අධිරාජ්‍යවාදයේ හැඩරුව: දේශපාලනික කියවීමක්

විමර්ශන – 2019 පෙබරවාරි
February 13, 2019
සෞන්දර්ය: වින්දනයේ සාහිත්‍ය ඇස
February 14, 2019
Show all

අධිරාජ්‍යවාදයේ හැඩරුව: දේශපාලනික කියවීමක්

1505 වර්ෂයේ ලොරෙන්සෝ ද  අල්මේදා  නම් පෘතුගීසි  නාවිකයා රැගත් නෞකාව  කුණාටුවකට හසුවී ගාල්ල වරායට ගසාගෙන ආ බවත්  ඒ සමගින් ශී‍්‍ර ලංකාවේ යටත්විජිත යුගයේ ආරම්භය සලකුණු  වූ බවත් පාසල් ඉතිහාස පොතේ ඉගැන්වෙයි. ඇතැම් විට ඒ නෞකාව ඒ අහඹු කුණාටුවට හසු නොවුණා නම් ලංකාවේ ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබුණේ යැයි හඟින්නටද එම සඳහන ඉඩකඩ විවර කරයි. එහෙත් එම ගොඩබැසිම කුණාටුව නිසා සිදුවූ අහම්බයක් හෝ ලොරෙන්සෝද අල්මේදාගේ හිතුවක්කාරකමක ප්‍රතිඵලයක්  නොවන බවත් එය ඉතිහාසයේ එක් වර්ධනීය පියවරක  අනිවාර්ය යථාර්ථය වී තිබූ බවත් ඉතිහාසයේ ගමන්මග  විසින් තහවුරු කර අවසානය.

අල්මේදා අපේ ලේඛනයේ ප්‍රවේශයට  ඈඳෙන්නේ, ඔහු ශී‍්‍ර ලංකාවට ගොඩබට පළමු පෘතුගීසි ජාතිකයා වීම නිසා නොවේ; ඉතිහාසයේ ගමන්මගේ  එක් යුගයක් සළකුණු කරන්නෙක් ලෙසටය. ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ පළමු යටත්විජිත අධිරාජ්‍යයේ නියෝජිතයකු ලෙස පැමිණි අල්මේදා පසුකාලීනව යුරෝපයේ ධනවාදය ගොඩනැගීම සඳහා ඇවැසි ප‍්‍රාග්ධනය රාශිභූත කරවීමේ වෙළඳ මෙහෙයුමේ යෙදී සිටි නාවිකයින් දහස් ගණනකින්  එක් අයෙක් විය. පෘතුගාලයට පසුව යටත්විජිත සෙවීමේ මෙහෙයුමට  පර්ඩිනන්ඞ් රජුගේ හා ඉසබෙලා රැජිනගේ නායකත්වය යටතේ ස්පාඥ්ඥ අධිරාජ්‍යයද එක්වූයෙන් ලෝකය මෙම අධිරාජ්‍ය දෙක අතර බෙදා ගැනීමේ ගිවිසුම් පවා (Inter caterer, Treaty of Tordesillas, Treaty of Zaragoza)  අත්සන්  තැබිණි. වැඩි කාලයක් යන්නට පෙර නෙදර්ලන්තය, ප‍්‍රංශය හා බි‍්‍රතාන්‍යයද යටත්විජිත අත්පත්කර ගැනීමේ මෙහෙයුමට එක් වූයෙන්  ලෝකය සූරාකෑමට ලක්වූ පීඩිත ජාතීන්  විශාල ප්‍රමාණයකින්ද සූරාකෑමෙන් පොදි ගසා ගන්නා ලද ධනයෙන් ආඪ්‍ය වූ යටත්විජිත අධිරාජ්‍ය අතළොස්සකින්ද සමන්විත විය.

යටත්විජිත සූරාකෑමෙන් යුරෝපයට ගලා ආ අසීමිත ධනය වැඩවසම් යුරෝපයේ ධනවාදයේ  වර්ධනය දෙයාකාරයකින් සීග්‍ර කරවීය. ඒ, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා වූ නව විද්‍යාත්මක සොයා ගැනීම්වලට මූල්‍ය ආයෝජන ප‍්‍ර‍්‍රාග්ධනය සම්පාදනය කරමින් සහ වැඩවසම්වාදය සමඟ සටන් කිරීමට හා ආධිපත්‍යය ලබා ගැනීමට සමත් ධනේශ්වර පංතියක් නිර්මාණය කරමිනි. 15වන සියවසෙන් ඇරඹි යටත්විජිතකරණය 19 වන සියවසේ මුලභාගය වන විට එහි උච්ඡුතම  පියවරට ළඟා වී තිබිණි.  පැරණි යටත්විජිත අධිරාජ්‍යයන් පසු පෙළට තල්ලූ කරවමින් විද්‍යාවේ හා තාක්‍ෂණයේ නව ජයග‍්‍රහණ අත්පත් කරගත් නව අධිරාජ්‍යයන් ඉදිරියට පැමිණ සිටියේය. මේ වන විට යුරෝපයේ වැඩවසම් ආධිපත්‍යය බිඳවැටී  තිබූ අතර ඇමරිකානු විප්ලවය (1776), ප‍්‍රංශ විප්ලවය(1789) ධනවාදයේ ස්ථාපනය තීරණාත්මක ලෙස සළකුණු කරවා තිබිණි.

ජය කෙහෙළි නැංවූ ධනවාදය තම යටත්විජිත අධිරාජ්‍යය මගින් නිෂ්පාදනයේ පුළුල් වීම විසින් ඉල්ලා සිටි යෝධ අමුද්‍රව්‍ය සම්පාදනය පවත්වා ගත් අතරම පෙරළා නිමිද්‍රව්‍ය සඳහා වෙළඳපොළ තහවුරු කර ගත්තේය.  පුළුල්වන නිෂ්පාදනය තව තවත් අමුද්‍රව්‍ය හා වෙළඳපොළ ඉල්ලා සිටියෙන් එහි අනිවාර්ය අවසාන ප්‍රතිඵලය වූයේ, තව තවත් යටත්විජිත නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය පැන නැගීමය. 19වන සියවසේ අගභාගය වන විට නිදහස් තරඟයේ  පැවති ධනවාදී නිෂ්පාදනය එහි අරාජිකත්වය හේතුවෙන් ඒකාධිකාරයන්  බවට පෙරළමින් තිබිණි. අනතුරුව තම පැවැත්ම සඳහාත් පුළුල් වන සැපයුම අමුද්‍රව්‍ය හා වෙළඳපොළ සඳහාත් ඒකාධිකාරී නිෂ්පාදකයින්ට හවුල් සමාගම් (කාටල) පිහිටුවා ගැනීමට බල කෙරිණි.  20වන සියවසේ මුල වන විට දැකිය හැකි වූ මෙම තත්වය ධනවාදය තම උසස්ම අවධිය වූ අධිරාජ්‍යවාදය කරා පියනැගීම සංකේතවත් කළේය. එය ප්‍රධාන ලක්‍ෂණ 5ක්  මගින් පෙන්නුම් කරන බව ලෙනින් ‘අධිරාජ්‍යවාදය, ධනපති ක්‍රමයේ ඉහළම අවධිය’ කෘතිය මගින් පෙන්වා දුන්නේය.

