බටහිර යටත්විජිතවාදයෙන් මිදීමට අවශ්‍ය වුණා. ඉරාන විප්ලවය ගතහොත් බටහිර යටත්විජිතකරණයෙන් මිදෙන්නට, ඊට වඩා වෙනස් ලෙස පෙනී සිටින්නට ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් ඉස්ලාම් ආගමේ සහ තම සමාජයේ මූලධාර්මික කරුණු පදනම් කර ගත්තා. මූලධර්මවාදය ආසියාතික සමාජය හා වැඩියෙන් බැඳී තිබෙන්නේ ඒ නිසයි.

කෙසේවුවද එය එසේම යැයි සැලකිය යුතු නැහැ. මෙය පවා බටහිර ප්‍රචාරක යාන්ත්‍රණය විසින් වඩා වැඩි කොට පෙන්වා දෙනවා. ආසියාවේ පමණක් නොව බටහිර සංස්කෘතිය තුළ පවා මූලධර්මවාදය දැකිය හැකියි. කතෝලික හා ක්‍රිස්තියානි ආගම් තුළ ධනවතුගෙන් ගෙන දුප්පතුන්ට දිය යුතු බව කියනවා. පල්ලියේ මුල්ම නායකයින් නිහතමානී මිනිසුන්ව සිටියා. ඔවුන් ආගමේ මූලධාර්මික කරුණු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියා. මූලධර්මවාදීන් පැවතගෙන එන්නේ ඔවුන්ගෙනුයි. මූලධර්මවාදීන් ආගම පදනම් කරගත් කොටසක්.

එහෙත් අන්තවාදය දේශපාලන සංවිධානවලට අනුබද්ධව ක්‍රියාත්මකයි. තමන්ගේ අයිතීන් හා අදහස් අනුව නිර්මාණය කරගත් දේශපාලනය පදනම් කරගත් අන්තවාදීන් දැකිය හැකියි. ඔවුන් ධනවාදය රකිනවා. ඔවුන් සුළු ධනේශ්වරයි. ඒ වගේම ඔවුන් අවස්ථාවාදීන්ද වනවා. එසේම අන්තවාදීන් වර්ග කිහිපයක්ද හඳුනාගත හැකියි. ශක්තිමත් දේශපාලන මෙහෙවීමක් සහිත පිරිස්, ආනුගාමිකයින්, හිතවතුන් ඒ අතර වනවා.

අන්තවාදය සෑමවිටම ක්‍රියාමාර්ගයකට සම්බන්ධයි. හුදු ඇදහීමක්, විශ්වාස කිරීමක් පමණක් නොව ක්‍රියාත්මකවීමක්ද එහි තිබෙනවා. වෙනස එයයි. මූලධර්මවාදය ආගමට සම්බන්ධවීමත් අන්තවාදය දේශපාලනයට සම්බන්ධවීමත් මූලික වෙනසයි.

අධිරාජ්‍යවාදී ප්‍රචාරක යාන්ත්‍රණය වමේ ව්‍යාපාරය හෙළා දැකීම සඳහා අන්තවාදය නම් සංකල්පය යොදා ගන්නවා. ඔවුන් ‘හොඳ වමේ ව්‍යාපාරය’ හා ‘නරක වමේ ව්‍යාපාරය’ වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඔවුන්ට අනුව ‘හොඳ වමේ ව්‍යාපාරය’ කියන්නේ, උදාසීන, විරෝධතා නොමැති කණ්ඩායමයි. ‘නරක වමේ ව්‍යාපාරය’ කියන්නේ වීදියට බහින, ඉල්ලීම් ඉල්ලා හඬ නගන, විරෝධතා දක්වන දේශපාලන ක්‍රියාකාරිකයිනුයි. ඔවුන්ට අනුව එම කොටස අන්තවාදීන්.

මේ මොහොතේ අප මුහුණ දෙන මතවාදී අරගලය වන්නේ වමේ ව්‍යාපාරය මත මෙම අන්තවාදී ලේබලය ඇලවීමට එරෙහිවයි. වම කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීම ඔවුන්ට පවරා දිය යුතු නැහැ. සැබෑ ක්‍රියාකාරී වමට අන්තවාදී ලේබලය ඇලවීමට එරෙහිව අපි සටන් කළ යුතුයි.

