අතථ්‍ය ප්‍රාග්ධනය යනු කුමක් ද?

විමර්ශන – 2008 දෙසැම්බර්
November 30, 2018
විප්ලවාදී පක්ෂය හා වෘත්තීය සමිති
December 1, 2018
Show all

අතථ්‍ය ප්‍රාග්ධනය යනු කුමක් ද?

Fictitious Capital

ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය තුල Fictitious Capital නැතිනම් අතථ්‍ය ප්‍රාග්ධනය නම් සංකල්පය සාකච්ඡාවට බඳුන් කරනුයේ කාල් මාක්ස් විසිනි. ඒ සිය ප්‍රසිද්ධ ‘ප්‍රාග්ධනය’ නම් කෘතියේ තුන්වන වෙළුම තුලයි. අතථ්‍ය නැතිනම් ප්‍රබන්ධ හෝ මිත්‍යා ප්‍රාග්ධනය ලෙස හඳුන්වනු ලබන මෙය අතිරික්ත වටිනාකම් නිර්මාණය කිරීමට දායක නොවේ. නිෂ්පාදනීය නොවන මූල්‍ය සංසරණය ක්ෂේත්‍රයන් තුල සැරිසරණ මෙකී ප්‍රාග්ධන ස්වරූපය මෙතෙක් ධනවාදී නිෂ්පාදනය විසින් බිහිකළ සමාජ ධනය තරඟකාරී ලෙසින් තමන් වෙත උරා ගනී.

පොදු වශයෙන් ගත් කළ ප්‍රාග්ධනය යනු ධනවාදය තුල දේපලෙහි පැවැත්මේ ආකාරයයි. ඒ අනුව ධනවාදී දේපලෙහි ප්‍රසාරණය වීම යනු අන් කිසිවක් නොව ප්‍රාග්ධනයේ ප්‍රසාරණයයි. එය නිශ්චිතවම සිදු වෙන්නේ ධනවාදය තුල හුවමාරු භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය තුලයි. හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා ශ්‍රම ශක්තිය මිල දී ගන්නා ප්‍රාග්ධනය එකී ක්‍රියාවලිය තුල ශ්‍රමය සූරා කෑමට ලක් කරයි. ඒ හරහා අතිරික්ත වටිනාකම් නිමවා අත්පත් කර ගනී. ප්‍රාග්ධනය ප්‍රාසාරණය වීමේ ක්‍රියාවලිය එයයි.  ඒ අනුව ධනවාදී සමාජ ප්‍රාග්ධනයේ පොදු හරය වෙන්නේ ශ්‍රමය සූරා කෑමේ ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත වටිනාකම් අත්පත් කොට ගනිමින් ස්වයං ප්‍රසාරණය වීමයි. එහෙත් මෙකී නිශ්චිත ක්‍රියාවලිය තුල නියත ලෙස නිරත වන්නේ ධනවාදී ප්‍රාග්ධනයේ කාර්මික ප්‍රාග්ධන ස්වරූපයෙන් යුක්ත වූ කොටස පමණි. මක්නිසාද යත්, ධනවාදී නිෂ්පාදන මාදිලිය තුල හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා නිශ්චිතව සහ ඍජුව දායක වෙන්නේ කාර්මික ප්‍රාග්ධනය වන බැවිනි.