  1. නිෂ්පාදනය සංකේන්ද්‍රණය වීම සහ ඒකාධීකාර බිහිවීම

ආර්ථික ජීවිතයේ තීරණාත්මක කාර්ය කොටසක් ඉටු කරන ඒකාධිකාරයන් ඇතිවන තරම් ඉහළ අවධියක් දක්වා නිෂ්පාදනය හා ප‍්‍රාග්ධනය සංකේන්ද්‍රණය විය. එහි පහත ස්වරූපයන් දැකිය හැකිය.

(අ) නිෂ්පාදනයේ අති දැවැන්ත අතිරික්තයක් නිර්මාණය වීම

විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුව මහා පරිමාණ කර්මාන්ත ශාලා, යන්ත්‍ර සූත්‍ර  හඳුන්වාදී තිබූ අතර එහි ප්‍රතිඵලය වූයේ, අති මහත් අතිරික්ත නිෂ්පාදනයකි.  එම අතිරික්තය අලෙවි කිරීම සඳහා දැවැන්ත වෙළඳපොලක් අවශ්‍ය වී තිබිණි.

(ආ) අමුද්‍රව්‍ය සැපයුම් මාර්ග අත්කර ගැනීමේ අවශ්‍යතාවය

මහා පරිමාණ නිෂ්පාදනයට සරිලන සේ අමුද්‍රව්‍ය සැපයුම පුළුල් විය යුතුව තිබූ අතරම ව්‍යවසායක පුරෝකථනයේ  පහසුව තකා එම සැපයුම් මාර්ග තහවුරු කර ගත යුතුව තිබිණි.

(ඇ) පුහුණු ශ්‍රමය ඒකාධිකාරි ලෙස ලබා ගැනීම

නව යන්ත්‍ර සූත්‍ර හා කර්මාන්ත ශාලා සඳහා පුහුණු ශ්‍රමය අත්‍යවශ්‍ය  සාධකයක් වූ අතරම තරඟකාරී සෙසු නිෂ්පාදකයින් හා රටවල් අබිබවා එම ශ්‍රමය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය මතුවී තිබිණි.

(ඈ) ප්‍රවාහන මාර්ග අත්පත් කර ගැනීම

නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සැපයුම හා නිමි භාණ්ඩ අලෙවිය ගෝලීය වශයෙන් සිදු වෙමින් පැවති නිසාම  නැව්, දුම්රිය හා ගුවන් ආදී ප්‍රවාහන සේවාවල හා  මාර්ගවල අතිශය තීරණාත්මක විය. ඒවායේ හිමිකම අත්‍යවශ්‍ය සාධකයක් විය.

(ඉ) නිෂ්පාදනය සමාජමය කරණය වීම

නිෂ්පාදනය තවදුරටත් ධනවාදය ආරම්භ වනවිට දක්නට ලැබුණු කුටුම්භ ක්‍රියාවලිය වූයේ නැත. හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අති විශාල  කම්කරු පිරිසක් තම ශ්‍රමය  එකතු කරමින් සිටියහ. එය හුදු එක් කර්මාන්ත ශාලාවක් තුළ සිදු කෙරෙන කාර්යයක් නොවුණු අතර රටවල් ගණනාවක ඇතැම් විට නිමි භාණ්ඩය පිළිබඳ අදහසක් නොමැති වූද නිමි භාණ්ඩය කිසිදා පාවිච්චි කිරීමට හිමිකම  නොලැබෙන්නා වූද දස දහස් සංඛ්‍යාත ජනතාවකගේ ශ්‍රමය උකහා ගනිමින් සිටියේය.

“නිෂ්පාදනය සමාජමය වන්නේය. නමුත් හිමිකර ගැනීම පුද්ගලිකව කෙරෙන්නේය. සමාජමය නිෂ්පාදන මාර්ග අතළොස්සක් දෙනාගේ පෞද්ගලික දේපළ වී පවතී. නාමික වශයෙන් පිළිගනු ලබන නිදහස් තරඟයේ පොදු රාමු කට්ටුව පවතින අතර අතළොස්සක් වන ඒකාධිපතියන්ගේ විය ගසෙහි බර සිය ගුණයකින් වැඩි වී සෙසු ජනගහනයේ කර පිට වැටෙන්නේය.”

ලෙනින් – අධිරාජ්‍යවාදය, ධනපති ක්‍රමයේ ඉහළම අවධිය(49-50 පිටු)

  1. කාර්මික හා බැංකු ප‍්‍රාග්ධනය පදනම් කර ගනිමින් මූල්‍ය කතිපයාධිපත්‍යයක් ඇතිවීම

බැංකු, ධනපතියාගේ මුදල් රැකදෙන නිහතමානී අතරමැදියාගේ සිට මූල්‍ය ඒකාධිකාර බවට පෙරළෙයි. එසේ වන්නේ, ලොකු බැංකු විසින් කුඩා බැංකු ගිල දමමින්, ඈඳා ගනිමින්, යටත් කරගනිමින් ප‍්‍රාග්ධනය සංකේන්ද්‍රනය කරගත්  නිෂ්පාදන මාර්ග හා අමුද්‍රව්‍ය සම්පාදන මාර්ග වැඩි කොටසක් පාලනය කරන බලවත් ඒකාධිකාර දක්වා වර්ධනය වෙයි.

බැංකු තමන්ගේ අරමුදල්වලින් වැඩි කොටස කර්මාන්තවල ආයෝජනය කිරීම හේතුවෙන් බැංකු හා කර්මාන්ත සංයෝජනය වී මූල්‍ය ප‍්‍රාග්ධනයක් ඇතිවෙයි. එය ව්‍යාපාර කොටස් නිකුත් කිරීම මගින්ද ප‍්‍රාග්ධනය පොලී කිරීමෙන්ද අසාමාන්‍ය ඉහළ ලාභ උපයා ගනිමින් ඒකාධිකාරයන් ගොඩනගා ගැනීම මෙහි ස්වභාවයයි.

  1. වෙළඳ භාණ්ඩ අපනයනය වෙනුවට ප‍්‍රාග්ධන අපනයනය වැදගත් තත්වයකට පත්වීම

වෙළඳ භාණ්ඩ වෙනුවට අතිරික්ත

ප‍්‍රාග්ධනය සහිත රටවල් විදෙස් රටවලට, යටත්විජිතවලට, එය අපනයනය කිරීම මෙහි ස්වභාවයයි. එමගින් පොලී මගින් ලාභ ලැබීම හෝ හුවමාරු ලෙස ආර්ථික මර්මස්ථාන අත්පත් කරගැනීමට කටයුතු කෙරේ.

  1. ඒකාධිකාරී ධනපති සමාගම් විසින් ලෝකය බෙදාගැනීම

දේශීය වෙළඳපොළ අත්පත් කරගත් ධනේශ්වර හවුල් ව්‍යාපාර, කාටල, සම්මේල හා සංගත මගින් බිහිවූ සමාගම් අනතුරුව විදේශීය වෙළඳපොළ අත්පත් කර ගැනීම මෙම අදහසයි.