අපි අද ත්‍රස්තවාදය අත්දකිමින් ඉන්නවා. මේ ත්‍රස්තවාදය දියත්කරන ත්‍රස්ත කණ්ඩායම් බිහි කළේ අධිරාජ්‍යවාදීනුයි. ඔවුන් මේ මාතෘකා දෙකම එකවිට පාවිච්චි කරමින් සිටිනවා. සැබැවින්ම ත්‍රස්ත කණ්ඩායම් කවුරුන්ද දේශපාලන ක්‍රියාකාරීන් කවුරුන්ද යන්න තේරුම්කර ගත යුතු වෙනවා. සැබෑ වාමාංශික ව්‍යාපාරයට ත්‍රස්තවාදී චෝදනාව එල්ලකිරීම, එයට පහරදීම සඳහා වන අධිරාජ්‍යවාදීන්ගේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්. විප්ලවාදී ව්‍යාපාර එම චෝදනාවෙන් මුදා ගැනීම අපේ වගකීමක්ද වනවා. අධිරාජ්‍යවාදී නිර්වචනයට අනුව බොහෝවිට අවිගත් වාමාංශිකයින් ත්‍රස්තවාදීන් වන අතර දක්ෂිණාංශිකයින් හුදු සටන්කාමීන් ලෙස හැඳන්වෙනවා. සැබැවින්ම ඔවුන්ට අප අතර නිර්මාණය කිරීමට අවශ්‍ය බෙදීම එයයි.

LEFT  : ෆැසිස්ට්වාදය (Fascism) අපි දුටු ප්‍රසිද්ධ අන්තවාදී ප්‍රවාහයක්. මේ ගැන ඔබේ අදහස.

දක්ෂිණාංශික දේශපාලනයන් වන ෆැසිස්වාදය ඉතාලියේ උපත ලැබූවක්. ඔවුන් හඳුන්වනු ලැබුවේ ෆාෂියන්වරුන් ලෙසයි. ඔවුන්ට ඉතාලියේ අන්ත දක්ෂිණාංශිකයින්ගේ සහය හිමිවුණා. පසුව ජර්මනියේත් යුරෝපයේ මධ්‍ය ප්‍රදේශවලත් මෙම මතවාදය පැතිර ගියා. ඔවුන්ගේ අරමුණ වූයේ, පළමු ලෝක යුද්ධයෙන් පසුව දෙවන ලෝක යුද්ධය අතර ලෝකය පුරා ව්‍යාප්තවෙමින් තිබූ පංති අරගලය මුලිනුපුටා දැමීමයි. 1917 සමාජවාදී විප්ලවය හේතුවෙන් අධිරාජ්‍යවාදීන්ගේත් ධනපතියන්ගේත් ප්‍රතිචාරයක් ලෙස මෙය ඉදිරිපත්වූවා. ෆැසිස්ට් කණ්ඩායම් ඉතාලියේත් ජර්මනියේත් සමාජවාදීන් බියවැද්දීමෙන්, මරා දමමින්, මර්දනය කරමින් පංති අරගලය මැඩපැවැත්වුවා. මෙය ෆැසිට්වාදයේ දේශපාලන පෙරමුණයි.

පසුව එය තවත් ක්ෂේත්‍ර කරා පැතිර ගියා. මතවාදී යාන්ත්‍රණයක් බවට ෆැසිස්ට්වාදය පත්කර ගැනුණා. මේ මරාදැමීමේ හා වෛරයේ යාන්ත්‍රණයට වමේ කණ්ඩායම් නාමකරණය කළේ ‘ෆැසිස්ට්වාදය’ ලෙසයි. මෙම මාවතම විශ්වාස කරන හා අනුගමනය කරන්නා වූ ලොව පුරා ඕනෑම හමුදාවකට, කණ්ඩායමකට අද ෆැසිස්ට්වාදීන් යන නම යොදනවා. ඔවුන් කිසියම් ආගමකට හෝ සංස්කෘතියකට බැඳී නැහැ. ඔවුන් බැඳී සිටින්නේ පංති අරගලය යටපත් කිරීම සඳහාවූ ක්‍රියාවලියක් වෙතටයි. අරමුණේ හා ක්‍රියාකාරිත්වයේ සමානත්වය අනුව ෆැසිස්ට්වාදින් හඳුනාගත හැකියි. අද ඔවුන් යුදෙව්වන් සමූල ඝාතනය කරමින් නොසිටිනවා වන්නට පුළුවන්. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවලිය එකයි.

අද වන විට යුරෝපයේ පමණක් නොව දකුණු ඇමරිකාවද ඇතුළු ලොව පුරා විවිධ ස්වරූපයෙන් ෆැසිට්වාදය පවතිනවා. හිට්ලර් පාවිච්චි කළ උපක්‍රම ඔවුන්ගේද උපක්‍රම වී තිබෙනවා. දකුණු ඇමරිකාවේ මෑත ඉතිහාසයේ හමුදා පාලනයන් තුළ අපි මේ භාවිතයන් දුටුවා. ආසියාවේ, අප්‍රිකාවේ ඇතැම් තැනක මේ අන්දමේ හැසිරීම් තිබෙනවා. එහෙත් ඒ ෆැසිස්ට් නාමයෙන් නෙමෙයි.