බැංකු හා වාණිජ ප්‍රාග්ධනය අතිරික්ත වටිනාකම් නිර්මාණය කිරීමට ඍජු ලෙසින් දායක නොවේ. එහෙත් ධනවාදී හුවමාරු භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය තුල කාර්මික ප්‍රාග්ධනයේ මැදිහත්වීමෙන් අත්පත් කොට ගන්නා අතිරික්ත වටිනාකමින් කොටසක් විශේෂ ස්වරූපයකින් තමන් වෙත උරා ගනී. බැංකු ප්‍රාග්ධනය එය පොලී අනුපාතික ලෙසින් ද, වාණිජ ප්‍රාග්ධනය එය වෙළඳ ලාභය ස්වරූපයෙන් ද අත්පත්කොට ගනී. ඊට අමතරව ඉඩම් හිමියෝ තම කොටස ඉඩම් බදු කුලියේ ස්වරූපයෙන් ලබා ගනී. එලෙස සියළු ප්‍රාග්ධන හිමියන්ගේ ලාභයේ උල්පත වන්නේ, ධනවාදය තුල කාර්මික ප්‍රාග්ධන හිමියා විසින් මිල දී ගන්නා වැටුප් ශ්‍රමිකයින්ගේ අතිරික්ත ශ්‍රම කාලය තුල නොගෙවා අත්පත් කර ගන්නා අතිරික්ත ශ්‍රම වටිනාකමයි.  ධනවාදී හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය තුල බිහිකරනු ලබන නව වටිනාකම එයයි. ධනවාදී සමාජ ධනයේ උල්පත එයයි.
මෙයින් පැහැදිලි වන්නේ ධනවාදය තුල කාර්මික ප්‍රාග්ධනයේ ස්වරූපය හැරුණු විට ප්‍රාග්ධනයේ අනෙක් ඕනෑම ස්වරූපයක් සමාජය තුල නව වටිනාකම් බිහි කිරීමට දායක නොවන බවයි. එහෙත් කාර්මික ප්‍රාග්ධනයේ මැදිහත්වීමෙන් වැටුප් ශ්‍රමය සූරා කෑමේ ප්‍රතිඵලයක් ලෙස අත්පත් කර ගත් නව වටිනාකමෙන් (අතිරික්ත වටිනාකමෙන්) කොටස් තරඟකාරී ලෙසින් තමන් වෙත උරා ගන්නා බවයි. කෙසේ වෙතත් කාර්මික ප්‍රාග්ධනය හැරුණු විට අනෙක් ඕනෑම ප්‍රාග්ධන ස්වරූපයක් ධනවාදී ආර්ථික දේහය තුල අතථ්‍ය ප්‍රාග්ධනය ලෙස හැසිරෙන බව හඳුනාගැනීම නිවැරදි වෙන්නේ නැත. මක්නිසාද යත්, අතථ්‍ය ප්‍රාග්ධනයක ජාති ලක්ෂණය වන්නේ නිෂ්පාදනීය නොවන මූල්‍ය සංසරණ ක්ෂේත්‍රයන් තුල සැරිසරමින් ආර්ථික දේහය තුල ව්‍යාජ වටිනාකම් නිර්මාණයට (මුදල් මැවීමට) දායක වීමයි. එමගින් ව්‍යාජ ආර්ථික ප්‍රසාරණයක් (ආර්ථික බුබුලු) මවා පෙන්වීමයි. එහෙත් වාණිජ ප්‍රාග්ධනය එවැනි ජාති ලක්ෂණවලින් සමන්විත නොවේ. එය ඍජු ලෙස දායක වී අතිරික්ත වටිනාකම් නිර්මාණය කිරීමේ හැකියාවක් නොදැක්වුව ද අනෙක් අතට ආර්ථික බුබුළු මැවීමට ද හැකියාවක් ද නොදක්වයි. ඒ අනුව වාණිජ ප්‍රාග්ධනය අතථ්‍ය ප්‍රාග්ධන හැසිරීමක් නොපෙන්වයි.
          බැංකු ක්ෂේත්‍රය, කොටස් වෙළඳපොල, සම්ප්‍රේෂණ ක්ෂේත්‍ර, රක්ෂණ, ලීසිං ණයපත් (credit cards) සහ උකස් ආදී ක්ෂේත්‍ර තුල සිදු කෙරෙන ප්‍රාග්ධන ආයෝජනයන් නිශ්චිතවම අතථය ප්‍රාග්ධන භාවිතාවක් ප්‍රකට කරයි. මෙමගින් ධනවාදී ආර්ථික දේහය තුල අතාත්වික මූල්‍ය සංසරණයක් නිර්මාණය කෙරෙන අතර එමගින් තාවකාලික – ව්‍යාජ ආර්ථික ප්‍රසාරණයක් ඇති කරනු ලබයි. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදු වෙන්නේ රටතක දල දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඉක්මවා යන ව්‍යාජ මූල්‍ය සංසරණයක් නිර්මාණය වීමයි. භනියා බුබුල් නගන ආර්ථිකය නැතිනම් Bubble Economy ලෙස මෑත වකවානුව තුල බොහෝ නව-ලිබරල්වාදී චින්තකයින් විසින් උත්කර්ශයට නැගුවේ එයයි. එහෙත් මෙයට මීට ශතවර්ශයකට අධික කාලයකට පෙර ධනවාදී ප්‍රාග්ධනය තුල අතථ්‍ය ප්‍රාග්ධනස්වරූපයේ හැසිරීමක කළල රූප මට්ටමේ වර්ධනයක් පළමු වරට නිරීක්ෂණය කළේ කාල් මාක්ස් ය. මෙම අතථ්‍ය ප්‍රාග්ධන ස්වරූපයන්ගේ හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික දේහයන් තුල සිදු වෙන ව්‍යාජ ආර්ථික ප්‍රසාරණයේ අතිශය තාවකාලික බව නිවැරදිව හඳුනාගත් ඔහු එම ප්‍රසාරණය සබන් බුබුලකට (soap bubble) සමාන කොට දැක්වීය. මෙම රැවටෙන සුළු,  ව්‍යාජ ආර්ථික වර්ධනය, එහි නොවැළැක්විය හැකි තර්කානුකූල ප්‍රතිඵලය ලෙස බරපතල උද්දමනකාරී තත්වයක් නිර්මාණය කරන අතර අවසානයේ දී ගැඹුරු අර්ථික අර්බුදයන් වෙත මග සකසයි. ධනවාදී සමාජ ප්‍රාග්ධනයේ සැලකිය යුතු විශාල කොටසක් හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය හරහා අතිරික්ත වටිනාකමස් (නව වටිනාකම්) බිහි කොනරන, අතථ්‍ය ප්‍රාග්ධනය ලෙස ක්‍රියාකිරීමේ නොවැළැක්විය හැකි තර්කානුකූල ප්‍රතිඵලය එයයි.

 

විමර්ශන