  1. ලෝකය මහ බලවතුන් අතර බෙදාගැනීම

දියුණු ධනපති රටවල් විසින් දැනටමත් බෙදාගෙන ඇති ලෝකය යුද්ධ මගින් නැවත බෙදා ගැනීමට ලක්වේ. මෙසේ කිරීමට සිදුවන්නේ, ප‍්‍රාග්ධන අපනයනයටද ඒකාධීකාරී ක්‍රම ක්‍රියාත්මක කිරීම මගින් තරගය අහෝසි කිරීමටද සැපයුම් ස්ථාවර කරගැනීමටද අවශ්‍ය පහසුකම යටත්විජිත මගින් උදාවන නිසාය.

ධනවාදය, අධිරාජ්‍යවාදය කරා පිය නැගූ ආකාරය පිළිබඳ සියවස් 5කට වැඩි ඉතිහාසය මෙසේ සැකෙවින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූයේ අධිරාජ්‍යවාදයේ වත්මන් ස්වභාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා එය මනා පිටිවහලක් වන නිසාය.

අතිරික්ත නිෂ්පාදනය විසින් ඉල්ලා සිටි වෙළඳපොළ සහ සැපයුම් මාර්ග වෙනුවෙනුත් වඩා වඩාත් ලාභ ඉපදවිය හැකි ප‍්‍රාග්ධන අපනයනය  කළ හැකි ආර්ථික ප්‍රදේශ බිහිකර  ගැනීම සඳහාත් ලෝකය බෙදා ගැනීම සඳහා කෙරුණු ලෝක යුද්ධ දෙකකට පසු (1914-18 පළමු ලෝක යුද්ධය, 1939-45 දෙවන ලෝක යුද්ධය) මුල් අධිරාජ්‍යයන් අභිබවා නව අධිරාජ්‍යවාදියෙක් බිහි විය. ඒ, ඇමරිකා එක්සත් ජනපදයයි. අධිරාජ්‍යවාදය පිළිබඳ නූතන සංවාදය තුළ බැහැර කළ නොහැකි එක්සත් ජනපදය, 1945 න් පසු ලෝක ධනවාදයේ ප්‍රවර්ධකයා ලෙසද, ආරක්‍ෂකයා ලෙසද පෙනී සිටී. අන්තර් අධිරාජ්‍ය ප්‍රතිරෝධතා සහිතව වුවද  යුරෝපීය අධිරාජ්‍ය සගයන්  සමගින් ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය ලෝක පරිමාණයෙන්  පවත්වා ගැනීම සඳහා  එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සෘජුව රටවල් යටත් කරගැනීම මගින්  හෝ බොහෝ තන්හි යොදන ආකාරය වන නව යටත්විජිතවාදී ස්වරූපයෙන්  ගන්නා උත්සාහය  මේ පිළිබඳව ලියැවුණු සියලූ ලේඛනයන්හි මෙන්ම මෙහිද පාදක කරුණ වෙයි.

අධිරාජ්‍යවාදී අවධියට එළඹි ධනවාදය තම උපන් ගෙයිම ප්‍රතිවිරෝධයක් ගැබ් කර ගෙන සිටියි. එනම් එහි නිෂ්පාදනයේ සමාජමය ස්වභාවය සහ එහි පෞද්ගලික අයිතිය අතර ඇති ප්‍රතිවිරෝධී තත්වයයි.  මෙම තත්වය හොඳින්ම දන්නා අධිරාජ්‍යවාදය දිගුකාලීන වශයෙන් තම ක්‍රමයේ පැවැත්ම වෙනුවෙනුත් කෙටි කාලීන වශයෙන් ලාභ උපරිම කර ගැනීම සඳහාත් පෙරමුණු දෙකක  සටනක් පවත්වාගෙන යයි. ඒ යුදමය පෙරමුණ හා මතවාදීමය පෙරමුණ වශයෙනි.

බ්‍රේටන් වුඞ්ස්  සම්මුතිය අනුව 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය ධනවාදයේ නියාමනය සඳහා  ජාත්‍යන්තර ආයතන දෙකක් ස්ථාපිත කෙරිණි. ඒ, ‘ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව’ (වර්තමානයේ ලෝක බැංකුව ලෙස නාමකරණය වී ඇත) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඒවායේ ප්‍රධානීන් පත්කිරීම මගින් හා ඒවායේ සේවය ලබාගන්නා රටවලට උපදේශකයින් ලෙස ආර්ථික ඝාතකයින් පත්කිරීම මගින් අධීරාජ්‍යවාදයේ සමස්ත ආර්ථික ක්‍රියාවලියටම අදාල පාලක රැහැන් තමන් අත රඳවා ගැනීමට එක්සත් ජනදය සමත්ය. මෙම ක්‍රියාවලිය බාධාවකින් තොරව සුමට ලෙස ඉදිරියට තල්ලූ කරගැනීම අධිරාජ්‍යවාදයේ යුදමය සහ මතවාදීමය පෙරමුණේ ඉලක්කය වෙයි.

යුදමය පෙරමුණ

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝක ආධිපත්‍යය සඳහා වන තම හිමිකම කියා පාන්නේ, එහි යුද පෙරමුණේ හැකියාව හා ශක්තිය මගිනි. 1945දී එයට ඒ අවස්ථාව විවර කර දෙන්නේ, ජපානයයි. ඒ, එක්සත් ජනපද හිමිකමක් වූ හවායි හි පර්ල් වරායට බෝම්බ දමමිනි. අනතුරුව යුද්ධයේ ප්‍රකාශිත පාර්ශ්වකරුවකු බවට පත්වෙමින් එක්සත් ජනපදය 1945 අගෝස්තු 06හා 09 දෙදින  පිළිවෙලින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි යන නගරද්වයට පරමාණු බෝම්බ හෙළීය. සැබැවින්ම ඒ, වන විටත් යුද්ධයෙන් බැට කා යටත්වීමට ඉතාම ආසන්නව සිටි ජපානයයි. අතිමහත් ජීවිත හා දේපළ විනාශයක් සිදුකළ පරමාණු බෝම්බ ප්‍රහාරය පරීක්‍ෂණාගාරයෙන් ඔබ්බෙහි සිදුකරන ලද අත්හදාබැලීමක් වූවා පමණක් නොව අධිරාජ්‍යවාදී ලෝක බලවතා ලෙස එක්සත් ජනපදයේ බෞතීස්ම ලැබීමද සනිටුහන් කළේය.