 LEFT  : අන්තවාදී කණ්ඩායම් අධිරාජ්‍යවාදී රටවල රහස් ඔත්තු සේවා සමග සමීප සබඳතාවක් ඇති බව අපි දකිනවා…

සී.අයි.ඒ. සංවිධානය පංති ව්‍යාපාර බෙදීම හා විනාශ කිරීම සඳහා අන්තවාදය හා මූලධර්මවාදය යොදා ගන්නවා. නිදසුනක් ලෙස ලතින් ඇමරිකාවේදී ඔවුන් මූලධර්මවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කළා. එය පල්ලියට හෝ සැබෑ සහයෝගිතාවට කිසිදු සබඳතාවයක් තිබුණේ නැහැ. ඔවුන් දක්ෂිණාංශික වටිනාකම් ඉස්මතු කළා. ඔවුන් මිනිසුන්ට ජීවිතයෙන් පළායාම ප්‍රවර්ධනය කළා. දේශපාලනිකව යමක් තේරුම් ගැනීම බැහැර කළා. ජීවිතය නිහඬව දරාගත යුතු බව කීවා. ඔබේ ඉරණම එය බව කීවා. ඔබේ යහපත් අනාගතය ඉදිරියේදී පැමිණෙනු ඇති බවටත් ඒ වෙනුවෙන් නිහඬව බලා සිටිය යුතු බවත් ඔවුන් කිවුවා. මෙය සම්පූර්ණයෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයක්.

කියුබාවේදීත් අප මෙවැනි කණ්ඩායම් දුටුවා. ඔවුන් විප්ලවීය ගමනකට විශාල බාධාවක්. එසේම ඔවුන් ලතින් ඇමරිකාවේම වමේ ව්‍යාපාරවලට දැඩි බාධාවක්. ඔවුන්ට අධිරාජයවාදීන්ගෙන් මුදල් ගලා එනවා. ඒ, තරුණ පරපුර විප්ලවයෙන් වෙන්කර දැමීමටයි.

 LEFT  : ඇතැම්විට මෙවැනි සංවිධාන හෝ පුද්ගලයින් යම් කලක් යනතෙක් ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් හඳුනාගැනීමට නොහැකියි? 

මූලධර්මවාදී හෝ අන්තවාදී කණ්ඩායමක් හඳුනා ගැනීම සඳහා අප දැනගත යුත්තේ එක් දෙයයි. එනම් ඔවුන්ගේ පණිවිඩය කුමක්ද යන්නයි. ඔවුන් කියන්නේ කුමක්ද? ඔවුන් අප සියලු දෙනාට සමාන අයිතිවාසිකම් තිබිය යුතු බව කියනවාද? ඔවුනට සහයෝගීතාවය පිළිබඳ පණිවිඩයක් තිබෙනවාද? සාමය පිළිබඳ පණිවිඩයක් තිබෙනවාද? පිළිතුර නැත යන්නනම් ඒ මූලධර්මවාදීන් හෝ අන්තවාදීන් විය යුතුයි. ඔවුන් සාමූහිකත්වයෙන් බැහැරවීම ප්‍රවර්ධනය කරනවා. සහයෝගීතාවය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් මිනිසුන්ට අසමාන ලෙස සලකනවා. ඔවුන් ප්‍රවර්ධනය කරන්නේ වෛරයයි.

ඔවුන්ගේ සමාජ සම්බන්ධතාවන් මොනවාද? ඔවුන්ගේ හැසිරීම කවරාකාරද? ඔවුන් පොදු සමාජය වෙනුවෙන් වැඩ කරයිද? ඔවුන් සාමය ලබා දෙයිද? ඔවුන් ජනතාවට නිවාස, පාසල් ලබාදෙයිද? ඔවුන් සමාජ ක්‍රියාකාරකම් නිර්මාණය කරයිද? නැහැ. ඒ අනුව ඔවුන් අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයක් හා මෙහෙයවීමක් ඇති අය බව පැහැදිලියි. ඔවුන්ගේ මුල් ධනය සමග බැඳී තිබෙනවා. ඒ මුදල් සී.අයි.ඒ., ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඒජන්සිය, වෙනස සඳහා ඒජන්සිය, සිවිල් සමාජ ජාත්‍යන්තරය වැනි ආයතනවලින් ලැබෙනවා විය හැකියි. එහෙත් ඔවුන්ගේ අරමුණ රහසිගත, රැවටිලිකාරී එකක්.