කෙසේ වුවද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට තමන්ගේ පූර්වගාමීන්ට නොතිබූ බාධකයක් විය. 1945න් පසු සෝවියට් දේශය ප්‍රමුඛ කර ගනිමින් සමාජවාදී රාජ්‍ය පද්ධතියක් බිහිව තිබිණි. යුද්ධය තුළ සෝවියට් දේශය අත්කර ගෙන තිබූ යුදමය බලය හා ජයග‍්‍රහණ විසින් එහි බලපෑම නොසලකා ක්‍රියාත්මක වීමට නොහැකි පරිසරයක් නිර්මාණය කරවීය. සීතල යුදමය වාතාවරණයක් ගොඩනැගිණි. එම තත්වයත් පූර්වගාමින් සෘජු යටත්විජිත පවත්වා ගැනීමේදී පසුකාලීනව මුහුණ පෑ දුෂ්කරතාවයනුත් හේතුවෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යුදමය පෙරමුණේදී සූක්‍ෂම වන්නට බලකෙරිණි. එහෙත් තම සමාජ ආර්ථික වුවමනාකම්වලට අභියෝගයක් එල්ලවූ සෑම අවස්ථාවකදීම මැදිහත්වීමට එක්සත් ජනපදය පැකිලී නැත. සිදුවීම් ලෙස සාකච්ඡුාවට බඳුන් කිරීමට අවස්ථාව නොවුණද 1954 තරම් කාලයකදී ගුවතමාලාවේ ජනාධිපති ජැකොබො අර්බෙන්ස් බලයෙන් පහ කිරීම, 1953 ඉරානයේ මොහොමඞ් මොසාඬේ බලයෙන් පහකර  ෂා බලයට ගෙනඒම, 1967 බොලීවියාවේදී චේ ගුවේරා මරා දැමීම, 1973 චිලියේ ජනතාවාදී ජනාධිපති සැල්වදෝර් ඇලන්ඬේ  ඝාතනය කිරීම ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් අරභයා  එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සෘජු මැදිහත්වීම් සිදුව ඇති බව නොරහසකි.

බළල් අතක් ලෙස තෙවන පාර්ශ්වයක් පාවිච්චි නොකර එක්සත් ජනපදය සෘජුව යුද වැදුණු ප්‍රධාන අවස්ථාවක් වනුයේ වියට්නාම් යුද්ධයයි. දශකයකට ආසන්න කාලයක් යුද වැද සෙබළුන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් අහිමිව අවසානයේ 1975 අපේ‍්‍රල් මාසයේ දකුණු වියට්නාමයේ සයිගෝනයෙන් පරාජිතව පිටමං වන්නට සිදු වුවද එය එක්සත් ජනපද යුදවාදයේ හැරවුමක් සළකුණු කළේ නැත. 80 දශකය අග වන විට  තමන්ගේ අධිරාජ්‍යවාදයට ගෝලීය වශයෙන් තිබූ ප්‍රබලම බාධකය සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ දැමීමේ  ඉලක්කය සාර්ථක කර ගැනීමට එක්සත් ජනපදය සමත් විය. ඒ,  සමාජවාදයට එරෙහි සැලසුම් සහගත ප්‍රචාරක ව්‍යාපෘතියකින් අනතුරුව ගොඩ නංවන ලද ජන විරෝධතා පදනම් කරගත් ‘රෝස විප්ලව’ රැල්ලක් මගින් සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ දමමින් හා සමාජවාදී සමූහාණ්ඩු තුළට ඒකරාශි වී සිටි රටවල් සීසීකඩ  කරමිනි. බොල්කන් මුහුද අවට සෝවියට් සමූහාණ්ඩු කැබලි කිරීමේ අධිරාජ්‍යවාදී සැලසුම කෙතරම් නග්න ක්‍රියාවලියක් වීද යත් එය බෝල්කනීකරණය(Balcanization) නම් යෙදුම නැවත වරක්  දේශපාලන ශබ්ද කෝෂයට එකතු කරවීය.

සමාජවාදය බිඳ වැට්ටවීමේ ක්‍රියාවලිය අධිරාජ්‍යවාදී කඳවුරේ දැවැන්ත ජයග‍්‍රහණයක් ලෙසට හුවා දැක්විණි.  එය යුධමය පෙරමුණේ හා මතවාදී පෙරමුණේ ජයග‍්‍රහණයක් වූවා පමණක් නොව පෙරළා ලෝකයට ඉහත ක්ෂේත්‍ර ඔස්සේ කඩා වැදීමට ලැබුණු අවසර පත්‍රයක්ද විය. පැරණි සමාජවාදී රටවල් හා පැවති සෝවියට් සමූහාණ්ඩු නේටෝ (Nato) සාමාජිකයන්  බවට පත් කර ගැනීමට හා ඒවායේ ආර්ථිකයන් සූරා කෑමට මග විවර කර ගැනිණි. ‘ගෝලීයකරණය’ යන යෙදුම නැවත වරක් කරළියට ආවේද ධනවාදී වෙළඳපොළ තර්කනයෙන් කිසිවෙකුට  ගැලවී ගත නොහැකි  බවට අදහස් පළ වූයේද මෙබඳු  වටපිටාවකය. අර්බුදයට  යමින් තිබූ ධනවාදී ආර්ථිකයන්, වෙළඳපොළ තුළ නිර්මාණය වූ තාවකාලික ප්‍රසාරණය හේතුවෙන් නව පණක් ලැබීය.

උත්කර්ෂයට නංවන ලද මෙම අදහස වඩාත් හොඳින්ම  කැටි කර දැක්වූයේ, ඇමරිකානු ධනේශ්වර බුද්ධමතෙකු වූ ෆ‍්‍රැන්සිස් ෆුකොයාමාය. නව ලිබරල් ධනවාදය මානව ඉතිහාසයේ උසස්ම අවධිය  බවත් ඉන් ඉතිහාසයේ ගමන අවසන් බවත් ඔහු තම  End of  History and Last man  (1992) කෘතියෙන් කීය.අධිරාජ්‍යවාදයේ මතවාදී පෙරමුණ කෙතරම් ශක්තිමත් හා බලවත් වීද යත් ලොව පුරා බොහෝ කොමියුනිස්ට් පක්‍ෂ තම නාමකරණයන් වෙනස් කර ගනිමින්ද රත් පැහැ ධජයන් රෝස පැහැයට හෝ වෛවර්ණ පැහැයන්ට හරවා ගනිමින්ද ප්‍රතිසංස්කරණවාදයේ ගිලී යන්නට විය. මෙය 90 දශකයේ ලෝක දේශපාලනයේ කටුක අත්දැකීම වූ අතර සමාජවාදය කෙරෙහි සිය අචල විශ්වාසය රඳවා ගත් පක්‍ෂවලට හා සමාජවාදී රටවලට (සැබැවින්ම රටවල් ලෙස ඉතිරිව තිබුණේ කියුබාව, උතුරු කොරියාව, චීනය හා වියට්නාමය පමණි). වේදනාත්මක කාලපරිච්ඡේදයක් සටහන් කළේය.

අධිරාජ්‍යවාදයේ තාවකාලික මධු සමයේ නිමාව 90 දශකයේ අග වන විටම සටහන් කරමින් ලතින් ඇමරිකාව, එනම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වැඩිම බලපෑමට ලක්වූ කලාපය ඊට එරෙහි ගමනක් ඇරඹීය. ධනවාදය, ඉතිහාසයේ අවසානය නොවන බවත් ජනතා ක්‍රියාකාරිත්වය හමුවේ එය කඩදාසි කොටියකුට වැඩි යමක් නොවන බවත් එම කලාපයේ ධෛර්ය සම්පන්න මිනිසුන් විසින් පෙන්වා දෙමින් සිටියෙදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනම කලාපයකින් මතු විය. එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම දඩමීමා කරගෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඔක්තෝම්බර් 07 දින ඇෆ්ගනිස්ථානයට කඩා වැදුණේය. ඒ, අවට රටවල් රැසක, තවමත් නිම නොවූ යුද්ධයක් වෙනුවෙන් හමුදා ස්ථානගත කර ගැනීමට ඉඩකඩ පාදා ගනිමිනි. නූතන ඉතිහාසයේ විශාලතම උගුල ලෙස සැලකිය හැකි, කුවේටය ආක්‍රමණය කිරීමට ඉඩදීමේ අධිරාජ්‍යවාදී උපක්‍රමයේ ගොදුරක් වූ සදාම් හුසේන් තම රට අධිරාජ්‍යවාදයේ සෘජු ගොදුරක් බවට පත්වීමට මඟ කපා ගත්තේය. ඉරාකයට එරෙහි යුද්ධය අධිරාජ්‍යවාදය වෙනුවෙන් අරමුණු දෙකක් ඉටු කළේය. පළමුවැන්න සෘජු යටත්විජිතයක් බවට පත්වීමෙන් ඉරාක තෙල් සම්පත (ලොව අඩුම  වියදමකින් බොර තෙල් පොළොව මතුපිටට ගත හැක්කේ එහිය.) කොල්ලකෑමේ සහ යුද්ධය තුළ බිමට සමතලා කරන ලද ඉරාකය නැවත ගොඩනැගීමේ කොන්ත‍්‍රාත්තු, බංකොළොත් වී තිබූ එක්සත් ජනපද සමාගම්වලට ලබාදීමේ අවස්ථාව නිර්මාණය වීමය. දෙවැන්න වියට්නාම් යුද්ධයෙන් පරාජය වීමෙන් පසු හැකිළී ගිය යුධමය පෞරුෂය නංවා ගැනීමටත් පශ්චාත් සෝවියට් වකවානුවේ තම ලෝක ආධිපත්‍යය ප්‍රදර්ශනය කරළීමටත් එක්සත් ජනපදයට හැකිවීමය.

ආසියාවේ ඇමරිකානු බලපෑම් දැඩිව එල්ල වූ තවත් එක් භූමියක් වූයේ ශ‍්‍රී ලංකාවයි. ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය අපේක්ෂා කළ එක්සත් ජනපදයට, ලොව ප්‍රධාන සැපයුම් මාර්ගයකට ආසන්න ලංකාවේ භූ දේශපාලනික පිහිටීමේ වැදගත්කම නොපෙනී යාමට හේතුවක් නැත. 80 දශකයේදී ත‍්‍රීකුණාමලය ස්වාභාවික වරායට වැටුණු කෑදර බැල්මත් ඉරණමඩුවේ ඇමරිකානු හඬ ගුවන්විදුලිය ස්ථාපිත කිරීමත් එවකට මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. සීතල යුධ සමයේ ඉන්දියානු බලපෑම් හේතුවෙන් සෘජු බලපෑම් පසුබිමට තල්ලූ වී පැවතියද බෙදුම්වාදී ඊලාම් අරගලය හා බැදුණු අධිරාජ්‍යවාදී මැදිහත්වීම් අදටද නිමා නොවූ ලෙස පවතී. එය දඩමීමා කර ගනිමින්ද ණය උගුලේ සිරකර ගනිමින්ද රාජපක්ෂ පාලනය තව තවත් තම ආධිපත්‍යයට නතු කර ගැනීම අධිරාජ්‍යවාදයේ අරමුණය. චීනයට එරෙහි රටක් ලෙස ගනිමින් ඉන්දියාව සමග න්‍යෂ්ටික ගිවිසුම් පවා ඇති කර ගන්නා එක්සත් ජනපදය, ඉන්දියාව පාවිච්චි කර ගනිමින් දකුණු ආසියාව කළමනාකරණය කරගැනීම අද යථාර්ථය වී තිබේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුධමය පෙරමුණ ප්‍රමාණවත් ලෝක අවධානයකින් තොරව වුවද ක්‍රියාත්මක වූ භූමිභාගයක් වනුයේ අපි‍්‍රකානු මහාද්වීපයයි. සෝමාලියාවේ අසාර්ථක මොගඩිෂු මෙහෙයුමෙන් පසු ගොඩබිමේ මෙහෙයුම් අත්හැර දැමුණද ස්වභාවික සම්පත්වලින් අනූන අපි‍්‍රකානු රටවල් ගණනාවක හමුදා ස්ථාන ගත කරගැනීමට එය සමත් විය. සුඩානය උතුරු හා දකුණු වශයෙන් දෙකඩ කර දකුණේ තමන්ට වඩා හිතවත් රාජ්‍යයක් නිර්මාණය කළේය. 2008 ඔක්තෝම්බරයේ  Africom නමින් එක්සත් ජනපද ඒකාබද්ධ සන්නද්ධ හමුදා මූලස්ථානයක් අපි‍්‍රකාව අරභයා පිහිටුවීමට ඇමරිකාව උත්සුක වූයේ, එවැන්නක් නොමැති වීම අපි‍්‍රකානුවන්ට අසාධාරණයක් වන නිසා නොවේ. 2011 වසරේදී අපේ‍්‍රල් මාසයේදී එවැන්නක අවශ්‍යතාවය ලෝකය දැක ගත්තේය. ඒ, උතුරු අපි‍්‍රකාවේ මුවම්මර් ගඩාෆිගේ ලිබියානු පාලනයට එරෙහිව නැටෝ ප්‍රහාර දියත් වීමේදීය. අද වන විට, ජර්මනියේ පිහිටි එම හමුදා මූලස්ථානය නව ගොදුරු බිමටම – ලිබියාවට – මාරු වී ඇත්තේ, ඒ ස්වාභාවික සම්පතින් පොහොසත් මහද්වීපය අමතක කිරීමට අධිරාජ්‍යවාදයට නොහැකි නිසාය.