LEFT  : ලෝකයට අන්තවාදය මූලධර්මවාදය නිසා දරන්නට සිදුවන මිල කවරාකාරද?

අප දැනටමත් ඒ මිල කොපමණදැයි දකිමින් සිටිනවා. නිදසුනක් ලෙස ගතහොත් තලේබාන් සංවිධානය බිහිකළේ අධිරාජ්‍යවාදීනුයි. ඒ, සෝවියට් සංගමයට එරෙහිවයි.

ඇෆ්ගනිස්තානයේ විප්ලවයට එරෙහිවයි. ඔවුන් විසින් එහි විප්ලවාදීන්ට එරෙහිව තලේබානුවන් යොදාගත්තා. මධ්‍ය ආසියානු සෝවියට් රටවලට එරෙහිව අල් ඛයිඩා සංවිධානය බිහිකළේත් අධිරාජ්‍යවාදීන්මයි. ඔවුන් මධ්‍ය ආසියානු කලාපයේ සමාජවාදී මතවාදයට එරෙහිව මූලධර්මවාදය ව්‍යාප්ත කළා.

පසුව ඔවුන් තමන්ගේම හාම්පුතුන්ට එරෙහිවම සන්නද්ධ පෙරමුණු හැදුවා. එහෙත් අවසන් ප්‍රතිඵලය බැලුවහොත් ඔවුන්ගේ තර්ජනය සමස්ත මානව වර්ගයාටම එරෙහිවයි. මේ අන්තවාදීන් සිරියානු, ඉරාක, ලිබියානු ආණ්ඩුවලට එරෙහිව හමුදා නිර්මාණය කර තිබෙනවා. ඒ ආණ්ඩුවලට බටහිරට එරෙහි ආර්ථික බලයක් තිබුණා. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ඒ ස්වාධීනත්වය විනාශ කර ලීමටයි. ඒ සඳහා අද මූලධර්මවාදීන් යොදාගනිමින් තිබෙනවා. ඒ මූලධර්මවාදීන් අද ‘නිදහස’ ඉල්ලා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය අද ඝාතනය කිරීම සඳහා නිදහසයි. බටහිරට එරෙහි ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනෙන්නේ ඔවුන් තමන්ව රැවටීමට ලක් කරනු ඇති බව තේරුම් ගනිමින් සිටින බව හා බටහිරින් නිදහස ඉල්ලා සිටීමට තරම් තමන් ශක්තිමත් බව පෙන්වාදීමයි. ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා මගින් ඔවුන් ලෝකයටම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ, ඔවුන්ට කැමැත්තක් කරගෙන සිටීමට ඉඩදෙන ලෙසට වන පණිවිඩයයි. අනෙක් අතට මෙය අධිරාජ්‍යවාදීන්ගේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. ඊට එරෙහි ලෝක මතය පාවිච්චියට ගනිමින් අධිරාජ්‍යවාදීන් තමන්ගේ අවශ්‍යතාවය ලෝකයට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා.

ඔවුන් ආසියානු ශිෂ්ටාචාරයේ මුල් බිමක් වූ ඉරාකයට සිදු කළ විනාශය අති මහත්. ඉපැරණි වටිනා භාණ්ඩ තිබූ කෞතුකාගාර පවා බෝම්බ දමා විනාශ කරනු ලැබුවා. ඒවා නැවතත් මානව සංහතියට දකින්නට ලැබෙන්නේ නැහැ. ආර්ථිකයන් අස්ථායීකරණයත් ඔවුන්ගේ උපක්‍රමයක්. ලිබියාව ඊට හොඳම නිදසුනක්.  ජනතාව බෙදා වෙන්කරනු ලැබ තිබෙනවා. ත්‍රස්තවාදය අන්තවාදය ප්‍රවර්ධනය, වෛරය වැපිරවීම මගින් අධිරාජ්‍යවාදීන් ලෝකයට දායාද කරන්නේ යුද්ධය, බඩගින්න, ආර්ථික කඩාවැටීම, දරිද්‍රතාවය, බලශක්ති අර්බුදය හා ණය බරයි.  මානව සමාජයට ගෙවන්නට සිදු වූ මිල එයයි.