බටහිර අප‍්‍රිකානු රටවල් වූ නයිජීරියාව, ගිනියාව, කැමරූන්, ඝානා සහ චැඞ් යන රටවල පසුගියදා එක්  රාත‍්‍රියකදී තෙල් මිල තුන් ගුණයකින් ඉහළ ගියේය. ඒ, ඛනිජ තෙල් මත සහනාධාර දීම වහා නතර කර දමන ලෙසට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරන ලද නියෝගය අනුවය. ජනතා විරෝධය නොසලකා එකවර සිදුකෙරුණු තෙල් සහනාධාර කප්පාදුව මගින් සැබැවින්ම මෙම අපි‍්‍රකානු පැරණි යටත්විජිතයන් අදද පාලනය කරන්නේ කවුරුන්ද යන්න හෙළිදරව් කරයි. ලිබියාවට පසු  අපි‍්‍රකාවේ විශාලතම තෙල් සංචිත පිහිටි නයිජීරියාව දිනකට තෙල් බැරල් මිලියන 2.4ක් නිපදවමින් සිටියද එරට දිනකට ඩොලර් 02කට අඩු ආදායමක් ලබන අතිමහත් බහුතරයක් වැසියන්ටද ඇමරිකානුවෙකු තෙල් සඳහා ගෙවන මිලට සමාන මිලක් ගෙවීමට සිදුව තිබේ. දැනටද නයිජීරියාවේ තෙල්වලින් සියයට 10කට වගකියන අතරම බටහිර අප‍්‍රිකාවේ තෙල් බිම්වලට ඇස ගසාගෙන සිටින එක්සත් ජනපදය 2008 පැවැති  Africom සමුළුවකදී අවධාරණය කළේ ‘අපි‍්‍රකාවේ ස්වභාවික, සම්පත් ගෝලීය වෙළඳපොළට නිදහසේ ගලාගෙන යාමට ඉඩසැලසීමට  Africom කැපවී සිටින’ බවය.

එක්සත් ජනපද අධිරාජ්‍යයේ යුදමය පෙරමුණ වැඩිම කාලයක් සකී‍්‍රයව පවත්නා කලාපය මැද පෙරදිග කලාපයයි. එහි ඇමරිකානු අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මුර බල්ලෙකු ලෙස ඊශ‍්‍රායලය යොදා ගැනීමට අමතරව තෙල් සම්පතින් පොහොසත් කලාපයේ සෘජු හා දැනෙන සුළු පෙනී සිටීමක් සලකුණු කරන්නට එය වැඩි කැමැත්තක් දක්වයි. සිරියාටව එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක හා මහා මණ්ඩල වෙත යෝජනා පිට යෝජනා ගෙන ඒමේ සිට විපක්‍ෂ සන්නද්ධ කණ්ඩායම්වලට ආයුධ ලබාදීම දක්වා මෙහෙයුම්වල නිරත අධිරාජ්‍යවාදයට න්‍යෂ්ටික අවි භීතියක් මවමින් ඉරානය කොල්ල කා ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීමට අමතරව එය සමඟ වන තම පැරණි ගනුදෙනුව (ඇමරිකන් හිතවාදී ෂා රජු 1979 ඉරාන විප්ලවය විසින් පළවා හැරීම)බේරා ගැනීමටද අවශ්‍යය. ඒ සඳහා ලෝකය න්‍යෂ්ටික අනතුරකට හෙළන යුද්ධයකට ඇද දැමීමකට පවා අධිරාජ්‍යවාදී කඳවුර තුළ වන සූදානම රහසක් නොවේ. ප්‍රකෝප කරවීමකින් තොරව කිසිදා අන් රටකට පහර දෙතැයි සිතිය නොහැකි සමාජවාදී උතුරු කොරියාව පිළිබඳ භීතියක් නඩත්තු කිරීමද එක්සත් ජනපදයේ යුධමය අරමුණ සමඟ සමපාත වෙයි. දකුණු කොරියාව, ජපානය වැනි ආසියානු රටවල ස්ථාපිත ඇමරිකානු කඳවුරුවල අවශ්‍යතාව අවධාරණය කිරීමටත් එම රටවල ඇමරිකානු හිතෛෂීභාවය පවත්වා ගැනීමටත් එක්සත් ජනපදයට හැකිවනු ඇත්තේ එවිටය.

මතවාදීමය පෙරමුණ

අධිරාජ්‍යවාදය තම යුදමය පෙරමුණ හා තරමටම ශක්තිමත් ඇතැම් අවස්ථාවක එයටත් වඩා බලවත් ලෙස මතවාදීමය පෙරමුණක සටන් වදිමින් සිටී. එම සටනේ ස්වභාවය අනුව අධිරාජ්‍යවාදයේ මතවාදී ගමන පහත පරිදි කියවා ගත හැකිය.

පළමු යුගයේදී අධිරාජ්‍යවාදය ටයි කෝට් පැළඳි යටත්විජිත පාලකයන් ලෙස මෙහි පැමිණයහ. අනතුරුව ජාතික ඇඳුමට මුවා වී අප පාලනය කළහ. දැන් ඔවුහු ජාතික ඇඳුමද ඉවතලා  අමුඩය පිටින් සිට තම කටයුත්ත කරගෙන යමින් සිටිති. එතරම් සූක්‍ෂ්ම ස්වරූපයෙන් ක්‍රියාත්මක අධිරාජ්‍යවාදයේ මතවාදී පෙරමුණ බැලූ බැල්මට කෙනෙකුට හඳුනාගත නොහැකි තරම්ය. අතේ බයිනෙත්තු රැගත් යටත්විජිතවාදීන් හඳුනා ගැනීම පහසු විය. අනතුරුව නිදහස ලැබුවේ යැයි කියන යුගයේ ජාතිකවාදී යැයි කියූ ආණ්ඩු සමගින් එක්ව අප සූරාකන විට ඒ බව තේරුම් ගැනීමට සෑහෙන කාලයක් ගතවී තිබිණ. අද අධිරාජ්‍යවාදය, ඇතැම් තැනකදී තමන් සමඟ ලැග සිටීම නිසා ජනතාවගේ අප්‍රසාදයට පත් ජරා ජීර්ණ ජාතික ආණ්ඩුවලට එරෙහි සටන් වදින නිදහස් සටන්කාමීන්ගේ ස්වරූපයෙන් පෙනී සිටින විට තත්වය කෙතරම් බරපතළ දැයි වටහා ගත යුතුය.

1834 දී මැකෝලි සාමිවරයා ඉන්දියාවේ යටත්විජිත ආණ්ඩුකාරවරයාට කරන ලද නිර්දේශයක් අධිරාජ්‍යවාදයේ මතවාදී ඉලක්කය මනාව කැටිකර දක්වයි. “අප හා අප පාලනය කරන කෝටි සංඛ්‍යාත ජනතාව අතර පුරුකක් ලෙස කටයුතු කළ හැකි පංතියක් බිහි කිරිමට අප හැකිතරම් වෙහෙසිය යුතුය. ඔවුන් ලෙයින් හා පාටින් ඉන්දියානුවන් විය යුතු අතර රසිකත්වයෙන්, අදහස්වලින්, ආචාර ධර්මවලින් හා බුද්ධියෙන් ඉංග‍්‍රීසීන් විය යුතුය.” යටත්විජිත අධ්‍යාපනය එය ඉලක්ක කරන ලද්දක් වූ අතර වැඩිදුර උසස් අධ්‍යාපන කටයුතු සඳහා යටත්විජිත අධිරාජ්‍යයේ මව් රටට ඇතුළු වීමට අවස්ථාව සලසා දීමෙන් එම  මතවාදයට සේවය කරන පිරිසක් යටත්විජිතයන්හි බෝ කරගන්නා ලදී.

ලාංකේය අත්දැකීම් සලකා බැලීමේදී රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ක්‍රියාත්මකව පැවති 1977 දක්වා වකවානුවේ අධිරාජ්‍යවාදයේ මතවාදී ග‍්‍රහණය පවත්වාගැනීම සඳහා බුද්ධිමය තලයේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ තවත් අධිරාජ්‍යවාදී රටවල දේශපාලන මග පෙන්වීම සහිත සංවිධාන රැසක් රොක්ෆෙලර් පදනම, ආසියානු පදනම, ෆෝඞ් පදනම, ෆෙඩ්‍රික් ඊබට් පදනම රට තුළ සකී‍්‍රයව පැවති අතර ෆුල් බ‍්‍රයිට් වැනි ශිෂ්‍යත්ව ව්‍යාපෘතිද මතවාදී මෙහෙයුමේ කොටස් විය.

1977 සිට දේශපාලන බලය සහිතව හඳුන්වා දෙන ලද නව ලිබරල්වාදී ධනවාදය අධිරාජ්‍යවාදයේ මතවාදී පෙරමුණට විවෘත හා පුළුල් ඉඩකඩක් විවර කළේය. විවෘත ආර්ථිකය හඳුන්වා දෙන ලද්දෙන් අධ්‍යාපනය මගින් ඊට ගැලපෙන මිනිසෙකු නිර්මාණය කර ගැනීමට අනවරත උත්සාහයක් ගැනුණේ, අධිරාජ්‍යවාදයේ මතවාදී මගපෙන්වීම අනුවය. කෙසේ වුවද පූර්ව ක්‍රියාවලිය ඒ වකවානුවෙන් පසු අධිරාජ්‍යවාදය විසින් අත්හැර දමන ලද බවක් ඉන් අදහස් නොවේ. ඒවා අඩු වැඩි වශයෙන් වර්තමානයේද සකී‍්‍රයව පවතී.

එක්සත් ජනපද රජයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික අරමුදලෙන් ප්‍රතිපාදන ලබන ඇල්බර්ට් අයින්ස්ටයින් ආයතනයේ  ජීනේ ෂාප් නම් විද්වතා ‘ආඥදායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට’ (From Dictatorship to Democracy) නමින් කෘතියක්  එළි දක්වා තිබිණි. මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය රැගෙන ඒමේ (අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක් කර ගැනීමේ) ඉලක්කය ඇතිව ලියැවුණු එම කෘතිය එක්සත් ජනනපද රහස් ඔත්තු සේවය (CIA) විසින් සර්බියාවේ මිලසොවික් පාලනය ඇතුළු නැගෙනහිර යුරෝපා පාලනයන් පෙරළා දැමීම සඳහාත් 2011 වසරේදී ‘අරාබි වසන්තය’තමන් අතට ගැනීම සඳහාත් පාවිච්චි කළ බව හෙළිදරව් වූයේ, ඉතාම මෑතදීය. ජීනේ ෂාප්ගේ අයින්ස්ටයින් ආයතනයේ 2000-2004 වාර්ෂික වාර්තාව මගින් එය සර්බියාවේත් සිම්බාබ්වේ සහ මියන්මාරයේ ආණ්ඩු පෙරළි සඳහා පුද්ගලයින් පුහුණු කරන ලද බව සඳහන් වේ. මේ අතර ඔස්ටේ‍්‍රලියාවේ සදන් ක්‍රොස් විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සහ සාමය ක්‍රියාවේ යෙදවීම(AHRP) නම් සංවිධානයේ 2008 වාර්තාවේ ජීනේ ෂාප්ගේ ක්‍රියාකාරිත්වය අනාවරණය කරයි. එක්සත් ජනපද රජයේ අරමුදල් ලැබූ ඇල්බර්ට් අයින්ස්ටයින් සංවිධෘනය අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය සඳහා වන න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවන ලද්දක් බවත් පූර්වයෙන් CIA සංවිධානය විසින් භාර ගන්නා ලද විශාල වැඩ කොටසක් එම සංවිධානයට පැවරී ඇති බවත් එහි සඳහන්ය. මේ කටයුතු කිරීමේදී එම සංවිධානයට ෆෝඞ්(Ford Foundation) පදනමේ සහ කෝටිපති ව්‍යාපාරික ජෝර්ජ් සෝරෝස්ගේ  ඕපන් සොසයිටි (Open Society) ආයතනයේ සහය ලැබෙන බවද එහි සඳහන්ය.

බිඳ දමන ලද යුගෝස්ලොවියාවේ අනුප‍්‍රාප්තික රාජ්‍යය වූ සර්බියාවේ ස්ලොබොඩාන් මිලොසොවික් බලයට එන්නේ, ජාතිකවාදී ජන රැල්ලක පාවෙමිනි. ඔහු ඇල්බේනියානුවන් බහුතරයක් වෙසෙන කොසෝවෝ ප‍්‍රාන්තය සර්බියාවෙන් වෙන් වී යාමට දැරූ උත්සාහය වළකාලීමට තැත් කළේ දැඩි මර්දනයක් තුළය. ඔහුගේ පාලනය තුළ බහුල ලෙස සිදුවූ මානව හිමිකම් කඩවීම් අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට මග විවර කළ අතර එයම ඔහුගේ පාලනයේ නිමාව සටහන් කරවීය.

සර්බියාවේ මිලසොවික් පාලනය පෙරළා දැමීමේදී ධඑචදර සංවිධානය විසින් ඉටු කරන ලද වැඩ කොටස  විශාලය. එහි සිදුවූ ‘විප්ලවය’ එම සංවිධානයේ නමින්ම හැඳින්වීම එය සනාථ කරවයි. එයත් යුක්රේනයේ ‘ඔරේන්ජ් විප්ලවය’ ත් සිදුකළ අරගලකරුවන්ට ෂාප්ගේ කෘතිය  විප්ලව අත්පොත බවට පත්ව තිබිණි. Otpor සංවිධානය එම ‘විප්ලවය’ වෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල මුදල ලබාගත් බව හෙළිදරව් වූයේ, මිලසොවික්ගේ බිඳ වැටීමෙන් පසුවය. එය එම සංවිධානයට එනමින් පෙනී සිටීමට නොහැකි තත්වයක් පවා උද්ගත කළ අතර පසුව එය CANVAS යන නමින් රූපාන්තරණය විය. CANVAS සංවිධානය විසින් 2011 වසරේ එළිදක්වන ලද වාර්තා චිත්‍රපටයකදී ඔවුන් විසින් ලොව පුරා ‘වර්ණ විප්ලව’සිදු කිරීමේදී සිදු කරන ලද වැඩ කොටස සැඟවීමට උත්සාහ කර නොමැති බව ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවිය පවසයි. වාර්තා චිත්‍රපටයේදී එම සංවිධානය තමන් එක්සත් ජනපද රජයේ අරමුදල් නොලබන බව කියා සිටින නමුදු ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නන් පුහුණු කරන ලද බව පිළිගනී. ඊජිප්තුවේ ‘අපේ‍්‍රල් 06 ව්‍යාපාරයේ’ මොහාමඞ් අඩෙල් එසේ පුහුණුව ලද එක් අයෙකි. එක්සත් ජනපදයේ ආධාර ලබන CANVAS සංවිධානයේ බැනරය ඉදිරිපිට සිට ගෙන ඔහු වාර්තා වැඩසටහනට අදහස් දක්වන්නේ, ඊජිප්තු ජනතාව තමන්ගේ ඉරණමේ ස්වාමිවරුන් බවත් පත් විය යුතු බවටය. එහෙත් ඔහු CANVAS සංවිධානයේ අනුග‍්‍රහය ඇතිව සර්බියාවේ පුහුණු වී ඇති බවත් ඔහුගේ අපේ‍්‍රල් 06 සංවිධානය 2008දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුග‍්‍රහය දක්වන ලද දේශපාලන සමුළුවකට (Alliance for Youth Movements summit) සහභාගි වී සිටි බවත් වාර්තා වැඩසටහන සඳහන් නොකරයි.