අනෙක් අතට අධිරාජ්‍යවාදින් තමන්ගේ යුදවාදී හැසිරීමට ආවරණයක් ලෙසත් අන්තවාදය හා එහි දේශපාලන පෙරමුණ වන ත්‍රස්තවාදය යොදාගන්නවා. කියුබානු විරුවන් පස්දෙනා එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමිනුයි. එහෙත් සැබැවින්ම ඔවුන් යෙදී සිටියේ, කියුබාවට එරෙහි ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ මෙහෙයුම්වලයි. ත්‍රස්තවාදීන් එක්සත් ජනපදය තුළ නිදැල්ලේ සැරිසරනවා. කියුබාව ත්‍රස්තවාදයට උදව් දෙන රටක් ලෙස නම් කරමින් අපට සම්බාධක පනවා තිබුණත් සැබැවින්ම කොලොම්බියාවේ සාම ක්‍රියාවලියට පහසුකම් සලසන්නේ අපයි. එසේ තිබියෙදීත් අපේ රජයට එරෙහි ආර්ථික සම්බාධක සාධාරණීකරණය කර ගැනීම සඳහා මවාපෑම් කිරීමට ඔවුනට අවශ්‍යයි.

එක්සත් ජනපද හැසිරීම දෙබිඩියි. ඔවුන් අල් කයිඩාව සමග ගැටුමකට ගියේ මැද පෙරදිග ඛනිජ තෙල් ආධිපත්‍යය සම්බන්ධයෙන් ඔවුන් සමග එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ නිසයි. ඔවුන්ගේ ඊනියා ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය (War on terror) මානව වර්ගයා මත ආධිපත්‍යය පැතිරවීම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් ගෙන යනු ලබන උපක්‍රමයක්.

LEFT  : අන්තවාදය ජයගත හැක්කේ කෙසේද?

පළමු කටයුත්ත වන්නේ සියලු අන්තවාදී කණ්ඩායම්වල වෙස්මුහුණු ගැලවීම හා ඔවුන්ගේ පණිවිඩය විශ්ලේශනය කිරීමයි. ඔවුන්ගේ පණිවිඩය සමාජය වෙනස් කිරීමද? ලෝකයට සාමය, සිනහව, එකමුතු බව, යුක්තිය ගෙනඒමද? පිළිතුර නැත යන්නනම් ඔවුන් අන්තවාදීන්. සැබෑ මුහුණුවර පෙන්වාදී ඔවුන් හෙළා දැකීමට ලක් කළ යුතුයි.

දෙවැනි පියවර වන්නේ ඔවුන්ගේ සැබෑ මුලාරම්භයන්, උල්පත් කුමක්දැයි සහ ඔවුන්ට මූල්‍යාධාර දෙන්නේ කවුරුන්දැයි ජනතාවට කියා සිටීමයි. තෙවැනි පියවර ඔවුන්ට එරෙහිව එකමුතු වීමයි. අන්තවාදයට එරෙහිව සහයෝගිතාවයෙන් අත්වැල් බැඳගැනීමයි. ඊට එරෙහි වැඩකරන ජනතාව, වෘත්තීය සමිති, ගොවීන් අතර එක්සත්භාවය ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන් අතරට දැනුම ගෙනයාමයි. අධ්‍යාපනය, සාක්ෂරතාව ගෙනයාමයි. අන්තවාදයට ඉඩ නොලැබෙන සමාජ සුභසාධන රාජ්‍යය ශක්තිමත් කිරීමයි. ජනතාවට වඩා හොඳ ජීවන තත්වයක් අත්කර ගැනීමට අයිතියක් තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුයි. ජනතාව සමාජවාදී සුභ සාධන රාජ්‍යයේ ප්‍රතිලාභ ලබන්නේනම්, ජනතාවගේ අයිතීන් ස්ථාපිත කරනු ලැබ ඇත්නම්, ඔවුන්ගේ අනන්‍යතාවන්ට ගරු කරනු ලැබේනම් අන්තවාදයට ඇති ඉඩ අවමයි. ජනතාව අතර සමාජවාදයේ අදහස් ව්‍යාප්ත වන්නේ නම් අන්තවාදයට යොමුවීමේ අවශ්‍යතාවක් ඔවුනට ඇති වන්නේ නැහැ.

එහෙත් මෙය අතිශය සංකීර්ණ කටයුත්තක්. මන්ද අධිරාජ්‍යවාදීන් ඔවුන්ට එරෙහි වන්නන්ට අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදය පාවිච්චි කළ හැකියි. ධනවාදය පවත්නා තාක් අන්තවාදයේත් ත්‍රස්තවාදයේත් අනතුර අප අතරින් තුරන් වේ යැයි සිතිය නොහැකියි.

විමර්ශන