CANVAS වාර්තා චිත්‍රපටය චිත්‍රණය කරනන්නේ, ටියුනීසියානු හා ඊජිප්තු විප්ලවවලින් පසුව එම රටවල ජනතාව ‘නිදහස’ බුක්ති විඳිමින් සිටින බවය. එහෙත් ඔවුන් අධිරාජ්‍යවාදය විසින් දේශපාලනිකව හා ආර්ථිකමය වශයෙන් යටත් කරගෙන සිටින බවත් එම රටවල පැවති එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල ප‍්‍රාග්ධන හිමිකම්වලට කිසිදු බලපෑමක් ඇතිවී නොමැති බවත් කිසිදු තැනක කියවෙන්නේ නැත. අනෙක් අතට අධිරාජ්‍ය ගැති නායකයින් පන්නා දමා ස්ථාපිත කරන ලද නව පාලනයන් තුළ  ජාත්‍යන්තර බේරුම්කරුවන් යැයි තමන් විසින්ම ප්‍රකාශ කර ගන්නා අධිරාජ්‍යවාදීන්ගේ, සමාගම්වලින් අරමුදල් ලබන්නා වූ ඊනියා බුද්ධිමතුන්ගේ, නීති විරෝධීව අටවන ලද ජාත්‍යන්තර අධිකරණයන්ගේ බලපෑම වේගයෙන් ඉහළ ගොස් ඇත. එම රටවල ජනතාවට සිදුව ඇත්තේ, ඉරණමේ ස්වාමිවරුන් බවට පත්වනු වෙනුවට තමන් වෙනුවෙන් යැයි කියමින් ඔවුන්ගේ ලාභය පතා තීරණ ගන්නා අධිරාජ්‍යවාදී ආයතන දෙස බලා සිටීමය.

ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය මර්මස්ථානය වන ‘වෝල් වීදිය අත්පත්කර ගනිමු’ (Occupy Wall Street) යන සටන් පාඨය ඇතිව දස දහස් ගණන් විරෝධතාකරුවන් වීදි බැස තිබිණි. විරෝධතාකරුවන් නියෝජනය කළේ, ආර්ථික අර්බුදය විසින් එක්සත් ජනපද ජනතාව පත්කරනු ලැබ ඇති පීඩාවය.

විරැකියාව, සහන අහිමිවීම ඔවුන් පාරට ඇද දමා තිබූ අතර තමන් පෙළන පීඩාවේ මූලය යැයි ඔවුන් හඳුනාගත් වෝල් වීදිය අත්පත් කරගෙන විසඳුම් සඳහා බලකිරීම ඔවුන් බොහොමයකගේ අපේක්‍ෂාව විය. එහෙත් ජෝර්ජ් සෝරොස්ගේ අරමුදල් ලබන Adbusters වැනි සැකකටයුතු සංවිධානයක් විසින් පළමු කැඳවීම ප්‍රකාශයට පත්කිරීම පසක තිබියදී වෝල් වීදියේ විරෝධතාවේ නියමුවන්ගේ අදේශපාලනය කැපී පෙනන කරුණක් විය. සමාගම් හා එ.ජ. ආණ්ඩුව අතර සබඳතාව තේරුම් නොගනිමින්ම ඔවුහු ආණ්ඩුවේ බලය යොදා සමාගම් පාලනයට  නීති පනවන ලෙසට සටන්පාඨ හඬ ගෑහ. ‘බලය යෙදීමට ආණ්ඩුවට අයිතියක් ඇති’ බව කියාපාන සටන් පාඨ සහිත පුවරු රැගත් ඔවුනට ආණ්ඩුවේ පොලීසිය එම බලය පාවිච්චි කරමින් පහර දෙනු ලැබීම සරදම්කාරී ලෙස හැඟී ගියද එය කියා පානුයේ බරපතළ දේශපාලන පණිවිඩයකි.

මෙවැනි අදේශපාලනික මැදිහත්වීම් බොහොමයක් පිටුපස ඇති අධිරාජ්‍යවාදී ආයතනවල සබඳතා කෙතරම් සූක්‍ෂම වුවද ඉක්මනින් හෝ පසුව හෙළිදරව්වීම වැළැක්විය නොහැකිය. සෝරෝස්ගේ ඔපන් සොසයිටි, ටයිඞ්ස් පදනම, ෆෝඞ් පදනම, වැනි සංවිධාන විසින්  අරමුදල් සපයන්නා වූ ද CANVAS  වැනි සංවිධාන සමඟ සබඳතා  ඇත්තා වූ ද සංවිධාන හා පුද්ගලයින් මගින් අරගල තමන්ගේ පාලනයේ රඳවා ගැනීමට අධිරාජ්‍යවාදය උපක්‍රමශීලී වෙයි. ධනවාදයෙන් පීඩාවට පත් මිනිසුන් එය සමඟ දේශපාලනිකව ගැටෙන පුද්ගලයින් වනු වෙනුවට  අරගල තුළම එම ක්‍රමය ශක්තිමත් කරනා තැනට හීලෑ කර ගැනීම අධිරාජ්‍යවාදයේ මතවාදී පෙරමුණෙහි අද ඉලක්කය වී ඇත. ඒ සඳහා  දේශපාලන ව්‍යාපාරයන්හි ක්‍රියාධරයන් බිලිබා ගැනීමේ සිට ‘ව්‍යාජ විප්ලව’ දියත් කිරීම සඳහා ව්‍යාජ අරගල  ව්‍යාපාර බිහිකිරීම දක්වා පරාසයක අධිරාජ්‍යවාදය ක්‍රියාත්මකය. මේ බව තේරුම් ගනිමින් දෙපා තබා ගත යුතු නිවැරදි දේශපාලන ආස්ථානය සේම රැඳිය යුතු නිවැරදි දේශපාලන කඳවුර තෝරා ගැනීම අධිරාජ්‍යවාදය සමඟ සටන් වැදීම තෝරා ගන්නා අපේ කාලයේ දාන්කෝලාගේ න්‍යාය පත්‍රයේ අංක එක බවට පත් විය යුතුව තිබේ.
විමර්ශන